චීනයේ නව කොවිඩ් රැල්ලට හේතුව වෛරසය ද? ප්‍රතිපත්තිය ද?

චීනයේ කොවිඩ්-19 රෝගීන් වැඩි වන්නේ ඇයි?

වෛරසයේ නව ප්‍රභේදයක් මේ සඳහා වගකිව යුතු ද?

ගෝලීය ප්‍රජාව කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගනිමින් වෛරසය සමඟ ජීවත් වන යුගයක චීනයේ තත්ත්වය අසාමාන්‍ය වෙන්නේ ඇයි?

මේ වනවිට චීනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ඉස්මතු කරමින් සිටින ගැටලු කිහිපයක් තමයි ඔබ ඉහත දුටුවේ. විශේෂයෙන්ම චීනයේ අසල්වැසි රටක් මෙන් ම ප්‍රධාන පෙළේ ප්‍රතිවාදියෙක් වූ ඉන්දියාවට චීනයේ නවත ම කොවිඩ් තත්ත්වය ගැටලුවක් වී තිබෙනවා. මෙම රැල්ල නැවත පැතිරී ගියහොත්, ඉන්දියාව පහසු ගොදුරක් වීමේ ඉහළ හැකියාවක් තිබීම ඊට හේතුව යි.

සැබවින්ම චීනයේ සිදුවන්නේ කුමක්ද?

සම්පූර්ණ චිත්‍රයක් නොමැත.

අනතුරු ඇඟවීමේ සීනු නාද වී ඇත. නැවත වරක් කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ පැහැදිලි කළ නොහැකි වැඩිවීමක් සමඟ චීනය පොරබදිමින් සිටී. 2019 සිට නව කොරෝනා වෛරසය අපගේ ජීවිත උඩු යටිකුරු කරමින් සිටින විට, ආසාදන වැඩිවීම පිටුපස තිබූ අබිරහස් වෛරසයක් පිළිබඳ සැක සාංකාවක් නොතිබිණි. වෛරසය සම්ප්‍රේෂණය වන ආකාරය හෝ ඊට එරෙහි ව සටන් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම සඳහා විද්‍යාඥයන්ට ධාවන තරගයක අවශ්‍යතාවක් නොතිබිණි. 2019 දී මෙන්, වර්තමානයේ චීනය තුළ සිදුවෙමින් පවතින දේ පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් අප සතුව නොමැත.

India Today වෙබ් අඩවිය චීනයේ නවතම කොවිඩ් තත්ත්වය විස්තර කර තිබුණේ එලෙසින්.

2022 වර්ෂයේ චීනය තුළ කොවිඩ් ආසාදිතයන් ගේ වාර්තා වීම විචලනය වූ අයුරු – www.bbc.com

ඇතැම් ඇස්තමේන්තුවලට අනුව නවත ම කොවිඩ් රැල්ල හේතුවෙන් චීනයේ මිලියන දෙකක පමණ ජනකායකට මරණීය අවදානමක් පවතිනවා. ජනගහනයෙන් 60% ක් පමණ ආසාදිතයන් විය හැකි බවත්, ඇතැමුන් පුරෝකථනය කර තිබුණා. මෙවැනි දරුණු සිරස්තල මතු වෙමින් පවතින පසුබිමක පැහැදිලි ගැටලුවක් ඉස්මතු වෙනවා.

නවතම කොවිඩ් වසංගත රැල්ල චීන දේශසීමා ආශ්‍රිත ව පැතිරීමේ අවදානම අවම කිරීම සහ අනෙකුත් ජාතීන්ට වෛරසය කාන්දු වීම වැලැක්වීම සඳහා චීන රජය ගන්නා පියවර මොනවා ද?

ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය

සැබැවින් ම කොවිඩ් අවදානම සම්බන්ධයෙන් චීනය කලක සිට දැඩි පියවර ගනිමින් සිටියා. ඔවුන් ගේ “ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය” හරහා කොවිඩ් පාලනය සාධනීය මට්ටමකින් සිදු කරගෙන ගියත්, ඉන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. ලෝකය ම කොවිඩ් සමඟ ජීවත් වීමට තීරණය කළ ද චීනය මුළුමනින් ම කොවිඩ් සමඟ ජීවත් වීමට සූදානම් වුණේ නැහැ. මෙම කාරණය තේරුම් ගැනීමට නම් ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ අන්තර්ගතය සලකා බැලීමට සිදු වෙනවා. එය පහත අන්දමින් සාරාංශගත කළ හැකි යි.

