මෙක්සිකෝව, ලතින් අමෙරිකානු කලාපයේ පිහිටි විශාල රාජ්‍යයක්. මෙක්සිකෝවට වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. එම කාලයේ මෙක්සිකෝව ආශ්‍රිත ව ශිෂ්ටාචාර 4ක් බිහි වුණා. ඒවා මායා, ඔල්මෙක්, සැපොටෙක්, සහ ඇස්ටෙක් යන නම්වලින් හැඳින්වූවා. එම ශිෂ්ටාචාරවල පැරණි නටබුන් මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවල දී අදටත් දැක ගන්නට පුළුවන්.
පැරණි ශිෂ්ටාචාර බිහි ව තිබුණු මෙක්සිකානු ප්‍රදේශ ආශ්‍රිත ව නොවිසඳුණු අබිරහස් තවමත් ඉතිරි ව තිබෙනවා. එරට හිඩල්ගෝ ප්‍රාන්තයේ පිහිටි ටිල්ටෙපෙක් ද එවැනි අබිරහස් ගමක්. ඒ එහි ජීවත් වන බොහෝ මිනිසුන්ගේ සහ සතුන්ගේ ඇස් අන්ධ වී තිබීම යි. එසේ වීමට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැහැ.
මේ කියන්නට යන්නේ අන්ධ මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වන මෙක්සිකෝවේ ටිල්ටෙපෙක් ගම ගැන අපූරු තොරතුරු යි.
ටිල්ටෙපෙක් ගමේ ඉතිහාසය
ටිල්ටෙපෙක් ගමට වසර 1500ක පමණ පැරණි ඉතිහාසයක් තිබෙනවා. එම ගම ආශ්‍රිත ව මුල්ම වරට පදිංචි වුණේ නහුආ නම් ජන වර්ගය යි. ඔවුන් එහි පදිංචි වී සිටි නිශ්චිත කාල සීමාවක් පැරණි මූලාශ්‍රවල දක්වා නැහැ. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ දී ඔටෝමි නම් ආදිවාසී ජන වර්ගය ටිල්ටෙපෙක් ගම ආශ්‍රිත ව ජීවත් වුණා.
16 වන සියවසේ දී එල්ල වුණු ස්පාඤ්ඤ ආක්‍රමණයත් සමඟින් ඇස්ටෙක් රාජධානිය විනාශයට පත් වුණා. ඒ සමඟ ටිල්ටෙපෙක් වැනි ප්‍රදේශ ජනශූන්‍ය වුණා. අද වන විට දක්නට ලැබෙන ටිල්ටෙපෙක් ගම නිර්මාණය වී තිබෙන්නේ පසු යුගයක දී යි. වර්තමානය වන විට ටිල්ටෙපෙක් හි ජීවත් වන උදවිය ඇස්ටෙක් ශිෂ්ටාචාර යුගයේ ජීවත් වුණු ගෝත්‍රික පිරිස්වලට නෑකම් කියනවා.
ගමේ වර්තමාන තත්ත්වය
අද වන විට මෙම ගමේ නිවාස 70ක් පමණ තිබෙනවා. එම නිවාසවල 300ක පමණ පිරිසක් වාසය කරනවා. මෙහි ජීවත් වන්නේ ජෙපොටෙක් නම් ගෝත්‍රයට අයත් ජනතාව යි. ජෙපොටෙක් ගෝත්‍රිකයන්ට අයත් බොහෝ නිවාස දිස්වන්නේ ගල් කුටියක් ලෙස යි. ඔවුන් නිදා ගන්නේ එම කුටි ඇතුළත තිබෙන ගල් මත යි.
මෙහි ජීවත් වන ගෝත්‍රිකයන් අතුරින් වැඩි පිරිසකගේ ඇස් අන්ධ වී තිබීම විශේෂත්වයක්. මිනිසුන් සේ ම ඇස් අන්ධ වුණු සතුන් විශාල ප්‍රමාණයක් ද මෙම අද්භූත ගම්මානයේ ජීවත් වෙනවා. ඒ අයුරින් ඇස් අන්ධ වීම නිසා ටිල්ටෙපෙක් ගමේ ජීවත් වන ගෝත්‍රික ජනතාව ගෙවන්නේ දුක් සහිත ජීවිතයක්.
ටිල්ටෙපෙක් හි ගෝත්‍රිකයන් දවස ගෙවන ආකාරය
ටිල්ටෙපෙක් ගමේ ජීවත් වන බොහෝ ගෝත්‍රිකයන් අන්ධ නිසා ඔවුන් විදුලි පහන් හෝ වෙනත් ආලෝක ප්‍රභව භාවිත කරන්නේ නැහැ. එම ගෝත්‍රිකයන් කුරුලු නාදයෙන් දිවා කාලය සහ රාත්‍රිය හඳුනා ගන්නවා. කුරුල්ලන් උදෑසන නාද කිරීමට පටන් ගත් විට එම ගෝත්‍රික ජනතාව ආහාර සොයා ගෙන නිවසින් පිටතට යනවා.
