අප ගත කරමින් සිටින්නේ ඉතා කැලැඹිලි සහගත කාල වකවානුවක්. අභ්‍යන්තරික දේශපාලන ගැටලු පමණක් නොව, ගෝලීය දේශපාලනයේ පවා පෙර නොවූ විරූ මට්ටමෙන් ගැටලුකාරී වාතාවරණයක් උද්ගත වී තිබීමත් ඊට හේතුව යි. රුසියාව සහ යුක්‍රේනය අතර පවත්නා යුද ගැටුම් හමුවේ ලෝකය ආහාර සහ බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව අප දන්නා කරුණක්. ලෝක බලවතුන් කිසිවෙක් මේ තත්ත්වය සමහන් කිරීමට උත්සහ කරන බවක් පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට ඔවුන් ලෝක බල තුලනයේ තමාට හිමි භූමිකාව වඩාත් පුළුල් කර ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවා.
චීන-තායිවාන විරසකය
ඒ මෙහෙයුමේ නවත ම හැඩය වාර්තා වන්නේ පැසිෆික් කලාපයෙන්. අප කවුරුත් දන්නා පරිදි චීන-තායිවාන විරසකය දැන් උත්සන්න වී තිබෙනවා. යුදමය තත්ත්වයක් දක්වා එම විරසකය තවමත් වර්ධනය වී නොමැති වුවත්, දෙරටේ ක්‍රියකලාපය සහ ඔවුන්ට සහාය දක්වන අනෙකුත් ලෝක බලවතුන් ගේ හැසිරීම නිසා දශක ගණනක් පැරණි චීන-තායිවාන අර්බුදයත් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණේවිදැ යි සැක සංකා මතු වෙනවා.
චීනය මීට පෙර තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට යුද යානා යවමින් යම් තර්ජනාත්මක ආකාරයකින් හැසිරී තිබුණා. මෙවර තත්ත්වය ඊටත් වඩා බැරෑරුම් බව පසක් කරමින් බැලස්ටික් මිසයිල සංදර්ශනයක් තායිවාන සමුද්‍ර කලාපයේ පෙන්වීමට ඔවුන් ක්‍රියා කළා. එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි ගේ තායිවාන සංචාරයත් සමඟ යි චීනය මෙවැනි යුද අභ්‍යාසයක් ඇරඹුවේ. එය ආසන්නත ම හේතුව බව මතුපිටින් පෙනෙන්න තිබුණත්, තායිවානය යනු දශක ගණනාවක පටන් චීනයට භූ දේශපාලනික වශයෙන් වැදගත් වූ බිම්කඩක්. බීජිං පාලනයේ කොටසක් ලෙස පූර්ණ වශයෙන් තායිවානය ඈදා ගැනීම චීනයේ මුඛ්‍ය අරමුණ යි.
First island chain
තායිවානය යනු ගිනිකොන දිග චීනයේ වෙරළේ සිට සැතපුම් සියයක් පමණ දුරින් පිහිටි දූපත් රාජ්‍යයක්. එය “First island chain” ලෙස හඳුන්වන භූ ගෝලීය කලාපයේ වැදගත් ම ස්ථානයක පිහිටා තිබෙනවා. “First island chain” යනු නැගෙනහිර ආසියාවේ ප්‍රධාන මහද්වීපික භූමියෙන් එපිට දී හමුවන පළමු දූපත් දාමය යි. එය ජපානයේ සිට උතුරු පිලිපීන දූපත් හරහා බෝර්නියෝ දක්වා විහිදෙන අතර, තායිවානය දාමයේ මැදට වන්නට පිහිටා තිබෙනවා. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට අනුව “First island chain” යනු ඔවුන්ට හිතකර සහ මිත්‍රශීලි කලාපයක්. එය එක්තරා ආකාරයක පැසිෆික් සාගරයේ එක්සත් ජනපද බලය තහවුරු කරන පළමුවැනි පවුර බඳු යි.
චීනයට තායිවානයේ බලය තහවුරු කරගත හැකි වුණොත්, බටහිර පැසිෆික් කලාපය දක්වා තම බලය විහිදුවීමේ අවස්ථාවකට මඟ පෑදෙනවා. පැසිෆික් කලාපයේ එක්සත් ජනපදයට අයත් මර්මස්ථාන වන ගුවාම්, හවායි, මිඩ්වේ දූපත් පවා ඉන් තර්ජනයට ලක් විය හැකි යි.