  1. කොවිඩ් ආසාදිතයන් අතළොස්සක් හමු වුව ද පළාත් පාලන ආයතන දැඩි අඟුළු දැමීම් ක්‍රියාත්මක කිරීම.
  2. ආසාදිතයන් හමු වූ ස්ථානවල මහා පරිමාණයෙන් පරීක්ෂණ පැවැත්වීම.
  3. කොවිඩ් ආසාදිත පුද්ගලයන් නිවෙස් තුළ හුදෙකලා කිරීම හෝ රජයට අයත් ස්ථානවල නිරෝධායනයට ලක් කිරීම.
  4. අඟුළු දැමූ ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා තැබීම.
  5. ආහාර වෙළෙඳාම හැර අනෙකුත් සාප්පු වසා දැමීම.
  6. නව ආසාදන කිසිවක් වාර්තා නොවන තුරු අගුළු දැමීම් අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම.
ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව නැඟී සිටීමට අවසානයේ චීන ජනයා තීරණය කළා – www.japantimes.co.jp

කොවිඩ් සම්බන්ධයෙන් ලෝකයේ පවතින දැඩි ම ක්‍රියාපිළිවෙතක් ලෙස චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය සැලකිය හැකි යි. ගෝලීය වසංගතයේ මුල් අවධිය තුළ බොහෝ රටවල මීට ආසන්නයෙන් ගමන් කරන දැඩි පාලන රටාවක් තිබුණත්, ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමෙන් පසු ඔවුන් වහාම මුල් තත්ත්වයට පැමිණෙන්න උත්සහ කළා. කෙසේ නමුත්, චීනය දිගින් දිගට ම තම ස්ථාවරය පවත්වා ගත් අතර, එරට ජනයා ඉන් පත් වූ අපහසුතාව සුළුපටු නැහැ.

ලිහිල් කළ ප්‍රතිපත්තිය

අඟුළු දැමීමට ලක් වූ ඇතැම් නගරවල ආහාර හිඟ වීම සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීමේ දුෂ්කරතා මතු වූ බැවින්, මිනිසුන් විශාල පීඩාවකට පත් වුණා. ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය නිසා ගෝලීය සැපයුම් දාමයට පවා බලපෑම් එල්ල වූ අතර, චීනයේ ආර්ථික වර්ධන වේගයත් පසුබෑමකට මුහුණ දුන්නා. මේ සියල්ලට ම ඉහළින් චීන ජනතාවගේ මානසික පීඩනය දරාගත හැකි සීමාවට ළඟා වෙමින් තිබුණා.

චීනයේ හිස් කඩදාසි විරෝධතා රැල්ලේ අවස්ථාවක් – www.euractiv.com

 මුළු ලෝකය ම කොවිඩ් අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් පුද්ගල නිදහස බුක්ති විඳින පසුබිමක සාම්ප්‍රදායික වසංගත පාලන ක්‍රමවේදවලට යටත් වෙමින් දිගින් දිගට ම ජීවත් වෙන්නට චීන ජනයා සූදානම් වුණේ නැහැ. අවසානයේ දී ඔවුන් කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව වීදි බසිමින් “හිස් කඩදාසි” විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළා. එහි ප්‍රතිපලයක් ලෙස ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ පහත වෙනස්කම් සිදු කිරීමට චීන රජය පෙලඹුණා.

  1. අගුළු දැමීමේ වපසරිය සීමා කිරීම (ගොඩනැඟිලි හෝ එක් මහලක් වැනි).
  2. නව ආසාදිතයන් හමු නොවුණහොත්, අධි අවදානම් ප්‍රදේශවල අඟුළු දැමීම දින පහකට සීමා වනු ඇති.
  3. පුළුල් පැතිරීමක් නොමැති නම්, පාසල් විවෘත ව තබා ගැනීම.
  4. කොවිඩ් ආසාදිතයන් මධ්‍යගත නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමේ අවශ්‍යතාව අහෝසි කිරීම.
  5. අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීම.

