බ්‍රිතාන්‍ය දේශපාලනයේ මෙන් ම ලෝක දේශපාලනයේ ද කැපී පෙනෙන අංගයක් වන බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් දේපළ ගණනාවක් අතර සුවිසල් මාලිගා ගණනාවක් තිබේ. ලෝක ප්‍රසිද්ධ බකිංහැම් මාලිගය සහ කෙන්සින්ටන් මාලිගය වැනි ඒවා ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා අතර, රජ පවුලට අයත් තවත් මාලිගා ගණනාවක් ද තිබේ.
මේ ලිපියෙන් එවැනි මාලිගා කිහිපයක් පිළිබඳ ව විමසා බලමු.
01. වයිට්හෝල් මාලිගය
අටවැනි හෙන්රි රජුගේ සිට පරම්පරා ගණනාවකට සෙවණ දුන් වයිට්හෝල්හි පැරැණි රජ මාලිගය 1698 දී ඇති වූ ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන් ම පාහේ විනාශ විය. එම ගින්න එහි සේවය කළ කාන්තාවකගේ නොසැලකිල්ල නිසා ඇති වූ බව කියැවේ.
ගින්නෙන් විනාශ වූ මාලිගයේ දැනට ශේෂ වී ඇති එකම කොටස උත්සව ශාලාවකි. එය පළමු ජේම්ස් රජුගේ කාලයේ, එනම් 1622 දී ඉදි කර තිබේ. එතැන් පටන් එය විවිධ උත්සව අවස්ථාවලදී භාවිත කර ඇත. 1629 දී පළමු චාල්ස් රජුගේ උපදෙස් මත පීටර් පෝල් රූබන්ස් මෙම උත්සව ශාලාවට විචිත්‍රවත් සිවිලිමක් නිර්මාණය කළේ ය.
උත්සව ශාලාව ඉදි කරවූ පළමු චාල්ස් රජු 1649 ජනවාරි 30 දින හිස ගසා මරා දමා ඇත්තේ එහිදී ම වීම විශේෂත්වයකි. හිස ගසා දැමූ දිනයේ උත්සව ශාලාවට පිටතින් ඉදි කර තිබූ වේදිකාවක් මතට ඔහු ගමන් කළේ මෙහි ජනේලයක් හරහා බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.
ඔහුගේ හිස ගසා දැමීමෙන් පසු ස්කොට්ලන්තයේ රාජ්‍යත්වයට පත් දෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය පවත්වා ඇත්තේ ද මෙම ශාලාව තුළ ය. 1660 දී විලියම් සහ මේරි යුවළට විධිමත් ව සිහසුන භාර දීම ද මෙහි දී සිදු විය. රාජකීය දේවස්ථානයක් සහ කෞතුකාගාරයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම උත්සව ශාලාව 1963 දී ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසු මහජනයාට විවෘත විය.
02. බ්ලෙන්හයිම් මාලිගය
බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති විශාලත ම නිවෙස්වලින් එකක් වන ඔක්ස්ෆර්ඩ්ෂයර් හි වුඩ්ස්ටොක් හි පිහිටි බ්ලෙන්හයිම් මාලිගය ආරම්භයේ දී එරට රජ පවුලට හෝ පල්ලියට අයත් නොවූ එකම මාලිගාව ලෙස සැලැකේ. එහි ඉදිකිරීම් 1705 දී ආරම්භ වී 1722 දී අවසන් වූ අතර, ශ්‍රීමත් ජෝන් වැන්බෘග් ඉදිකිරීම් කටයුතු භාරව සිටියේය.
ඈන් රැජන, ප්‍රංශ හමුදා සමග 1704 දී බ්ලෙන්හයිම් හි පැවති සටනක් ජයගත් මාල්බොරෝ හි පළමු ආදිපාද ජෝන් චර්චිල්ට එය ත්‍යාගයක් ලෙස ලබා දී තිබේ. පසුකාලීනව මෙම මාලිගය පිහිටි වතුයාය රාජකීය පවුලට අයත් වූ අතර, දෙවැනි හෙන්රි තම අනියම් බිරිය වූ ෆෙයාර් රොසමන්ඩ් වෙනුවෙන් ඉදි කළ මාලිගයක් ද එහි පිහිටා තිබිණි.