භූ දේශපාලනික කරුණු හැරෙන්නට තවත් බොහෝ සාධක ඔස්සේ තායිවානය වැදගත් භූමිකා රැසක් ලෝකය තුළ ඉටු කරනවා. ඉන් ප්‍රධානත ම භූමිකාව වන්නේ ඔවුන් ගේ ආර්ථිකය යි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ රැසක පරිගණක චිප් නිපදවන්නේ තායිවානය යි. නිදසුනක් වශයෙන් තායිවානය කේන්ද්‍ර කරගත් TSMC (Taiwan Semiconductor Manufacturing Company) සමාගමේ නිෂ්පාදන ලෝක වෙළඳපොළේ අඩකටත් වඩා දකින්න ලැබෙනවා. ඒ අනුව තායිවානය නවීන තාක්ෂණය පවත්වා ගැනීම සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් මර්මස්ථානයක් සේ ක්‍රියා කරන රාජ්‍යයක්. ලෝක ආර්ථිකය තුළ බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාන්විතයේ දී චීනයට තායිවානය වැදගත් ම සන්ධිස්ථානයක් වන්නේ ඒ නිසා යි. දැන් අපි මේ අර්බුදයේ ඉතිහාසය කෙටියෙන් තේරුම් ගන්නට උත්සහ කරමු.
සැබෑ චීනය
17 වැනි සියවසේ දී ක්විං රාජවංශය චීනයේ පාලන කටයුතු අරඹන විට තායිවානය චීනයේ පරිපාලනයට නතු වූ කොටසක් ලෙස සැලකුණා. කෙසේ නමුත්, 1895 දී උද්ගත වූ පළමු චීන-ජපන් යුද්ධයෙන් චීනය පරාජය වීමත් සමඟ තායිවානය (එකල ෆෝර්මෝසාව ලෙස තායිවානය හැඳින්වූවා.) ජපානයේ පරිපාලනයට නතු වුණා.
1945 දී දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමඟ චීනය තායිවානය නැවතත් අත්පත් කර ගත්තා. ඒ වනවිට චීන ප්‍රධාන භූමියේ විශාල දේශපාලන අර්බුදයක් හට ගනිමින් තිබුණා. අර්බුදය ඇති වුණේ චියැං කායි-ෂෙක් ගේ නායකත්වයෙන් යුතු චීන ජාතිකවාදී පක්ෂය සහ මාඕ සේතුං ගේ නායකත්වයෙන් යුතු කොමියුනිස්ට් පක්ෂය අතර යි. පසු ව එය ප්‍රධාන භූමියේ සිවිල් යුද තත්ත්වයක් ඇති කිරීමට පවා හේතු වුණා. මෙහි දී කොමියුනිස්ට්වාදීන්ට සෝවියට් දේශයේ සහය ලැබුණු අතර, ජාතිකවාදීන්ට අමෙරිකානු සහයෝගය ලැබුණා.
1949 දී මාඕ සේතුං ප්‍රමුඛ චීන කොමියුනිස්ට්වාදීන් ප්‍රධාන භූමියේ බලය තහවුරු කරගත් බැවින්, චියැං කායි-ෂෙක් ප්‍රමුඛ ජාතිකවාදීන් තායිවානයට පලා ගියා. කොමියුනිස්ට්වාදීන්ට තායිවානයට ගොස් ජාතිකවාදීන් දඩයම් කිරීමේ ඉඩ ප්‍රස්තාව ලැබුණේ නැහැ. ඒ සඳහා එක්සත් ජනපදයේ මැදිහත්වීමත් ප්‍රබල ව බලපෑවා.
චීන ජනරජය
ඉන්පසු තායිවානය “චීන ජනරජය” වශයෙන් තමා හඳුන්වා ගත් අතර, ප්‍රධාන භූමිය “මහජන චීන සමූහාණ්ඩුව” ලෙස පාලන තන්ත්‍රය ගෙන ගියා. මේ බෙදී යෑමත් සමඟ “චීන රජය” ලෙස නිල වශයෙන් පිළිගත යුත්තේ කුමක් ද යන්න සම්බන්ධයෙන් ලෝකයේ විවාදයක් ඇති වුණා. මුල් කාලයේ දී නිල පිළිගැනීම තායිවානයට වඩාත් නැඹුරු වන තත්ත්වයකින් පැවතුණත්, 1971 දී එක්සත් ජාතීන් ගේ සංවිධානය “මහජන චීනය” සිය නිල චීන නියෝජිතයා ලෙස පිළි ගත්තා. එතැන් පටන් මහජන චීනය ට තිබූ ජාත්‍යන්තර පිළි ගැනීම ඉහළ ගිය අතර, තායිවානය තරමක් පසුබෑමකට ලක් වුණා.
