සටන් කිරීමේ නිදහස පතා මවු රට හැර ගිය පළමු ඉරාන බොක්සිං ක්‍රීඩිකාව

ප්‍රංශයේ නිරිතදිග වෙරළ තීරයේ ‘රොසාන්‘ හි පිහිටි බොක්සිං ක්‍රීඩා සමාජයේ සතියකට රාත්‍රීන් තුනක් බැගින් සඩාෆ් කාඩෙම් බොක්සිං පුහුණුවේ යෙදෙයි. ඉරාන ජාතික බොක්සිං ක්‍රීඩිකාවක් වන කාඩෙෆ්ගේ පැතුම වී තිබෙන්නේ දිනෙක වෘත්තීය මට්ටමේ බොක්සිං ක්‍රීඩිකාවක වීම ය.

ඇගේ ඒ සිහිනය ඉටුකර ගැනීම වෙනුවෙන් කාඩෙෆ්ට ගෙවන්නට සිදුව ඇති මිල ඉතා ඉහළ ය. තවදුරටත් ඇයට සිය මවු රටේ විසීමට අවසරයක් නැත්තේ ඈ අත්අඩංගුවට ගැනීමට ඉරාන බලධාරින් වරෙන්තු නිකුත් කර ඇති බැවිනි. තෙවසරකට ආසන්න කාලයක සිට ඇය මවුරටින් බැහැර ව ප්‍රංශයේ විප්‍රවාසී ජීවිතයක් ගත කරමින් සිටින්නේ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් සිය නිදහස උකසට තබා ය.

ඉරානයෙන් ප්‍රංශ බොක්සිං වළල්ලට

ටෙහෙරාන් නුවරදී හාපුරා කියා බොක්සිං ක්‍රීඩාවට නැඹුරුවූ සඩාෆ් පුහුණුවීම් කටයුතුවල යෙදුණේ හොර රහසේ ය. ඒ ඉරානයේදී කාන්තාවන්ට බොක්සිං ක්‍රීඩාව අකැප වූවක් බැවිනි. කෙතරම් දුක් කම්කටොළු මැද වුවද ඇය ක්‍රීඩාව කෙරෙහි දැක්වූ ඇල්මේ අඩුවක් සිදුවූයේ නැති නිසාම දන්නා හඳුනන අයගේ මාර්ගයෙන් රොයාන් නුවර පැවැත්වෙන බොක්සිං ක්‍රීඩා තරගයකට සහභාගි වීමට සඩාෆ් කෙසේ හෝ අවස්ථාව හිමිකර ගත්තා ය.

සඩාෆ් කාඩෙම් රොයාන් හි පැවති තරගයෙන් හිමි කරගත් කුසලානය ඇතිව – www.guardian.com

තරගය සංවිධානය කිරීමේ වගකීම භාර ගත්තේ රොයාන් නුවර ප්‍රාදේශීය බොක්සිං ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වන ෆ්‍රෑන්ක් වුයිස් ය. හිටපු බොක්සිං ක්‍රීඩකයෙක් මෙන්ම ප්‍රජා නායකයෙක් ද වූ ඔහුගේ ක්‍රීඩා සමාජයේ සිටි බොක්සිං ක්‍රීඩකයන් අතරින් 40% ක් ම නියෝජනය කළේ කාන්තාවන් ය. සඩාෆ්ට ඉරානයේ සිට බොක්සිං ක්‍රීඩා තරගය සඳහා ප්‍රංශය බලා ඒමට ගුවන් ගමනට වැයවන සියලු බරපැන දැරුවේ ද ෆ්‍රෑන්ක් වුයිස් ය. මෙම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් එක්දහස් පන්සියයකට අධික පිරිසක් පැමිණ සිටි බව කියන්නේ වුයිස් ය.

“ සඩාෆ්ට උදව් කරන්න මං ඉදිරිපත් වුණේ කැමැත්තෙන්ම යි. ඉරාන කාන්තාවන්ට ඒ රටේදී බොක්සිං ක්‍රීඩා කරන්න අවසරයක් නැහැ. බොක්සිං තියා අපි කවුරුත් දන්නවා ඉරානයේදි කාන්තාවන්ට විඳින්න සිදුවෙලා තියෙන ගැහැට. දැනටමත් හිජාබ් අරගලය නිසා කී දෙනෙක් නම් මිය ගිහිං තියෙනවාද?“

ෆ්‍රෑන්ක් වුයිස් – www.bbc.com

ඔඩු දිවූ ඉරාන විරෝධතා

වුයිස් එලෙස පවසන්නේ ඉකුත් සැප්තැම්බරයේ දී සිදුවූ විසි දෙහැවිරිදි ඉරාන තරුණියගේ මරණයත් සමඟ එරට උද්ගත ව තිබෙන දැවැන්ත සමූහ විරෝධතා ගැන ය. හිජාබය නිවැරදි ව නොපැළඳීම නිසා ඉරාන සදාචාර පොලිසිය අත්අඩංගුවට ගත් මාහ්සා ආමිනි පොලිස් අත්අඩංගුවේදී මියයාමේ සිද්ධිය මෙම දැවැන්ත උද්ඝෝෂණවලට නිමිත්ත වී තිබේ.

