Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නිලීන ජාන හේතුවෙන් උරුම වන දේහ ලක්ෂණ 5ක්

මිනිසුන් එකිනෙකාට වෙනස් වෙනවා. එකම පවුලක දෙදෙනෙකු අතර වූවත් උස, මහත, ඡවි වර්ණය වැනි සාධක රාශියක් වෙනස්ව පිහිටිය හැකියි.

මිනිස් අලිංගික න්‍යෂ්ටියක වර්ණදේහ යුගල 23ක් පවතිනවා. මේ එකිනෙකෙහි ජාන රාශියක් පවතිනවා. යම් දේහ ලක්ෂණයක් ඇති වීම සඳහා සමහර විටෙක එක් ජාන යුගලක් බලපවත්වන අතර, තවත් විටෙක ජාන කිහිපයක්ම බලපවත්වනවා. මෙලෙස එක් ජාන යුගලක් පමණක් බලපවත්වන සාධක විෂයෙහි නිලීන ජාන යුගලක් පමණක් පවතින විට එක් දේහ ලක්ෂණයක් පෙන්වන අතර, එක් ප්‍රමුඛ ජානයක් හෝ පිහිටි විට එම ප්‍රමුඛ ජානයට අදාළ දේහ ලක්ෂණය ජීවියාට පිහිටනවා. මෙලෙස නිලීන ජාන නිසා සුලභවම පිහිටන දේහ ලක්ෂණ 5ක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට අපි අදහස් කළා.

කෙලින් පිහිටන හිසකෙස් සීමාව

ඔබෙත් නළල් තලයෙහි හිසකෙස් පිහිටීමට පටන්ගන්නා සීමාව මෙහෙමද? – sites.google.com

ලොව බොහෝ දෙනාගේ නළල් ප්‍රදේශයේ සිට හිස කරා යන විට හිසකෙස් පිහිටීමට පටන්ගන්නා සීමාව කෙලින් තලයක නොපිහිටන අතර, එය මධ්‍ය පෙදෙසෙන් වැඩිපුර ඉදිරියට පැමිණ තිබෙනවා. මෙය ප්‍රමුඛ ජානයක් හේතුවෙන් ඇති වන අතර, එහි නිලීන ජාන යුගලක් පිහිටි තැනැත්තන්ගේ නළල් තලයෙහි හිසකෙස් පිහිටීමට පටන්ගන්නා සීමාව තිරස් තලයක පිහිටනවා.

කෙලින් පිහිටන සුළැඟිල්ල

සුළැඟිල්ලේ අවසාන පුරුක මදක් හෝ ඇද නැත්නම් අවුලක්- (reddit.com)

ලොව වෙසෙන බොහෝ මිනිසුන්ගේ සුළැඟිල්ලේ අවසාන පුරුක මද වශයෙන් වෙදැඟිල්ල දෙසට නැමී පිහිටා තිබෙනවා. මේ පිහිටීම ලැබී ඇත්තේත් ප්‍රමුඛ ජානයක පිහිටීම නිසා යි. නිලීන ජාන යුගලක් පිහිටා ඇති අයවලුන්ගේ මෙලෙස සුළැඟිල්ලේ අවසාන පුරුකෙහි නැමීමක් නොපිහිටන අතර, එය කෙලින් පිහිටා තිබෙනවා.

දෑත්වල ඇඟිලි එක්කළ විට දකුණු අතේ මහපට ඇඟිල්ල ඉහළින් පැවතීම

ඔබට පුරුදු කොහොමද?- (richardwiseman.com)

ලොව බොහෝ මිනිසුන්ගේ දේතෙහි ඇඟිලි එකිනෙක පටලැවී යන පරිදි දෑත් එක්කළ විට වමතෙහි මාපට ඇඟිල්ල දකුණතෙහි මාපට ඇඟිල්ලට ඉහළින් ස්ථානගත වෙනවා. මෙය ප්‍රමුඛ ජානයක පිහිටීම නිසා සිදුවන අතර, නිලීන ජාන යුගලක් පිහිටීම නිසා දකුණු අතෙහි මාපට ඇඟිල්ල වමතෙහි ඇඟිල්ලට වඩා ඉහළින් පිහිටන පරිදි මෙම දෑත් පටලැවීම සිදුවනවා.

ඇලුණු කන්පෙති

කන්පෙත්ත ඇලිලා ද?- (icr.org)

ලොව වෙසෙන සමහර මිනිසුන්ගේ කන්පෙති හිසට ඇලී තිබෙනු ඔබ දැක ඇති. මෙය ප්‍රතිඵල වන්නේ නිලීන ජානයයක ක්‍රියාකාරීත්වය හේතුවෙනුයි. මෙහි ප්‍රමුඛ ජානය පිහිටා ඇති විට කන්පෙති නිදහස් ලෙස පවතින පරිදි සකස් වීම සිදුවෙනවා.

රෝල් කළ නොහැකි දිව

ඔබටත් දිව රෝල් කරන්න පුළුවන් ද?- (Istock/mentalfloss.com)

ලොව බහුතරයක් මිනිසුන්ට සිය දිව දෙපසින් ඇතුළට රෝල් කිරීමේ හැකියාව පවතිනවා. මෙය ද එක් ජාන යුගලක් මඟින් ලැබෙන හැකියාවක් වන අතර, එහි දී ප්‍රමුඛ ජානය සහිත අයවලුන්ට එම හැකියාව පිහිටනවා. මේ ජාන යුගල විෂයෙහි නිලීන ජාන ද්විත්වයක් පමණක් පවතින විට දී එලෙස දිව රෝල් කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ.

Related Articles