චීනය අදටත් තායිවානය තම රටේ කොටසක් වශයෙන් සලකනවා. දැනට තායිවානයේ ස්වෛරීත්වය පිළි ගන්නේ රටවල් 13 ක් පමණ යි. තායිවානයේ ස්වෛරීත්වය නොපිළිගන්නා ලෙස චීනය බොහෝ රටවලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ බලපෑම් සිදු කරන්නේ කලක් පටන්.
නැන්සි පෙලෝසි ගේ ආගමනය
දශක හතක් මුළුල්ලේ අඩු වැඩි වශයෙන් ඉස්මතු වූ චීන-තායිවාන විරසකය දැන් තිබෙන්නේ උච්චත ම ස්ථානයක යි. නැන්සි පෙලෝසි ගේ තායිවාන සංචාරයත් ඊට බලපෑවා. එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරිය තායිවානයට පසුගිය අගෝස්තු 2 වැනිදා ගොඩබැස්සේ චීන ජනාධිපති ෂී ජින්පින් ගේ අනතුරු හැඟවීම් පවා නොසලකා හරිමින්. චීනය කුපිත කිරීම හරහා ගින්දර සමඟ ක්‍රීඩා නොකරන ලෙස ෂී ජින්පින් එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබුණා. තායිවානයට මෙලෙසින් ඉහළම මට්ටමේ රාජ්‍ය නිළධාරියෙක් පැමිණෙන්නේ වසර 25 කට පසුව වීම විශේෂත්වයක්. නැන්සි පෙලෝසි, චීන පරිපාලනය ප්‍රබල ව විවේචනය කරන තැනැත්තියක් වන අතර, චීනයේ කෝපය අරුමයක් නොවන බව ඉන් පෙන්නුම් කරනවා.
චීන විරෝධයට නැන්සි පෙලෝසි ද ප්‍රතිචාර දැක්වීමට අමතක කළේ නැහැ. එහි දී “තායිවාන සබඳතා පනත” මතක් කර දෙමින් ඇය පැවසුවේ තායිවානය වෙනුවෙන් පෙනී සිටීම එක්සත් ජනපදයේ පොරොන්දුවක් බව යි. ඒ බව තහවුරු කිරීම සඳහා මෙම සංචාරය සිදු කළ බව යි පැවසෙන්නේ.
පෙලෝසි ගේ චීන විරෝධය
පෙලෝසි ගේ චීන විරෝධය සම්බන්ධයෙන් හොඳ ඉතිහාසයක් තිබෙනවා. 1991 බීජිං සංචාරයේ දී ටියැන්මෙන් චතුරශ්‍රයේ සමූල ඝාතනයේ වින්දිතයන්ට සහාය දක්වමින් ඇය බැනරයක් ප්‍රදර්ශනය කළ අතර, ඇය ගේ චීන විරෝධී ස්ථාවරය එතැන් පටන් අද දක්වා නොවෙනස් ව පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දැක්වූ විරෝධතාකරුවන් පිරිසක් චීන ආරක්ෂක හමුදා ඝාතනය කළේ 1989 වර්ෂයේ දී යි. ඉන් වසර දෙකකට පසු ඇය මෙවැනි ක්‍රියාවකට දායක වීම විශේෂත්වයක්. චීන රජය උයිගර්වරුන් සහ අනෙකුත් මුස්ලිම් ජනයා මර්දනය කිරීමට එරෙහිවත් ඇය හඬ නැඟුවා. වෙළෙඳ අවශ්‍යතා මත චීනයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් නොදැක සිටිනවා නම්, ඕනෑම තැනක දී මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරාත්මක අයිතිය එම පාර්ශවයට අහිමි වන බව ඇය පවසා තිබුණා.
පෙලෝසි ගේ චීන විරෝධී ආකල්ප හමුවේ එක්සත් ජනපද දේශපාලනය පවා වරින් වර කැලඹෙනවා. ඇය ගේ තායිවාන සංචාරය එතරම් හොඳ අදහසක් නොවන බව එක්සත් ජනපද හමුදාව පවසා තිබෙන අතර, මහජන මතය වන්නේ ද එම සංචාරය නුසුදුසු ක්‍රියාවක් බව යි.
යුද්ධයක් ඇති වුණොත්..?
