හැමදාම ඔබේ දවසත් පටන් ගන්නේ එලාම් ඔරලෝසුව සමඟ සටනකින් ද? මෙම අරගලය ඔබට පමණක් යැයි සිතෙනවා වන්නට පුළුවන්. නමුත් කණගාටු වෙන්න එපා. සෑම උදෑසනකම මෙම සටනේ යෙදෙන මිලියන ගණනක් දෙනා අතරින් ඔබ එක් අයෙක් පමණයි. මේ අය කම්මැලියන් ලෙස සමහරු හඳුන්වනවා. එහෙත් නින්ද පිළිබඳ පර්යේෂණ කරන වෛද්‍ය විශේෂඥයින් ඊට විරුද්ධයි. ඔවුන් කියන්නේ නින්දෙන් අවදි වීමේ අපහසුතා ඇති අය දැනට ලබන නින්දට වඩා හොඳ නින්දක් අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවයි.
කාන්තාවන්ට පමණක් වැළඳෙන සොයා ගත නොහැකි රෝග
වෙහෙස, විඩාපත් බව, ආතතිය ආදී විවිධ හේතු දක්වමින් තමන් වෙත පැමිණෙන කාන්තාවන් දහ දෙනෙකුගෙන් අට දෙනකු ගැන තමන්ට කිසිම රෝග ලක්ෂණයක් සොයා ගැනීමට නොහැකි වන බව වෛද්‍යවරු පවසති. ඔවුන්ගේ හෘදය වස්තුව, පෙනහළු, වකුගඩු පිළිබඳ පරික්ෂා කර බැලුව ද ඒවායේ කිසිම දොසක්, ආබාධිත තත්වයක් අනාවරණය කරගත නොහැකි බවත් එසේ වුව ද එම කාන්තාවන් නිතරම තමන් ඉතා අසරණ රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මැසිවිලි නගන බව වෛද්‍යවරු පවසති.
මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරුන්ට කළ හැක්කේ විටමින් පෙති කීපයක් ලබා දී කාන්තාවන්ට කිසියම් මානසික සුවයක් ලබා දීම පමණකි. එහෙත් ඒවායින් ද ඔවුන් සුවයක් ලබන්නේ නැත. වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ ඔවුන් බොහෝ විට වර්තමානයේ ඉතා විශාල ලෙස ව්‍යාප්තව ඇති වෙහෙසට පත් ගෘහණියන්ගේ සින්ඩ්‍රෝමයේ ගොදුරු බවට පත්ව සිටින බවයි.
නින්දට වයස් බේදයක් නැත
සොයාගැනීමට රෝග නිධානයක් නැති එහෙත් රෝගී ස්වභාවයක් ගැන පැමිණිලි කරන වයස අවුරුදු 20 සිට 86 දක්වා වූ කාන්තාවන් පිරිසක් තෝරා ගත් වෛද්‍ය ටිලර් ඔවුන් ගැන වැඩිදුරටත් සොයා බැලුවා. ඔවුන් කෙතරම් පැය ගණනක් නිදා ගන්නේ ද නිතරම රාත්‍රී කාලයේ නින්ද අතර මැද දී අවදි වන්නේ ද? එසේ අවදි වූ පසු යළි නින්දට වැටීම ඔවුනට අපහසු කාරණයක් ද? එවැනි ප්‍රශ්න තම රෝගීන්ගෙන් විමසූ වෛද්‍ය ටිලර් ඔවුනට පැවසුවේ තම තමන්ගේ නින්දේ රටාවන් පිළිබඳ දෛනික සටහන් තබා ගන්නා ලෙසියි. එමෙන්ම වෛද්‍ය රෝගීන්ගේ සමීපතම ඥාතීන් ගෙන් ද රෝගීන් ගේ හැසිරීම් රටා පිළිබඳ ප්‍රශ්න කිරීමට අමතක කළේ නැත. වෛද්‍ය ටිලර් තමන් ලබාගත් දත්ත සියල්ල පරිගණක ගත කළේය. අනවශ්‍ය කාරණා හා දත්ත සියල්ල ඉවත් කළ පසුව පෙනී ගියේ තරුණ හා මහලු කතුන් සියලු දෙනාට වයස් භේදයකින් තොරව නින්ද ලැබීම අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇති බවය.
