බ්‍රසීලය යනු ලෝකයේ දෙවෙනියට වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට යි. මේ වනවිට බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව හාරලක්ෂ හැටදහස ඉක්මවා ගොස් තිබෙනවා. ආසාදිතයන් සංඛ්‍යාව අතිනුත් බ්‍රසීලයට ලෝකයේ තුන්වැනි තැන හිමිවී තිබෙනවා.
කොරෝනා වෛරසයේ P1 නමින් හැඳින්වෙන නව ප්‍රභේදයක පැතිරීමත් සමග බ්‍රසීලයේ තත්ත්වය වඩාත් නරක අතට හැරුණා. පසුගිය අප්‍රියෙල් අට වැනිදා 4250ක වාර්තාගත මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, මේ වන විට නගර ගණනාවක සෞඛ්‍ය පද්ධතිය බිඳවැටී තිබෙනවා. රෝගීන් සඳහා වූ ඔක්සිජන් සැපයුම් සීමා වීම, දැඩි සත්කාර ඒකකවල ඇඳන් සම්පූර්ණයෙන්ම පිරී යෑම, කාර්යමණ්ඩලයේ සහ වෛද්‍ය උපකරණවල හිඟය වැනි ගැටලු රාශියකට බ්‍රසීලය මුහුණ දෙමින් සිටිනවා. වෙළඳපොළින් අවශ්‍ය ඔක්සිජන් මිළදී ගැනීමට ඇතැම් මිනිසුන්ට හැකියාව තිබුණත්, ඒ අතරතුර රෝහල් බිමේ හා ඇඳන් මත, නිවෙස් තුළ, රෝගීන් සිය ගණනක් මියයෑමේ වාතාවරණයකට බ්‍රසීලය මුහුණ දෙනවා. සියලු උත්සාහයන්වලට වඩා මරණය ඉක්මන් වෙලා.
බ්‍රසීලය මේ තත්ත්වයට පත්වුණේ ඇයි? එහි වැසියන් ඉන්දියානුවන් මෙන් අනවශ්‍ය ලෙස ඒකරාශි වීමෙන් මේ විනාශය අත්කර ගත්තා ද? ඇතැම් බ්‍රසීල වැසියන්ගේ අපරික්ෂාකාරී ක්‍රියාපිළිවෙතත් මේ සඳහා හේතු වෙන්නට ඇති. නමුත් බ්‍රසීලයේ කොවිඩ් වසංගතය මෙතරම් ආක්‍රමණශීලි වීම පිටුපස පැහැදිලි හේතු තුනක් හඳුනාගන්න පුළුවන්.
- බ්‍රසීලය යනු පෘථිවියේ වඩාත්ම සමාජ අසමානතාවයක් තිබෙන රටක්. අවිධිමත් මූල්‍ය සංසරණය නිසා බ්‍රසීල ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් අසාධාරණයට සහ අනාරක්ෂිතභාවයට ලක් වී තිබෙනවා.
- බ්‍රසීලය නිරතුරුවම දේශපාලන සීමාවන් සහ අස්ථාවරත්වයෙන් පීඩා විඳින රටක්. කලින් කලට බ්‍රසීලයේ බලයට පත්වන ආණ්ඩු ගන්නා අමනෝඥ තීරණ නිසා එහි සමාජ උන්නතියට සිදුව ඇති බලපෑම සුළුපටු නැහැ.
- වත්මන් බ්‍රසීල ජනපති ජයිර් බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය.
කෝවිඩ් පළමු රැල්ල සමයේ බොල්සොනාරෝගේ ක්‍රියාපිළිවෙත ගැන අප ලියූ ලිපියක් මේ: කොරෝනාවටත් වඩා බ්‍රසීලයට වින කරන ජනපති – බොල්සොනාරෝ
පළමු කාරණා දෙක මඟින් බ්‍රසීලයේ වත්මන් කොවිඩ් සංහාරයට සෘජු හා වක්‍ර බලපෑම් එල්ලකොට තිබුණත්, මෙම භයානක තත්ත්වය තීව්‍ර වුණේ තුන්වැනි සාධකය නිසා යි. කොහොමද එහෙම වුණේ? අපි සොයා බලමු.
ගණනකට නොගත් අවදානම
“COVID-19 කුඩා හෙම්බිරිස්සා උණක් පමණ යි. බ්‍රසීල ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම නැවැත්විය යුතු යි”
බ්‍රසීලයේ වත්මන් ජනාධිපති, බොල්සොනාරෝ COVID-19 වසංගත තත්ත්වය ආරම්භයේ දී අදහස් දැක්වූයේ එලෙස යි.
