Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපිට නෙළුම් කුළුණ වගේ කැනඩාවට තියෙන CN කුළුණ

මේ දවස් වල ලංකාවේ ගොඩාක් දෙනා කොළඹ අහස උසට හැදෙන නෙළුම් කුළුණ ගැන​ එක එක කතා කියනවා. සන්නිවේදන කටයුතු වෙනුවෙන් නිර්මාණය වෙන නෙළුම් කුළුණ වගේම, තවත් කුළුණු රාශියක් ලෝකය පුරා තියෙනවා. කැනඩාවේ ටොරොන්ටෝ වල CN Tower එහෙම නැත්නම් CN කුළුණ කියලා හඳුන්වන​ මේ වගේ කුළුණක් තියෙනවා. ලෝකයේ කාලයක් උසම ගොඩනැගීම වුන මෙය ගැන අද අපි ඔබට කියන්න හිතුවා.

මොකක්ද මේ CN කුළුණ ?

කැනඩාවට පැවතුනු සන්නිවේදන දුෂ්කරතාවලට පිළියමක් ලෙස මේ කුළුණ 1976 වසරේ විවෘත වුණා. ඒ මාස 40කට ආසන්න කාලයක් පුරාවට කරන ලද ඉදිකිරීම් වලින් පසුවයි. මීටර 553.3ක් හෙවත් අඩි 1,815ක් පමණ උසකින් යුතු එමෙන්ම 2010 වසරේ බර්ජ් කලීෆා කුළුණ ඉදිකරන තුරුම ලොව උසම කුළුණ ලෙසද සැලකුනේ මෙම කුළුණයි. මෙම කුළුණ ඉදිකිරිම වෙනුවෙන් වැය වී තිබුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 225කට ආසන්නයි.එමෙන්ම ඇමරිකානු සිවිල් ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් එය 1995 වසරේදී ලොව නවීනතම පුදුම 7න් එකක් ලෙස ද නම් කරනු ලැබුවා. එමෙන්ම අද වනවිට ටොරොන්ටෝ නුවර වැඩිම සංචාරක ආකාර්ෂණය දිනාගන්නා ස්ථාන අතරින් එකක් ලෙස ද මෙය සැලකෙනවා. වසරකට මෙයට එන සංචාරකයන් ප්‍රමාණය මිලියන 1.5කට ආසන්නයි. එමෙන්ම එය ප්‍රධාන මාර්ග ඔස්සේ පහසුවෙන් ළඟාවීමට හැකි ස්ථානයක නිර්මාණය වීමද ඒ ප්‍රමාණය ඉහළ යාමට බලපා තිබෙනවා. මෙයට නැරඹුම් මහලක් හා කැරකෙන අවන්හලක් ද ඇතුලත් වෙනවා.

ගොඩනැගිල්ල නිර්මාණය කරන අතර තුර – (gettyimages.com)

ඉදිකිරීම

මෙම කුළුණ නිර්මාණය කරනු ලැබුවේ කැනේඩියානු ජාතික දුම්රිය සේවය හෙවත් Canadian National මගිනුයි. මේ ගොඩනැගිල්ල CN කුළුණ ලෙස නම් කලේද මේ හේතුව නිසයි. 1960 වනවිට ඉතා උසින් යුතු ගොඩනැගිලි කැනඩාව අවට නිර්මාණය වීම නිසා සන්නිවේදන කටයුතු වලට බාධා වීම මෙම නිර්මාණය කිරීමේ ප්‍රධානම හේතුව වුනා. මෙම විශාල ව්‍යාපෘතිය වෙනුවෙන් මාස 40ක් පුරාවට පැය 24ම වෙහෙස වී සේවකයන් 1,537ක් සේවය කර තිබුණා. මෙහි පාදම වෙනුවෙන් ඉවත් කෙරුණු පස් ප්‍රමාණය ටොන් 56,000කට ආසන්නයි. මෙහි පාදම නිර්මාණය වෙනුවෙන් කොන්ක්‍රීට් ඝන මීටර 7,000ක් වැය වූ අතර එම පාදමේ ගැඹුර අඩි 22ක්. වානේ කේබල් ටෝන් 36ක් එයට වැයවී තිබුණා. පාදම නිර්මාණය වෙනුවෙන් වැයවී තිබුණ කාලය මාස 4ක්. එමෙන්ම මෙම කුළුණ ටොන් 130,000ක පමණ බරකින් යුතු බවට සැලකෙනවා.

