මේ වෙද්දී, පිරිසුදු ජලය සහ කාබනික ආහාරවල අවශ්‍යතාව අපේ අවධානයට ලක්වෙලා තිබෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. නමුත් අපි හුස්ම ගන්නා එහෙම නැති නම් ආශ්වාස කරන වාතය ගැන සහ එහි ගුණාත්මක භාවය ගැන අපිට කියන්න පුළුවන් මොනවාද?
සාමාන්‍යයෙන් මිනිසකුට දින 30කට ආසන්න කාලයක් ආහාර නොගෙන දිවි රැක ගන්නට හැකියාව තිබෙනවා, දින 3ක් පමණ ජලය පානය නොකර ජිවත් වෙන්නත් හැකියාව තිබෙනවා. එහෙත් හුස්ම නොගෙන සාමාන්‍ය මනුෂ්‍යයකුට විනාඩි 3කට වඩා වැඩි කාලයක් දිවි රැක ගන්නට හැකි වෙන්නේ නැහැ. වාතය, ඒ තරම් ම මිනිසකුට දිවි රැක ගන්නට වැදගත්. දිනකට අපි වැඩිපුරම පරිභෝජනය කරන්නේ වාතය කියලා හැඳින්වුවොත් එහි වරදක් නැහැ. එය ආසන්න වශයෙන් ගැලුම් 2000කට වැඩි යි.
ප්‍රධාන වශයෙන් ගත්තොත් දිනෙන් දින වැඩි වර්ධනය වන නාගරීකරණය, පොසිල ඉන්ධන දහනය සහ කෘෂි ව්‍යාපාර වැනි මානව ක්‍රියාකාරකම් නිසා ම ලොව පුරා වායු දූෂණය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව රහසක් නම් නෙවෙ යි. ඒත් දුමාරය, දුම්කොළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලින් පරිසරයට නිකුත් වන දුම් වගේ ම ගෘහාශ්‍රිත නිෂ්පාදන නිසාත් සිදුවන වායු දුෂණය, ප්‍රමාණාත්මක ව ගත් විට එළිමහන් වායු දූෂණයට වඩා වැඩි බව පුදුමයට කරුණක් බව නම් කිව යුතුම යි.
අද වන විට නාගරීකරණය 21 වැනි සියවසේ ප්‍රමුඛ හා ජනප්‍රිය ම ජනවිකාස ප්‍රවණතාවක් බවට පත්වෙලා තියෙනවා. 2018 දී ලෝක ජනගහනයෙන් 55% ක් පමණ නාගරික ප්‍රදේශවල පදිංචි සිටි බවට වාර්තා වෙනවා. ඒවගේම මේ ප්‍රමාණය 2050 වන විට 68% දක්වා වැඩි වේවි කියලා දැනට ම පුරෝකථනය කර තිබෙනවා. ඒ වගේම මේ වර්ධනයෙන් වැඩි ප්‍රමාණයක් ආසියාවේ සහ අප්‍රිකාවේ සංකේන්ද්‍රණය වී තිබේවි කියාත් අනුමාන කෙරෙනවා.
ඉතින්, අපි තනි පුද්ගල සහ සාමූහික මට්ටම් දෙකෙහි ම වාතයේ ගුණාත්මකභාවය වටා නැඟී එන මේ බරපතල ගැටලු විසඳන්නේ කොහොම ද? විශේෂයෙන් එහිදී අපේ අවධානය යොමු කළ යුතු අංශ මොනවා ද?
මේ කාරණා සහ ගැටලු පිළිබඳව විශේෂඥයකුගේ උපදෙස් කිහිපයක් මෙන්න.
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය කෙබඳු ද?
