
2020 තෝකියෝ ඔලිම්පික් වසන්තය නිමාවි දැන් සැලකිය යුතු කාලයක් ගත ව තිබුණ ද එහි මිහිරියාව හෝ ඒ ගැන ජාත්‍යන්තර තලයේ කෙරෙන කතාබහා තවමත් මුළුමනින්ම පහ ව ගොස් නැත. ලොව ගිලගනිමින් සිටින රුදුරු කොරෝනා වසංගතය නිසාවෙන් වසරක් පමාවි හෝ අනේකවිධ දුෂ්කරතා, උද්ඝෝෂණ මැද පැවැත්වුණු මෙවර ඔලිම්පික් සැණකෙළියේ දී කැපී පෙනුණු අංගයක් වුයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩිකාවන්, කාන්තා රූප සෞන්දර්යයේ එක් අංගයක් ලෙස සැලකෙන නිය අලංකරණය කෙරෙහි දක්වා තිබූ විශේෂ සැලකිල්ලයි.
එය කැපී පෙනුණු එක් අවස්ථාවක් වුයේ ඔලිම්පික් ධාවනශූරි ‘ඩීනා ඈෂර් ස්මිත්‘ මීටර් සියයේ පූර්ව අවසන් වටය නිමා කරමින් ධාවන පථයේ අවසන් කඩඉම පසුකරද් දී එකී ජයග්‍රහණය සමරමින් ඉහළට එසවුණු ඇගේ දැඟිලි කෙළවර දිදුළන නීල පැහැයෙන් සැරසුණු නිය පෙළ යි. ලොව පුරා ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචවල සටහන් වූ ඩීනාගේ මෙම අපුරු වර්ණවත් නියපොතු ඇගේ රූපලාවන්‍ය සත්කාර මාලාවේ එක් අංගයක් බැව් බැලූ බැල්මට නිගමනය කෙරුණ ද, එය හුදෙක් ම තවත් එක් වර්ණවත් නියපොතු පෙළක් වුයේ නැත. දැඩි ආයාසයක් දරමින් ඇගේ නිය පෙළ මත වර්ණ ගන්වා තිබුණේ සුප්‍රකට ජපාන චිත්‍ර ශිල්පි ‘හොකුසායිගේ‘ ‘The great wave of Kanagawa’ නමැති කලාකෘතියේ අනුකරණයකි.

සත්කාරක රටට නිය පෙළෙන් ප්‍රණාමය
කලාත්මක බවින් පිරිපුන් එම විසිතුරු, නිය පෙළ නිර්මාණය කිරීමෙහි ලා දැඩි කැපවීමෙන් යුතු ව සිය කාලය හා ශ්‍රමය වැය කළ නිය අලංකරණ ශිල්පිණි ‘එමිලි ගිල්මෝ‘ පවසා තිබුණේ එම නිර්මාණය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ධාවන ශූරී ඩීනා ඈෂර් ස්මිත් සක්‍රීය දායකත්වයක් ලබා දුන් බව යි. 2020 ඔලිම්පික් සත්කාරක රට වූ ජපානයේ සංස්කෘතික උරුමය සිහිපත් කරවමින්, එරටට සිය උත්තමාචාරය පුද කිරීමට ඩීනා ඈෂර් තෝරා ගත්තේ නිය අලංකරණ කලාව යි.
ඩීනා ඈෂර් එලෙස සිය නියපෙළින් ජපාන සංස්කෘතික උරුමයේ පෙළහර පාද්දි, තවත් ඇතැම් ඔලිම්පික් ක්‍රීඩිකාවන් ද සිය මව්බිමේ උරුමය නියෝජනය කිරීමට නිය අලංකරණ කලාව තෝරාගෙන තිබූ අයුරු මාධ්‍ය කැමරා කාචවල සටහන් ව තිබිණි. නමුත් මෙම නිය අලංකරණ කලාව මෙවර ඔලිම්පික් සැණකෙළියට පමණක් විශේෂවූවක් නොව දශක ගණනාවක සිට ඔලිම්පික් ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් වසන්තය හා සමගාමී වූ චාරිත්‍රයක් බඳු වූවක් බව ඔලිම්පික් ඉතිහාසය දෙස බැලීමේදි පෙනී යන්නකි. ඇතමුන් සත්කාරක රට හෝ තමන්ගේ මව්බිමේ නියෝජනයක් ලෙස නිය අලංකරණය තෝරා ගනිද් දී තවත් ඇතැම් ක්‍රීඩිකාවන් මෙම රූපලාවන්‍ය ක්‍රමවේදය යොදා ගත්තේ යම් යම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් තමන්ගේ මතය කියාපෑමට යි.