මෙම මාලිගය කොතරම් දැවැන්තද යත්, එය නඩත්තු කිරීමට වැය වූ මුදල් පිළිබඳ ව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක් විය. සටනක් ජයගැනීම වෙනුවෙන් සිහිවටනයක් ලෙස චර්චිල්ට ලබා දුන් එහි නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වැය කිරීම සාධාරණ නොවන බව බොහෝ දෙනෙක් පැමිණිලි කළහ.
මාලිගයේ ඉදිකිරීම් අවසන් වන කාලය වන විට චර්චිල් මිය ගිය අතර ඔහුගේ ප්‍රතිමාවක් ද මාලිගය පිහිටි ඉඩමේ දක්නට ලැබේ. චර්චිල්ට පිරිමි දරුවන් නොසිටි බැවින් බ්ලෙන්හයිම් මාලිගය පසුකාලීනව රජ පවුලට ඥාතීත්වයක් ඇති ස්පෙන්සර් පරපුරට හිමි විය.
03. බකිංහැම් මාලිගය
මේ වන විට බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ප්‍රධානත ම මාලිගාවලින් එකක් වන බකිංහැම් මාලිගය 1703 දී ඉදි කර ඇත්තේ බකිංහැම් හි ආදිපාදවරයකු වෙනුවෙනි. 1762 දී තෙවැනි ජෝර්ජ් රජු එය අත්පත් කරගත් ගත්තේ ය. ඒ වන තෙක් ශාන්ත ජේම්ස් මාලිගයේ ජීවත් වූ ඔහු සහ චාලට් රැජන එතැන් පටන් බකිංහැම් මාලිගය සිය වාසස්ථානය කර ගත්හ.
ජෝර්ජ් රජු කියවීම සහ චිත්‍ර, මූර්ති සහ වෙනත් කලා නිර්මාණ එකතු කිරීම විනෝදාංශයක් කරගත් අයෙක් බැවින් ඔහුට අයත් පොත් සහ කලා නිර්මාණ ගණනාවක් බකිංහැම් මාලිගය තුළ වර්තමානයේ පවා දැකිය හැක. ඒ වන විට සාමාන්‍ය ගොඩනැඟිල්ලක් වූ එය මාලිගයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නවීකරණ කටයුතු 1825 දී ආරම්භ විය. සිව්වැනි ජෝර්ජ් රජු අදාළ නවීකරණ කටයුතු ජෝන් නෑෂ් නම් ගෘහ නිර්මාණ ශිල්පියාට පැවරුවේ ය. ඔහු නවීන පන්නයේ කාමර සහ අලංකාර පියගැටපෙළ කිහිපයක් එහි නිර්මාණය කළේ ය.
නෑෂ් ගේ අභාවයෙන් පසු එඩ්වර්ඩ් බ්ලෝර් එහි ඉතිරි නවීකරණ කටයුතු භාර ව කටයුතු කළේ ය. වර්තමානයේ බකිංහැම් මාලිගයේ බොහෝ ඡායාරූපවල දැකිය හැකි ඉදිරිපස පිවිසුම කොටස බ්ලෝර් ගේ නිර්මාණයකි. 1837 දී සිහසුනට පත් වික්ටෝරියා රැජන ප්‍රථම වරට බකිංහැම් මාලිගය රජ පවුලේ ප්‍රධාන නවාතැන බවට පත් කර ගත්තා ය. ඇය කාර්යාලයීය සහ පෞද්ගලික කටයුතු බොහොමයක් සිදු කළේ බකිංහැම් මාලිගය තුළ ය.