Indoor Air Quality (IAQ) එහෙම නැති නම් ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවයට බලපාන සාධක බොහොමයක් තිබෙනවා. ඒ අතර ඇතුළත වාතාශ්‍රය, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, දූෂක සාන්ද්‍රණය, වාෂ්පශීලී කාබනික සංයෝග – VOC (volatile organic compounds) ඇතුළු විවිධ සාධක ගණනාවක් තිබෙනවා. ඊට අමතර ව පුස් සහ පිසින උදුනේ දුම වැනි සංරචක මෙයට බලපාන බවත් කියන්නම ඕනේ. කෙසේ වෙතත්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජාතිකත්වය සහ සංස්කෘතිය වැනි සාධක පවා පුද්ගලයෙක් වාතයේ ගුණාත්මක බව වටහා ගන්නා ආකාරය කෙරෙහි බලපාන බව කියවෙනවා.
වරලත් ගොඩනැඟිලි සේවා ඉංජිනේරු, Cassie Koelmayer පවසන්නේ වර්ධනය වන නාගරීකරණය සහ විශේෂයෙන් වසංගතය තත්ත්වය වැනි කරුණු හේතුවෙන් වෙන කවරදාටත් වඩා වාතාශ්‍රය සහ එහි ගුණාත්මක භාවය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් බව යි.
“Covid ව්‍යාප්තියට මූල සහ මාර්ගය යන දෙක ම වාතාශ්‍රය යි. වාතාශ්‍රය COVID පාලනය කරන බව කිව්වත් එය නිවැරදි යි. ඇත්ත වශයෙන් ම, ඔබට ගොඩනැඟිල්ල ඇතුළත COVID වලක්වා ගැනීමට අවශ්‍ය නම්, ඔබ දුරස්ථභාවය සහ එහි ඉතිරි සියල්ල බැලීමට පෙර ඔබ මුලින් ම ගොඩනැඟිල්ලේ වාතාශ්‍රය දෙස අවධානය යොමු කළ යුතුම යි”
එහෙත්, ශ්‍රී ලංකාවේ, වායු සමීකරණ ගෘහස්ථ අවකාශයන්හි අවශ්‍යතා හෝ IAQ සම්බන්ධයෙන් නියම කර ඇති රජයේ කේත පිළිබඳව මහජන දැනුම්වත් කිරීමක් නොමැති තරම් යයි කිව්වොත් නිවැරදියි. මේ නිසා ම පොදු නාන කාමර සහ නාගරික ජීවන අවකාශ තුළ පුස් වැනි භයානක ද්‍රව්‍ය පැතිරීම සාමාන්‍යකරණය කිරීමට එය හේතුවක් ව තියෙනවා.
ඔබට පුස් පාලනය කළ හැකියි
Koelmayerට අනුව පුස් වර්ග ඇතිවීම හා පැවතීම සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් පවතිනවා.
- පුස් හටගන්නා බීජානු වැනි දෑ වාතයේ තිබිය යුතු යි.
- තෙතමනය
ඉතින් පූස් ඇතිවීම වලක්වා ගැනීම සඳහා තෙතමනය පාලනය කිරීම සහ මතුපිටවල් පිරිසුදු කිරීම ඉතාම වැදගත් වෙනවා. Koelmayerට අනුව මේ සඳහා ඉතාම පලදායී ක්‍රම දෙකක් තිබෙනවා.
- බ්ලීචිං පවුඩර්වලින් මතුපිට සෝදා හැරීම
- සෑම මතු පිටක් ම හැකි තාක් වියළි ව තබා ගැනීම
ශ්‍රී ලංකාවේ පුස් කෙතරම් සාමාන්‍යකරණය වී ඇතිද කියනවා නම්, ඇතැම් ශ්‍රී ලාංකිකයන් තුළ එයට ප්‍රතිශක්තිය පවා වර්ධනය වී තිබෙනවා. Koelmayer පවසන අන්දමට, “සමහර අය පුස් සඳහා අසාත්මිකතා පෙන්වන නමුත් බොහෝ ශ්‍රී ලාංකිකයන් පුස් සඳහා ප්‍රතිශක්තිකරණය වී ඇත, එනම් ඔවුන්ට පුස් ආශ්වාස කර නොනැසී සිටිය හැකිය.”