මීට හොඳ ම උදාහරණය නම් 2013 ලෝක මලල ක්‍රීඩා තරඟාවලියේ දී ස්වීඩන ජාතික උස පැනීමේ ක්‍රීඩිකා ‘එමා ග්‍රීන් ට්රෙගාරෝ‘ සිය නිය පෙළ දේදුනු වර්ණයන්ගෙන් වර්ණ ගැන්විමේ සිද්ධිය යි. එකල සමලිංගික අයිතිවාසිකම්වලට එරෙහි ව රුසියාව ක්‍රියාත්මක කළ තහනමට සිය විරෝධය පෑම උදෙසා එලෙස සිය නිය පෙළ දේදුනු පැහැයෙන් වර්ණගැන් වූ එමා ග්‍රීන්ට යළිත් ඒ මත රතු නිය ආලේපන තැවරීමට සිදු ව තිබිණි. ඒ එලෙස සිය බාහිර පෙනුමින් දේශපාලනික මතවාද නියෝජනය කිරීම තරඟ නීතිවලට විරුද්ධ බවට ක්‍රීඩා බලධාරින් ඇයට දැනුම්දීමේ ප්‍රතිඵලයක් ලෙස යි. දේශපාලනික මතවාද නියෝජනය කිරීම කෙසේවතුදු ගිල්මෝ පෙන්වා දෙන්නේ බොහෝ ක්‍රිඩිකාවන් සිය කණ්ඩායමේ සියලු ම සාමාජිකයන් එකම නිල ඇඳුමින් සැරසී සිටීම නිසා මතු වන ඒකාකාරීත්වයෙන් මිදී තමන්ගේ ම අනන්‍යතාවක් ගොඩ නඟා ගනිමින් කැපි පෙනීමට ද ආකර්ශනීය නිමාවෙන් යුතු දැකුම්කලු නිය අලංකරණ රටා භාවිත කරන බවයි.
මෙවර ඔලිම්පික් සැණකෙළිය ඒ අතින් පෙරමුණ ගන්නේ කොරෝනා වසංගතය මධ්‍යයේ වුව ද ක්‍රීඩිකාවන්ට සිය නිය අලංකරණ කටයුතු සිදුකර ගැනිමේ පහසුකම් සලසමින්, නියපොතු අලංකරණය සඳහා ම වෙන්වූ රූපලාවන්‍යාගාර පවා ඔලිම්පික් ගම්මානයේ පිහිටුවා තිබීම නිසා ය. වසංගත අවදානම කෙතරම් බරපතළ ලෙස තෝකියෝව වෙළා ගෙන තිබුණ ද, ඔලිම්පික් නිය අලංකරණ රූපලාවන්‍යාගාරවලට විවේකයක් නොතිබුණු බව හෙළි කොට තිබුණේ අමෙරිකානු වොලිබෝල් ක්‍රිඩිකා කෙල්සි රොබින්සන් ය. ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ රූපලාවන්‍යාගාරයේ සංචාරයක් සිය රසිකයන් සමඟ ඇය බෙදා හදා ගෙන තිබුණේ එහි සේවය ලබාගැනිමට වේලාවක් වෙන්කර ගැනිමට අපහසු තරම් රූපලාවන්‍යාගාරය කාර්යබහුල ව තිබු බවක් ද පවසමිනි.
ඔලිම්පික් නිය අලංකරණ කලාවේ පුරෝගාමිනිය
ඔලිම්පික් සැණකෙළි ඉතිහාසය නිය අලංකරණ කලාවෙන් වර්ණවත් වන්නට පටන් ගත්තේ 1988 දී සියෝල් නුවර පැවති ඔලිම්පික් උළෙලෙනි. ඒ අමෙරිකානු කෙටිදුර ධාවන ශූරී ‘ෆ්ලොරන්ස් ‘ෆ්ලෝ ජෝ‘ ග්‍රිෆිත් ජොයිනර්‘ නිය අලංකරණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමෙන් ලත් පරිණත අත්දැකීම් ඔලිම්පික් පිටියට හාපුරා කියා හදුන්වාදීමට තරම් ස්වාධීන හා එඩිතර විමේ ප්‍රතිඵලයක් ලෙස යි. එකී ඔලිම්පික් උළෙලේ දී කලින් පැවති වාර්තා කිහිපයක් ම බිඳහෙළමින් ඉතිහාසගත වාර්තා අතරට සිය නාමය නොමැකෙන ලෙස එක්කළ ජොයිනර්, සිය නමට ඉදිරියෙන් ඔලිම්පික් ඉතිහාසයේ නිය අලංකරණ කලාවේ පුරෝගාමිනිය ලෙස ද අමරණීය විශේෂණ පදයක් එක්කර ගත්තා ය.