ලෝකයේ රටවල් බොහෝමයක් මෙම වසංගත තත්ත්වය ඉදිරියේ අන්ත අසරණව සිටි විට පවා බ්‍රසීල ජනපති ක්‍රියා කළ අන්දම ඉතා ගැටලු සහගත යි. COVID-19 පැතිරීමේ දී ජනාධිපතිවරයා අවදානම් අවතක්සේරු කළ අතර, කේන්ද්‍රීය සම්බන්ධීකරණ ප්‍රතිචාරයන් අවහිර කළා. නගරාධිපතිවරුන් සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් තම බල ප්‍රදේශවල සංචරණ සීමා, සමාජ දුරස්ථකරණය උදෙසා වූ නීති වැනි පියවර ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විට ජයර් බොල්සොනාරෝ ඔවුන්ට බලපෑම් එල්ල කළා.
ආරම්භයේ පටන්ම බ්‍රසීල ජනපතිට විද්වත් පාර්ශවවලින් වසංගතයේ රුදුරු අනාගතය ගැන අනතුරු ඇඟෙව්වා. විශේෂයෙන්ම මේ අනතුරු ඇඟවීම සිදු කළේ බ්‍රසීලයේ ජනගහන ව්‍යාප්තිය පදනම් කරගෙන යි. බ්‍රසීලය ඉතා විශාල රටක් වුවත්, එහි භූමි ප්‍රමාණයෙන් 70%ක් පමණ ඇමසන් වනය, එහි පරිවාර වනාන්තර, පෝෂක ප්‍රදේශ, යෝධ ඇමසන් නදිය වැනි කලාප වෙනුවෙන් වෙන් වී තිබෙනවා. එම නිසා බ්‍රසීලයේ කෝටි විස්සක් පමණ වූ ජනගහනයෙන් අති බහුතරයක් ජීවත්වන්නේ සීමා වූ කලාපයක. ඒ අතර රියෝ ද ජනෙයිරෝ, සාඕ පවුලෝ, බ්‍රසීලියා වැනි ප්‍රධාන නගර අතර සැලකිය යුතු ජනගහනයක් බෙදී යනවා. බ්‍රසීලයේ මුළු භූමි ප්‍රමාණයම සලකා ජන ඝනත්වය ගණනය කළොත් එය සුළු ගණනක්. නමුත් මිනිසුන්ට ජීවත් විය හැකි කලාපය සලකා ජන ඝනත්වය ගණනය කළ විට එය විශාල අගයක්. මේ නිසා වෛරසයේ සුළු පැතිරීමකින් පවා විශාල පිරිසක් ආසාදනය වීමේ අවදානමක් බ්‍රසීලයේ තිබුණා.
2020 වර්ෂයේ මුල් කාර්තුව වනවිට බ්‍රසීලයේ සාඕ පවුලෝ සහ රියෝ ද ජනෙයිරෝ නගර තුළ කොවිඩ් රෝගීන් සුළු ගණනක් වාර්තා වුණා. පෙර ඡේදයේ සඳහන් හේතු සැලකිල්ලට ගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක වන ආචාර්ය මරියා වැන් කොර්කෝව්, රට පුරා දැඩි සංචරණ සීමා අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව බ්‍රසීල ජනපති සහ සෞඛ්‍ය ඇමතිට දැන්වූවා. නමුත්, විද්‍යානුබද්ධ චින්තනයක් මත පිහිටා තීරණ ගත යුතු මොහොතක බ්‍රසීල ජනපති හැසිරුණු ආකාරය ලෝකයම මවිතයට පත් කළා.
බොල්සොනාරෝගේ “නෙක්‍රෝපොලිටික්ස්”
ලෝකයටම තදබල ලෙස බලපෑ තර්ජනයක් හමුවේ බ්‍රසීල ජනපති මෙසේ සැහැල්ලුවෙන් කල්ගත කළේ ඇයි?
