රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය අමෙරිකාවේ හිතළුවක් ද?

අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ජෝ බයිඩන්, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි තමා සිතන බව පසුගිය ජනවාරි 19 වැනිදා  ප්‍රකාශ කළා. ඒ සමඟ ම කලක පටන් රුසියාව සහ යුක්‍රේනය අතර පවත්නා උණුසුම් වාතාවරණය කෙරෙහි වූ ලෝක අවධානය තවත් තීව්‍ර වුණා. එවැනි දෙයක් සිදු වුවහොත්, මොස්කව් පාලනයට විශාල වන්දියක් ගෙවීමට සිදු වන බවත් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා අනතුරු ඇඟවූවා.

පසුගිය මාස කිහිපය තුළ රුසියානු-යුක්‍රේන දේශසීමාවේ සෙබළුන් 100,000 ක් පමණ රැඳවීමට පුටීන්ගේ පාලනය කටයුතු කළා.  පෙබරවාරි මාසයේ දී බෙලරුස් රාජ්‍යය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වීම පිණිස සැලකිය යුතු සෙබළ බළ මුළුවක් ජනවාරි මැද දී පිටත් කර හැරීමට රුසියාව කටයුතු කළා. රුසියාව සහ යුක්‍රේනය යන රාජ්‍යයන් දෙකට ම බෙලරුස් මායිම් ව පවතින නිසා කලාපයේ යුද උණුසුම වඩ වඩාත් අවදානම් තත්ත්වයකට පැමිණ තිබෙනවා.

රුසියානු හමුදා යුක්‍රේන දේශ සීමාව අසල යුද පුහුණුවේ නිරත වන අයුරු – www.bbc.com 

ඉතිහාසය පුරා ම යුක්‍රේනය සහ රුසියාව අතර පැවතුණේ එතරම් යහපත් වාතාවරණයක් නොවෙයි. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ හැකියාවක් ගැන සැක සාංකාවක් අමෙරිකානු කඳවුරට දැනීමට තරම් අර්බුදය උග්‍ර වුණේ කොහොම ද? මේ ඒ පිළිබඳ ව කරන සොයා බැලීමක්.

ගෞරවයේ විප්ලවය

යුක්‍රේනය යනු වසර තිහකට පෙර සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමඟ එයින් බෙදී වෙන් ව ගිය රාජ්‍යයක්. එතැන් පටන් යුක්‍රේන ඉතිහාසය දූෂණයට එරෙහි අරගල සහ ගැඹුරු අභ්‍යන්තර බෙදීම්වලින් පිරී පැවතුණා. යුක්‍රේනයේ බටහිර කලාපය සාමාන්‍යයෙන් බටහිර යුරෝපයට ළැදියාවක් දක්වන පසුබිමක් පවතින අතර, නැගෙනහිර කොටස රුසියාව සමඟ සමීප සබඳතාවක් පවත්වා ගෙන යෑමට කැමත්තක් දක්වනවා.

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින ආතතිය උච්චත ම අවස්ථාවකට 2014 පෙබරවාරි මාසයේ දී  පැමිණියා. එවකට යුක්‍රේන ජනපතිවරයා ලෙස පත්ව සිටි වික්ටර් යනුකොවිච්, රුසියානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, යුක්‍රේනය පුරා පැතිරී ගිය ප්‍රචණ්ඩ විරෝධතා මාලාවක් හේතුවෙන් යනුකොවිච්ට බලය අත හැරීමට සිදු වුණා. අද මෙම විරෝධතා රැල්ල “ගෞරවයේ විප්ලවය” යනුවෙන් හැඳින්වෙනවා.

