Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට සොයා ගැනීම් කිහිපයක්

අතීතයේ විවිධ පුද්ගලයන් සිය කාලය සහ ශ්‍රමය කැප කරමින් සිදු කළ සොයා ගැනීම් ලොව සෑම ක්ෂේත්‍රයක් ම ක්‍රම ක්‍රමයෙන් දියුණු වන්නට දායක විය. මිනිසාට අතිශයින් ම වැදගත් වෛද්‍ය විද්‍යාව පිළිබඳ ව හැදෑරීමේ දී එවැනි සොයා ගැනීම් ගණනාවක් හමු වේ. එක්ස් කිරණ පරීක්ෂණවල පටන් පසුගිය කාලයේ විශාල කතාබහට ලක් වූ එන්නත් දක්වා වන එවැනි විශිෂ්ට සොයා ගැනීම් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු !

එක්ස් කිරණ

ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයෙක් වන විල්හෙල්ම් කොන්රඩ් 1895 දී එක්ස් කිරණ සොයා ගෙන ඇත්තේ අහඹු පරීක්ෂණයක ප්‍රතිපලයක් වශයෙනි. එකිනෙකට වෙනස් කිරණ කිහිපයක් පිළිබඳ ව පර්යේෂණ සිදු කළ ඔහු මෙම කිරණ භාවිතයෙන් තරමක් වෙනස් ඡායාරූපයක් ලබා ගත හැකි බව සොයා ගත්තේ ය.

එය තවදුරටත් තහවුරු කරගැනීමේ අරමුණින් ඔහු සිය බිරිය ගේ අත හරහා මෙම කිරණ ගමන් කරවා ඇති අතර, වර්තමානයේ සිදු කරන එක්ස් කිරණ පරීක්ෂණවලදී ලබා ගන්නා ආකාරයේ ඡායාරූපයක් ලබාගැනීමට එහිදී ඔහුට හැකි විය. එම ඡායාරූපයට ඇගේ අතේ මාංශමය කොටස් හැර අස්ථි සහ ඇඟිල්ලේ තිබූ මුද්දක් ග්‍රහණය කරගෙන තිබිණි.

එක්ස් කිරණ පරීක්ෂණ – www.wired.com

එම කිරණ අදෘශ්‍යමාන බැවින් සහ තමන් ඒ පිළිබඳ ව කිසිවක් දැන නොසිටි බැවින් “නොදන්නා”, එසේත් නැත්නම් “unknown” යනුවෙන් එය නම් කිරීමට සිතූ ඔහු එය “X” යනුවෙන් නම් කළේ ය. මෙම නව සොයා ගැනීම මුල්කාලීන ව පාර්ශව කිහිපයක විවේචනයට ලක් විය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙක් ඒ පිළිබඳ ව ලිපියක් පළ කළ අතර එහි දැක්වුණේ මෙය අදෘශ්‍යමාන දෑ ඡායාරූපවලට හසු කරගැනීමට භාවිත කළ හැකි උපක්‍රමයක් බව යි. කෙසේ වෙතත් තවත් සති කිහිපයක් තුළ එහි වටිනාකම අවබෝධ කරගත් යුරෝපා රටවල් ගණනාවක් සහ එක්සත් ජනපදය රෝහල්වලට එක්ස් කිරණ පරීක්ෂණය හඳුන්වා දී තිබේ. මෙම සොයාගැනීම වෙනුවෙන් කොන්රඩ් 1901 දී භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේ ය.

කෘත්‍රිම අත් සහ පාද

අත් සහ පාද අහිමි පුද්ගලයන්ට කිහිලිකරු හෝ රෝද පුටු භාවිතයෙන් තොර ව සිය එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා කෘත්‍රිම අත් සහ පාද මහඟු පිටුවහලක් වී ඇත. කෘත්‍රිම අත් සහ පාද නිපදවීම 16 වැනි සියවසේ සිට සිදු වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

එවකට ප්‍රංශයේ ජීවත් වූ ශල්‍ය වෛද්‍යවරයෙක් වන “Ambroise Paré” මුලින් ම ඒවා නිෂ්පාදනය කර ඇත. හමුදා සෙබළුන්ට ප්‍රතිකාර කළ ශල්‍ය වෛද්‍යවරයෙක් වූ ඔහුගේ සොයා ගැනීම යුදමය තත්ත්වයන් නිසා අත් සහ පාද අහිමි වූ ප්‍රංශය ඇතුළු බොහෝ රටවල සොල්දාදුවන්ට මහඟු උපකාරයක් විය.

