යුක්‍රේන ආක්‍රමණය අරබයා රුසියාවට දඬුවම් කිරීමේ විවිධ ක්‍රියාමාර්ග කරළියට ගෙන ඒමට බටහිර බලවතුන් උත්සහ කරමින් සිටිනවා. රුසියාවේ බොරතෙල් සහ ස්වභාවික ගෑස් සඳහා ඇති ඉල්ලුමට බාධා කිරීමත් ඉන් එකක්. කෙසේ නමුත්, බටහිර සම්බාධක මැද රුසියානු ආර්ථිකය සිතන තරම් දෙදරා ගියේ නැහැ.
2022 වර්ෂයේ දී රුසියානු ආර්ථිකය හැකිළී ගියේ 2.1% කින් පමණ යි. පුරෝකථනය කළ 12% අගයට වඩා එය ඉතා අඩු මට්ටමක්. රුසියාවේ බලශක්ති අපනයනය සම්බාධක මැද පවා තවදුරටත් වර්ධනය වීම ඊට හේතුව යි.
ආසියාවේ මෙන් ම, ලෝකයේ විශාලත ම ආර්ථික වූ ඉන්දියාව සහ චීනය, මෙම ප්‍රවණතාවයේ විශාලත ම ධාවකයන් වී සිටිනවා. ඔවුන් රුසියාවේ තෙල් ලබා ගැනීම කොතරම් පුළුල් ව සිදුකළේ ද යත්, 2023 පළමු මාස දෙක තුළ සෞදි අරාබියත් පරයමින් චීනයේ ප්‍රධාන තෙල් සැපයුම්කරු බවට රුසියාව පත් වුණා.
මෙසේ ලබා ගත් බොර තෙල් සැලකිය යුතු වට්ටම් යටතේ ලබා ගැනීමත් විශේෂත්වයක්. චීනයේ ක්‍රියාපිළිවෙත එතරම් පුදුමයට කරුණක් නොවුණත්, බටහිර විරෝධතා මැද ඉන්දියාව නොසැලී සිටීම අවධානයට ගත යුතු කරුණක්. තවදුරටත් කඳවුරක සාමාජිකයෙක් නොවී ස්වාධීන ව සිටීමේ හැකියාව ඉන්දියාව ලෝකයට පෙන්වමින් සිටින බව මින් ගම්‍ය වෙනවා.
චීනයේ දායකත්වය
චීනයේ රුසියානු බොරතෙල් ආනයනය 2022 දී 8% කින් ඉහළ ගිය අතර, එය දිනකට බැරල් මිලියන 1.72 ට සමාන වන අන්දමේ විශාල සැපයුමක් බව පැවසෙනවා. 2023 වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි අතර සිදු වූ ගනුදෙනුව සැලකීමේ දී දිනකට බැරල් මිලියන 1.94 ක් දක්වා එම අගය ඉහළ ගියා.
ඒ අනුව 2022ට සාපේක්ෂ ව 2023 ආරම්භක අවදියේ පටන් ම රුසියානු බොරතෙල් සඳහා විශාල වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට චීනය උත්සුක වී තිබුණා.
2022 දී රුසියාවේ නළ හරහා පැමිණෙන ගෑස් සහ ද්‍රවීකරණය කළ ස්වභාවික වායු ලබා ගැනීම සඳහා චීනය දැක් වූ දායකත්වය පිළිවෙළින් අමෙරිකානු ඩොලර් බිලියන 3.98 ක් සහ 6.75 ක් පමණ වෙනවා. එය පෙර තත්ත්වයට සාපේක්ෂ ව පිළිවෙළින් 2.6 ගුණයකින් සහ 2.4 ගුණයකින් පමණ ඉහළ යෑමක් ලෙස සඳහන්.
පසුගිය වසර තුළ චීනය ආනයනය කළ රුසියානු ගල් අඟුරු ප්‍රමාණයත් ඉහළ යි. ප්‍රතිශතයක් ලෙස එය 20%ක පමණ වර්ධනයක් බව වාර්තා වෙනවා. ඒ අනුව රුසියාවේ බලශක්ති වෙළඳපොළේ අංශ සියල්ලට ම පාහේ සාධනීය වර්ධනයක් අත්කර දීමට චීනය ලබාදුන් පිටුවහල ඉහළ යි. එහි දී රුසියාව ලබාදුන් වට්ටම් ද කැපී පෙනෙන වෙනස්කමක් සිදු කළා.