මෙයට පිළිතුරු සැපයීමට නම් බොල්සොනාරෝගේ දේශපාලන භාවිතය යම් දුරකට තේරුම්ගත යුතු යි. බ්‍රසීලයේ කොවිඩ් ඛේදවාචකය “නෙක්‍රෝපොලිටික්ස්” ක්‍රියාවෙහි උදාහරණයක් ලෙස දැක්විය හැකි යි. නෙක්‍රෝපොලිටික්ස් යනු මිනිසුන් ජීවත් වෙනවා ද නැත්නම් මියයනවා ද යන්න තීරණය කිරීම සඳහා දේශපාලන බලය භාවිතා කිරීම යි. මෙම දේශපාලනික රාමුව තුළ දී, COVID-19 දුර්වලයන්ට පමණක් බලපාන ස්වභාවික සංසිද්ධියක් ආකාරයෙන් සැලකීම සිදු වෙනවා. මෙය ඉතා අමානුෂික ආකල්පයක් වුවත්, ප්‍රතිවිරෝධය, කුමන්ත්‍රණ, සහ වැරදි තොරතුරු ලබාදීමේ දේශපාලනය වර්තමාන ලෝකයේ ඒකාධිපති ස්වරූපයෙන් රටවල් පාලනය කරන රාජ්‍ය නායකයන්ගේ ලක්ෂණයක්.
බොල්සොනාරෝ වරෙක ප්‍රකාශකර ඇත්තේ බ්‍රසීල ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා කොවිඩ් වසංගතයට එරෙහි බරපතළ පියවර ගැනීමෙන් වැළකී සිටින බව යි. කෙසේ නමුත්, කොරෝනා වෛරසය සමග තදින් පොරබැඳූ චීනය, දකුණු කොරියාව, වියට්නාමය වැනි රටවල කොවිඩ් මරණ අගය අවම මට්ටමක පැවතුණා වාගේම, එම ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ ආර්ථිකයට ඇති වුණේ සුළු බලපෑම් පමණ යි. වසංගතයට එදිරිව පිළිවෙලක් නැති සංචරණ සීමා පනවා, නිසි සෞඛ්‍ය පියවර නොගත් රටවල්වල වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර, එම රටවල් දරුණු ආර්ථික කම්පනයකට ලක් වුණා. ඉතින් බ්‍රසීලයට අත්ව ඇත්තේත් එවැනි ඉරණමක්.
සෞඛ්‍ය ඇමතිව ගෙදර යවයි!
බ්‍රසීලයේ සෞඛ්‍ය අංශවල විශේෂඥයන් වසංගතයෙන් ආරක්ෂා වීම උදෙසා නිසි පියවර ක්‍රියාත්මක කරන්නයැ යි බ්‍රසීල ජනපතිගෙන් උදක්ම ඉල්ලා සිටියා. නමුත් බොල්සොනාරෝ කියන්නේ ස්වභාවයෙන්ම බොහොම මුරණ්ඩු චරිතයක්. ලෝකයේ පෙනහැලි වැනි මහා ඇමසන් වනාන්තරය මහා ලැව් ගින්නෙන් විනාශ වන විට පවා ඔහු අනුගමනය කළේ රාජ්‍ය නායකයෙකුට ඔබින්නේ නැති නොසැලකිලි සහගත හැසිරීමක් (ඇමසන් ගින්නෙන් දැවෙද්දී බෝල්සොනාරෝ වීණා වැයුවේ මෙසේ යි: ඇමසන් අයිති බ්‍රසීලයට පමණයි- බොල්සොනාරෝ තර්ජනය කරයි). ඇතැම් සෞඛ්‍ය බලධාරීන්, වෙන්නට යන මහා විනාශය දරා ගැනීමට නොහැකිව තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර, බොල්සොනාරෝට අකීකරු වූ ඇතැම් බලධාරීන්ව සේවයෙන් පහ කිරීමටත් ඔහු පියවර ගත්තා. එයින් ජනප්‍රියම උදාහරණය වන්නේ එරට හිටපු සෞඛ්‍ය ඇමති, ලුයිස් හෙන්රික් මැන්ඩෙටා යි.
2020 අප්‍රියෙල් මස 14 වැනිදා සෞඛ්‍ය ඇමතිධුරයෙන් පහ කෙරුණු මැන්ඩෙටා, ඉන් පෙර සෞඛ්‍ය අංශ වෙත ප්‍රමාණවත් නායකත්වය ලබා දෙමින් විද්‍යාව සහ ගෝලීය සෞඛ්‍ය උපදෙස් මත පිහිටා ක්‍රියා කළ තැනැත්තෙක්. අමාත්‍ය මැන්ඩෙටා මුල පටන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිවෙසේම රැඳී සිටීමේ වැදගත්කම ගැන ජනතාව දැනුවත් කළා. නමුත් බ්‍රසීල නායකයා ප්‍රසිද්ධියේ සෞඛ්‍ය ඇමතිව විවේචනය කරමින් මෙම ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේපකොට, ජනතාව අතරට ගොස් වගකීම් විරහිත ලෙස හැසිරෙන්න ගත්තා. සංචරණ සීමා ක්‍රියාත්මක කළ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට බොල්සොනාරෝ දෝෂාරෝපණය කරද්දී මැන්ඩෙටා ඔවුන්ට ප්‍රශංසා කළා. සති කිහිපයක් මුළුල්ලේ දෙදෙනා අතර තිබූ මතභේදය අවසන් වුණේ මැන්ඩෙටාට තම සෞඛ්‍ය අමාත්‍යධුරය අහිමි වීමෙන්. එයින්, මේ අඳුරු කාල වකවානුව තුළ බ්‍රසීල ජනතාවට මඟ පෙන්වීමට සිටි වටිනා මිනිසුන් ඔවුන්ට අහිමි වුණා.