කෘත්‍රිම පාද – www.dynaflopumps.com

කෘත්‍රිම අත් සහ පාද සොයා ගැනීමට පෙර විවිධ හේතු නිසා අත් සහ පාද අහිමි වූ ලොව පුරා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සිය දිවි නසා ගෙන තිබේ. මෙම සොයා ගැනීම ඔවුන්ට ජීවත් වීම පිළිබඳ ව බලාපොරොත්තුවක් ගෙන දුන් එකක් විය. මුල් කාලයේ කෘත්‍රිම අත් සහ පාද නිෂ්පාදනය කර තිබුණේ එසවීමට ඉතා දුෂ්කර අධික බරකින් යුතු ලෝහ සහ දැව වර්ග භාවිතයෙන් වුවත් පසුකාලීනව ඇති වූ තාක්ෂණික දියුණුව සමඟ සැහැල්ලු ද්‍රව්‍ය යොදා ගෙන ඒවා නිෂ්පාදනය ආරම්භ විය. මේ වන විට සංවේදීතාව සහිත කෘත්‍රිම අත් සහ පාද පවා නිපදවා ඇත.

විද්‍යාගාර තුළ සිදු කරන ගැබ් ගැන්වීම

සාමාන්‍ය දරු පිළිසිඳ ගැනීමක් වෙනුවට විද්‍යාගාරයක් තුළ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය කිරීම මඟින් 1978 දී සිදු වූ ලුවිස් බ්‍රව්න් ගේ උපත වෛද්‍ය විද්‍යාවේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. පැට්‍රික් ස්ටෙප්ටෝ සහ රොබට් එඩ්වඩ්ස් යන දෙදෙනා එක්ව සිදු කළ පර්යේෂණවල ප්‍රතිපලයක් වශයෙන් සිදු වූ මෙම සොයා ගැනීම දරුවන් නොමැති ව පසුතැවෙමින් සිටින බොහෝ දෙනකුට මව්පියන් වීමට ඉඩකඩ සලසා දී තිබේ.

විද්‍යාගාරයක් තුළ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය මගින් දරුවන් මිලියන පහකට වැඩි ප්‍රමාණයකට උපත ලබා දී ඇත – www.news-medical.net

විද්‍යාගාරයක් තුළ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය කර එය කාන්තාවගේ ගර්භාෂයට ඇතුළු කිරීම මඟින් දරු උපතකට මඟ පෑදීම මෙහිදී සිදු වේ. මෙම ක්‍රමවේදය යටතේ සිදු වූ මුල්ම දරු උපතේ පටන් ඒ පිළිබඳ ව ලොව පුරා විශාල අවධානයක් යොමු විය. එතැන් පටන් මෙම තාක්ෂණය විශාල වශයෙන් සංවර්ධනය වූ අතර ලුවිස්ගේ උපතේ පටන් මිලියන පහකට වැඩි දරුවන් සංඛ්‍යාවක් මෙම ක්‍රමය හරහා උපත ලබා තිබේ.

ඉන්සියුලින්

වර්තමානය වන විට ලෝකයේ සැලැකිය යුතු පිරිසක් දියවැඩියාවෙන් පෙළෙති. අග්න්‍යාසය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිෂ්පාදනය නොකිරීම හේතුවෙන් රුධිර ප්‍රවාහයේ අන්තර්ගත සීනි ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් දියවැඩියාව ඇති වේ. ඉන්සියුලින් සොයා ගැනීමට පෙර දියවැඩියාව මාරාන්තික රෝගයක් විය. එබැවින් පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වයෙන් පෙළුණු බොහෝ දෙනෙක් එය වැලඳී සති හෝ මාස කිහිපයක් ඇතුළත මිය ගිය හ.