ඉන්දියාවේ දායකත්වය
දෙවැනියට වැඩි ම දායකත්වය ලබා දුන්නේ ඉන්දියාව යි. වර්තමානය වනවිට රුසියාවේ විශාලත ම බොරතෙල් පාරිභෝගිකයෙක් ලෙස ඉන්දියාව ඉස්මතු වෙමින් සිටිනවා. පසුගිය ජනවාරි මාසයේ පමණක් ඔවුන් දිනකට බැරල් මිලියන 1.4 ක බොරතෙල් ලබාගෙන ඇති අතර, දෙසැම්බරයට සාපේක්ෂ ව එය 9% වර්ධනයක් බව පැවසෙනවා. රුසියානු ගල් අඟුරු සඳහා ඇති ඉන්දීය ඉල්ලුමත් ඉහළ යමින් පවතිනවා. 2022 සැලකීමේ දී ප්‍රතිශතාත්මක ව එය 15% ක වර්ධනයක්.
විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි නරේන්ද්‍ර මෝදි ගේ රජය මැතිවරණ සටන සඳහා නුදුරේදී ම සූදානම් විය යුතු අතර, ඉන්දියාව යම් උද්ධමනකාරී වාතාවරණයකට ද මුහුණ දෙමින් සිටිනවා. එවැනි පසුබිමක ලාභදායී ආනයන නොසලකා සිටීමේ හැකියාවක් ඉන්දියාවට නැහැ.
රුසියානු බලශක්ති වෙළෙඳපොළෙන් පැමිණෙන වාසිය ලබා ගැනීමේ දී රුසියාවට සම්බාධක පනවා තිබෙන රටවල් සමඟ යහපත් අන්දමින් කටයුතු කිරීමත් ඉන්දියාවට අභියෝගයක්. එසේ වුව ද ඔවුන් බටහිර රටවල් සමඟ ආරක්ෂක සබඳතා වර්ධනය කරගන්නා අතරතුර රුසියාව සමඟ මිත්‍රශීලි සබඳතා පවත්වා ගැනීමට සමත් වී සිටිනවා. එය එක්තරා අන්දමකින් ගෝලීය දේශපාලනය තුළ ඉන්දියාවේ ස්වාධීනත්වය විදහා පාන්නක් වන අතර, ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ සමබරතාවත් ඉන් ප්‍රදර්ශනය වෙනවා.
රුසියාවට පැන වූ සීමා මොනවා ද?
රුසියාවේ බොරතෙල්, ස්වභාවික වායු සහ ගල් අඟුරු වෙළෙඳපොළට චීනය සහ ඉන්දියාව විවෘත නොවූයේ නම්, රුසියාවට එල්ල වන බලපෑමේ ස්වභාවය තේරුම් ගන්නේ කෙසේ ද?
මේ ගැටලුවට පිළිතුරක් සකස් කර ගැනීම සඳහා අපට බටහිර ජාතීන් රුසියාවට පැන වූ සම්බාධකවල ස්වභාවය සොයා බලන්නට සිදු වෙනවා. එහි දී යුරෝපා සංගමයේ සීමා කිරීම් ප්‍රධානත ම බලපෑම ලෙස සැලකිය හැකි යි. යුරෝපයේ බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල කොටසක් රුසියාව හරහා පැමිණීම ඊට හේතුව යි.
රුසියානු-යුක්‍රේන යුද්ධයේ ආරම්භයේ සිට මේ දක්වා යුරෝපා සංගමය, රුසියාවට එරෙහි සම්බාධක වරින් වර යාවත්කාලීන කර තිබෙනවා. එම සම්බාධක පැකේජ ආකාරයෙන් දක්වා ඇති අතර, මේ දක්වා පැකේජ දහයක් යටතේ විවිධ සීමා කිරීම් පනවා අවසන්. රුසියානු බොරතෙල් සහ පිරිපහදු කළ තෙල් ආනයනය තහනම් කිරීම විස්තර වන්නේ හයවැනි පැකේජය යටතේ යි. ඉන්පසු තුන්වැනි ලෝකයේ රටවල් සඳහා නෞකා මාර්ගයෙන් රුසියානු බොරතෙල් ප්‍රවාහනය කිරීමට අදාළ මිල සීමා කිරීම් යෝජනා වූ අතර, පසුගිය වසරේ දෙසැම්බර් සිට රුසියානු තෙල් බැරලයක් සඳහා ඩොලර් 60 ක මිල සීමාවක් පැනවීමටත් තීරණය වුණා.
