Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් අලෙවි වන ලොව පැරැණිත ම සුවඳ විලවුන් වර්ග

‘ඔබට කතා කරන්න වචන නැත්නම් ඇඟ ගල්වා ඇති සුවඳ විලවුන්වලට කතා කරන්නට ඉඩ හරින්න’

සුවඳ විලවුන් කෙතරම් වැදගත් ද යන්න මෙම පාඨයෙන් මනාව පිළිබිඹු වේ. ස්ත්‍රී- පුරුෂ, බාල- මහලු සියලු දෙනා අතර ජනප්‍රිය සුවඳ විලවුන් මේ වන විට ඇඳුම් පැළඳුම් තරමට ම වැදගත් අවශ්‍යතාවක් බවට පත් වී තිබේ.

සුවඳ විලවුන් භාවිතය විශාල වශයෙන් ව්‍යාප්ත වූයේ පසුගිය දශක කිහිපය තුළ වුවත් ඒවා නිෂ්පාදනය සියවස් ගණනාවක් තිස්සේ සිදු විය. පුදුමයට කරුණක් වන්නේ ඒ අයුරින් මීට සියවස් ගණනකට පෙර, මුලින් ම නිෂ්පාදනය කළ සමහර සුවඳ විලවුන් වර්ග වර්තමානයේ දී පවා මිල දී ගත හැකි වීම ය.

මෙම ලිපිය මීට සියවස් ගණනාවකට පෙර නිෂ්පාදනය ආරම්හ වූ, වෙළෙඳපොළෙන් තවමත්  මිල දී ගත හැකි එවැනි සුවඳ විලවුන් වර්ග කිහිපයක් පිළිබඳ යි.

‘Acqua di S.M. Novella’ – us.smnovella.com

1.  Acqua di S.M. Novella 

වාණිජමය වශයෙන් නිෂ්පාදනය කළ ලොව පළමු සුවඳ විලවුන් වර්ගය වන මෙම ‘Acqua di S.M. Novella’ මුලින් ම නිෂ්පාදනය කර ඇත්තේ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ  1533 දී ය. ‘ඇක්වා ඩෙලා රෙජිනා’ එනම් ‘රැජනගේ ජලය’ ලෙස ද මෙය හැඳින්වේ. ඉතාලියේ සැන්ටා මාරියා නවෙලාහි විසූ ‘ඩොමිනිකන් ෆ්‍රියර්ස්’ නම් පුද්ගලයා සකස් කළ වට්ටෝරුවක් පදනම් කරගෙන මෙය නිෂ්පාදනය කර තිබේ.

ඔහු එම සුවඳ විලවුන් වට්ටෝරුව සකස් කළේ ‘කැතරින් ඩි මෙඩිසි’ නම් ප්‍රභූ කාන්තාවකගේ ඉල්ලීම මත බව කියැවේ. ඇය සිය අනාගත සැමියා වූ ප්‍රංශයේ දෙවැනි හෙන්රි රජුට ත්‍යාගයක් වශයෙන් මෙම සුවඳ විලවුන් බෝතලයක් දී තිබේ. කාන්තා-පිරිමි දෙපාර්ශවයට ම භාවිත කළ හැකි සුවඳ විලවුන් වර්ගයක් වූ මෙය මධ්‍යසාර අන්තර්ගත කර නිෂ්පාදනය කළ පළමු සුවඳ විලවුන් වර්ග අතරින් ද එකකි. පැඟිරි යුෂ, ලැවෙන්ඩර් සහ ආසියානු ඖෂධ පැළෑටි වර්ග කිහිපයක් මෙය නිෂ්පාදනය සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය අතර වේ.

‘4711 Echt Kölnisch Wasser’ – www.wikimedia.org

2. 4711 Echt Kölnisch Wasser (Cologne Water)

රහස් වට්ටෝරුවක් සහිත මෙම සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය ආරම්භ වූයේ 1792 දී, ජර්මනියේ දී ය. ඊට අදාළ වට්ටෝරුව වසර 200ක් තිස්සේ විවිධ වෙනස්කම්වලට භාජනය වී තිබේ. මෙම ‘4711 Echt Kölnisch Wasser’ නිෂ්පාදනය සඳහා මූලික වශයෙන් ලෙමන්, ලැවෙන්ඩර්, රෝස්මේරි වැනි දෑ සහ පැඟිරි ශාක නිස්සාරණය කර ලබා ගත් තෙල් වර්ග දෙකක් භාවිත කරයි.