ඉන්සියුලින් එන්නත – www.theweek.in

1921 දී කැනේඩියානු වෛද්‍ය විද්‍යාඥයෙක් වූ ෆ්‍රෙඩ්රික් බැන්ටින් සහ ඔහුගේ සහායක ලෙස කටයුතු කළ චාල්ස් බෙස්ට් සුනඛයකුගේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් ලබාගැනීමට හැකි බව අනාවරණය කර ගත් අතර, එම ඉන්සියුලින් භාවිතයෙන් මාරාන්තික දියවැඩියා තත්ත්වයෙන් පෙළුණු සුනඛයෙක් ඔහුගේ සාමාන්‍ය ආයු කාලයට (දියවැඩියා තත්ත්වය සමඟ ජීවත් විය හැකිව තිබූ කාලය) වඩා මාස දෙකකට ආසන්න කාලයක් ජීවත් කරවීමට ඔවුන්ට හැකි විය.

ඔවුන් නිෂ්පාදනය කළ ඉන්සියුලින් එන්නත පළමු වරට මිනිසකුට ලබා දීම 1922 දී සිදු විය. මේ වන විට ලොව පුරා වෙසෙන මිලියන 420කට වැඩි දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් ඉන්සියුලින් එන්නත ලබා ගන්නා බව කියැවේ.

විෂබීජ පිළිබඳ න්‍යාය

විෂබීජ පිළිබඳ න්‍යාය ඉදිරිපත් කිරීමට පෙර, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු බොහෝ දෙනෙක් යහපත් සනීපාරක්‍ෂාවේ වැදගත්කම පිළිබඳ ව දැන සිටියේ නැත. මෙම නොදැනුම්වත් බව, ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය වීමෙන් වැලඳෙන, වලක්වා ගත හැකි රෝග තත්ත්වයන්ගෙන් පෙළුණු පුද්ගලයන් පවා විශාල වශයෙන් මරණයට පත් වීමට හේතු විය. බැක්ටීරියා, දිලීර සහ වෛරස් ඇතුළු ව්‍යාධිජනක හෝ “විෂබීජ” ලෙස හඳුන්වන ක්ෂුද්‍ර ජීවීන්, බොහෝ රෝග සඳහා ප්‍රධාන හේතුව බව මෙම න්‍යාය මඟින් හෙළි කර ඇත.

ලුවී පාස්චර් විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක් හරහා විෂබීජ න්‍යාය තහවුරු කළේය – microbiologistaindia.science.blog

19 වැනි සියවසේ පටන් මෙම න්‍යාය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම සඳහා දායක වූ විශේෂඥයන් කිහිප දෙනෙක් හඳුනා ගත හැකි ය. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ස්නෝව් අපවිත්‍ර ජලය සහ කොළරාව අතර සම්බන්ධතාවක් ඇති බව අනාවරණය කළේ ය. ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ ලුවී පාස්චර් 1860 සිට 1864 දක්වා සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ හරහා මෙම න්‍යාය තවදුරටත් තහවුරු කළේ ය. රොබට් කොච් සහ ජෝසප් ලිස්ටර්, සනීපාරක්ෂක පහසුකම් ප්‍රවර්ධනය කිරීම හරහා මෙම න්‍යාය ජනගත කිරීමට දායක විය.

අවයව බද්ධ කිරීම

අවයව බද්ධ කිරීම මෑතකාලීන ඉතිහාසයේ වෛද්‍ය විද්‍යාව අත්කරගත් ඇදහිය නොහැකි ජයග්‍රහණයකි. මෙම අදහස මුල්කාලීන ව බොහෝ සැක සහිත සහ බියට පත් වනසුලු ආකාරයේ එකක් වුවත් එය යථාර්තයක් කිරීමට වෛද්‍ය විද්‍යාඥයන්ට හැකි වූහ. පුද්ගලයකුගේ හානි වූ හෝ ඉවත් කළ ශරීර අවයවයක් වෙනුවට නිරෝගී අවයවයක් බද්ධ කිරීම මෙහිදී සිදු වේ. ලොව පළමු සාර්ථක මිනිස් අවයව බද්ධය, එනම් පුද්ගලයකුගෙන් සාර්ථක ව ඉවත් කළ වකුගඩුවක් ඔහුගේ සොහොයුරාට බද්ධ කිරීම, 1954 දී බොස්ටන්හි දී සිදු විය.