පිරිමින්ට හොඳ නින්දක් ලැබෙන්නත් ගැහැණුන්ට හොඳ නින්දක් නොලැබෙන්නත් හේතු
පිරිමින්ට වඩා වැඩියෙන් කාන්තාවන් වෙතින් මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබඳ පැමිණිලි ලැබී ඇත. ඊට මූලික කාරණයක් වන්නේ ගැහැනුන් හා පිරිමින් අතර නින්දේ දී ඇති ඉතාමත් පැහැදිලි වෙනස්කම් ය. පිරිමි තම රැකියාවට අදාළ ගැටළු කාර්යාලයේ හෝ කර්මාන්ත ශාලාවේ ගේට්ටුව අසල තබා පැමිණෙති. එහෙත් ගෘහණියෝ රාත්‍රී කාලයේදී පවා තම රැකියා ස්ථානය වූ ගෘහය තුළම ජීවත් වෙති.
රාත්‍රියේ නැගෙන කුඩා ශබ්දයකින්, දරුවකුගේ කෙඳිරියකින්, සැමියාගේ ගෙරවීම නිසා වහා අවදි වෙති. සැමියකු කිසියම් හඬකින් රාත්‍රියේදී අවදි වුවහොත් ඒ පිළිබඳව විමසා බලා අතුරු ආන්තරාවක් නොමැති බව අවබෝධ කර ගත් වහා ඔහු යළි යහනට වැටී ඉක්මනින් නින්දට යයි. පිරිමින්ගේ ස්වභාවයයි. එහෙත් කාන්තාව එසේ නොවේ. අවදි වූ කාන්තාවකට පිරිමියාට තරම් පහසුවෙන් නින්ද ළඟා වන්නේ නැත. එසේම සම්පුර්ණයෙන් නින්දක් ලබා සුවසේ පිබිදීමට ද පිරිමි අයෙකුට මෙන් කාන්තාවකට නොහැකිය.
ආහාර පිසීම ආදී ගෘහස්ථ වැඩ කටයුතු වලින් ලබන පීඩනය මවක ලෙස හා ගෘහයේ බඩු මුට්ටු මිලට ගනිමින්, සැමියාගේ සහායිකාවක ලෙස ආදී විවිධාකාරයෙන් හැසිරෙමින් ලබන පීඩනය මෙසේ නින්ද පහසුවෙන් නොලැබී යාමට හේතු කාරක වෙයි. දිගින් දිගටම මෙසේ අඩු නින්දක් ලැබීම මාංශ පේශිවල ක්‍රියාකාරිත්වයට මෙන්ම මනසටද බලපාන අතර එනිසාම ඇයට අවිවේකී වෙහෙසකාරී විඩාපත් බවක් දැනෙන්නට වෙයි.
නින්ද හරියාකාරව නිමා නොවන්නේ ඇයි?
එයට හේතු සෙවීම නම් මඳක් අපහසු කාර්යයක්. එක්තරා නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන තැනැත්තියක් ගැන වෛද්‍යවරුන්ට කරුණු සොයා ගන්න අපහසු වුණා. කිසිම දවසක රාත්‍රියේ නින්ද ඇය වෙත ළඟා වුණේ නැහැ. පසුව මේ පිළිබඳව හෙළිදරව් වුණා. සැමියාගේ ගෙරවීම නිසා ඇය එක් රැයකදී 300 වතාවක් පමණ අවදි වී තිබෙනවා. මේ කරදරය ඉවසාගත නොහැකිව ඇගේ මනස ඇයටත් නොදැනීම නින්ද ප්‍රතික්ෂේප කළා.
අපට සුව නින්දකට බාධා කරන කරුණු බොහෝ යි. අපි ගණනකටවත් නොගන්නා දේවල් වලින් අපේ නින්දට කරන බාධා අති විශාලයි. සමහර විට කාමරයේ අධික උණුසුම හෝ දැඩි සීතල ඔබේ නින්දට බාධාවක්. නින්දට අවශ්‍ය හොඳම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 59 – 72 ත් අතර බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. මඳ ආලෝකය සහිත කාමරයක නින්ද බාධා සහිත බව ඔවුන්ගේ මතයයි. ශබ්දය ද මෙසේ ඔබ නොදැනුවත්වම ඔබේ නින්දට බාධා කළ හැකි දෙයක්. පමණට වඩා කැෆේන් අඩංගු දෑ පානය කොට නින්දට යෑම නිසා පසුදාට අවදි වීමේ අපහසුවක් දැනෙන වග මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිග්‍රහ කරවූ පවසනවා. ඇගේ මතය අනුව කිරි මිශ්‍ර කෝපි බීම නින්දට හානියක් නෙවෙයි. මත්පැන් හා නිදිපෙති නිසාත් අවදි වීමේ අපහසුතා ඇති වන වග පැවසෙනවා.