ඇගේ දරුවන් සියලු දෙනා පාහේ උපත ලබා ඇත්තේ ද එහි බව කියැවේ. රජ පවුලේ බොහෝ උත්සව අවස්ථා සහ වෙනත් වැදගත් අවස්ථා සඳහා බකිංහැම් මාලිගය යොදා ගනී. දෙවැනි එළිසබෙත් රැජන ද බොහෝ විට මෙම මාළිගයේ රැඳී සිටියා ය. රජු හෝ රැජන බකිංහැම් මාලිගය තුළ රැඳී සිටින අවස්ථාවල එය ඉදිරිපස ජාතික ධජය ඔසවා තිබේ.
04. හැම්ප්ටන් කෝට්
ලන්ඩනයේ සිට සැතපුම් 12ක් පමණ බටහිරට වන්නට පිහිටා ඇති හැම්ප්ටන් කෝට්, බ්‍රිතාන්‍ය රජුන්ගේ සහ රැජනන්ගේ ප්‍රියත ම මාලිගාවලින් එකකි. මුල් කාලයේ දී තේම්ස් ගංගාව හරහා බෝට්ටුවලින් මෙම මාලිගය වෙත ළඟා වීමට ඔවුන්ට සිදු විය. මෙම මාලිගයේ සහ එය පිහිටා ඇති උද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා බොහෝ රජුන් සහ රැජනන් විශාල වශයෙන් මුදල් වියදම් කළහ. අටවැනි හෙන්රි රජුගේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාඩිනල් වොල්සි මෙම මාලිගය ඉදි කළේය.
පසුකාලීන ව ඔහු රජු අතර යම් අමනාපයක් ඇති වූ බැවින් රජු පිනවීමේ අරමුණින් කාඩිනල්වරයා මෙම මාලිගය රජුට පරිත්‍යාග කර ඇත. හෙන්රි රජු මාලිගය විශාල එකක් බවට පත් කළ අතර, එහි සුවිසල් ඔරලෝසු කණුවක් ද ඉදි කරවා ඇත. ඔහු සහ බිරින්දෑවරු පස් දෙනෙක් හැම්ප්ටන් කෝට් හි ජීවත් වූහ. පසුකාලීන ව හයවැනි එඩ්වඩ් ලෙස සිහසුනට පත් කුමරා බිහි කිරීමෙන් පසු ජේන් සේමූර් බිසව මෙම මාලිගය තුළ මිය ගියා ය.
පළමු එළිසබෙත් රැජන මෙම මාලිගය පිහිටි වතුයායේ වගා කටයුතු කළ බවත්, ඇය නත්තල් සමය ගත කළේ මෙහි බවත් පැරැණි පොතපතෙහි සඳහන් වේ. පළමු ජේම්ස් රජුගේ කාලයේ හැම්ප්ටන් කෝට් හි නාට්‍ය රඟදක්වා ඇති අතර ඒවායේ විලියම් ශේක්ස්පියර් වැනි සම්භාව්‍ය ශිල්පීන් පවා රංගනයේ යෙදී ඇත.
දෙවැනි චාල්ස් රජු මෙම මාලිගය තුළ මධුසමය ගත කර තිබීම සහ විවිධ හේතු නිසා වැදගත් වන සම්මේලන ගණනාවක් මෙහි පවත්වා තිබීම වැනි හේතු නිසා මෙම මාලිගය සුවිශේෂී එකක් ලෙස සැලැකේ. පසුකාලීන ව බලයට පත් තෙවැනි විලියම්, සහ දෙවැනි සහ තෙවැනි ජෝර්ජ් යන රජවරුන් මෙය නවීකරණය කරවා ඇත. 1837 දී සිහසුනට පත් වික්ටෝරියා රැජන 1838 දී මෙම මාලිගය මහජනතාවට විවෘත කළා ය.