කොහොම නමුත් අවකාශයක් වායුසමීකරණය කිරීමේදී, කරුණු තුනක් සැලකිල්ලට ගත යුතු බව Koelmayer අවධාරණය කරනවා.
- උෂ්ණත්වය
- වාතාශ්‍රය
- ආර්ද්‍රතාව
යනු කරුණු යි ඒ.
යහපත් වාතාශ්‍රයක් පවත්වා ගැනීම වැදගත් ඇයි?
යම් අවකාශය සැලසුම් කිරීමේ වාස්තුවිද්‍යාත්මක හා නිර්මාණ අවධියේදී හරස් වාතාශ්‍රය, හරිත අවකාශ සහ ගෘහස්ථ ශාක වැනි ක්‍රම ඇතුළත් කිරීමෙන් යහපත් වාතාශ්‍රයක් පවත්වා ගැනීම පිළිබඳ ව අවධාන යොමු විය යුතුම යි. ඊට අමතර ව ducting ventilation, HEPA filters, සහ exhausting වැනි සංකල්ප මේ සඳහා භාවිත කළ හැකියි.
“Exhausting යනුවෙන් අදහස් වන්නේ ඇත්ත වශයෙන් ම ඔබ නැවුම් වාතයට ඔබේ මුළුතැන්ගෙයට පැමිණීමට ඉඩ සලසා දීම යි. මෙසේ පැමිණෙන වාතය පෙරීමකට ලක්කිරීම හා වායුමය ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමටත් සිදුවනු ඇති බවයි,” Koelmayer පැහැදිලි කළේ ය.
ශ්‍රී ලංකාවට වැඩි IAQ දැනුම්වත් කිරීමක් අවශ්‍ය වන්නේ ඇයි?
බලශක්ති සංරක්ෂණය, නාගරික ගෙවතු වගා මුලපිරීම්, ගල් අඟුරුවලින් ඉවත් වීම සහ ස්වභාවික වායු වැනි පිරිසුදු ඉන්ධන භාවිත කරන නව බලාගාර හඳුන්වාදීම, මිලදී ගැනීම වැනි ක්‍රමවේද ඔස්සේ පිරිසුදු IAQ එකක් එසේ නොමැති නම් ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය ශ්‍රී ලංකාව තුළ අපට සහතික කළ හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. දේශීය නිෂ්පාදන වෙත ප්‍රමුඛත්වය දීම හා දිරිමත් කිරීම, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර නාගරික සංවර්ධනය සඳහා මාර්ග හා ක්‍රමෝපායයන් නිර්මාණය කිරීම මෙන්ම දේශගුණික විපර්යාස විසඳුම් සමඟ වායු දූෂණයට ප්‍රමුඛත්වය දීම සිදු කළ යුතුම දේවල් අතරට ගත හැකි යි.
වියට්නාමය වැනි අසල්වැසි රටවල් පවා ගොඩනැඟිල්ලක උස, මහල් ගණන සහ පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව අනුව යාන්ත්‍රික අවශ්‍යතා හා අනිවාර්ය වාතාශ්‍ර රෙගුලාසි ක්‍රියාත්මක දැනට ම ක්‍රියාත්මක කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අප අත්විඳින ජීවන තත්ත්වය විශාල වශයෙන් රඳා පවතින්නේ අපගේ සාමූහික අවබෝධය සහ ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවයක් (IAQ) පවත්වා ගැනීමේ අභියෝගවලට මුහුණ දීම සඳහා අප නිතැතින් ක්‍රියා කිරීම මත ම ය. හැම දෙයකට ම පසු, අප මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා ඒ කෙනකුට ජීවත් විය හැක්කේ ඔවුන්ට හුස්ම ගැනීමට හැකි තරමට පමණක් බව යි.