එකී විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස විරෝධතාකරුවන් සිය ගණනක් ද, ආරක්ෂක සේවයේ නිලධාරින් රැසක් ද මියගොස් ඇති බවට මානව අයිතීන් උදෙසා වූ සංවිධාන හඬ නඟයි. ඒ අතර ප්‍රචණ්ඩකාරි විරෝධතාවල නියැළි බවට චෝදනා ලැබ මරණ දණ්ඩනයට ලක්වූ සිව්දෙනෙක් ද සිටිති. සඩාෆ් කාඩෙම් බොක්සිං ක්‍රීඩාව තෝරා ගන්නේ කාන්තාවන්ට එතරම් කටුක ලෙස සලකන රටකදී ය.

සඩාෆ්, රොයාන් හි පැවති බොක්සිං තරගයෙන් ලද ජය සමරමින් – gettyimages.com

ප්‍රංශයේ රොයාන් නුවර පැවැත්වුණු බොක්සිං තරගයෙන් ජය ගත් සඩාෆ් කාඩෙම්ට අසුබ ආරංචියක් කන වැකෙන්නේ මවු රට බලා යළි ඒමට ගුවන් තොටුපළට ගිය විට දී ය. ඒ හිජාබය නොපැළඳ බොක්සිං ක්‍රීඩා කිරීමේ වරදට තමා අත්අඩංගුවට ගැනීමට ඉරාන බලධාරින් සූදානම් ව සිටින බව යි. මවු රට බලා යාමේ බලාපොරොත්තුව අත්හැර දැමූ කාඩෙෆ්ගේ ජීවිතය එවක් පටන් ගෙවුණේ ප්‍රංශයේ ය.

පළමු ඉරාන ජාතික බොක්සිං ක්‍රීඩිකාව

“ ඉරානයේ තියෙන තත්වය ගැන මං හොඳින් ම දන්නවා. දැන් මගේ නිවහන වෙලා තියෙන්නේ ප්‍රංශය යි. පළමු ඉරාන ජාතික බොක්සිං ක්‍රීඩිකාව වන සඩාෆ් කාඩෙම් වීම නිසා මට ලොකු මිලක් ගෙවන්න සිද්ධ වුණා. නමුත් මං කවදාවත් අහන්නේ නැහැ ඇයි මටම මෙහෙම වුණේ කියලා…..“ සඩාෆ් කිය යි.

රොයාන් ප්‍රාදේශීය මන්ත්‍රී ‘ක්‍රිස්ටොෆ් ප්ලැසාර්ඩ්ගේ‘ සහාය ද සඩාෆ්ට හිමිවීම විශේෂත්වයකි. ඇයට ප්‍රංශයේ පුරවැසිභාවය ලබාදීම සඳහා ප්ලැසාර්ඩ් වෙසෙසින් උත්සාහ දැරුව ද, මෙතෙක් එය සාර්ථක වී නැත්තේ සඩාෆ් ප්‍රංශයට පැමිණ තවමත් ගතව ඇත්තේ වසර තුනක් පමණක් නිසා ය.එහි පුරවැසිභාවයට ඉල්ලුම් කිරීමට නම් අවම වශයෙන් ප්‍රංශයේ වසර පහක්වත් ගතකර තිබීම අත්‍යවශ්‍ය ය.

“මං උත්සාහය අත්හැරලා නැහැ. සඩාෆ් ප්‍රංශ පුරවැසිභාවය ලැබීමට සුදුසු කෙනෙක්. එයාගේ බොක්සිං ක්‍රීඩා ශෛලිය අද්විතීයයි.“

ප්ලැසාර්ඩ්, සාඩෙෆ් ගැන එලෙස කියන්නේ ඉමහත් ගර්වයෙන් යුතු ව ය. සඩාෆ්ගේ ක්‍රීඩා ශෛලිය සේ ම ඇගේ ඇඳුම් පැළඳුම් හා හැසිරීම් රටාවෙන් ද පළ වන්නේ අභියෝගාත්මක බවකි. ඉරානයේ දී නම් අත්අඩංගුවට වුවද ගැනීමේ අවදානමක් සහිත ඇගේ මේ හැසිරීම් රටා හා පුරුදු ගැන ඉරානයේ සිටින ඇගේ අනුගාමිකයන් තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි.