යුක්‍රේන දේශසීමාව වටා රුසියානු හමුදා ස්ථානගත වී ඇති අයුරු – www.bbc.com 

සාමය ඈතට ගෙන යන ඩොන්බාස් 

රුසියානු ගැති යුක්‍රේන නායකයා රුසියාවට අහිමි වීමත් සමඟ යුක්‍රේනයේ කොටසක් ලෙස සැලකූ ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවේ කොටසක් ලෙස ඈදා ගැනීමට පුටීන්ගේ පාලනය ක්‍රියා කළා. සාමාන්‍යයෙන් ක්‍රිමියා අර්ධද්වීපයේ සිටින්නේ රුසියාවට වඩාත් හිතැති ජන සමාජයක්. බලයෙන් පහ කළ හිටපු ජනපති යනුකොවිච්ට ප්‍රබල සහයක් ලැබුණු ප්‍රදේශයක් ලෙසත් ක්‍රිමියා අර්ධද්වීපය හැඳින්විය හැකි යි. යනුකොවිච්ගේ බිඳ වැටීමෙන් පසු යුක්‍රේනය තාවකාලික රජයක් සහ සූදානම් නොවූ හමුදාවක් සමඟ ඉතා අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දෙමින් සිටියා. අවස්ථානුකූල ව වහා ම ක්‍රියාත්මක වූ ව්ලැදිමීර් පුටීන්, යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට දායක වූ බව පැවසෙනවා.

යුක්‍රේන රජයේ හමුදා සහ ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු ආධාර මත ක්‍රියාත්මක වන බෙදුම්වාදීන් අතර දරුණු ගැටුම් හටගත් අතර, සන්නද්ධ ගැටුම් නිසා 14,000 කට අධික ගණනක් මිය ගොස් තිබුණා. ක්‍රිමියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාව පැහැදිලි ප්‍රතිචාර දක්වා තිබුණත්, ඩොන්බාස් ප්‍රදේශයේ ගැටුම්වලට තමන්ගේ දායකත්වයක් නොමැති බව රුසියාව දිගින් දිගට ම ප්‍රකාශ කළා. 2014 දී ඇරඹුණු මේ ගැටලුකාරී වාතාවරණය අද දක්වා ම යුක්‍රේනය තුළ පවතිනවා.

ඩොන්බාස් ප්‍රදේශයේ දසුනක් – foreignpolicy.com 

නවතම නේටෝ අපේක්ෂකයා

2014 පටන් යුක්‍රේනය හා රුසියාව අතර පවත්නා අර්බුදය දැන් වඩාත් උත්සන්න වෙමින් තිබෙනවා. ඒ යුක්‍රේන දේශපාලනය ඉදිරියේ දී සාක්ෂාත් කර ගැනීමට මාන බලන අරමුණු කිහිපයක් නිසා යි. ඩොන්බාස් හි රුසියානු මිලිටරි බලපෑම සහ ක්‍රිමියාව ඈදා ගැනීමත් සමඟ යුක්‍රේනයේ බටහිර නැඹුරුව මේ වනවිට වඩාත් වර්ධනය වී තිබෙනවා. එය රුසියාවට අවාසිදායක තත්ත්වයක් බව ඉතා පැහැදිලි යි. භූ දේශපාලනික වශයෙන් ගත් විට පවා යුක්‍රේනයේ පිහිටීම රුසියාවට ඉතා වැදගත් වෙනවා. යුක්‍රේනයේ බටහිර නැඹුරුව රුසියාවට පැහැදිලි තර්ජනයක් බවට පත් වීම වැලැක්විය නොහැකි යි. යුක්‍රේන රජය 2024 දී යුරෝපා සංගමයේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට අදහස් කරන අතර, නේටෝ සංවිධානයේ සාමාජිකත්වයත් අපේක්ෂා කරමින් සිටිනවා.

වර්තමාන යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඩොන්බාස් කලාපයේ සිදු වන දූෂණ ක්‍රියා සහ අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හඬක් නැඟූ නායකයෙක් වන අතර, යූක්‍රේනයේ බටහිර යුරෝපීය නැඹුරුවට සහය දක්වන්නෙක් ලෙසත් ප්‍රකට යි. 2021 සැප්තැම්බර් මාසය වනවිට යුක්‍රේන ජාතිකයන් ගෙන් 81% ක් පවසා ඇත්තේ ඔවුන්ට රුසියාවේ ව්ලැදිමීර් පුටින් කෙරෙහි සෘණාත්මක ආකල්ප පවතින බව යි. 15% ක ප්‍රතිශතයක් රුසියානු නායකයා කෙරෙහි ධනාත්මක ආකල්ප දක්වා තිබෙනවා.

