අරාබි අර්ධද්වීපයේ දකුණු දිග පෙදෙස සම්පූර්ණයෙන් ම පාහේ ආවරණය කරන ‘රබ් අල් ඛලී’ කාන්තාරය සැලකෙන්නේ ලොව විශාලත ම අඛණ්ඩ වැලි කතර (continuous sand desert) ලෙස යි. අරාබිය යැයි කියූ සැනින් අපේ මතකය නැගෙන්නේ නිමක් නොපෙනන ගිනියම් වැල්ලක් වුවත් ‘රබ් අල් ඛලී’ කාන්තාරය මැද හරිත පැහැයෙන් වැජඹෙන ක්ෂේමභූමියක් දැක ගැනීමට ලැබෙනවා. අරාබි බසින් ‘වසන්ත සෘතුව’ යන අරුතින් ‘අල් අයින්’ ලෙස නම් කර ඇති එය ඇතැම් විටෙක ‘උද්‍යාන නගරය’ ලෙස ද හඳුන්වනු ලබනවා. ඉතිහාසයේ සඳහන් වන්නේ වසර 4,000 කට අධික කාලයක් තිස්සේ ‘රබ් අල් ඛලී’ කාන්තාරය හරහා ගමන් කළ ඔටුවන් පිට නැගි වෙළෙඳුන් සහ සංචාරකයින්, තුරු සෙවණක අසුන්ගෙන ගිමන් නිවා ගැනීම සඳහා ‘අල් අයින්’ කරා පැමිණි බව යි.
ජනශ්රැතියේ සඳහන් වන අන්දමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්රාරම්භකයා වූ ෂීක් සෙයිද් බින් සුල්තාන් අල්-නහියන්, 1918 වර්ෂයේ දී උපත ලබා ඇත්තේ අල් අයින් හි ගසක් යට දී යි. 1971 වර්ෂය වන විට ඔහු අරාබි කාන්තාරයේ වාසය කළ ගෝත්‍රික ජනගහනයෙන් 180,000 ක පමණ පිරිසක් එක් කරගෙන අලුතෙන් දේශයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වුණා. ගිනියම් කතරේ සැඟ වී සිටි බොර තෙල් නිධි ඒ අරමුණ ළඟා කර ගැනීම සඳහා ඔහුට උපකාර කළ අතර තම උපන් ගම්මානය වූ අල් අයින් නුවර දියුණු කිරීම සඳහා ඔහු ලබා දී ඇති දායකත්වය අපමණ යි. අද වන විට වර්ග කිලෝමීටර 15,100 ක භූමි ප්‍ර දේශයක් පුරා විහිදී ඇති අල් අයින් හි 2017 වර්ෂයේ සංඛ්‍යා දත්තවලට අනුව 766,936 ක පමණ ජනගහනයක් වාසය කරනවා.
අල් අයින් ක්ෂේමභූමිය
2011 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද හෙක්ටයාර 1,200 භූමි භාගයක් පුරා පැතිරී ඇති ‘අල් අයින් ක්ෂේමභූමිය’ සතු ව විශේෂ 100 කට අධික ප්‍රමාණයක අයත් රටඉඳි ගස් වගා කරන ගොවිපොළ 147,000 ක් පවතින බව සඳහන්. නමුත් මේ කිසිවෙකටත් වඩා අල් අයින් ක්ෂේමභූමිය, ලෝක උරුමයක් බවට පත් කිරීම දායක වුණේ ක්ෂේමභූමිය වටා දිවෙන වසර 3,000 ක් පමණ පැරණි ‘ෆලාජ්’ නම් භූගත ජල පද්ධතියේ ප්‍රතිනිර්මාණය යි.
අල් ජහිලි බලකොටුව
1890 දශකයේ දී මඩ යොදා ගනිමින් නිර්මාණය කරන ලද ‘අල් ජහිලි බලකොටුව’ මුල් කාලයේ දී භාවිතා කර ඇත්තේ අල්-නහියන් පවුලේ වාසස්ථානය ලෙස යි. ගොඩනැගිලි ද්විත්වයක් සහ චතුරස්රාකාර මිදුලක් සහිත මීටර් 6.5 ක් පමණ උසැති මුල් අල් ජහිලි බලකොටුව සෑම සය මසකට වරක් ම මඩ, පිදුරු සහ පාම් ගසේ කෙඳි යොදාගෙන අලුත්වැඩියා කළ යුතු වෙනවා. 2008 වර්ෂයේ දී කෞතුකාගාරයක් බවට පත් කරන ලද එහි දී ශ්‍රීමත් විල්ෆ්රඩ් තෙසිජර් නම් බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයා පස් වසරක කාලයක් මුළුල්ලේ අරාබි කතරේ ඇවිදිමින් ඡායාරූප ගත කළ සොඳුරු කළු-සුදු සේයා රූ එකතුවක් දැක ගැනීමට හැකි යි.