බොල්සොනාරෝට එරෙහිව විමර්ශන
බ්‍රසීලයේ කොවිඩ් ඛේදවාචකය පිළිබඳ සෘජු වගකීම බොල්සොනාරෝ පිට පැටවෙන බව අද ලෝකයම දන්නා කරුණක්. ලෝකයේ ප්‍රමුඛ මාධ්‍ය ආයතන බොහෝමයක් මොහුගේ අමනෝඥ ක්‍රියාකලාපය තදින් විවේචනය කර තිබෙනවා. මේ සියලු විරෝධතා මැද ඔහු ජනතාව අතර ගැවසෙමින්, කොරෝනා වසංගතය පිළිබඳ ජනතා බිය පදනම් විරහිත බව ඔප්පු කිරීමට ප්‍රයත්න දැරුවා. එයින් සෞඛ්‍ය අංශ අන්ත අසරණ වුණා. අද එහි ප්‍රතිඵල බ්‍රසීලයට පමණටත් වඩා ලැබෙමින් පවතිනවා. තම වාසිය තකා, පවතින දේශපාලන වාතාවරණය භාවිත කරමින් මිනිසුන් දෙකට බෙදීමටත්, නව ලිබරල් ප්‍රතිසංස්කරණ සහ අවිචාරවත් පාරිසරික ප්‍රතිපත්ති වැනි රජයේ විනාශකාරී න්‍යාය පත්‍ර දියත් කිරීම සඳහාත්, බ්‍රසීල ජනපති හිතාමතාම COVID-19 ව්‍යාප්ත කිරීම ප්‍රවර්ධනය කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.
මේ වන විට බ්‍රසීල ජනතාව බොල්සොනාරෝගේ ක්‍රියාකලාපයට එරෙහිව ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති අතර, බ්‍රසීලයේ සෙනෙට් සභාව විසින් වසංගතය හමුවේ ජනපති ප්‍රතිචාර දැක්වූ අන්දම ගැන විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කොට තිබෙනවා. 2021 අප්‍රේල් 27 වැනි අඟහරුවාදා ආරම්භ කළ මෙම විමර්ශනය, දින 90ක් පුරා කරගෙන යෑමට සැලසුම්කොට තිබෙනවා. එයින් ලැබෙන ප්‍රතිඵලයට බොල්සොනාරෝගේ දේශපාලන අනාගතයට බරපතල බලපෑමක් ඇති කළ හැකිබව කියවෙනවා. මේ අනුව කොමිසම මාතෘකා 18ක් ඔස්සේ විමර්ශන පැවැත්වීමට කටයුතු කරන අතර, එහි එක් ප්‍රධාන කරුණක් වන්නේ පැහැදිලිවම බ්‍රසීල සෞඛ්‍ය අංශ එන්නත් හිඟයකට මුහුණ පා තිබිය දීත්, රජය සමහර එන්නත් දීමනා ප්‍රතික්ෂේප කිරීම යි.
සැලකිල්ලට ගන්නා තවත් කාරණයක් වන්නේ, හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් හෝ ප්‍රති-පරපෝෂිත අයිවර්මෙක්ටින් වැනි තහවුරු නොකළ ප්‍රතිකාර කෙරෙහි රජය අවධානය යොමු කළේ මන්ද යන්න යි.
කොමිසම ඉදිරියේ දී රජයේ විවිධ ඇමතිවරු සහ රජයේ සහායකයින්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත යි. ඒ අතරට බොල්සොනාරෝගේ හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් වන ලුයිස් හෙන්රික් මැන්ඩෙටා, නෙල්සන් ටීච්, සහ එඩ්වාඩෝ පැසුවෙලෝ යන අය ද ඇතුළත් වෙනවා. කෙසේ හෝ වේවා, අමනෝඥ තීරණ ගන්නා ජනපතිවරයෙකු නිසාවෙන් වසංගත තත්ත්වය හමුවේ බ්‍රසීල ජනතාව තවමත් බරපතල ලෙස විඳවනවා.