එම තෙල්වලට ශරීරයේ දාහය අඩු කිරීමට සහ සම නිරෝගීමත් ව තැබීමට හැකියාවක් ඇති බව විශ්වාස කෙරේ. ජර්මනියේ ‘Glockengasse’ හි පිහිටි නිවසක මුලින් ම නිෂ්පාදනය කර ඇති මෙම සුවඳ විලවුන් වර්ගය, එම නිවසේ නමින් නම් කර තිබේ. පසුකාලීන ව සමාන නම්වලින් සුවඳ විලවුන් වර්ග ගණනාවක් නිෂ්පාදනය වූ බැවින් ‘4711’ යන්න යෙදීම නිසා මෙහි සන්නාමය ඒවායෙන් වෙන් කරගත හැකි වූ බව පැවැසේ.

‘Extra Vieille – Jean-Marie Farina’ –  www.roger-gallet.fr

3. Extra Vieille/ Jean-Marie Farina 

ජර්මනියේ ජීවත් වූ ඉතාලි ජාතිකයකු වූ ‘Gian Paolo Feminis’ එක්තරා සුවඳ විලවුන් වර්ගයක් නිෂ්පාදනය කළ අතර ඊට යම් යම් චර්ම රෝග සුව කිරීමේ හැකියාවක් තිබෙන බව 1727 දී හෙළි විය. ඔහුගේ ඥාති පුත්‍රයකු වූ ‘Gian Maria Farina’ මෙම වට්ටෝරුවේ හිමිකරු බවට පසුකාලීන ව පත් විය.

ඔහු 1862 දී ‘Roger & Gallet’ නම් සමාගමට එම වට්ටෝරුව අලෙවි කළ අතර එතැන් පටන් මේ දක්වා මෙම සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය කරන්නේ අදාළ සමාගම ය. ‘Extra Vieille/ Jean-Marie Farina’හි අඩංගු මූලික අමුද්‍රව්‍ය ලෙස පැඟිරි, බර්ගමොට්, රෝස, කරාබුනැටි, සඳුන් සහ කස්තුරි හැඳින්විය හැකි ය.

‘Florida Water’ – www.lanman-and-kemp.com

4. Florida Water

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ දී මෙම සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය ආරම්භ වූයේ 1808 දී ය. ස්පාඤ්ඤ ජාතික දේශ ගවේෂකයෙකු වූ ‘පොන්ස් ද ලියොන්’ ෆ්ලොරීඩාවේ දී ‘යෞවනයේ දිය උල්පත’ (එම ස්ථානයේ ඇති ජලයෙන් ස්නානය කළ විට තරුණ බව රැකගත හැකි බවට විශ්වාස කෙරේ) සොයා ගත් බවට වන ජනප්‍රවාදය නිසා මෙම සුවඳ විලවුන් වර්ගයට ඒ නම ලැබී තිබේ.

කාන්තා- පිරිමි දෙපාර්ශවයට ම භාවිත කළ හැකි වූ මේ ‘Florida Water’ වික්ටෝරියානු යුගයේ කාන්තාවන් අතර වඩාත් ජනප්‍රිය වූ බව කියැ වේ. ඊට හේතුව වික්ටෝරියානු යුගයේ කාන්තාවන් අධික සුවඳකින් යුතු සුවඳ විලවුන් භාවිත නොකළ යුතු යැයි මතයක් පැවතීම ය. ඊට අමතර ව මෙම සුවඳ විලවුන් කුඩා පැකට්ටුවක් ආකාරයෙන් ද අලෙවි කර ඇති අතර ඇඳුම් අල්මාරිවල ඇති ඇඳුම් අතර ඒවා තැබීම එකල ජනප්‍රිය ව තිබිණි. ලෙමන්, දොඩම්, ලැවෙන්ඩර් සහ කරාබුනැටි වැනි අමුද්‍රව්‍ය යොදා ගෙන මෙය නිෂ්පාදනය කෙරේ.

