Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානු සාහිත්‍යයේ සඳහන් සොඳුරු තැන්

ශ්‍රී ලාංකික පාඨකයන්ට රුසියානු සාහිත්‍යය රස විඳින්නට මග පෙන් වූ අය අතර ඉහළින් ම රැඳෙන නාමයක් ලෙස ‘දැදිගම වී. රුද්රිගු’ යන්න හැඳින්වීමේ වරදක් නැහැ. එතුමා රුසියානු සුරංගනා කථාන්තර පමණක් නොව ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් ලොවට දායාද කළ අග්‍රගණ්‍ය නවකතා පවා ශ්‍රී ලාංකික පාඨකයින් වෙත රැගෙන ආවා.

මේ හේතුවෙන් කිසිම දිනෙක රුසියාවට පා නොතැබූ අයෙකුට පවා මොක්සව් නුවර රතු චතුරස්‍රය, ශාන්ත පීටර්ස්බර්ග් හි කෞතුකාගාර, ක්‍රෙම්ලිනය පමණක් නොව සීතල උතුරුකරයේ සැඟ වී ඇති පිටිසර රුසියානු ගම්මානයන් හි රිසි සේ සැරිසැරීමට අවස්ථාවක් හිමි වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.

(© Brando)
මොස්කව් නුවර රතු චතුරස්‍රය

මේ ලිපිය රුසියානු සාහිත්‍යයේ සඳහන් අපරිමිත වූ ස්ථාන අතරින් නෙත් පිනවන සොඳුරුත ම දසුන් මවන ස්ථාන කිහිපයක් ගැන යි.

බයිකාල් විල

ගිනිකොන දිග සයිබීරියාවේ ඝන වනාන්තර අතරේ සැඟ වී ඇති ‘බයිකාල් විල’, මිහිමත ඇති විශාලත ම සහ ගැඹුරින් වැඩි ම මිරිදිය ජලාශය යි. අදින් වසර මිලියන 25 ක පමණ පෙර නිර්මාණය වී ඇති එය ලොව නොමිදුණු (unfrozen) මිරිදිය සංචිතයෙන් 20% ක පමණ ප්‍රමාණයක් දරාගෙන සිටිනවා. ඇතැම් විටෙක ‘රුසියානු ගැලපගෝස් දූපත්’ ලෙස හඳුන්වන මීටර් 1,700 ක ගැඹුරෙන් යුතු බයිකාල් විල, ඒකදේශීක ශාක සහ සත්ත්ව විශේෂ 1,700 – 1,800 අතර ප්‍රමාණයකට නවාතැන් සපයනවා.

© Robin Verma

මොංගෝලියානු දේශ සීමාවේ පිහිටා ඇති බයිකාල් විල නැරඹීම සඳහා වසරකට සංචාරකයින් 500,000 ක් පමණ ඇදී එන්නේ එහි පවතින අධික සීතල නොසලකමින්. 1996 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය විසින් එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. ඒ බයිකාල් විල ආශ්‍රිත ව දැක ගත හැකි අතිවිශිෂ්ට මිරිදිය ජෛව පද්ධතිය සහ වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමවාදී විද්‍යාවන් සඳහා එය ලබා දුන් දායකත්වය සැලකිල්ලට ගෙන යි.

සයිබීරියාව

ආසියාවේ උතුරු සීමාවේ පිහිටා ඇති සයිබීරියාව, බටහිර දෙසින් යූරල් කඳුවැටියට, නැගෙනහිර සහ දකුණු දෙසින් ශාන්තිකර සාගරයට, උතුරු මැදින් කසකස්ථානයට, මොංගෝලියාවට සහ චීනයට මායිම් ව වර්ග කිලෝ මීටර් 13,488,500 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙනවා. සංචාරකයෙක්ට සයිබීරියාවට ළඟා විය හැකි පහසු ම ක්‍රමය වන්නේ ලෝක ප්‍රසිද්ධ ට්‍රාන්ස්-සයිබීරියානු දුම්රිය මග හරහා යි. දින 14 ක් මුළුල්ලේ සයිබීරියාවේ සොඳුරු ම ස්ථාන පසු කරගෙන යන එම දුම්රිය ගමන සංචාරකයෙකුට අමතක කළ නොහැකි අත්දැකීමක් වන බවට සැකයක් නැහැ.

