ජර්මනියේ ඇති පැරණිත ම සහ හොඳ ම සත්ත්වෝද්‍යානය ලෙස සැලකෙන්නේ 1844 වසරේ දී අරඹන ලද බර්ලින් සත්ත්වෝද්‍යානය යි. අක්කර 86.5 ක භූමි බාගයක් පුරාවට විහිදී ඇති එය බර්ලින් හි ටියර්ගාටන් නම් උද්‍යානය මධ්‍යයේ පිහිටා තිබෙනවා. විශේෂ 1,380 කට පමණ අයත් සතුන් 18,662 කට සෙවණ සපයන බර්ලින් සත්ත්වෝද්‍යානය සැලකෙන්නේ ලෝකයේ විස්තීර්ණ ම සත්ත්ව එකතුව ලෙස යි.
2013 වසරේ දී පමණක් මිලියන 3 ඉක්මවා ගිය සංචාරකයින් ප්‍රමාණයක් බර්ලින් සත්ත්වෝද්‍යානය සහ මින්මැදුර දැක බලා ගැනීමට පැමිණ තිබෙන අතර යුරෝපයේ වැඩි ම සංචාරකයින් ගණනක් පැමිණෙන සහ ලෝකයේ ජනප්‍රිය ම සත්ත්වෝද්‍යානය ලෙස ද එය සැලකෙනවා. බර්ලින් සත්ත්වෝද්‍යානයේ නිවැසියන් අතර ලෝ වාසීන්ගේ නොමඳ ආදරයට පත් වූවන් ලෙස ‘ක්නට්’ නම් හිම වලසා සහ නම් බාවු-බාවු නම් යෝධ පැන්ඩා වලසා ව හඳුන්වා දිය හැකි යි.
ලෝකයේ අනෙකුත් සත්ත්වෝද්‍යාන, විශ්ව විද්‍යාලය සහ පර්යේෂණ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බර්ලින් සත්ත්වෝද්‍යානය, වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීම සහ යුරෝපීය වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂ වැඩසටහන (European Endangered Species Programme) නම් ක්‍රියා පිළිවෙතක් පවත්වාගෙන යාම සඳහා අනුග්‍රහය ලබා දෙනවා.
සත්ත්වෝද්‍යානයේ ඉතිහාස කතාව
1844 වසරේ අගෝස්තු මස 1 වැනි දින විවෘත කරන ලද බර්ලින් සත්ත්වෝද්‍යානය ජර්මනියේ ප්‍රථම සත්ත්වෝද්‍යානය වන අතර එහි මින්මැදුර විවෘත කර ඇත්තේ 1913 වසරේ දී යි. එවකට ප්‍රශියාවේ සිහසුන දැරූ සිව් වැනි ෆ්‍රෙඩ්රික් විලියම් රජු, ටියර්ගාටන් හි පැවති සත්ත්ව සහ පක්ෂි එකතුවක් ඒ සඳහා පරිත්‍යාග කර තිබෙනවා.
දෙවැනි ලෝක සංග්‍රාම යුගයේ දී බර්ලින් සත්ත්වෝද්‍යානය පිහිටි භූමිය සම්පූර්ණයෙන් ම විනාශයට පත් වූ අතර 3,715 ක් වූ සත්ත්ව ප්‍රමාණයෙන් දිවි ගලවාගෙන තිබුණේ සතුන් 91 ක් පමණ යි. එයට සිංහයන් දෙදෙනෙක්, හයිනාවන් දෙදෙනෙක්, ආසියානු අලියෙක්, හිපපොටේමස් සත්ත්වයෙක්, හැමඩ්‍රයස් බැබූන් සතුන් දස දෙනෙක්, චිම්පන්සියෙක් සහ කළු කොකෙක් ඇතුළත් වුණා. යුද්ධයේ අවසන් කාලය වන විට සත්ත්වෝද්‍යානය පැවති ස්ථානයේ පැවතී ඇත්තේ සතුරු අහස් යාත්‍රාවලට වෙඩි තබන තුවක්කු සවි කරන ලද විශාල කුළුණක්.
