Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රස, විස දෙක ම නොඅඩු “ඩෙත් කැප්” බිම්මල

බිම්මල් විස වීම හේතුවෙන් ලොව පුරා සැලකිය යුතු පිරිසක් මරණයට පත් වන අතර, තවත් බොහෝ දෙනෙක් විවිධ රෝගාබාධයන්ට ලක් වෙති. එවැනි සිදුවීම් පිළිබඳ ව සිදු කර ඇති පර්යේෂණවලදී විස සහිත බිම්මල් විශේෂ ගණනාවක් හඳුනාගෙන ඇත.

ඒ අතරින් වඩාත් මාරාන්තික බිම්මල් විශේෂය ලෙස “Amanita phalloides” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන “ඩෙත් කැප්” බිම්මල හඳුනා ගෙන තිබේ.

“ඩෙත් කැප්” බිම්මල – www.britannica.com

ව්‍යාප්තිය

යුරෝපා රටවලට ආවේණික මෙම බිම්මල් විශේෂය පළමුවෙන් ම ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඕස්ට්‍රියාව සහ පෝලන්තය වැනි රටවල් ගණනාවක ව්‍යාප්ත ව තිබූ බව කියැ වේ. පසුකාලීන ව මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය වැනි රටවල ද මෙම බිම්මල් විශේෂය හඳුනාගෙන ඇත.

එක්සත් ජනපද පර්යේෂකයන් පිරිසක් ඩෙත් කැප් බිම්මලේ ජෛව සාම්පල යොදා ගෙන සිදු කළ පර්යේෂණයකින් පසු හෙළි කළේ වෙනත් මහද්වීපවල සිට උතුරු අමෙරිකාවට ආනයනය කළ ශාකවල මුල් සමඟ මෙම බිම්මල් විශේෂය අමෙරිකානු මහද්වීපයට ඇතුළු වී ඇති බව යි. වර්තමානය වන විට ඇන්ටාක්ටික් මහද්වීපය හැර අනිකුත් සියලු මහද්විපවලට අයත් රටවල මෙම බිම්මල් විශේෂය හට ගන්නා බව සොයාගෙන තිබේ.

පෙනුම

පෙනුමෙන් විෂ රහිත බිම්මල්වලට සමාන ඩෙත් කැප් බිම්මල විෂ සහිත එකක් බව හඳුනා ගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වන බැවින් එය පරිභෝජනය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව මෑතකාලීන ව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම බිම්මල් බොහෝ විට කොළ පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නා අතර, සමහර ඒවා සුදු හෝ ළා කහ පැහැයක් ගනී. බිම්මලේ ආයු කාලය අවසන් වන අවස්ථාව වන විට එහි මතුපිට තද දුඹුරු පැහැති පැල්ලම් දැකිය හැකි ය.

වියළුණු බිම්මලක් – www.abc.net.au

බිම්මලේ ඉහළ කොටසේ විෂ්කම්භය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4 සිට 16 දක්වා ප්‍රමාණයක් විය හැක. එහි ඕවලාකාර හැඩය බිම්මල වියැළී යන කාලය වන විට වෙනස් වේ. බිම්මලේ මාංශමය කොටස සුදු පැහැයක් ගන්නා අතර එහි පැහැය කාලයත් සමඟ වෙනස් නොවේ. බිම්මල හොඳින් වැඩෙන අවස්ථාව වන විට එහි පහළ කොටස නොපෙනී යන තරම් විශාල ලෙස ඉහළ කොටස වැඩේ. සමහර බිම්මල්වල කඳ කොටස සම්පූර්ණයෙන්ම පාහේ පසට යට වී තිබේ.

විශේෂ ලක්ෂණ

මෙම බිම්මල් විශේෂය හටගැනීමට හේතු වන දිලීරය ශාකවල මුල් සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කර ගනී. ඒවා ශාකයේ ප්‍රභාසංස්ලේෂණ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නා අතර, ශාක මුල්වල අන්තර්ගත ග්ලූකෝස් සංඝටක ද අවශෝෂණය කරගන්නා බව සොයාගෙන ඇත. ශාකයට අවශ්‍ය පොස්පරස් සහ නයිට්‍රජන් වැනි පෝෂ්‍ය පදාර්ථ සපයා ගැනීමට බිම්මල උපකාරී වේ. ඒ හරහා ශාකවලට වැලඳෙන යම් යම් රෝග තත්ත්වයන් අවම වී ඒවායේ වියළි කාලගුණයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වේ. මෙම බිම්මල් බොහෝ විට පයින් සහ ඕක් වැනි ශාක ආශ්‍රිත ව හට ගනී.

මාරාන්තික විෂ සහිත බිම්මල් වර්ග කිහිපයක් – www.cbc.ca

මිහිරි රසයක්?