05. කෙන්සින්ටන් මාලිගය
නොටින්හැම් හි අර්ල්වරයාට අයත් ව තිබූ කෙන්සින්ටන් මාලිගය අතීතයේ නොටින්හැම් නිවස යනුවෙන් හඳුන්වා තිබේ. ඒ වන විට වයිට්හෝල් මාලිගයේ ජීවත් වූ තෙවැනි විලියම් රජු, එහි ජීවත් වීම සිය ඇදුම රෝගය උත්සන්න වීමට හේතුවක් විය හැකි බව විශ්වාස කළේ ය. ඒ හේතුවෙන් ජීවත් වීමට සුදුසු වෙනත් මාලිගයක් සොයමින් සිටි ඔහු 1689 දී නොටින්හැම් හි අර්ල්වරයාගෙන් මෙම නිවස මිල දී ගත්තේ ය. මිල දී ගත් වහා විලියම් රජු ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් රේන් යටතේ එය නවීකරණය කරවා ඇත.
ඔහුගේ බිසව මෙම මාලිගයේ ජීවත් වීමට ඉතා ඕනෑකමින් සිටි බැවින් නිතර නිතර එහි ගොස් නවීකරණ කටයුතු කඩිනම් කරන ලෙස කම්කරුවන්ට බල කළා ය. ඇගේ බලපෑම් මත ඉතා ඉක්මනින් සිදු කළ ඉදිකිරීමක් කඩාවැටීම හේතුවෙන් කම්කරුවන් ගණනාවක් මිය ගිය බව ද කියැවේ. පසුකාලීන ව පළමු ජෝර්ජ් රජු මෙම මාලිගයට නවීන පන්නයේ කාමර ගණනාවක් එකතු කළ අතර, තෙවැනි ජෝර්ජ් රජුගේ බිසව වූ කැරොලයින් රැජන මාලිගය පිහිටි වතුයාය නවීකරණය කළා ය. තෙවැනි ජෝර්ජ් රජු බකිංහැම් මාලිගයේ ජීවත් වීමට වඩාත් ප්‍රිය කළේ ය. ඔහුගෙන් පසු කෙන්සින්ටන් මාලිගය රජ පවුලේ කණිෂ්ට සාමාජිකයන්ගේ නවාතැන බවට පත් විය.
කෙන්ට් හි ආදිපාද එඩ්වඩ් කුමරු සහ වික්ටෝරියා කුමරිය (වික්ටෝරියා රැජනගේ මව) මෙම මාලිගයේ ජීවත් වූ වූහ. වික්ටෝරියා රැජන එහි බිම් මහලේ පිහිටි කාමරයක උපත ලැබුවා ය. වික්ටෝරියා රැජන සිය ළමා කාලය සහ තරුණ කාලය මෙහි ගත කළ නමුත්, 1837 දී බ්‍රිතාන්‍ය අධිරාජිනිය බවට පත් වීමත් සමඟ රාජකීය නිවස්නය ලෙස බකිංහැම් මාලිගය තෝරා ගත්තා ය. ටෙක් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය 1867 සිට කෙන්සින්ටන් මාලිගයේ ජීවත් වූ අතර ඔවුන්ගේ දියණිය වූ මේරි (පස්වැනි ජෝර්ජ් රජුගේ බිරිය) මෙම මාලිගයේ උපත ලබා ඇත.
වික්ටෝරියා රැජනගේ දියණියක් වන ලුවිස් කුමරිය 1880 දශකයේ සිට 1939 දක්වා මෙහි ජීවත් වූ බව පැවැසේ. 1950 සිට ලන්ඩන් කෞතුකාගාරය කෙන්සින්ටන් මාලිගයේ ස්ථාපිත කර තිබූ අතර 1975 දී එය වර්තමානයේ පිහිටා ඇති ස්ථානයට රැගෙන ගොස් තිබේ. ඇලිස් කුමරිය, මාග්‍රට් කුමරිය (දෙවැනි එළිසබෙත් රැජනගේ නැගණිය) සහ ඩයනා කුමරිය (තෙවැනි චාල්ස් රජුගේ බිරිය) මෙහි ජීවත් වූහ. ඔවුන්ගේ අවමංගල්‍ය උත්සව පෙරහරවල් ආරම්භ වූයේ ද මාලිගය අසලිනි. ඔටුන්න හිමි විලියම් කුමරු සහ පවුලේ සාමාජිකයෝ වර්තමානයේ මෙහි ජීවත් වෙති.