 මීට අමතරව PCR පරීක්ෂණ පැවැත්වීමේ සීමා ද යාවත්කාලීන වුණා.

බියකරු පුරෝකථන!

ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ රෙගුලාසි ලිහිල් කිරීමෙන් පසුව චීනයේ ඇති වූ තත්ත්වය දෙස දැන් ලෝකය බලා සිටිනවා. කොතරම් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබුණත්, කොවිඩ් වසංගතය නියමාකාරයෙන් චීනය තුළ පාලනය නොවූ බවයි පෙනෙන්න තිබෙන්නේ.

නව ආසාදන රැල්ල හේතුවෙන් චීනයේ රෝහල් පද්ධතිය දැඩි පීඩනයකට නතු වෙමින් පවතිනවා – www.bbc.com/news

සියැටල් (එක්සත් ජනපදය) ප්‍රදේශයේ පිහිටි වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනය අනුමාන කරන අන්දමට අප්‍රියෙල් මාසය වනවිට චීනයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 322,000 කට වඩා වැඩිවනු ඇති. තවත් විස්තර වාර්තාවකට අනුව 2023 දී කොවිඩ් මරණ මිලියනයක් පමණ චීනයේ සිදුවිය හැකි යි. වෛරසය හේතුවෙන් මේ දක්වා චීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 5200 කට අධික යි.

යම්තාක් දුරකට සිය කොවිඩ් මැඬලීමේ ප්‍රතිපත්තිය ලිහිල් කළ පමණින් මෙපමණ දරුණු වසංගත රැල්ලක් ඇති වීම සැබවින් ම අසාමාන්‍ය කාරණයක්. මේ සඳහා හේතු කිහිපයක් වාර්තා වී තිබුණා.

අප බියට පත් විය යුතු ද?

 වෛරසය ප්‍රථම වරට මතු වූ පසු සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා චීන බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබුණත්, ඔමික්‍රෝන් ඇතුළු එහි උප ප්‍රභේද හේතුවෙන් සාම්ප්‍රදායික ක්‍රියාමාර්ගවල පලදායීතාව අව ම වී තිබෙනවා. පසුගිය දෙසැම්බර් 7 වැනිදා සිට සීමා ලිහිල් කිරීමට චීනය පියවර ගනිමින් සිටින විට දී පවා වෛරසය වේගයෙන් පැතිරෙමින් තිබුණේ ඒ නිසා යි.

බීජිං නුවර පිහිටි සායනයකට රැස් වූ චීන ජාතිකයෝ – www.bbc.com

ඇතැම් විස්තර වාර්තාවලට අනුව අඩු එන්නත් අනුපාතය, හදිසි සත්කාර සඳහා දුර්වල ආයෝජනය යන හේතු මෙවැනි තත්ත්වයක් චීනයේ ඇතිකරලීමට සමත් වූ බව පැවසෙනවා. එහෙත්, චීනය යනු එන්නත්කරණය දැඩිව ක්‍රියාත්මක කළ රාජ්‍යයක්. චීනයේ තත්ත්වය සම්බන්ධයෙන් චිත්‍රයක් ගොඩනඟා ගැනීමට අපහසු වී ඇත්තේත් ඒ නිසා යි. දැනට පවත්නා තත්ත්වය පිළිබඳ සැබෑ තතු චීනය හෙළි නොකිරීමත් ගැටලුවක්.

නමුත්, චීනයේ තත්ත්වය සම්බන්ධයෙන් අප බියට පත් විය යුතු ද?

මුලින්ම අපි චීනයේ පැතිර යමින් පවත්නා කොරෝනා වෛරස් ප්‍රභේදය මඳක් විමසා බලමු.

වගකිව යුත්තේ ප්‍රතිපත්තිය ද?