පෙලෝසි ගේ සංචාරය කොතරම් ආන්දෝලනයකට තුඩු දුන්නත්, දැන් සියල්ල සිදු වී හමාර යි. තායිවානය, බීජිං පාලනයේ කොටසක් ලෙස නිල වශයෙන් ඈඳා ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට හොඳ හේතුවක් දැන් චීනය ග්‍රහණය කරගෙන තිබෙනවා. එය ඔවුන් දිගට ම ඉදිරියට ගෙන යනු ඇති. දැන් ලෝකය බලා සිටින්නේ ආසියානු කලාපයේත් “යුක්‍රේනයක්” බිහි වීමට ඉඩකඩක් තිබේ ද යන්න යි. සැබැවින් ම යුද්ධයක් දක්වා ම චීන-තායිවාන අර්බුදය දුරදිග ගියහොත්, තායිවානයට එම තත්ත්වය දරාගත හැකි වේවි ද?
චීනය, එක්සත් ජනපදය හැර වෙනත් ඕනෑම රටකට වඩා ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන රාජ්‍යයක්. ත්‍රිවිධ හමුදා බලයට අමතර ව මිසයිල තාක්ෂණය, සයිබර් ප්‍රහාර, න්‍යෂ්ටික බලය දක්වා විශාල පරාසයක යුද බලයක් ඔවුන් සතු යි. තායිවානය ලෝකයේ ප්‍රබල යුද ශක්තියක් සහිත රාජ්‍යයක් ලෙස සැලකුවත්, චීනය සමඟ සැසඳීමේ දී දෙරට අතර දැවැන්ත අසමතුලිතතාවක් පවතිනවා.
තායිවානයේ උපාය මාර්ගික ආරක්ෂණ ස්ථාන
දෙරට අතර විවෘත ගැටුමක් ඇති වුවහොත්, චීන ප්‍රහාර මන්දගාමී කිරීම, චීන හමුදා තායිවාන වෙරළට ගොඩ බැසීම වැලැක්වීම, ගරිල්ලා ප්‍රහාර වැනි ක්‍රියා අනුගමනය කිරීම වඩාත් සුදුසු බව බටහිර යුද විශේෂඥයන් පවසනවා. එවිට බාහිර පාර්ශවයකින් සහය ලැබෙන තුරු ආක්‍රමණයකින් ගැලවී සිටිය හැකි යි. තායිවානයේ උපාය මාර්ගික ආරක්ෂණ ස්ථාන ගැන සැලකීමේ දී චීනයටත් එය පහසු ඉලක්කයක් වන්නේ නැහැ. පෙර පැවසූ පරිදි ම බාහිර සහාය ලැබෙන තුරු භූමිය ආරක්ෂා කර ගැනීමේ විභයක් තායිවානය සතු යි.
බාහිර සහාය මූලික ව ම එක්සත් ජනපදය හරහා ලැබීමේ හැකියාව ඇතත්, චීන-තායිවාන අර්බුදය ඉදිරියේ ඔවුන් අනුගමනය කිරීමට සූදානම් වන උපායමාර්ගික ප්‍රතිපත්තිය තවමත් අපැහැදිලි යි. යුක්‍රේන-රුසියානු ගැටුමේ දී පවා ඔවුන් සෘජු මැදිහත් වීමක් දැක්වූයේ නැහැ. ඒ වෙනුවට යුද ආධාර සහ මානුෂීය ආධාර පමණක් යුක්‍රේනයට ලබා දීමට එක්සත් ජනපද කඳවුර කටයුතු කර තිබුණා. දැන් යුක්‍රේනය යනු ඉතා අස්ථාවර රාජ්‍යයක්. දශක හතක් තුළ තායිවානය සමෘද්ධිය කරා පැමිණි ගමන සැලකීමේ දී යුක්‍රේනයේ ඉරණම ඔවුන්ටත් අත් වුවහොත්, එය මහා ඛේදවාචකයක් වනු නොඅනුමාන යි. පුද්ගල නිදහස අගයමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවතීර්ණ වූ රාජ්‍යයක් ලෙස චීනය ඉදිරිපිට ම ඔවුන් ලෝකයට පෙන්වන ආදර්ශය සුළුපටු නැහැ.
තම දිගුකාලීන විරසකය යුද්ධයක් දක්වා වර්ධනය කර ගත් රුසියාව, චීන-තායිවාන අර්බුදය හමුවේ දරණ මතය ප්‍රකාශ කොට තිබෙනවා. පෙලෝසි ගේ තායිවාන සංචාරය සම්බන්ධයෙන් රුසියාවත් චීනයේ මතය සමඟ එකඟ වන අතර, එය ප්‍රකෝපකාරී සංචාරයක් ලෙස හුවා දක්වමින් වොෂිංටන් සහ බීජිං පාලනය ගැටුම්කාරී මාවතකට ප්‍රවේශ විය හැකි බව අනතුරු හැඟවූවා.