සඩාෆ් ප්‍රංශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් – www.bbc.com

“හැමදාම මගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට වගේම විද්‍යුත් තැපෑලටත් පණිවිඩ හුඟක් ලැබෙනවා මාව අගය කරන අයගෙන්. ඒ හැමෝ ම වගේ කියන්නේ එකම දෙයක්. ඒ එයාලට මං ජීවත් වෙන විදිහ නිසා ලොකු පිටුබලයක්, ධෛර්යයක් ලැබෙනවා කියලයි. ඒ වගේ පණිවිඩවලින් මට ලැබෙන්නේ ලොකු සතුටක්. මං අනෙක් අයට ආදර්ශයක් කියලා දැනගන්න ලැබෙන එක මට ලොකු සතුටක්.“

බොක්සිං ක්‍රීඩාවෙන් අලෙවි ප්‍රවර්ධනයට

බොක්සිං ක්‍රීඩාවේ නියැළෙන්නේ නැති කාලය සඩාෆ් වෙන්කොට තිබෙන්නේ අලෙවි ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් ලබා ගැනීමේ අධ්‍යාපන කටයුතු සඳහා ය. ඇගේ ඉගෙනුම් කටයුතුවලට සහාය වීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් ව සිටන්නේ වෘත්තීයෙන් ගුරුවරියක වන ‘කොරින් හුවෙට්’ය. හුවෙට් පවසන්නේ සඩාෆ් වැන්නවුන්ට පොදුජන සමාජයේ සහයෝගය හා උපකාරය විශේෂයෙන් හිමි විය යුතු බව ය.

බොක්සිං ක්‍රීඩාවට ඇති ඇල්ම නිසාවෙන් මවු රට හැරදැමූ සඩාෆ්ට ඒ නිසා ම තම මවගේ මරණ මංචකය අසල රැඳී සිටීමේ අවස්ථාව පවා ගිලිහී ගොස් තිබේ. සිය මව කොවිඩ් රෝගයෙන් මරණාසන්නව සිටින විටදී හෝ සඩාෆ්ට ඉරානය බලා ඒමට හැකියාවක් තිබුණේ නැත.

සඩාෆ් සිය බොක්සිං පුහුණුකරු සමඟ – gettyimages.com

බොක්සිං ක්‍රීඩාව නිසා අහිමි වූ දේ

ඇයට වසරකට වරක් පමණක් සිදුකෙරෙන සිය පියා හා සොහොයුරියගේ හමුවීම සිදු කරන්නට සිදුව ඇත්තේ ඩුබායි හි දි හෝ තුර්කියේදී ය. බොක්සිං ක්‍රීඩාව නිසා අහිමි වූ දේ නිසා ම සඩාෆ් තමා වැනි නිදහස පතා සටන්වදින ඉරාන සොයුරු සොයුරියන්ට උපදෙස් ලබාදීමට මැලි වන්නී ය. ඉරානයේ තිබෙන අවදානම් සහගත තත්ත්වය ඇගේ ඒ පැකිලීමට තවත් එක් හේතුවකි.

“මං ඉරානයේ ඉන්නකොට නොතිබුණු හයියක් මට ලැබුණේ මං ප්‍රංශයට ආවයින් පස්සෙයි. වඩාත් වැදගත් වෙන්නේ මේ රටේ මනුෂ්‍යත්වයට ලබාදීලා තියෙන නිදහසයි. ඉරානයේ පවතින රජය නිසා මානව අයිතීන් පවා උල්ලංඝණය වෙලයි තියෙන්නේ.“

එසේ කියන සඩාෆ්ට යළි කවදා මව් රට බලා යාමට ලැබේ ද යන්නට ඇත්තේ අවිනිශ්චිතතාවකි. මන්ද ඇය අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු තවමත් අත්හිටුවා නැති නිසා ය.

කවරයේ ඡායාරූපය : පළමු ඉරාන ජාතික බොක්සිං ක්‍රීඩිකාව, සඩාෆ් කාඩෙම් - gettyimages.com
මුලාශ්‍ර :
The boxer who fled Iran seeking the freedom to fight – www.bbc.com
Boxer Sadaf Khadem defies Iran's regime with her fists - www.lemonde.fr
From Iran to France, how Sadaf Khadem became a boxer and champion of women’s rights - www.arabnews.com

Related Articles

Exit mobile version