ඉහත සඳහන් කළ පරිදි චීනයේ පැතිරෙමින් පවතින්නේ ඔමික්‍රොන් හි උප ප්‍රභේදයක්. එය හඳුන්වන්නේ “BF.7” යනුවෙන්. කෙසේ නමුත්, “BF.7” චීනයට ආවේණික වූ වෛරස උප ප්‍රභේදයක් නොවෙ යි. එය පසුගිය ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපදයේ සිටින ආසාදිතයන් අතරෙන් 5% වඩා වැඩි ගණනක් අතර දක්නට ලැබූ අතර, එක්සත් රාජධානියේ දී එම ප්‍රතිශතය දැක්වුණේ 7% ක් වශයෙන්. චීනයේ පවතින ගැටලුව අපට ඉහත සඳහන් රටවලින් අසන්න ලැබුණේ නැහැ. වෛරසවේදීන් පවා එම කරුණ සමඟ එකඟ වෙනවා. එනම්, චීනයේ කොවිඩ් ආසාදිත රැල්ල සහ සංසරණය වන ප්‍රභේදය අතර සම්බන්ධයක් නැහැ.

බීජිං හි ඔසුසැලක ඖෂධ මිලදී ගැනීම සඳහා මිනිසුන් පෝලිම් ගැසී සිටින අයුරු – www.reuters.com

“චීනයේ කොවිඩ් ආසාදිතයන් වැඩිවීම සම්බන්ධයෙන් එක් විශේෂිත ප්‍රභේදයක් වගකිව යුතු බව ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාක්ෂි නැහැ. අලුත් කොරෝනා වෛරස් ප්‍රභේදයක් මේ සඳහා හේතු වී ඇති බවත් යෝජනා කිරීමට හැකියාවක් නැහැ. ඔබ කොරෝනා වෛරසයේ ජීනෝමවල ගෝලීය දත්ත ගබඩාව නිරීක්ෂණය කළොත්, විශාල වෙනස්කමක් යාවත්කාලීන කර නොමැති බව දකින්න පුළුවන්.”

වෛරස පිළිබඳ විද්‍යාඥ ආචාර්ය ගුප්තා පවසනවා.  

ඇය විශ්වාස කරන අන්දමට චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ආසාදන රැල්ල සඳහා වගකිව යුතු වෙනවා.

“මට තේරුම් යන විදිහට දැඩි අගුළු දැමීම් හරහා චීන ජනගහනයේ විශාල කොටසකට ආසාදනය ලැබුණේ නැහැ. ස්වභාවික ආසාදනයක් හරහා කොවිඩ්119 ට එරෙහි පුළුල් සහ දිගුකාලීන ප්‍රතිශක්තියක් ලැබෙන බව අපි දුටුවා. මුහුණ ආවරණ නොමැතිව පවා මිනිසුන් නිදහසේ සැරිසරන ආකාරය ඉන්දියාව තුළ දකින්න පුළුවන්. නමුත්, අපිට විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට දෙමුහුන් ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ දෙමුහුන් ප්‍රතිශක්තිය ලැබුණේ ස්වභාවික ආසාදන වලින් සහ ඉහළ එන්නත්කරණ අගය හරහා යි. 

නිදහසේ අගය

මේ තත්ත්වය අපේ රටෙත් දකින්නට පුළුවන්. එන්නත්කරණයට සමගාමී ව අපි නැවතත් විවෘත පරිසරයට නිරාවරණය වුණා. කොවිඩ් සමඟ ජීවත් වෙන්න පුරුදු වුණා. එය වෙස්වලා ගත් ආශිර්වාදයක් වූ බව චීනයේ තත්ත්වයත් සමඟ පෙනී යන කරුණක්. ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය 2019-2020 කාල පරාසයට ගැළපුණත්, 2022 ට ගැළපෙන්නේ නැහැ

චීනයේ පවතින දැඩි අධිකාරී පාලන තන්ත්‍රය දිගින් දිගට ම සිය පැරණි ස්ථාවරය ඉදිරියට ගෙන ගියා. අවසාන ප්‍රතිපලය ලෙස තවමත් කොවිඩ් රෝගය ආගන්තුක වූ විශාල ජන කොටසක් චීන ජනගහනය තුළ ඉතිරි වුණා. මානව අයිතීන්, පුද්ගල නිදහස, රටක සෞඛ්‍ය පද්ධතිය පවා යහපත් අන්දමින් පවත්වා ගැනීමට ඉවහල් වන අන්දම ඔබ දුටුවා ද?

