වසර 12 කට වරක් එන හෝර්ටන් තැන්නේ “නෙලූ”

අපිට නුපුරුදු වුනාට හෝර්ටන් තැන්න ගැන හොඳාකාරව දන්න අයට නම් නෙලූ හොඳින් හුරු පුරුදු කෙනෙක්. ඇත්තෙන්ම නම වගේම සුන්දර වන “නෙලූ” ත් හෝර්ටන් තැන්නට ආවේනික සුන්දර පුෂ්පයක්.

වසර 12 කට වරක් එන නෙලූ 

archieves.sundayobserver.lk

හෝර්ටන් තැන්නට යන හැම විටකදී ම නම් නෙලූ ව දැකගත හැකි වන්නේ නැහැ. හැම වසරකම ගියත් නෙලූව නම් දැකගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නෙලූ මල් පූදින්නේ වසර 12 කට වරක් නිසයි. මේ නිසාම යි නෙලූ මේ තරම් විශේෂ වන්නේ.

2013 වසර හෝර්ටන් තැන්න දෙස් විදෙස් සංචාරකයන් ගේ පිරුණු තැනක් වුණා. දෙස් විදෙස් කොයි කව්රුත් හෝර්ටන් තැන්න කරා ආවේ වෙන වසර වලට වඩා වැඩි උද්යෝගයකින්. එයට හේතු වුණේ හෝර්ටන් තැන්නට නෙලූ ඇවිත් කියන ආරංචිය යි. හෝර්ටන් තැන්නේ අසිරිය විඳින්නට කැමති කව්රුත් නැවත නෙලූ මල් පූදින තෙක් ඉන්නේ නොඉවසිල්ලෙන්. නැවතත් හෝර්ටන් තැන්නට නෙලූ වසන්තය ළඟා වෙන්නේ තවත් වසර 12 කින්. එනම් 2025 වර්ෂයේ දියි.

සාමාන්‍යයෙන් වසර 12 කට සැරයක් නෙලූ පිපුනත් අවාරයට පිපෙන නෙලූ ද නැත්තේම නැහැ. නමුත් වාරයට පිපෙන නෙලූ මලේ විශේෂත්වය වන්නේ නෙලූ වාරයට එකවර සියලු නෙලූ විශේෂයන් මල්බර වීම යි.

නෙලූ ශාකයේ වර්ධනය

නෙලූ ශාකය හොඳින් වැඩිම සඳහා අවශ්‍ය වන පාරිසරික සාධක වර්ධනය වන්නේ කඳුකර තෙත් සදාහරිත වනාන්තර වලයි. සාමාන්‍යයෙන් නෙලූ ශාකය වනයේ යටි ස්ථරය ආක්‍රමණය කරයි. නෙලූ ශාකය මලක් පූදින තෙක් හොඳින් වර්ධනය වන අතර ඒ සඳහා වසර 12 ක පමණ කාලයක් ගත වේ. පොලෝ මට්ටමේ පවතින යටි ස්ථරීය ශාකයක් වන මෙය පැළෑටි ස්වභාවයෙන් තිබියදී සෙන්ටි මීටර් කිහිපයක් පමණ උසකින් යුක්ත වෙනවා. පඳුරක් ලෙසින් වැඩෙන විට එය මීටර් 2- 3 ක් පමණ ප්‍රමාණයකින් යුතු උසක් දක්වන අතර වසර 12 ක පමණ කාලයක් ගත වන විට කඳේ විෂ්කම්භය සෙන්ටි මීටර් 6- 7 ක් පමණ ප්‍රමාණයක් වන අතර අතු ඉති සෑදී මීටර් 8 ක් දක්වා වූ උසකින් සමන්විත ගසක ස්වභාවයක් දක්වනවා.