‘Eau de Cologne Imperiale’ – www.guerlain.com

5. Eau de Cologne Imperiale 

 ‘Eau de Cologne Imperiale’ මුලින් ම 1853 දී නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රංශයේ අවසන් රජු වන තුන්වන නැපෝලියන්ගේ බිරිය වූ ඉයුජින් කුමරිය සඳහා ම වෙන් වූ සුවඳ විලවුන් වර්ගයක් වශයෙනි. ඒ නිසා මෙය නිෂ්පාදනය කළ පුද්ගලයාට ‘රජුට සුවඳ විලවුන් සපයන්නා’ යන අන්වර්ථ නාමය ලැබිණි. පසුකාලීනව එය අලෙවි කිරීම සඳහා ඉයුජින් කුමරියගෙන් ඔහුට අවසර ලැබුණු බව කියැවේ. මෙම සුවඳ විලවුන් බෝතලයේ මී මැස්සන් 69කගේ රුව දැකිය හැකි අතර අවශ්‍ය නම් නම්වල මුල් අකුරු වැනි දේ තමන්ට අවශ්‍ය පරිදි බෝතලයේ සටහන් කරවා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.

‘Fougère Royale’ – www.wikimedia.org

6.  Fougère Royale 

සුවඳ විලවුන් කර්මාන්ත ඉතිහාසයේ නව ආරම්භයක් ලෙස සැලකෙන මෙම  ‘Fougère Royale’ නිෂ්පාදනය ආරම්භ වූයේ 1882 දී, ප්‍රංශයේ පැරිස් නුවර දී ය. මෙය නිෂ්පාදනය කිරීමට මීවන ශාක කොටස් යොදා ගැනීම සුවිශේෂී ලක්ෂණයකි. ඊට අමතර ව පැඟිරි ශාක කොටස් සහ ලැවෙන්ඩර් මල් වැනි අමුද්‍රව්‍ය ද යොදා ගනී.

‘Fougère Royale’ පිරිමි පාර්ශවය සඳහා වෙන් වූ සුවඳ විලවුන් වර්ගයක් වේ. යම්කිසි කාලයක් තිස්සේ මෙහි නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබුණත් 2010 වසරේ සිට එය නැවත නිෂ්පාදනය කිරීම ආරම්භ විය.

‘Tabac Blond’ – www.wikimedia.org

7. Tabac Blond

ප්‍රංශයේ පැරිස් නගරයේ 1919 දී මෙම සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය ආරම්භ විය. නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ දුම්කොළ සහ ලෙදර් සුවඳින් යුතු විලවුන් වර්ගයක් නිෂ්පාදනය කිරීම යි. පිරිමි පාර්ශවයට පමණක් වෙන් වූ මෙය පසුකාලීන ව ප්‍රංශයේ දුම්බොන කාන්තාවන් අතර ද අතිශයින් ජනප්‍රිය වී තිබේ.

දුම්කොළ සහ ලෙදර් සුවඳට අමතර ව එහි කානේෂන් මල්, තුර්කි රෝස, කරාබුනැටි සහ වැනිලා සුවඳ ද අන්තර්ගත ය. ‘Tabac Blond’හි නිෂ්පාදන කටයුතු ද දීර්ඝ කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ අතර මෑතකාලීන ව නැවත ආරම්භ විය.

‘Chanel No. 5’ – www.pinterest.com

8. Chanel No. 5 

ප්‍රංශ සහ රුසියානු සම්භවයක් ඇති සුවඳ විලවුන් නිෂ්පාදනය කරන්නකු වූ ‘Ernest Beaux’ මෙම සුවඳ විලවුන් වර්ගය 1921 දී මුලින්ම නිෂ්පාදනය කළේ ය. ඔහු රුසියාවේ සාර් රජ පවුලට සුවඳ විලවුන් සපයන්නා ලෙස ද කටයුතු කර තිබේ. ‘Ernest Beaux’ ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පිණියක් සහ ව්‍යාපාරික කාන්තාවක් වූ ‘Coco Chanel’ සමඟ හිතවත්කමක් පැවැත්වූ අතර සුවඳ විලවුන් වර්ගයට නම යෙදුවේ ඇය බව කියැවේ. Ernest, මුලින් ම එය නිෂ්පාදනය කළේ සිය සමීප මිතුරන් වෙනුවෙන් වුවත් ඊට ඇති ඉල්ලුම විශාල ලෙස වැඩි වීම හේතුවෙන් පසුකාලීන ව මහා පරිමාණයෙන් නිෂ්පාදනය ආරම්භ කළේ ය. ශාකසාර නිෂ්පාදනයක් වන එහි රෝස, පිච්ච සහ පැඟිරි ශාක කොටස් ඇතුළත් වේ.

කවරයේ ඡායාරූපය- සුවඳ විලවුන් බෝතල් - www.luxriousmagazine.com

මූලාශ්‍ර:

www.oldest.org

www.lluxuriousmagazine.com

Related Articles