එකවර දිගු නින්දක් ලැබීම යෝග්‍යයි
දහවල කෙටි නින්දට පුරුදු නොවී දිනපතා නින්දට යන වේලාව හා අවදි වෙන වේලාව නියමිත ආකාරයට පවත්වාගෙන යාම ඉතාම වැදගත්. අවදි වූ වහාම ඉතා ප්‍රියජනක කාර්යයක යෙදීම සුදුසුයි. නිතිපතා මෙසේ කිරීමෙන් නින්දෙන් අවදි වීම ඔබට ඉතා ප්‍රියජනක දෙයක් වෙනවා. විඩාව ද කෝපය ශෝකය විරහව වැනි දෑ ද අවදි වීමේ අපහසුවට හේතු කාරක වන බව වෛද්‍යවරු පවසනවා. එවන් අවස්ථාවල අවදිය ඉබේටම ඇති වන තුරු නිදා ගැනීම සුදුසු බව ඔවුන්ගේ නිර්දේශයයි. නින්දෙන් ගොරවන අය ද සුව පහසුව නින්ද ලබන අය නොවෙයි. මේ බොහෝ දෙනාට ඇත්තේ මහත ගෙලක් හා පටු ශ්වාසනාලයක්. මෙවැන්නන්ට වෛද්‍යවරු දෙන මුල්ම උපදෙස සිරුරේ බර අඩු කරගන්න කියලයි.
සුව නින්දෙන් කාර්යක්ෂමභාවය වැඩි කර ගත හැකියි
දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේදී බ්‍රිතාන්‍යයේ සෑම තැනකම ශ්‍රම හිඟයක් පැවතුනා. නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සතියකට වැඩ කරන පැය ගණන 70 දක්වා වැඩි කෙරුනා. එහිදී නිෂ්පාදන කටයුතු පවා අඩාල වූ අතර කාර්යක්ෂම ව වැඩ කිරීමට ජනතාවට නොහැකි වූයේ වෙහෙස නිසාවෙනි. සතියකට වැඩ කරන පැය ගණන හැට පහ දක්වා අඩු කළ විට නිෂ්පාදනය වැඩි වීමක් දැකිය හැකි වූයේ ය. ඊළඟට වැඩ කරන පැය ගණන 60ක් දක්වා අඩු කළ අතර නැවතත් නිෂ්පාදනය ඉහළ ගියා. සතියකට වැඩ කරන පැය ගණන 54 දක්වා අඩු කළ විට උපරිම ප්‍රතිඵල ලැබුනා. ඉන් ලබා ගත හැකි පාඩම නම් අප විවේකීව සුව නින්දක් ලබමින් වැඩ කරන විට එක දිගට පැය ගණනක් වැඩ කරනවා ට වඩා කාර්යක්ෂම ව වැඩ කළ හැකි බවය.
නින්ද ගැන අප පමණට වඩා සිතන්නේ නැති වුවත් කාර්යක්ෂමභාවය ගැන උනන්දු වන අය අනිවාර්යයෙන්ම නින්ද ගැන සිතිය යුතුයි. දීර්ඝ පැය ගණනක් තිස්සේ කරන වැඩ කොටස ම විවේකීව සුව නින්දක් ලැබීමෙන් පසු අඩු පැය ගණනක් ඇතුළත නිම කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. දරුවෙකුට වුව නීති පනවා පාඩම් කිරීමට යොදවනවාට වඩා ඔහුට විවේකීව ඉන්නට හොඳ නින්දක් ලබන්නට ඉඩ දී කෙටි කාලයක් පාඩම් වැඩවල යෙදවීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත් කර ගන්නට හැකි බව ඉන් ඔබට උගෙනගත හැකි පාඩමයි.
නින්ද නොයාමේ රෝගය තවත් එකකි. එහි දී ඔබ නින්දට බාධා කෙරෙන සියලු පුරුදු වලින් වැළකිය යුතු අතර අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. අවශ්‍ය නින්දේ ප්‍රමාණය හා රටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නින්ද පිළිබඳ සටහන් කරමින් කුමන වේලාවට කොයි තරම් පැය ගණනක් නින්දට වැය කළ විට වඩාත් කාර්යක්ෂමව වැඩ කළ හැකිද යන්න ඔබටම ඔබේ අත්දැකීම් වලින් වටහා ගත හැකි වනු ඇත. නින්ද අත්‍යවශ්‍යම දෙයක් බව අප වටහා ගත යුතුය. පිළිගත යුතුය.
Cover image – huffingtonpost.com
මුලාශ්‍ර:
psychologytoday.com