thesixmoving.ca

කව්ද නිර්මාණකරුවා ?

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උපන් ජෝන් ඇන්ඩෲස් නම් ගෘහ නිර්මාණ ශිල්පියා මේ විසල් නිර්මාණය සැලසුම් කර තිබුණා. ඔහුව සැලකෙන්නේ පසුගිය අඩසියවසක කාලය තුල ඕස්ට්‍රේලියාවේ බිහිවුණු අන්තර්ජාතිකව පිළිගත් විශිෂ්ඨතම ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙසයි. ගෘහ නිර්මාණය පිළිබඳව ඔහු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියෙන් උපාධිය ලබා ගෘහ නිර්මාණය පිළිබඳව උසස් උපාධිය පසුව හාවර්ඩ් සරසවියෙන් හදාරා තිබුණා. 1962 -1967 දක්වා කාලය තුල ඔහු ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පී උපාධිය බාරව ද කටයුතු කළා. ඔහුගේ නිර්මාණ දිවියේ සුවිශේෂී නිර්මාණ ලෙස සිඩ්නි නුවර හූකර් කුළුණ (Hooker Tower in Sydney (1974)) , සිඩ්නි නුවර ජෝර්ජ් රජ කුළුණ ( King George Tower in Sydney (1976)), කැන්බරා නුවර කැමරන් කාර්යාලය සංකීර්ණය (Cameron Offices in Canberra (1973-76)) සලකන්න පුළුවන්.  ඔස්ට්‍රේලියාව පමණක් නොව එක්සත් ජනපදයේ හා කැනඩාවේ ද ඔහුගේ නිර්මාණයන දකින්න පුළුවන්. CN කුළුණ හැරුණු විට ටොරොන්ටෝ නුවර ස්කාබරෝ විද්‍යාලය මෙන්ම එක්සත් ජනපදයේ මියාමි නැව්තොටේ මගී පර්යන්තය (1970) ඇතුළු නිර්මාණ කිහිපයක් ද ඒ අතර වෙනවා. එමෙන්ම ඔහු ඔස්ට්‍ර්ලියානු රාජකීය ගෘහ නිර්මාණ ආයතනයේ මෙන්ම ඇමරිකානු රාජකීය ගෘහ නිර්මාණ ආයතනයේද සම්මානලාභී නිර්මාණකරුවෙක්.

ඇයි මේක මෙතරම් විශේෂ ?

වීදුරු පොලොව

මෙම කුළුනේ ඉහළ වීදුරු වලින් පොලොවක් නිර්මාණය කර තිබෙනවා. මීටර 342 කටත් ඉහල සිට බිම බලන්න ඔබට චකිතයක් නැත්නම් ඔබටත් එහි සිට පහළ නැරඹිය හැකියි. මෙම වීදුරුව අඟල් 2.5ක ඝනකමින් යුතුයි. එමෙන්ම එහි කොටසක් අඟල් 42 X 50 ප්‍රමාණයෙන් යුතු වෙනවා. එමෙන්ම මෙම සෑම වීදුරු කොටසක්ම වසරකට වරක් ඒවායේ ශක්තිමත් බව පිළිබඳ​ සහතික කිරීමකට ලක් වෙනවා. එමෙන්ම 1994 ජූනි 26 වෙනිදා එය මුල්වරට විවෘත කරන විට ලෝකයේ කල එවැනි මුල්ම නිර්මාණය එය වුනා. එකවර ගොනුන් 35 දෙනෙකුගේ බර මෙම වීදුරු කුටියකට දැරිය හැකි වෙනවා.