පසු කලෙක දී බර්ලින් සත්ත්වෝද්‍යානය සහ මින්මැදුර යළි ගොඩ නංවන ලද අතර එහි දී ප්‍රදර්ශනය සඳහා සත්ත්වෝද්‍යානයේ රඳවා තබා ගන්නා සතුන්ට ඔවුන්ගේ ස්වභාවික පරිසරයට හැකිතාක් සමාන ආකාරයේ පරිසරයක් නිර්මාණය කර දීම සඳහා එවකට පැවති නවීන ක්‍රමවේදයන් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර සත්ත්වෝද්‍යානය තුළ ඉතාමත් දුර්ලභ සත්ත්ව විශේෂයන්ට අයිති සතුන් පවා සාර්ථක ව අභිජනනය කිරීම මගින් පෙනී යන්නේ එම ක්‍රමවේදයන් සාර්ථක වී ඇති බව යි.
බර්ලින් සත්ත්වෝද්‍යානය
2013 වසරේ දී ඉදිරිපත් කරන ලද දත්තයන්ට අනුව එම වසර තුළ දී බර්ලින් සත්ත්වෝද්‍යානය සඳහා මිලියන 3 ඉක්මවන ලද සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙන අතර ඒ හේතුවෙන් ම එය යුරෝපයේ වැඩියෙන් ම සංචාරය කරන ලද සත්ත්වෝද්‍යානය ලෙස සැලකෙනවා. වසර පුරා ම විවෘත ව ඇති එයට ළඟා විය හැකි පහසු ම ක්‍රමවේදය වන්නේ දුම්රිය යි. සත්ත්වෝද්‍යානයට ඇතුළු වීම සඳහා මින්මැදුර පිටුපසින් විචිත්‍ර ලෙස නිර්මාණය කරන ලද ‘හස්ති දොරටුව’ (Elephant Gate) සහ ‘සිංහ දොරටුව’ (Lion Gate) යනුවෙන් දොරටු ද්විත්වයක් පවතින අතර ඒ සඳහා වැඩිහිටි පුද්ගලයෙකුගෙන් යුරෝ 14.50 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 2415/-) ක සහ වයස අවුරුදු 15 ට අඩු දරුවන් සඳහා යුරෝ 7.50 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 1249/-) ක වටිනාකමකින් යුක්ත ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනු ලබනවා. මෙම ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන මුද්‍රණය කර ගත හැකි අතර එය වසර දෙකක කාලයක් සඳහා වලංගු වෙනවා.
සත්ත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන්නගේ ආකර්ෂණය වැඩි වැඩියෙන් දිනා ගැනීම සඳහා බර්ලින් සත්ත්වෝද්‍යාන පරිපාලනය විසින් නෙයෙක් ආකාරයේ වැඩසටහන් හඳුන්වා දී තිබෙනවා.
1 – සතුන්ට ආහාර ලබා දීම සහ සංදර්ශන
දිනපතා පැවැත්වෙන මෙම වැඩසටහන්වල දී මූලිකත්වය ලබා දෙන්නේ ඇතුන්, ගෝරිල්ලන්, පෙන්ගුයින්, සීල් මසුන් වැනි යුරෝපයේ දී අඩුවෙන් දක්නට ලැබෙන සතුන්ට යි.
2 – සතුන් අධ්‍යයනය
මෙය දැවැන්ත පරිදර්ශකයක් ඔස්සේ එනම්, හිපපොටේමස් සතුන් වතුර යටතේ හැසිරෙන අයුරු නිරීක්ෂණය කිරීම (Hippo), නිශාචර සතුන් අධ්‍යයනය කිරීම සඳහා සකසන ලද අඳුරු කුටි (Nocturnal Houses), පෙන්ගුයින් පක්ෂීන් නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති කෘත්‍රීම ඇන්ටාක්ටිකාව (Penguin World), ගොඩනැගිල්ලක් තුළ නිමවන ලද විචිත්‍රවත් කුරුළු නිවෙස (World of Birds) සහ ගෝරිල්ලා, ඔරංඔටන් සහ චිම්පන්සීන් වැනි වඳුරු විශේෂ අධ්‍යයනය කිරීම (Great Apes) ආදී ලෙස ආකාර පහක් යටතේ සිදු කරනවා.
3 – නියමු චාරිකා
බර්ලින් සත්ත්වෝද්‍යානය මගින් පාසල් වේලාවෙන් පසුව කුඩා දරුවන්ට රැඳී සිටීම සඳහා පහසුකම් සලසන අතර සතුන් පිළිබඳ ඉගෙන ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වනු ලබනවා. එසේ ම කුඩා දරුවන්ගේ උපන්දින උත්සව පැවැත්වීම සඳහා අවැසි පහසුකම් ද සත්ත්වෝද්‍යානය මගින් සපයනවා.