(© Andrey Snegirev)
සයිබීරියාවේ උත්තරාලෝක

එසේ ම සයිබීරියාව අමූර් කොටින්ගේ රජ දහන යි. මිහිමත සිටින සුන්දර ම සත්ත්වයෙක් ලෙස සැලකෙන අමූර් කොටි, ඔවුන් ස්වභාවික ජන්ම භූමියේ දී දැක ගැනීමට ලැබීම සත්ත්වවේදීන්ට අගනා අවස්ථාවක් වන බව නම් අවිවාදාත්මක යි.

කළු මුහුද

ලෝකයේ ජනප්‍රිය ම අභ්‍යන්තර සාගරයක් වන කළු මුහුද පිහිටා ඇත්තේ රුසියාව, තුර්කිය, යුක්රේනය, ජෝර්ජියාව, බල්ගේරියාව සහ රුමේනියාව යන රාජ්‍යයන්ට මැදි ව යි. මධ්‍යකාලීන යුගයේ එය ‘කළු මුහුද’ යන නාමයෙන් හැඳින්වීම අරඹා ඇත්තේ තුර්කි ජාතිකයන් වන අතර එයට හේතුව කුමක් ද යන්න කිසිවෙක් අනාවරණය කරගෙන නැහැ.

© Galushchak

සෑම විටෙක ම නිශ්චිත ජල මට්ටමක් පවතින කළු මුහුද මැද අලංකාර මලින් බර වූ කුඩා දූපත් කිහිපයක් දැක ගැනීමට ලැබෙනවා. නෙතට ප්‍රිය දසුනක් වුව ද කළු මුහුද භයංකර ස්ථානයක් බව යි රුසියානුවන්ගේ විශ්වාසය වන්නේ. ජනශ්‍රැතීන්ට අනුව මිය ගිය අයගේ මළ සිරුරු නොනැසී කළු මුහුද පතුලේ තැන්පත් ව තිබෙනවා. එසේ ම වසරක් ගණනාවක් තව වුව ද දිරාපත් නොවූ දැව කැබලි, ඔරුවල සුන්බුන් සහ ලණු ආදිය කළු මුහුදු ඉවුරේ දැක ගැනීමට ලැබෙනවා. විද්‍යාඥයින් සඳහන් කරන්නේ එයට හේතුව කළු මුහුදේ පහළ ජල මට්ටමේ පවතින ඔක්සිජන් හිඟතාවය නිසා දිරාපත් වීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස මන්දගාමී වීම බව යි.

කම්චට්කා

නිරන්තරයෙන් ගිනි කඳු පුපුරන, ඝන වනාන්තරයන් හි දුඹුරු වලසුන් රජයන, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විනෝදයට මසුන් ඇල්ලීමට යන කම්චට්කා අර්ධද්වීපය හඳුන්වන්නේ ‘රුසියාවේ ඊඩන් උයන’ ලෙස යි. නැගෙනහිර දිග රුසියාවේ පිහිටා ඇති කම්චට්කා අර්ධද්වීපය විකාරරූපී භූමියක් ලෙස හැඳින්වීම වරදක් නොවෙයි. නොයෙක් ස්වරූපයේ භූ දර්ශනයන්ගෙන් සැදි එහි දී ගිනිකඳු, කඳුවැටි, උණු දිය උල්පත් පමණක් නොව හරිත පැහැ නිම්නයන් ද දැක ගැනීමට ලැබෙනවා.