දුෂ්කරතාවට පිළියම් ආසියාවෙන්
පසුගිය පෙබරවාරි මාසය වන විට මෙම මිල සීමාව තවදුරටත් දැඩි කළා. ඒ අනුව යුරෝපා කලාපයට තෙල් සැපයීමෙන් රුසියාවට තවදුරටත් ලාභයක් බලාපොරොත්තු වන්නට බැහැ. අවසාන ප්‍රතිපලය ලෙස මාර්තු මාසයේ පටන් දිනකට බොරතෙල් බැරල් 500,000 දක්වා කපා හැරීමට රුසියාවට සිදු වුණා.
මේ කාලය අතරතුර විකල්ප වෙළෙඳපොළක් සොයා ගැනීම සඳහා රුසියානු බල ශක්ති ක්ෂේත්‍රය උත්සහ කළ ද පිරිපහදු තෙල් සඳහා සුදුසු වෙළෙඳපොළක් සොයා ගැනීමට පහසු වුණේ නැහැ. ප්‍රධාන වශයෙන් ඉන්දියාව සහ චීනය තුළ මහා පරිමාණයේ තෙල් පිරිපහදු තිබෙන බැවින්, බොරතෙල් ලබා ගැනීම වඩාත් ලාභදායී ක්‍රියාවක්. අවසානයේ දී සෘජුව ම බොරතෙල් සැපයීම හරහා බලශක්ති වෙළඳපොළ ස්ථාවර ව තබා ගැනීමට රුසියාවට සිදු වුණා.
වර්තමාන ප්‍රවණතාව අනුව ලෝකයේ ප්‍රධාන ඛනිජ තෙල් වෙළෙඳපොළ දෙකක් බිහි වී තිබෙනවා. රුසියානු බොරතෙල් ලබා ගන්නා ඉන්දියාව සහ චීනය ඇතුළු පාරිභෝගික කාණ්ඩය ඉන් එකක් වන අතර, දෙවැන්න හැකිතාක් රුසියානු තෙල් පරිභෝජනයෙන් වැලකී සිටින කාණ්ඩය යි. ඔවුන් විකල්ප වෙළෙඳපොළ සොයමින් සිටියත්, විශේෂයෙන් යුරෝපාකරයේ සියලු රාජ්‍යවලට රුසියානු තෙල්වලින් මිදීම යනු විශාල අභියෝගයක්.
ආසියාව පුරා රුසියානු තෙල්?
රුසියානු බොරතෙල් සැපයුමේ ඇති ලාභදායී ස්වභාවය නිසා ඉන්දියාව සහ චීනයෙන් එපිටට ඔවුන් ගේ වෙළෙඳපොළ පුළුල් වීමේ ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබෙනවා.
උදාහරණයක් ලෙස තුර්කියත් රුසියානු බොරතෙල් වල ඉහළ ම ගැනුම්කරුවෙක් ලෙස ඉස්මතු වෙමින් සිටින අතර, විශ්ලේෂකයන් පවසන්නේ පාකිස්තානය සහ බංග්ලාදේශයත් එම මාර්ගය අනුගමනය කිරීමට ඉඩ තිබෙන බව යි. බටහිර සම්බාධක මඟ හරිමින් බොරතෙල් වෙළඳපොළක් ගොඩ නැඟීම සඳහා ඉරානය සහ රුසියාව එකට ක්‍රියා කිරීම සම්බන්ධයෙනුත් සැකයක් මතු වෙමින් තිබෙනවා.
මේ සියලු කරුණු පොදුවේ බැලූ කල රුසියාවේ බලශක්ති වෙළෙඳපොළට විශාල හානියක් සිදු කළ නොහැකි බව පෙනී යනවා. “අවශ්‍යතාව” කඳවුරු බැඳ ගැනීමට වඩා ප්‍රබල වීම ඊට හේතුවක් වන්නට පුළුවන්.