නිමා නොවන කොවිඩ් මර්ධනය කිරීමේ ප්‍රයත්නය – www.bmj.com

දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා චීනයේ සිදු ව ඇති කොවිඩ් මරණ ගණන හතක් ලෙස වාර්තා වුවත්, මරණ තහවුරු කිරීම සඳහා චීනය තුළ පවතින්නේ සීමිත නිර්ණායක කිහිපයක්. බොහෝ දුරට කොවිඩ් මරණ සඳහා ඇතුළත් වන්නේ වෛරසය හේතුවෙන් හට ගන්නා ස්වසන අපහසුතා හමුවේ මිය යන පුද්ගලයන් පමණ යි. කොවිඩ් සමඟ හට ගන්නා අනෙකුත් සංකූලතා හේතුවෙන් ඇති වන මරණ ඇතුළත් නොවන බවයි සඳහන් වන්නේ.

චීන රජය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය රෝහල් ධාරිතාව වර්ධනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එහෙත්, අලුතෙන් සපයන අවකාශ පවා රෝගීන් ගෙන් පිරී ඉතිරි යන්නේ තත්ත්වයේ බැරෑරුම්කම තවදුරටත් පසක් කරමින්. ඔසුසල්වල සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඖෂධවලත් සැලකිය යුතු හිඟයක් ඇති වෙමින් තිබෙනවා. නිවෙස්වල සිට කොවිඩ් පරීක්ෂණ සිදුකර ගැනීමේ පරීක්ෂණ කට්ටල පවා මේ හිඟයට හසුවී අවසන්.

ප්‍රමාදය පසුතැවීමක් වේවි ද?

චීන රජය පවත්නා තත්ත්වය එකහෙළා ලෝකයට හෙළි නොකළත්, රෝහල්වල කලබලකාරී පරිසරය පෙන්වන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයිකල් රයන් ද චීන රෝහල් පද්ධතිය මුහුණ දෙන දැඩි පීඩනය තහවුරු කරමින් පවසා සිටින්නේ රෝහල්වල දැඩි සත්කාර ඒකක තුළ පවා තදබදයක් ඇති බව යි. එවැනි තත්ත්ව, සංසරණය වන වීඩියෝ හරහා සත්‍යාපනය කිරීමට ඇතැම් මාධ්‍ය ආයතන උත්සහ කරමින් සිටිනවා.

චීනය ආරම්භයේ සිට ම කොවිඩ් වසංගතය හමුවේ පවා සිය අධිකාරීවාදය භාවිත කිරීමේ ප්‍රතිවිපාක දැන් ලැබෙමින් පවතිනවා. අපට ඇති ගැටලුව වන්නේ නවමු මුහුණුවරකින් චීන දේශසීමා අතික්‍රමණය කිරීමේ හැකියාවක් මේ ආසාදන රැල්ලට පවතිනවා ද නැද්ද යන්න යි. විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍ය ආයතන එම ප්‍රශ්නය මතු කරමින් සිටිනවා. ඉදිරි මාස කිහිපය නිසැකවම චීනයට දුෂ්කර කාලයක් වනු ඇති. පැරණි ක්‍රියාමාර්ග තවදුරටත් නොගැළපෙන බව ඔවුන් මෙතරම් ප්‍රමාද වී තේරුම් ගැනීම කොතරම් අභාග්‍යයක් ද?

කවරයේ ඡායාරූපය: නව ආසාදන රැල්ලත් සමඟ චීනය අවිනිශ්චිත නව වසරකට පා තබමින් සිටිනවා ද යන සැකයත් මතු වෙනවා - www.eastasiaforum.org
මූලාශ්‍ර:
www.voanews.com
www.washingtonpost.com
www.indiatoday.in
www.bbc.com/news
indianexpress.com
www.bbc.com

Related Articles

Exit mobile version