අල් අයින් සත්ත්වෝද්‍යානය
ෂීක් සෙයිද් බින් සුල්තාන් අල්-නහියන්, 1971 වර්ෂයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිහිටු වන විට අරාබි ඔරික්ස් වැනි දේශීය සත්ත්ව විශේෂ රැසක් පසු වුණේ වඳ වීමේ දොරටුව අබියස යි. වඳ වී යන සතුන් රැක ගැනීම සඳහා සංරක්ෂණ යෝජනාවක් ලෙස ඇරඹුණු ‘අල් අයින් සත්ත්වෝද්‍යානය’ සතු ව මේ වන විට සතුන් 4,000 කට අධික ප්‍රමාණයක් සිටින අතර එය සතු සත්ත්ව විශේෂ 180 න් 30% ක් පමණ තවමත් පසු වන්නේ වඳ වී යාමේ ඉහළ අවදානමක් සහිත ව යි.
සූක් අල් කටරා
සාම්ප්‍රදායික අරාබි අත්කම් නිර්මාණ අලෙවි කරන ‘සූක් අල් කටරා’ වෙළඳ සංකීර්ණය නිර්මාණය කිරීම ගෞරවය හිමි වන්නේ ද ෂීක් සෙයිද් බින් සුල්තාන් අල්-නහියන්ට යි. සෑම වසරක ම ඔක්තෝබර් සිට මැයි දක්වා විවෘත එය මේ වන විට අබු ඩාබි සංචාරක සහ සංස්කෘතික අධිකාරිය යටතේ පරිපාලනය වෙනවා. එසේ ම සූක් කල් කටරා හි දී ‘අල්-යොල්ලා’ වැනි සාම්ප්‍රදායික නැටුම් සංදර්ශන ද පවත්වනු ලබනවා. අරාබි කෝපි, රටඉඳි, මී පැණි, කුළුබඩු සහ ප්‍රණීත රස කැවිලි මිල දී ගත හැකි පැරණි පන්නයේ වෙළඳසැල් 18 ක් සූක් අල් කටරා සතු යි.
අල් අයින් ඔටු වෙළඳසැල
සතියේ සෑම දිනක ම උදෑසන 6 සිට සවස 7 දක්වා විවෘත ‘අල් අයින් ඔටු වෙළඳසැල’ නැරඹීමට යාම අල් අයින් බලා පැමිණෙන සංචාරකයින්ට අපූරු අත්දැකීමක් වන බවට සැකයක් නැහැ. නිරන්තරයෙන් ම ඝෝෂාකාර ඔටු වෙළඳසැලේ දී අලෙවිය සඳහා ප්‍රදර්ශනය කරන කුඩා පැටවුන් මෙන් ම ඔටු රේස් තරඟ සඳහා යොදා ගන්නා මහේශාඛ්‍ය ලීලාවෙන් බලා සිටිනා ශක්තිමත් ඔටුවන් ද දැක ගැනීමට ලැබෙනවා. වැඩි වශයෙන් වෙළඳාම් සිදු වන උදේ වරුවේ දී ඔටුවෙකුගේ මිල ඩිරාම් 200 ක් පමණ වන අතර සවස් වරුවේ දී ඔටුවෙකුගේ මිල ඩිරාම් 20 දක්වා පහත වැටෙන අවස්ථා ද නැතුවා ම නොවෙයි.
කසර් අල් මුවයිජි
20 වැනි සියවසේ මුල් කාලයේ දී ගොඩ නංවන ලද ෂීක් සෙයිද් බින් සුල්තාන් අල්-නහියන් ළමා කාලය ගත කළ නිවෙස, 2008 වර්ෂයේ දී සිදු කරන ලද ප්රතිසංස්කරණයෙන් පසු ව භාවිතා වන්නේ ඔහුගේ ජීවිත ගමනේ සන්ධිස්ථානයන් පෙන්නුම් කරන කෞතුකාගාරයක් ලෙස යි. වර්තමානයේ දී එය පවත්වාගෙන යාම සඳහා අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ ෂීක් සෙයිද් බින් සුල්තාන් අල්-නහියන්ගේ තෙවැනි පුතු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කිරුළ හිමි මොහම්මද් බින් සෙයිද් අල්-නාහියන් විසින්.
කවරයේ පින්තූරය : © Hassam Tariq