wikimedia.org

පඩි පෙල නැගලා අවුරුද්දකට ඩොලර් මිලියන 2.5ක්

මෙම කුළුනට ගමන් කිරීමට පඩි 1776ක් පවතිනවා. එමෙන්ම වසරකට දෙවරක් ඒවා පුණ්‍යාධාර කටයුතු වෙනුවෙන් තරණය වීම සිදු වෙනවා. මෙම පඩිපෙල භාවිතා වන්නේ ඒ අවස්ථා දෙකේදී පමණයි. ඒ හැර අධිවේගී විදුලි සෝපානයකින් ඔබට කුළුණ තරණය කල හැකියි. “කැනඩාවේ ලෝක වනජීවී අරමුදල” වෙනුවෙන් හා “united way of greater toronto” නම් අවස්ථා වෙනුවෙන් මෙසේ තරණය වීම් සිදු වෙනවා. එමෙන්ම මෙම තරණයන් දෙක හරහා වාර්ෂිකව ආමරිකානු ඩොලර් මිලියන 2.5ක පමණ ආදායමක් ඔවුන් ළඟා කර ගන්නවා.

කාල කැප්සියුලය

ටිකක් වෙනස් වැඩක්. මේ කුළුණ නිර්මාණය කරලා නිමා වුන 1976 වසරේ දී එම කුළුණ ඉහළ මෙම  කැප්සියුලය නිර්මාණය වුනා. මෙය නැවත වරක් 2076 වසරේ විවෘත කිරීමට නියමිතයි. මේ කැප්සියුලය තුල කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය පියර් ටෘඩෝ මහතාගේ ලිපියක්, එවක පළාත් අමාත්‍යවරුන් කුළුණට සුභ පැතුම් එක් කරමින් එවන ලද ලිපි, කුළුණ පිළිබඳව පාසල් ළමුන් එවක ලියූ ලිපි,  දිනපතා පුවත්පත් තුනක් ( (Toronto Star, Toronto Sun and the Globe and Mail), කැනඩාවේ කාසි හා විවිධ වර්ග වල බිල්පත්, මෙන්ම ““To The Top” නමින් මේ කුළුණ නිර්මාණය වන සමයේ නිර්මාණය කරන ලද වීඩියෝ පටියක් ද ඒ අතර වෙනවා.

කුළුණේ සිට පිටත බැලූ විට – (www.cntower.ca)

එමෙන්ම ඉතා පැහැදිලි දිනක නයගරා දිය ඇල්ල ද මෙහි ඉහළ සිට නරඹන්න පුළුවන්. තවද වසරකට මෙම කුළුණට අකුණු 75-80ත් අතර ප්‍රමාණයක් ඇද ගැනීමද සිදු වෙනවා. 2011 වසරේ අගෝස්තුවේ මිනිත්තු 84ක් තුල අකුණු 52ක් කුළුණට ආකර්ෂණය වී තිබුණා. එමෙන්ම ලොව ඉහළින්ම ඇති වයින් ගබඩාවටද මේ කුළුණ හිමිකම් කියනවා. අංශක 360කින් භ්‍රමණය වෙන අවන්හල තුල ඇති මෙහි එකවර වයින් බෝතල් 9000ක් ගබඩා කල හැකියි. එමෙන්ම එය අඩි 1151ක උසකින් පිහිටා තිබෙනවා.

ඉතින් වෙලාවක් හම්බුනොත් ගිහින් එන්න – අපි කියපු ටිකත් මතක් කර ගන්න

කවරය – static.flickr.com

මූලාශ්‍රයයන්

wikiarquitectura.com

archiseek.com

Mentalfloss.com

www.wzmh.com

Related Articles