ඔවුන් සිය නිවාස වෙත යළිත් පැමිණෙන්නේ කුරුලු හඬ නතර වීමත් සමඟ යි. ටිල්ටෙපෙක් ගමේ ජීවත් වන ඉතාමත් සුළු පිරිසකට හොඳින් ඇස් පෙනෙනවා. ඔවුන් ගමේ වෙසෙන ඇස් අන්ධ උදවියගේ දෛනික වැඩ කටයුතු කර ගැනීම සඳහා විශාල සහායක් ලබා දෙනවා. එය ටිල්ටෙපෙක් හි අන්ධ ගෝත්‍රික පිරිසට විශාල සහනයක් වී තිබෙනවා.
අන්ධභාවය සම්බන්ධව පවතින ගෝත්‍රික විශ්වාස
මෙම ගමේ ජීවත් වන කිසිදු ගෝත්‍රිකයෙක් ඉපදෙන විට අන්ධභාවයට ලක් ව සිටියේ නැහැ. ඔවුන්ගේ ඇස් අන්ධ වී තිබෙන්නේ ඉපදී වසර කිහිපයක් ගතවීමෙන් පසුව යි. ගෝත්‍රිකයන්ගේ ඇස් අන්ධ වන්නේ ශාප ලත් ගසේ බලපෑමෙන් බව ජෙපොටෙක් ගෝත්‍රිකයන් අතර පවතින ප්‍රබල විශ්වාසයක්. ඔවුන් ශාපලත් ගස ලෙසින් හඳුන්වන්නේ වනාන්තරයේ තිබෙන ලවුජුඑජා නම් ශාකය යි. එම ගෝත්‍රිකයන් විශ්වාස කරන්නේ එහි ජීවත් වන මිනිසුන් පමණක් නොව සතුන් පවා ලවුජුඑජා ශාකයේ ශාපයට ලක් වන බව යි.
ඔවුන් පවසන ආකාරයට එම ශාකය දැකීමෙන් පසු ව ගෝත්‍රිකයන්ගේ සහ සතුන්ගේ ඇස් ක්‍රමයෙන් අන්ධ වෙනවා. එනිසා ටිල්ටෙපෙක් හි ජීවත් වන ජෙපොටෙක් ගෝත්‍රික පිරිස් ලවුජුඑජා ශාකය ගැන කතා කිරීමට පවා දැඩි බියක් දක්වනවා. ජෙපොටෙක් ගෝත්‍රිකයන්ගේ අන්ධභාවය පිළිබඳ ව ටිල්ටෙපෙක් ගමේ එවැනි විශ්වාසයක් පැවතුණත් විද්‍යාඥයන් ඒ ගැන දරන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් මතයක්.
කෘමි සතෙක් නිසා ඇස් අන්ධ වන බව විද්‍යාඥයන්ගේ මතය යි
ටිල්ටෙපෙක් ගම පිහිටා තිබෙන්නේ වනාන්තරය තුළ යි. එනිසා පිටස්තර කෙනකුට පහසුවෙන් එහි ළඟා වෙන්නට බැහැ. ටිල්ටෙපෙක් හි ජීවත් වන ජෙපොටෙක් ගෝත්‍රිකයන්ගේ ඇස් පුදුම සහගත ලෙස අන්ධ වීම පිළිබඳ තොරතුරු මෙක්සිකානු විද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණා.
ඉන් අනතුරුව ඔවුන් ඒ පිළිබඳව විවිධ පර්යේෂණ පැවැත්වූවා. එහි දී විද්‍යාඥයන් මුලින් ම පරීක්ෂාවට ලක් කළේ ශාපලත් ගස ලෙසින් හැඳින්වෙන ලවුජුඑජා නම් ශාකය යි. එම පර්යේෂණවලින් පසුව විද්‍යාඥයන්ට ඒත්තු ගියේ ජෙපොටෙක් ගෝත්‍රිකයන්ගේ ඇස් අන්ධ වීම සහ ලවුජුඑජා ශාකය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව යි.
එනිසා මෙම අබිරහස විසඳීම සඳහා වැඩි දුර පර්යේෂණ කටයුතුවල නිරත වීමට විද්‍යාඥයන්ට සිදු වුණා. එහි දී ඔවුන්ට ටිල්ටෙපෙක් ගම ආශ්‍රිත වනාන්තරයේ ජීවත් වුණු විස සහිත මැස්සන් විශේෂයක් සොයා ගැනීමට හැකි වුණා.