එම ඔලිම්පික් සැණකෙළිය වෙනුවෙන් ම සිය නියපෙළ දීප්තිමත් රතු, නිල්, සුදු හා රන් පැහැයෙන් වර්ණගන්වා ක්‍රිස්ටල්වලින් හැඩකරගත් ජොයිනර්ගේ එම නිය අලංකරණ රටාව එවර ඇය දිනා ගැනීමට සමත් වූ රන් පදක්කම් ත්‍රිත්වයේ ගාම්භීරත්වය සමඟ කදිමට පෑහිණි. එවර සැණකෙළියේ දී ඇය ප්‍රකට කළ ඓතිහාසික දක්ෂතා අතරට එවකට ඔලිම්පික් තරග බිමට නවමු අත්දැකීමක් වූ විචිත්‍ර නිය අලංකරණ රටාව ද එකතු වනුයේ අනාගත ඔලිම්පික් ක්‍රීඩිකාවන්ට ද ඇය ගිය මඟ ම යන්නට පූර්වාදර්ශයක් හා පෙලඹවීමක් සපයමිනි. ඇගේ මරණයෙන් දශකයකටත් වැඩි කලකටත් පසු ව එනම් 2012 වසරේදි සී. එන්.එන්. පුවත් සේවයට ප්‍රකාශයක් දෙමින් ඇගේ සැමියා ‘ඇල්‘ ජොයිනර් පිළිබඳ මතකය මහත් ස්නේහයෙන් යුතු ව අවදි කළේ, ජොයිනර් හා නිය අලංකරණ කලාව අතර වන අවියෝජනීය සම්බන්ධයට විශේෂ තැනක් දෙමිනි.

“ මීටර සියයේ හරි දෙසියේ හරි ධාවන ඉසව්වකට සහභාගි වන, රුව අලංකරණ ආලේපන හා නිය ආලේපන තවරපු ක්‍රීඩිකාවක් දකින හැම මොහොතක ම ජොයිනර්ගේ මතකය අලුත්වෙනවා. ඇය ඇගේ ම ශෛලියකට ඒ අලංකරණ කටයුතු කළේ ඇගේ ධාවන වේගයට නොපරදින යුහුසුළු බවකිනුයි. “
පෞරුෂය ඔප්නංවන කෘත්‍රිම නියපොතු
ජොයිනර්ගේ සැමියා පැවසූවාක් මෙන් ජොයිනර් ආදර්ශයෙන් පණ ගැන්වුණු ක්‍රීඩාශීලිත්වයේ මෙම රූපාලංකරණ සත්කාරය, ඔලිම්පික් සැණකෙළි ඉතිහාසය පුරාවට ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ හිණි පෙත්තට ම ඉහළ නැංගේය. ඒ ඔලිම්පික් පිටියේ ප්‍රකට කරන සිය දක්ෂතාවන්ට අමතර ව, සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සිය අනන්‍යතාව දිදුළවීමට ලැබෙන එක් විසිතුරු රූප සෞන්දර්යාත්මක අංගයක් ලෙස සම්භාවනවෙට පාත්‍ර වෙමිනි. කෙල්සි රොබින්සන් හා හොංකොං ජාතික පිහිනුම්ශූරි කැමිල් චෙන්ග්ට අනුව සියලුදෙනා ම එකම නිල ඇඳුමකින් සැරසි, ක්‍රීඩා ඉසව්වන්ට සහභාගිවන අවස්ථාවක දී සෙස්සන් අතර තම අනන්‍යතාවත්, පෞරුෂයත්, ඉස්මතුකොට පෙන්විම සඳහා නිය අලංකරණ කලාවෙන් ලැබෙන්නේ ඉමහත් පිටුබලයකි.