© Eugene Kaspersky

කම්චට්කා හි ඇති ඉහළ ම සංචාරක ආකර්ෂණයක් හිමි ස්ථානයක් වන්නේ ‘උණු දිය උල්පත් නිම්නය’ යි. වර්ග කිලෝමීටර් 32 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින කුරුබිලියක් (canyon) වන එහි දී දළ වශයෙන් උණු දිය උල්පත් 90 ක් පමණ දැක ගැනීමට ලැබෙනවා.

අල්තායී කඳුවැටිය

මොංගෝලියානු බසින් ‘රන්වන් කඳුවැටිය’ යන අරුතෙන් නම් කර ඇති අල්තායී කඳුවැටිය ගිනිකොන දිග වයඹ දෙසින් ගෝබි කාන්තාරයේ සීමාව ලකුණු කරනවා. එය පිහිටා ඇත්තේ අත්ලාන්තික්, ඉන්දියානු සහ ශාන්තිකර සාගරයන් හි සිට සමාන දුරකින් වන බැවින් ස්වදේශිකයන් එය ලෝකයේ අක්ෂ රේඛාව (the axis of the world) ලෙස ද සලකනවා. අල්තායී කඳුවැටියේ උසින් වැඩි ම කඳු මුදුන ලෙස සැලකෙන්නේ බෙලූකා කන්ද යි.

© Влад Соколовский

1998 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය විසින් අල්තායී කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ උතුරු ආසියාවට ආවේණික සහ දුර්ලභ කඳුකර ශාක සහ සත්ත්ව විශේෂ රැසක් දැක ගත හැකි වැදගත් ජෛව විවිධත්ව කේන්ද්‍රස්ථානයක් වීම හේතුවෙන්. එසේ ම වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති (endangered) ඇති හිම දිවියන් (snow leopard) ද අල්තායී කඳුවැටියේ දී දැක ගැනීමට ලැබෙනවා.

ඉසික්-කුල් විල

මුහුදු මට්ටමේ සිට මීටර් 1,609 ක් උසින් නැගෙනහිර කිර්ගිස්තානයේ පිහිටා ඇති ඉසික්-කුල් විල, ලොව දෙවැනියට විශාලත ම කඳුකර විල යි. කොතරම් සීතල කාලගුණයක දී වුව ද නොමිදෙන එය ‘ඉසික්-කුල්’ ලෙස හඳුන්වන්නේ ‘උණුසුම් විල’ යන අරුතින්. සේද මාවත භාවිතයේ පැවති කාලයේ ගමන් මග අතරතුර පිහිටි වැදගත් නැවතුම්පොළක් ලෙස ඉසික්-කුල් විල භාවිතා කර ඇති බව පැරණි ලේඛන සාක්ෂි පෙන්වා දෙනවා. ගංගාවන් 118 ක් ඉසික්-කුල් විලට ගලා බසින අතර එය කිසිම දිනෙක නොමිදීමට හේතු වන්නේ විල පතුලේ පිහිටා ඇති උණු දිය උල්පත්.

© Ultra Panavision

මෑත කාලීන ව ඉසික්-කුල් විල් පතුලේ පැරණි ශිෂ්ටාචාරයක නටඹුන් සොයාගෙන තිබෙනවා. ජනශ්‍රැතීන්ට අනුව ඕසුනස් නම් රාජ්‍යයේ රජුට බූරුවෙකුගේ කන් පිහිටි අතර එය සඟවා තබා ගැනීම සඳහා ඔහුගේ හිස කෙස් කැපීමට පැමිණෙන සෑම කරනවෑමියෙක් ව ම මරණයට පත් කිරීමට කටයුතු කළා. මරණයට පෙර එක් කරනවෑමියෙක් මෙම රහස ළිඳකට පවසා ඇති නමුත් නිසි පරිදි ළිඳ වැසීමට අමතක වීම හේතුවෙන් පසු ව ළිඳ පිටාර ගලා සමස්ත රාජධානිය ම බිලිගෙන තිබෙනවා. එය සැලකෙන්නේ ඉසික්-කුල් විලේ ඇරඹුම ලෙස යි.

කවරයේ පින්තූරය : © TRANSSIBERIAN by Private Train

Related Articles