කඳ කොටසේ ඉහළ කෙළවරට ආසන්නයේ පිහිටා ඇති සායක් වැනි කොටස මෙම බිම්මල් විශේෂයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. කහ පැහැයට හුරු සුදු පැහැයක් ගන්නා එහි විෂ්කම්භය සෙන්ටිමීටර් එකත් තුනත් අතර වේ. බිම්මල සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා බිම්මල්වල සුවඳින් යුතු නමුත් එහි අවසන් කාලය වන විට තරමක් අප්‍රසන්න ගන්ධයකින් යුතු වේ. විස බව නොදැන මෙම බිම්මල් විශේෂය ආහාරයට ගෙන ඇති සමහරුන් පවසා ඇත්තේ එය ඉතා රසවත් බව යි (කිසිදු අවස්ථාවක මෙය ආහාරයට නොගත යුතු ය).

මාරාන්තික වි

මෙම බිම්මල් ඇමටොක්සින්, ෆැලෝටොක්සින් සහ වයිරෝටොක්සින් යන නම්වලින් හඳුන්වන විස සංඝටක තුනකින් සමන්විත වන බව විද්‍යාත්මක පර්යේෂණවලදී හඳුනා ගෙන ඇත. වඩාත් භයානක කරුණ වන්නේ සාමාන්‍යයෙන් මිනිසාගේ මරණයට හේතු වීම සඳහා අවශ්‍ය මෙම විෂ ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් ඩෙත් කැප් බිම්මල්වල අන්තර්ගත බව සොයාගෙන තිබීම යි.  

තැම්බීම, පිසීම, වියළීම හෝ අධි ශීත කිරීම වැනි කිසිදු ක්‍රමයකින් මෙහි ඇති විස වර්ග විනාශ නොවේ. බිම්මලේ කුඩා කැබැල්ලක් ආහාරයට ගැනීම පවා මරණයට හේතු විය හැකි ය. ඉහත සඳහන් කළ විස වර්ග ශරීරගත වූ විට මිනිස් ශරීරයේ DNA නිපදවීම නැවැතී පෙනහළු සහ වකුගඩු අක්‍රිය වන බව සොයාගෙන තිබේ. මෙම බිම්මල් පරිභෝජනය කරන සියලු දෙනා පාහේ කෝමා තත්ත්වයට හෝ මරණයට පත් වේ. ඔවුන් සුව කිරීම සඳහා කිසිදු ප්‍රතිකාරයක් මේ වන තෙක් සොයාගෙන නැත.

විෂ සහිත බිම්මල් පිළිබඳව ජනතාව දැනුවත් කරන පෝස්ටරයක් – www.thewaite.org

රෝග ලක්ෂණ

බොහෝ දෙනෙක් පිදුරු බිම්මල් වැනි ආහාරයට ගන්නා බිම්මල් වර්ග සමඟ වරදවා වටහාගෙන ඩෙත් කැප් බිම්මල් ආහාරයට ගනී. ඊට හේතුව මෙම බිම්මල් විශේෂය මෑතකාලීන ව ව්‍යාප්ත වූ කලාපවල ජනතාව ඒවා විස සහිත බව නොදැන සිටීම යි. මේවා ආහාරයට ගෙන පැය 6-24 අතර රෝග ලක්ෂණ මතු වන අතර ඔක්කාරය, උදරාබාධ, වමනය සහ පාචනය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. බොහෝ දෙනෙක් එම රෝග ලක්ෂණ සහ බිම්මල් ආහාරයට ගැනීම අතර සම්බන්ධයෙක් ඇති බව නොදැන වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොවීම මරණයට සහ කෝමා තත්ත්වයට පත් වීමට හේතු වේ.

ප්‍රතිකාර

ඩෙත් කැප් බිම්මල් පරිභෝජනය හේතුවෙන් ඇති වන රෝග තත්ත්වයන් සඳහා ස්ථිර ප්‍රතිකර්මයක් මේ වන තෙක් සොයාගෙන නැත. කෙසේ වෙතත් විෂ ශරීරගත වී කෙටි කාලයක් තුළ හෝ රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම තුළින් මරණය සහ කෝමා තත්ත්වය වැනි බරපතල තත්ත්වයන් ඇති වීම වලක්වා ගත හැක. කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම හරහා වකුගඩු සහ පෙනහළු වැනි කොටස්වලට විස ඇතුළු වීම වලක්වා ගැනීමට හැකි වීම ඊට හේතුව යි.

“Milk thistle” පැළෑටිය – www.smileherb.com

වර්තමානය වන විට “Milk thistle” නමින් හඳුන්වන පැළෑටි විශේෂය භාවිතයෙන් සකස් කරන ඖෂධ ඩෙත් කැප් බිම්මල් විෂවීම් සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදා ගනී. එම පැළෑටි විශේෂය භාවිතයෙන් ඒ සඳහා ස්ථිර වශයෙන් භාවිත කළ හැකි ඖෂධයක් සකස් කිරීම පිළිබඳ ව මේ වන විට වෛද්‍ය විශේෂඥවරුන්ගේ සහ වෙනත් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත.

කවරයේ ඡායාරූපය - වඩාත් මාරාන්තික බිම්මල් විශේෂය ලෙස "ඩෙත් කැප්" බිම්මල හඳුනාගෙන තිබේ - www.baynature.org
මූලාශ්‍ර :
www.britannica.com
www.smileherb.com
www.woodlandtrust.com
www.wikiHow.com

Related Articles