විශේෂයෙන් එකම පන්නයේ පිහිනුම් ඇඳුමින්, හිස් හා ඇස් ආවරණවලින් සැරසුණු පිහිනුම් ක්‍රීඩිකාවන් අතර තමාට ම අනන්‍ය වු යමක් පෞරුෂය තුළින් විදහා දැක්විමට නිය අලංකරණ කලාව මහත් රුකුලක් වූ බව කෙල්සී පවසන්නී ය. මෙවර ඇගේ නිය පෙළ අලංකාර කරවූයේ ඔලිම්පික් වළලුත්, සත්කාරක රට වූ ජපානයේ ජාතික ධජයේත් හා මව්රට වු හොංකොංහී ජාතික ධජයේ දැක්වෙන ‘බවුනිඩියා‘ පුෂ්පයේත් සංකලනයකිනි. ඒ සියල්ලටමත් අමතර ව කෙල්සි තරග වදින පිහිනුම් ශූරතාව සංකේතවත් කිරීම සඳහා දිය රැළි සමඟ පොරබදින පිහිනුම් ක්‍රීඩිකාවන්ගේ ක්ෂුද්‍ර පරිමාණයේ රූපාවලියක් ද ඇගේ ජෙල් ඇක්‍රිලික් කෘත්‍රිම නිය මත නිර්මාණය කිරීමට ද ඇගේ නිය අලංකරණ ශිල්පිනිය වූ ‘නානා චෑන්ග්‘ නිර්මාණශීලී වී තිබුණා ය.

හොංකොංහි සුප්‍රකට නිය අලංකරණ රූපලාවන්‍යාගාරයක් වන ටින්ටඩ්හි නිර්මාතෘවරිය වන ‘කැරොල්‘ සේම එහි සේවයේ නියුතු චෑන්ග් ද පවසන්නේ ඔලිම්පික් පිහිනුම් ශූරී කැමිල් චෙන්ග් හා එක්ව වැඩ කරන්නට ලැබීම මහත් වූ භාග්‍යයක් සේ ම වරප්‍රසාදයක් ද වූ බව යි.
“කැරොල් සමඟ එක්ව වැඩකරන්නට ලැබිම මා ලද ලොකු ම භාග්‍යයක්. ඔලිම්පික් සැණකෙළිය කෙරෙහි මගේ හිතේ කවදත් තිබුණු උද්යෝගය මිශ්‍රිත අධ්‍යාත්මික සතුට, කැමිල් එයාගේ නිය පෙළත් එක්ක ඔලිම්පික් පිටියට ම රැගෙන ගියා.“
කැමිල් චෙන්ග්, කෙල්සි රොබින්සන්ට අමතර ව තවත් ඔලිම්පික් ක්‍රීඩිකාවන් රැසක් සිය මව්බිමේ නියෝජන නියපෙළ ඔස්සේ ඔලිම්පික් පිටියට රැගෙන ඒමට යුහුසුළු ව සිටියෝ ය. ඒ අතර ස්විස් ජාතික ටෙනිස් ක්‍රීඩිකා බෙලින්ඩා බෙනික් ස්විස් ජාතික ධජය සිය නිය මත ආලේප කරද් දී, රෝද මත ලිස්සා යාමේ දහතුන් හැවිරිදි බ්‍රසීල ජාතික ක්‍රීඩිකා ‘රයිසා ලීල්ද‘ ජාතික ධජයේ වර්ණවලින් සිය නිය පෙළ අලංකාර කොට ඔලිම්පික් පිටියට පිවිසියා ය. ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේ කිරුළු පළන් ජපාන ටෙනිස් ශූරි නයෝමි ඔසාකා ද සිය මව්බිමේ ගෞරවනීය වරප්‍රසාදය ලොවට ම පතළ කරමින් ඔලිම්පික් ගිනි සිළුව දැල්වුයේ, ජපාන ජාතික ධජයේ වර්ණවලින් නියපෙළ සරසා ගනිමිනි. ප්‍රංශ ජාතික ඉලක්කයට වෙඩි තැබීමේ ශූරි ‘මෙලනි කවුසි‘ ද අළු පැහැ පසුබිමක ප්‍රංශ ජාතික ධජයේ වර්ණ ඉස්මතු වන අන්දමේ නිය අලංකරණ රටාවකින් සැරසි සිටියා ය.

නියපොතු යනු වාසනාව කැන්දන යන්ත්‍රයක්ද ?
තවත් ඇතැම් ඔලිම්පික් ක්‍රීඩිකාවන්ට නිය අලංකරණය වාසනාව කැන්දන යන්ත්‍රයක් වූ බවක් පෙනෙන්නට තිබිණි. ඒ අතරින් කැපී පෙනුණේ පිලිපීන ජාතික බර එසවීමේ ශූරි හිඩ්ලින් ඩයස් ය. සිය නිය පෙළ රන් පදක්කම් රටාවකින් සරසා ගත් ඇය පිලිපීන ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දීමට තරම් අතිශයින් ම වාසනාවන්ත වූවා ය.ටයිකොන්ඩෝ මළල ක්‍රීඩිකා බ්‍රිතාන්‍ය ජාතික ජේඩ් ජෝන්ස් ද සිය නිය පෙළ රන් පදක්කම් රටාවකින් සරසා ගනිමින් මෙවර ඔලිම්පික් පිටියේ ජයග්‍රහණයේ වාසනාව සෙවු ක්‍රීඩිකාවක ලෙස කැමරා කාචවල සටහන්ව තිබිණි.