බර්ලින් මින්මැදුර
1913 වසරේ දී ගොඩ නංවන ලද බර්ලින් මින්මැදුර, බර්ලින් සත්ත්වෝද්‍යාන සංකීර්ණයේ ම කොටසක් ලෙස සලකන අතර ලෝකයේ ඉහළ ම ජෛව විවිධත්වයකින් යුතු මින්මැදුරක් ලෙස නම් කර තිබෙනවා. එයට ඇතුළු වීම සඳහා වෙනම ම හෝ සත්ත්වෝද්‍යාන ප්‍රවේශපත්‍ර හා ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත හැකි යි. වැඩිහිටියෙකු සඳහා ඒකබද්ධ ප්‍රවේශ පත්‍රයක මිල යුරෝ 20.00 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 3300/-) ක්.
බර්ලින් මින්මැදුර මහල් ත්‍රිත්වයකින් යුතු ගොඩනැගිල්ලක් වන අතර එහි දී නොයෙක් ආකාරයේ මසුන්, ජල්ලි මත්ස්‍යයින්, කිඹුල් විශේෂ සහ කුරුමිණියන් දැක බලා ගත හැකි යි. එහි මසුන් ප්‍රදර්ශනය සඳහා ටැංකි 250 ක් පමණ ද උභය ජීවීන් සහ උරගයින් වෙනුවෙන් වෙනම ම කොටසක් ද වෙන් කර තිබෙනවා.
එසේ ම බර්ලින් මින්මැදුරේ ලීටර් 25,000 ක පමණ ධාරිතාවයකින් යුතු නොගැඹුරු බේසම් දුසිමක්, ලෝකයේ විවිධ ස්ථානවල දී දක්නට ලැබෙන කොරල් පර සඳහා වෙන් කර ඇති අතර එයින් විශාලත ම බේසමෙන් නිරූපණය වන්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය යි.
සත්ත්වෝද්‍යානයේ දී හමු වන විශේෂ අමුත්තෝ
2006 – 2011 දක්වා කාලය තුළ දී බර්ලින් සත්ත්වෝද්‍යානයේ සිටි ජනප්‍රිය ම සාමාජිකයා වූයේ ක්නට් නම් හිම වලසා යි. සත්ත්වෝද්‍යානය තුළ දී උපත ලද ඔහු ව මව විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර වසර 165 ක සත්ත්වෝද්‍යානය ඉතිහාසයේ දී 30% ක් එහි ලාභය ඉහළ දැමීමට ක්නට් දායක වී තිබෙනවා. 2011 වසරේ දී නරඹන්නන් 500 ක් පමණ දෙනා ඉදිරියේ ඔහු හදිසියේ ම මිය ගියේ මොළය ඉදිමීමේ රෝගයට ගොදුරු වීමෙන්.
1978 වසරේ දී උපන් බාවු-බාවු සැලකෙන්නේ සත්ත්වෝද්‍යානයක වාසය කළ වැඩි ම කාලයක් ආයු වැළඳූ යෝධ පැන්ඩා වලසා ලෙස යි. චීනයෙන් ගෙන්වන ලද බාවු-බාවුගේ බිරිඳ නමින් යෑන්-යෑන් නම් වූ අතර කිහිප වතාවක් ම ඔවුන් දෙදෙනා කෘත්‍රීම සංසේචන පර්යේෂණ සඳහා ලක් කළ ද ඔවුන්ට දරුවන් සිටියේ නැහැ. වසර 34 ක් දිවි ගෙවූ බාවු-බාවු මිය ගියේ 2012 වසරේ දී යි.
ෆැටූ නමින් හැඳින්වෙන ගොරිල්ලා ඇගේ 60 වැනි උපන්දිනය සැමරුවේ පසුගිය අප්‍රේල් 13 වැනි දින යි. වයස අවුරුදු දෙකේ දී බර්ලින් සත්ත්වෝද්‍යානයට පැමිණි ඇය බර්ලින් හි හදාවඩා ගන්නා ලද පළමු ගෝරිල්ලා වූ ඩෆ්ටේට උපත ලබා දුන්නේ 1974 වසරේ දී යි. දැනට ලෝකයේ ජීවත් වන වයස්ගත ම ගෝරිල්ලා ලෙස සැලකෙන්නේ ෆැටූ ව යි.
කවරයේ පින්තූරය: Wikipedia
මූලාශ්‍ර:
- zoo-berlin.de/en
- en.wikipedia.org
- visitberlin.de