බොහෝ රටවල වකුගඩු, අක්මා සහ පෙනහළු වැනි අවයව බද්ධ කිරීම් මේ වන විට සාර්ථකව සිදු වේ – www.childrens.com

පසුකාලීන ව ලොව පළමු පෙනහළු බද්ධය 1963 දී, පළමු අක්මා බද්ධය 1967 දී, සහ පළමු හදවත් බද්ධය 1968 දී සිදු විය. එවැනි අවයවවලට අමතර ව අත් සහ ඇස් වැනි අවයව බද්ධය ද පසුකාලීන ව ආරම්භ විය.

ශ්‍රී ලංකාව ද ඇතුළු බොහෝ රටවල වකුගඩු, අක්මා සහ පෙනහළු වැනි අවයව බද්ධ කිරීම් මේ වන විට සාර්ථක ව සිදු වේ. තාක්ෂණ සහ වෛද්‍ය ක්ෂේත්‍රයන්හි දියුණුව සමඟ විද්‍යාගාර තුළ කෘත්‍රිම ව නිෂ්පාදනය කළ අවයව මිනිස් ශරීරයට බද්ධ කිරීමට ඇති හැකියාව පිළිබඳ ව මේ වන විට අධ්‍යයනයන් සිදු වෙමින් පවතී.

නිර්වින්දනය

නිර්වින්දනය සොයා ගැනීමට පෙර, ශල්‍යකර්ම ඉතා භයානක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රචලිත වී තිබිණි. බොහෝ ශල්‍යකර්ම සිදු කළේ රෝගීන් සම්පූර්ණ සිහියෙන් සහ වේදනාවෙන් සිටිය දී බැවින් වෛද්‍යවරුන් ශල්‍යකර්ම සිදු කළේ යම්කිසි රෝගියකුගේ ජීවිතය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නොතිබූ අවස්ථාවල දී පමණි.

එකල ශල්‍යකර්ම කොතරම් භයානක අත්දැකීමක් වුවාදැයි කියතොත් අත් පා කැපීම් පවා සිදු කළේ රෝගියා හොඳින් අවදි වී සිටිය දී බවත්, කෑගැසීම නතර කිරීම සඳහා ඔවුන්ට ලී කැබැල්ලක් සපා කෑමට දුන් බවත් කියැවේ. ඊට විසඳුමක් ලෙස සොයා ගත් නිර්වින්දනය රෝගියාගේ සියලු සංවේදන හිරිවැටීමකට ලක් කරන අතර එය වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට සොයා ගැනීමකි.

සක්‍රීය, ආරක්ෂිත සහ ඵලදායී නිර්වින්දන ඖෂධ ගණනාවක් මේ වන විට නිපදවා ඇත – www.romper.com

1859 දී කාල් කොලර් නම් වෛද්‍යවරයෙක් කොකේන් නිර්වින්දන ඖෂධයක් ලෙස භාවිත කර ඇත. එය පලදායි නිර්වින්දන ඖෂධයක් වුවත්, එය ලබා ගත් පුද්ගලයන් ඊට දැඩි ලෙස ඇබ්බැහි වූ බැවින් කොකේන් නිර්වින්දන ඖෂධයක් ලෙස භාවිත කිරීම නුසුදුසු බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.

ක්ලෝරෝෆෝම් ද නිර්වින්දකයක් ලෙස භාවිත කළ නමුත් ඉන් දරුණු අතුරු ආබාධ ඇති විය. විලියම් මෝර්ටන් 1846 දී රෝගියෙක් නිර්වින්දනය කිරීමට ඊතර් භාවිත කළේ ය. මේ වන විට රෝගීන් ජීවිතාරක්ෂක සහ වෙනත් ශල්‍යකර්මවලට ලක්වන අවස්ථාවල ඔවුන් නිර්වින්දනය කිරීම අනිවාර්යයෙන් ම සිදු වේ. ඒ සඳහා සක්‍රීය, ආරක්ෂිත සහ පලදායී නිර්වින්දන ඖෂධ ගණනාවක් මේ වන විට නිපදවා ඇත.

ප්‍රතිජීවක

සම්පූර්ණයෙන් ම පාහේ අහඹු ලෙස ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් සොයා ගත් පෙනිසිලින් ලොව ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය ලෙස සැලැකේ. ඔහුගේ රසායනාගාරයේ මේසයක් මත තබා තිබූ දීසියක තිබූ යම්කිසි ද්‍රව්‍යයක් එම දීසිය අවට ඇති බැක්ටීරියා සක්‍රීය ව පලවා හරින බව ඔහු නිරීක්ෂණය කළේ ය.