නෙලූ ශාකයේ උස සහ වර්ධනය තීරණය වන්නේ ශාකයට ලැබෙන පාරිසරික සාධක මතයි. එනම් හිරු එළිය, වැස්ස සහ අනෙකුත් බාධක යි. මේ නිසයි මේ ශාකය උද්භිත විද්‍යාත්මකව ඇකැන්තේසියේ කුලය ට (FAM-ILYACANTHACEAE) අයත් ස්ට්‍රොබ්ලන්තස් (GENUS- Strobilanthes) ගණයට අයත් වන්නේ.

මව් මරා උපදින නෙලූ 

වසර 12 ක් වැනි දීර්ඝ කාල පරාසයක් තිස්සේ වර්ධනය වන නෙලූ ශාකය එහි අවසන් අදියරේ දී මල් දැරීම සඳහා සූදානම් වෙනවා. මල් පූදින මේ කාලය මේ ශාකයේ ද අවසන් කාලය වන බවයි සඳහන් වන්නේ. එනම් නෙලූ මල් පිපී අවසන් වත්ම නෙලූ ශාකය ද මිය යනවා. මේ නිසයි මෙය “මව් මරා උපදින නෙලූ” ලෙසින් ද ප්‍රසිද්ධ වන්නේ.

හෝර්ටන් තැන්නේ නෙලූ

lakrooec.blogspot.com

නෙලූ ශාකයේ වර්ධනය හා ව්‍යාප්තියට හිතකර සාධකයන්ගෙන් සමන්විත වන වන ජීවී රක්ෂිතයකි, හෝර්ටන් තැන්න. පට්ටිපොළ, ඔහිය, කිරිගල්පොත්ත, තොටුපොල කන්ද ආශ්‍රිත ප්‍රදේශ ද නෙලූගේ ව්‍යාප්තිය ට බොහෝ හිතකර යි. මේ හිමිකාරත්වය නිසාමයි නෙලූ මල් පීදෙන සමයට මේ පළාතම නෙලූ මලේ සුන්දරත්වයෙන් පිරී ඉතිරී යන්නේ.

හෝර්ටන් තැන්න ආශ්‍රිතව පිපෙන නෙලූ විශේෂ 8 ක් පවතිනවා. සිංහල බසින් තවමත් මේවාට නම් ලැබී නොමැති අතර තවමත් ඒවා හඳුනා ගන්නේ ලතින් නාම වලින්.

නෙලූ ට කැමති සතා සීපාවෝ

archieves.sundayobserver.lk

නෙලූ වසන්තයෙන් උද්යෝගයට පත් වන්නේ එහි සුන්දරත්වය නරඹන මිනිසුන් පමණක් නම් නොවෙයි. නෙලූ වසන්තයෙන් හෝර්ටන් තැන්නේ බොහෝ සත්ත්වයන් ද උද්දාමය ට පත් වෙනවා. ඒ අතර බඹරුන් විශේෂ යි. නෙලූ මල් පීදෙන කාලයට බඹරුන් රංචු පිටින් මෙහි පැමිණෙන අතර මේ කාලයට සෑම ගසක අත්තකම බඹර වද දැකගත හැකි වෙනවා. ඒ හැම වදයක් ම පිරෙන්නේ නෙලූ මලේ පැණියෙනු යි.

කොහොම හරි මල්වල ඇට පීදීලා මෝරලා බිමට වැටෙන කාලයක් ද පැමිණෙනවා. මේ කාලයට වළි කුකුළන්, හබන් කුකුළන්, මයිල ගෝයෝ, නීල ගොයෝ වැනි කුරුල්ලන් ගෙන් මේ පළාතම අතුරු සිදුරු නැති වෙනවා. ඒ නෙලූ ඇටේ රසට විඳීමට යි.

කවරයේ කතාව- lakrooec.blogspot.com 

මුලාශ්‍ර

archives.sundayobserver.lk

slflora.blogspot.com

www.sundaytimes.lk

www.tripadvisor.com

www.youtube.com

Related Articles

Exit mobile version