කලින් සඳහන් කළ කෙටිදුර ධාවන ශූරි ඈෂර් ස්මිත් ද නිය අලංකරණ ශිල්පිණි ගිල්මෝ හා එක් ව සිය ඊළඟ ධාවන වටය සදහා තෝරා ගෙන තිබුණේ වාසනාවේ සංකේතයක් නිරූපණය කළ නිය අලංකරණ රටාවකි. ජපාන සම්ප්‍රදායන්ට අනුව එරට කොකුන් වාසනාව කැන්දන බවට පිළිගැනිමක් ඇති බව දැන ගත් ගිල්මෝ ජපාන දාගබ්, හා චෙරි මල් සහිත පසුබිමක කොක්කු රෑනක් ඈෂර් ස්මිත්ගේ නිය පෙළ මත නිර්මාණය කර තිබුණේ කලින් සඳහන් කළ ඔලිම්පික් වළලු දැක්වෙන නියපෙළට අමතර ව ය. නියපොතු යනු වාසනාවේ සංකේතයක් බවට ගිල්මෝ තුළ වන්නේ දැඩි විශ්වාසයකි.

“ මට නම් නියපොතු කියන්නේ වාසනාව උදාකරන්න වෙනත් අය පළඳින මාලයක් හෝ මුද්දකට වඩා වැඩි දෙයක් නෙවෙයි. නියපොතු කියන්නේ ඇත්තට ම වාසනාවේ සංකේතයක්.“
නියපෙළ ගැන තමන් තුළ වන දැඩි විශ්වාසය එලෙස පළ කරන ගිල්මෝ, ඈෂර් ස්මිත්ගේ වෙහෙසකාරි ධාවන තරගවලට උචිත වන අයුරින් මැලියම් ආධාරයෙන් පහසුවෙන් ඇලවිය හැකි විශේෂිත නියපොතු නිර්මාණය කිරීමට සැලකිලිමත් ව තිබුණා ය. වෙහෙසකාරී තරගවලදි නිය පෙළ මත එල්ලවන පීඩනය හමුවේ පහසුවෙන් ගැලවී නොයන අන්දමිනුත්, කඩිනමිනුත් ඒවා ඇලවිම කෙරෙහි ගිල්මෝ වැනි නිය අලංකරණ ශිල්පීහු විශේෂයෙන් සැලකිලිමත් වෙති.
විශේෂයෙන් ම ජලය හා සම්බන්ධ පිහිනුම් හා ඔරු පැදීමේ ක්‍රීඩා තරග සදහා සහභාගි වන ක්‍රිඩිකාවන් සඳහා කෘත්‍රිම නියපොතු නිර්මාණය කිරීමේ දී පහසුවෙනුත්, සවිමත් ලෙස ඇලවිය හැකි අයුරිනුත් ඒවා නිර්මාණය කිරීම අතිශයින් ම වැදගත් බව පවසන්නේ අමෙරිකානු කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම වෙනුවෙන් නියපොතු නිර්මාණය කරදුන් ‘මැනිමී‘ රූපලාවන්‍යාගාරයේ නිර්මාතෘවරිය වන ජෝයුන් සෝන්ග් ය. වාසනාව වේවා, සුන්දරත්වය වේවා, තම පෞරුෂය හුවා දක්වන සංකේතයක් හෝ දේශමාමකත්වයේ සංකේතයන් යන මේ කවර අරමුණු වෙනුවෙන් හෝ ක්‍රිඩිකාවන් නිය අලංකරණය යොදා ගත්තද කැමිල් චෙන්ග් වැනි ක්‍රිඩිකාවන්ට නම් එය දුෂ්කර වූ පුහුණුවකට හා වෙහෙසකර කාලයකට පසුව ලැබෙන එක්තරා ආකාරයක සුවපහසුව ගෙනදෙන වරප්‍රසාදයක් බදු වු සනිපදායක සත්කාරයකි. ඒ නිසා ම එවැන්නන්ට එය එක්තරා ආකාරයක චාරිත්‍රයක් ද වී ඇති සෙයකි.