යුරෝපා මහද්වීපයට අයත් ග්‍රීසිය ලොව ඉතාමත් සුන්දර රටවලින් එකක්. ග්‍රීසියේ ඉතා රමණීය ප්‍රදේශ රාශ්‍රියක් දක්නට ලැබෙන අතර, එයින් කොරින්ත් ප්‍රදේශයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එහි කොරින්ත් ඇළ පිහිටා තිබෙන නිසා යි. 19 වන සියවසේ අගභාගයේ දී ඉදිවුණු එම ඇළ මාර්ගය මඟින් කොරින්ත් බොක්ක සහ සරොනික් බොක්ක එකිනෙකට සම්බන්ධ කරනවා. ඔබ ලෝක සිතියමේ ග්‍රීසිය පිහිටා තිබෙන ප්‍රදේශය නිරීක්ෂණය කළොත් එය දැකගන්නට පුළුවන්.
වරායන් දෙකකින් පෝෂණය වුණු නගරය
ග්‍රීසියේ උතුරු සහ දකුණු ප්‍රදේශ සම්බන්ධ කෙරෙන පටු බිම්තීරය අතීතයේ දී “මුහුදු පාලම” ලෙසින් හඳුන්වනු ලැබුවා. කොරින්ත් සන්ධියට එවැනි නමක් ලැබීමට හේතුවුණේ එම ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටා තිබුණු සරොනික් බොක්ක හරහා ඊජියන් සහ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශවලට ඇතුළුවීමට හැකිවීමත්, බටහිර දිශාවෙන් කොරින්ත් බොක්ක පිහිටා තිබුණු නිසා අයෝනියන් සහ මධ්‍යධරණී මුහුදුවලට ඇතුළුවීමට හැකිවීමත් නිසා යි. එම පටු බිම්තීරයට යාබදව පිහිටා තිබුණු කොරින්ත් නගරය ඈත අතීතයේ සිටම ප්‍රසිද්ධ වෙළඳ නගරයක්. ඒ, නැගෙනහිර දිශාවෙන් සෙන්ක්‍රෙයා වරායත් බටහිර දිශාවෙන් ලෙකැඔන් වරායත් පිහිටා තිබුණු නිසා යි.
එම යුගයේ දී පෙරදිග රටවලින් පැමිණෙන වෙළඳ නැව් සෙන්ක්‍රෙයා වරායට පැමිණ එහි භාණ්ඩ ගොඩබානු ලැබුවා. එම භාණ්ඩ ලෙකැඔන් වරාය වෙත රැගෙන ගියේ කොරින්ත් පටු බිම්තීරය හරහා තනා තිබුණු පීලී මාර්ගය ඔස්සේ යි. ඉන් අනතුරුව එම භාණ්ඩ විශාල නැව්වලට පටවා අපරදිග රටවල්වලට ප්‍රවාහනය කළා. මේ බඩුබාහිරාදිය කොරින්ත් බිම්තීරය හරහා වැටී තිබුණු පීලි මාර්ගය ඔස්සේ අපහසුවෙන් රැගෙන යන්නට සිදුවුණේ, ඒ වෙනුවට පෙලෝපෝනිස් යන නමින් හඳුන්වනු ලබන ග්‍රීසියේ දකුණු ප්‍රදේශය වටා විශාල දුරක් මුහුදු ගමනක යෙදීම අනතුරුදායක වුණු නිසා යි. විශේෂයෙන්ම පෙලෝපෝනිස් අර්ධද්වීපයේ පහළම කොටසේ තිබෙන මාලියා තුඩුව ප්‍රදේශය වඩාත් අනතුරුදායක වුණා.
ක්‍රි. පූ. 602 දී පෙරියැන්ඩර්ට පහළවුණු අදහස
ක්‍රි. පූ. 627 දී ග්‍රීසියේ කොරින්ත් නගරයේ පාලකයා ලෙස පත්වුණේ පෙරියැන්ඩර් නමැත්තෙක්. ඒ වන විටත් සෙන්ක්‍රෙයා සහ ලෙකැඔන් යන වරායවල් ද්විත්වය නිසා කොරින්ත් නගරය වේගයෙන් දියුණුවෙමින් තිබුණා. ඉතාමත් දක්ෂ පාලකයෙකු වුණු පෙරියැන්ඩර් සිය පරිපාලන හැකියාවන් භාවිතා කරමින් කොරින්ත් නගරය ග්‍රීසියේ ධනවත්ම නගරවලින් එකක් බවට පත්කළා. නමුත් කොරින්ත් බිම් තීරය ඔස්සේ සෙන්ක්‍රෙයා සහ ලෙකැඔන් වරායවල් අතර සාදා තිබුණු පීලි මාර්ගය ඔස්සේ අපහසුවෙන් බඩු ප්‍රවාහනය කිරීම තවමත් සිදුවුණා.
මෙයට පිළියම් ලෙස කළ යුත්තේ සරොනික් සහ කොරොන්ති බොකු එකිනෙකට සම්බන්ධ කරමින් ඇළ මාර්ගයක් ඉදිකිරීම බව පෙරියැන්ඩර් කල්පනා කළා. එවිට සෙන්ක්‍රෙයා සහ ලෙකැඔන් වරායවල් අතර ඉක්මනින්ම බඩු ප්‍රවාහනය කළ හැකි බව ඔහුට අවබෝධ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරියැන්ඩර් ක්‍රි. පූ. 602 දී පමණ කොරින්ත් ඇළ කැපීම සඳහා අවධානය යොමු කළා. එකල දියුණු තාක්ෂණික ක්‍රම නොතිබුණු නිසා එම ඇළ මාර්ගය සෑදීමට විශාල මුදලක් අවශ්‍ය වුණා. එය පෙරියැන්ඩර්ට දැරීමට අපහසු තරම් විශාල මුදලක් වුණු නිසා ඇළ මාර්ගය තැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණේ නැහැ.