යුක්‍රේනය සහ රුසියාවේ හමුදා ශක්තිය සැසඳෙන්නේ මේ අයුරින් – www.bbc.com 

රුසියාවේ අවශ්‍යතාව

නේටෝවේ සාමාජිකයෙක් වීමට යුක්‍රේනය දරණ උත්සාහය රුසියාව කිසිසේත් ම නොඉවසන බව පැහැදිලි යි. පසුගිය දෙසැම්බර් මාසයේ දී රුසියාව එක්සත් ජනපදයට යැවූ ආරක්ෂක ඉල්ලීම් ලැයිස්තුවේ පවා මෙම කරුණ සඳහන් වී ඇති බව පැවසෙනවා. රුසියානු දේශ සීමාව අසල කිසිදු නේටෝ අභ්‍යාසයක් නොපවත්වන ලෙස එයින් දැනුම් දී තිබෙනවා.

යුරෝපයේ නැගෙනහිර දෙසට ව්‍යාප්ත වන පරිදි නේටෝ සංවිධානය සිදු කරන ක්‍රියාකාරකම් සහ රුසියානු භූමියට තර්ජනයක් විය හැකි ආයුධ පද්ධති ස්ථානගත කිරීම් නවතා දැමීමේ සහතිකයක් තමා අපේක්ෂා කරන බව ව්ලැදිමීර් පුටින් පවසා තිබෙනවා. ගැටලුව සම්බන්ධයෙන් හරවත් සාකච්ඡාවක නිරත වීමේ අවස්ථාවක් පවා බටහිර බලවතුන්ට ලබා දීමට රුසියාව ක්‍රියා කළා.

ගෞරවයේ විප්ලවයෙන් පසු යුක්‍රේනය හා රුසියාව අතර අර්බුදකාරී වාතාවරණයක් හට ගත්තා – 112.international 

නැගෙනහිර යුරෝපය තුළ නේටෝ ක්‍රියාකාරකම් සීමා කිරීම සම්බන්ධයෙන් වාචික සහතික කිරීම් පමණක් නොව, නීතිමය සහතික පවා පුටීන්ගේ පාලන තන්ත්‍රය අපේක්ෂා කළ බව සඳහන්. එක්සත් ජනපදය ඇතුළු නේටෝ සංවිධානය අදාළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා ඇතත්, රුසියාව හා බටහිර බලවතුන් එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කර නැහැ. කෙසේ නමුත්, රුසියාවේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමේ වැඩි හැකියාවක් තිබෙනවා. ජෝ බයිඩන් පවා යුක්‍රේනය තුළ රුසියානු ආක්‍රමණයක් අපේක්ෂා කරන්නේ මේ නිසා විය හැකි යි.

ආක්‍රමණය සිදුවීමේ අවදානම කොපමණ ද?

රුසියාව තවමත් පවසන්නේ යුක්‍රේනයට පහර දීමේ කිසිදු සැලසුමක් තමාට නොමැති බව යි. එහෙත්, දෙරට අතර ආතතිය ඉහළ මට්ටමක පවතින අතර, යුක්‍රේනය තුළ සිදුවන බටහිර අත පෙවීම් දිගින් දිගට ම පැවතුණහොත්, යුදමය තාක්ෂණික ක්‍රියා මාර්ග හරහා සුදුසු ප්‍රතිචාර දැක්වීමට සිදු වන බව රුසියාව අනතුරු හඟවා තිබෙනවා. නේටෝ හි මහ ලේකම්වරයාට අනුව දෙරට අතර ගැටුමක් ඇති වීමේ සැබෑ අවදානමක් පවතිනවා. ඉතා කෙටි දැනුම් දීමකින් පවා යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ රුසියානු හමුදා බළමුළු ශක්තිමත් කිරීමේ සැලසුම් ගැන තමන් දන්නා බව එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබෙනවා.

නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය කාලානුරූපව – www.bbc.com 

යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ සූදානම ගැන එල්ල වන චෝදනා රුසියාව තවමත් ප්‍රතික්ෂේප කළත්, යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ ස්ථානගත කර ඇති හමුදා සම්බන්ධයෙන් රුසියාව කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැහැ. එසේ නම්, ආක්‍රමණයක් පිළිබඳව ඇති “බටහිර සැකය” දිනෙන් දින වර්ධනය වීම වැලැක්විය නොහැකි යි. බටහිර බුද්ධි අංශ අනුමාන කරන පරිදි රුසියානු ආක්‍රමණය මේ වසරේ මුල් භාගයේ දී සිදු විය හැකි යි. වත්මන් තත්ත්වය 1962 පැවති කියුබානු මිසයිල අර්බුදයට සැසඳෙන බව රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. කියුබානු මිසයිල අර්බුදයේ දී එක්සත් ජනපදය සහ රුසියාව අතර න්‍යෂ්ටික ගැටුමක් ඇති වීමේ අවදානමක් පවා ඉස්මතු වුණා.

එක්සත් ජනපදයේ ප්‍රතිචාරය

යුක්‍රේනයට අමෙරිකානු භටයන් යැවීමේ සැලසුමක් නොමැති වුවත්, යුක්‍රේනයේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැප වන බව එක්සත් ජනපද පරිපාලනය පවසා තිබෙනවා. කෙටි දැනුම් දීමකින් නැගෙනහිර යුරෝපය සඳහා යෙදවිය හැකි නේටෝ භටයන් 8500 ක් පමණ සූදානම් කිරීමටත් එක්සත් ජනපදය කටයුතු කළා. බොහෝවිට යුක්‍රේනයට බටහිර ආධාර ලෙස රුසියාවට එරෙහි සම්බාධක, උපදේශකයන් සහ ආයුධ පමණක් ලැබෙනු ඇති.

යුක්‍රේන ආක්‍රමණය සිදු කළහොත්, ව්ලැදිමීර් පුටීන් කිසිදා නොදුටු ආකාරයේ පියවරක් ගන්නා බව ජෝ බයිඩන් අනතුරු හැඟවූවා. යුක්‍රේනයට සිය හමුදා යැවීමට එක්සත් ජනපදය සූදානම් නොවන්නේ නම් මේ “කිසිදා නොදුටු පියවර” මොනවාද කියා සලකා බැලීමත් වැදගත්.

වත්මන් යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි දේශසීමාව අසල ඉදිරි පෙළ හමුදා සාමාජිකයන් සමඟ – www.bbc.com 

 රුසියාවේ බැංකු පද්ධතිය ජාත්‍යන්තර SWIFT ගෙවීම් පද්ධතියෙන් විසන්ධි කිරීම රුසියානු ආර්ථිකයට එල්ල කරන අවසාන පහර විය හැකි බව පැවසෙනවා. එය සෑම විට ම අවසාන විසඳුම ලෙස සලකා ඇති අතර, එමඟින් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ආර්ථිකයට පවා අහිතකර බලපෑම් එල්ල වන්නට පුළුවන්. රුසියාව  යුක්‍රේනය ආක්‍රමණය කළහොත්, ව්ලැදිමීර් පුටින්ට එරෙහි ව පුද්ගලික සම්බාධක ගැනත් සලකා බලන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණා.

මීට අමතරව, රුසියාවේ “Nord Stream 2” නමැති ගෑස් නළ මාර්ගය ජර්මනියේ දී විවෘත කිරීම වැළැක්වීමත්, රුසියාවට එරෙහිව සිදු කරන ක්‍රියා මාර්ගයක් ලෙස යෝජනා වී තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලබා දීම ජර්මනියේ බලශක්ති නියාමකයා තීරණය කරනු ඇති. කෙසේ නමුත්, යුක්‍රේනය සම්බන්ධයෙන් බටහිර කඳවුර සහ රුසියාව යුදමය වශයෙන් හෝ යුදමය නොවන ආකාරයෙන් ගැටුනහොත්, දෙපාර්ශවයට ම හානි සිදුවීම වැලැක්විය නොහැකි යි. මේ උණුසුම්කාරී වාතාවරණය තවමත් දිනෙන් දින යාවත්කාලීන වෙමින් පවතින පුවතක් බවත් මෙහි ලා සඳහන් කළ යුතු යි.

කවරයේ ඡායාරූපය: රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ හැකියාවක් ගැන ජෝ බයිඩන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා - newyorkfolk.com

මූලාශ්‍ර:

www.aljazeera.com

www.bbc.com

theconversation.com 

Related Articles

Exit mobile version