කළු මැස්සන් ලෙසින් හැඳින්වූ එම සත්ත්ව විශේෂය යම් පුද්ගලයකුට හෝ සතකුට දෂ්ට කිරීමෙන් පසුව ඉක්මනින් උන්ගේ විස ශරීරය පුරා පැතිර යන බව විද්‍යාඥයන්ට නිරීක්ෂණය කරන්නට ලැබුණා. එසේ ශරීරය පුරා පැතිරී යන විස මිනිසුන්ගේ සහ සතුන්ගේ ඇස්වල ස්නායුවලට විශාල බලපෑමක් සිදු කරන බව විද්‍යාඥයන්ගේ අනුමානය යි.
මෙම මැසි විශේෂය වැඩි වාර ගණනක් දෂ්ට කිරීමෙන් පසුව සැලකිය යුතු විෂ ප්‍රමාණයක් සිරුරට ඇතුළු වෙනවා. එසේ වැඩි විස ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වීම නිසා ඇස්වල ස්නායුවලට වැඩි බලපෑමක් සිදු වී ඇස් අන්ධ වන බව විද්‍යාඥයන්ගේ මතය යි. ඒ අනුව මෙක්සිකානු විද්‍යාඥයන් පවසන්නේ ටිල්ටෙපෙක් හි ජීවත් වන ගෝත්‍රික පිරිස් ලවුජුඑජා ශාකයට තවදුරටත් බිය නොවිය යුතු බව යි.
රෝගී වුණු ගෝත්‍රික ජනතාවට ප්‍රතිකාර කරන්නට රජය ගන්නා උත්සාහය
අද වන විට ටිල්ටෙපෙක් ගමේ ජීවත් වන ඇතැම් ගෝත්‍රිකයන්ගේ ඇස් තවමත් හොඳින් පෙනෙද්දී තවත් සමහර ගෝත්‍රිකයන් සම්පූර්ණයෙන් ම අන්ධභාවයට පත් වී නැහැ. එසේ මඳක් ඇස් පෙනීම තිබෙන අයට ප්‍රතිකාර කිරීම සඳහා මෙක්සිකානු රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කළා. ටිල්ටෙපෙක් හි පර්යේෂණවල නිරත වුණු විද්‍යාඥයන් ද ඒ සඳහා සහාය ලබා දුන්නා.
එම වැඩසටහනේ අරමුණ වුණේ මඳක් ඇස් පෙනීම තිබුණු පුද්ගලයන් සම්පූර්ණයෙන් ම අන්ධභාවයට පත් වීම වැලැක්වීම යි. මහත් පරිශ්‍රමයක් යොදා සංවිධානය කළ එම වැඩසටහනෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ ටිල්ටෙපෙක් හි ජෙපොටෙක් ගෝත්‍රිකයන් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතිකේෂ්ප කිරීම නිසා යි. එම ගෝත්‍රිකයන් තවමත් විශ්වාස කරන්නේ ශාපලත් ගස හෙවත් ලවුජුඑජා නිසා ඔවුන් එසේ අන්ධභාවයට පත් වන බව යි. එනිසා ප්‍රතිකාර සඳහා යොමු වීම කිසිදු පලක් නැති දෙයක් බව ඔවුන්ගේ අදහස යි.
ටිල්ටෙපෙක් ගමේ අඳුර සදාකාලික ද?
මෙම ගමේ අලුත ඉපදෙන දරුවන්ගේ ඇස්වල පෙනීම හොඳින් තිබෙනවා. එනිසා ඔවුන් භයානක කළු මැස්සන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතු යි. ඒ සඳහා ගත හැකි හොඳ ම පියවර වන්නේ මෙක්සිකානු රජයේ මැදිහත්වීමෙන් කළු මැස්සන් මර්දනය කිරීම යි. එම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නම් කළු මැස්සන්ගේ බලපෑම නිසා තම ගම්වැසියන්ගේ ඇස් අන්ධ වන බව ජෙපොටෙක් ගෝත්‍රික ජනයා පිළිගත යුතුයි.
එවිට එරට රජයට ඔවුන්ගේ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට පුළුවන්. එනිසා සත්‍යය තේරුම් ගන්නා තෙක් ටිල්ටෙපෙක් ගම අඳුරේ පවතිනු ඇති. වර්තමානයේ එහි ජීවත් වන ගෝත්‍රිකයන්ට අනාගතයේ ඉපදෙන දරුවන් ද සත්‍යය හරි හැටි තේරුම් නොගතහොත් ටිල්ටෙපෙක් ගම සදාකාලික ව අඳුරේ පවතිනු ඇති බවට සැකයක් නැහැ.