රෝග ඇති කරන බැක්ටීරියා විනාශ කිරීම සඳහා එම ද්‍රව්‍ය භාවිත කළ හැකි බව අනාවරණය කර ගත් ඔහු විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක් හරහා එය පෙනිසිලින් බවට පරිවර්තනය කළේ ය. ෆ්ලෙමින් ඔහුගේ සොයා ගැනීම සඳහා 1945 දී වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේ ය.

පෙනිසිලින් ලොව ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය ලෙස සැලැකේ – www.bmhsc.org

එකල බැක්ටීරියා ආසාදන කෙතරම් මාරාන්තික ද යත්, වෙඩි ප්‍රහාරවලට වඩා යුද පිටියේ සිදු වූ තුවාල හේතුවෙන් ඇති වන ආසාදනවලින් සොල්දාදුවන් මිය ගිය බව කියැවේ. පෙනිසිලින් ලොව වැඩියෙන් ම භාවිත වන ජීවිතාරක්ෂක ඖෂධය බවට පත් වූ අතර මෙම ඖෂධය භාවිතයෙන් මිනිස් ජීවිත මිලියන 200කට වැඩි ප්‍රමාණයක් බේරා ගෙන ඇති බවට ගණන් බලා තිබේ. ෆ්ලෙමින්ගේ සොයා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ක්ෂය රෝගය, නියුමෝනියාව, සිපිල්ස් ආසාදනය, රතු උණ වැනි විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ප්‍රතිජීවක ඖෂධ ගණනාවක් මේ වන විට සොයා ගෙන ඇත.

එන්නත්

1796 දී වසූරිය රෝගය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමේ අරමුණින් පර්යේෂණ ගණනාවක් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික භෞත චිකිත්සකවරයෙක් සහ විද්‍යාඥයෙක් වූ එඩ්වඩ් ජෙනර් ලොව පළමු එන්නත සොයා ගත්තේ ය. ඒ වන විට ලොව වඩාත් මාරාන්තික රෝග අතර වූ වසූරිය රෝගය නිසා පුද්ගලයන් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ලොව පුරා මිය ගොස් තිබිණි.

එන්නත්කරණ වැඩසටහන දියත් කිරීමෙන් පසු වසූරිය රෝගීන්ගේ මරණ බොහෝ සෙයින් අඩු වූ බව කියැවේ. මෙම එන්නත සොයා ගැනීම පසුකාලීන ව බොහෝ රෝග තත්ත්වයන්ට අදාළව සොයා ගත් එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආරම්භය විය.

කොවිඩ්-19 එන්නත් – www.fda.gov

එතැන් පටන් සරම්ප, රුබෙල්ලා, පෝලියෝ, ක්ෂය රෝගය, මැලේරියාව වැනි රෝගවලට එරෙහි ව සටන් කළ හැකි බොහෝ එන්නත් නිෂ්පාදනය කර ඇත. මෙම එන්නත් ආධාරයෙන් ඉහත කී රෝග තත්ත්වයන් අතරින් බොහොමයක් තුරන් කිරීමට බොහෝ රටවල් මේ වන විට සමත් වී තිබේ.

පුද්ගලයන් මිලියන ගණනකගේ ජීවිත අහිමි කළ කොවිඩ්-19 රෝග තත්ත්වයට එරෙහි ව නිෂ්පාදනය කළ එන්නත් මෑතකාලීන ව වඩාත් කතාබහට ලක් වූ එන්නත් වේ. මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන එම එන්නත් මගින් කොවිඩ්-19 හේතුවෙන් සිදු විය හැකිව තිබූ මරණ විශාල සංඛ්‍යාවක් වලක්වා ගැනීමට හැකි විය.

කවරයේ ඡායාරූපය - ඩිජිටල් පාවෙන මිනිස් හදවතක් සමඟ අන්තර් ක්‍රියා කරන තරුණියක් - www.gettyimages.com
මූලාශ්‍ර :
www.historydefined.net
www.bmshc.org
www.cnn.com
www.webmd.com

Related Articles