තවත් පාලකයන් කිහිපදෙනෙකු ඇළ සෑදීමට උත්සාහ කරයි
ක්‍රි. පූ. 307 දී පමණ ඩිමිට්‍රියස් නම් පාලකයා පෙරියැන්ඩර්ගේ අදහස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. ඔහු ඊජිප්තුවෙන් කැඳවාගෙන ආ ඉංජිනේරුවන් කිහිපදෙනෙකුට ව්‍යාපෘතිය බාරදුන්නා. භූමිය පරීක්ෂා කළ ඉංජිනේරුවන් පවසා සිටියේ මෙම ඇළ මාර්ගය හෑරීම මඟින් කොරින්ත් නගරවැසියන්ට බලාපොරොත්තු නොවන ආකාරයේ ගංවතුර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇති බව යි. ඉන් බියට පත්වුණු ඩිමිට්‍රියස් එම ව්‍යාපෘතිය නවතා දැමුවා. එම යුගයේ දී යුරෝපයේ සිටි දාර්ශනිකයෙකු වුණු ඇපලෝනියස් අනාවැකියක් පළකරමින් පවසා සිටියේ කොරින්ත් ඇළ මාර්ගය හෑරීමට සූදානම් වන ඕනෑම කෙනෙකුට බලාපොරොත්තු නොවන ආකාරයේ විපතකට මුහුණදීමට සිදුවන බව යි.
ඩිමිට්‍රියස්ගෙන් පසුව ජූලියස් සීසර් සහ නීරෝ යන අධිරාජ්‍යයන් දෙදෙනා මෙම ඇළ මාර්ගය සෑදීම සඳහා අවධානය යොමු කළා. නීරෝ අධිරාජ්‍යයා වහලුන් 6000ක් පමණ යොදාගෙන ඇළ මාර්ගය කැණීමේ කටයුතු ආරම්භ කළා. නමුත් ඔවුන් දෙදෙනාම බලාපොරොත්තු නොවුණු ආකාරයට හදිසියේම මියගියා. එම නිසා ඇපලෝනියස් නම් දාර්ශනියා පළකළ අනාවැකිය ගැන බොහෝදෙනෙකු උනන්දුවක් දක්වන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්පසුව බලයට පැමිණි පාලකයන් කොරින්ත් ඇළ මාර්ගය සෑදීමේ ව්‍යාපෘතිය ගැන කිසිදු උනන්දුවක් දැක්වූයේ නැහැ.
19 වන සියවසේ දී කොරින්ත් ඇළ විවෘත වෙයි
වසර දහස්ගාණක් පුරාවට කිසිදු පාලකයෙකුගේ අවධානයට යොමු නොවුණු කොරොන්ති ඇළ නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යළි කරළියට පැමිණියේ 1830 වසරේ දී යි. ඒ, ග්‍රීක පාලකයෙකු වුණු කපෝඩිස්ට්‍රියාගේ උනන්දුව මත යි. නමුත් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ප්‍රංශ ප්‍රෑන්ක් මිලියන 40ක් පමණ වුණු නිසා ඔහු ද ව්‍යාපෘතිය අතහැර දැමීමට තීරණය කළා. 1869 වසරේ දී ඔස්ට්‍රියානු ජෙනරල් එටියන් ටයර්ගේ ප්‍රධානත්වයෙන් යුත් පුද්ගලික සමාගමක් කොරින්ත් ඇළ කැණීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සාහයක නිරතවුණා. නමුත් එම සමාගමට ව්‍යාපෘතිය අවසන් කිරීමට ප්‍රමාණවත් තරම් මුදලක් නොතිබුණු නිසා ඔවුන් ව්‍යාපෘතිය අතහැර දැමුවා.
1882 වසරේ දී මෙම ඇළේ ඉදිකිරීම් යළි ආරම්භ වුණා. එහි දී ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙසින් කටයුතු කළේ බෙලා ජර්ස්ටර් නම් හංගේරියානු ඉංජිනේරුවා යි. වසර 11ක් පුරාවට විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිදුකළ ඉදිකිරීම්වලින් පසුව 1893 ජූලි 25 වැනිදා කොරින්ත් ඇළ විවෘත කිරීමට හැකිවුණා. විවෘත කෙරුණු ඇළ මාර්ගය කිලෝමීටර් 6.4ක දිගකින් සහ මීටර් 70ක පළලකින් යුක්ත වුණා. විශාල වියදමක් දරමින් කොරින්ත් ඇළ මාර්ගය ඉදිකළත් ඉන් බලාපොරොත්තු වුණු තරම් ප්‍රයෝජන ලබාගැනීමට හැකිවුණේ නැහැ.
බලාපොරොත්තු වුණු තරම් ප්‍රයෝජනයක් නොලැබීමට හේතු
කොරින්ත් ඇළ මාර්ගය බොහෝ පටුවීම නිසා විශාල නැව්වලට මෙම ඇළ හරහා ගමන්කිරීම දුෂ්කර වුණා. එම නිසා බොහෝ නැව්කරුවන් මෙම ඇළ මාර්ගය හරහා ගමනේ යෙදීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. එසේම උදම් රළේ බලපෑමත්, ඇළ දෙපස ඉවුරුවල තිබුණු හුණුගල් බිත්තිවල ඉහළ කොටසේ තිබුණු අස්ථාවර ස්වභාවයත් නිසා මෙහි ගමන්කිරීම අනතුරුදායක වුණා. ඒ නිසා එය ඉදිකිරීමෙන් විශාල වාසියක් ලැබුණේ නැහැ. එසේම විවිධ අවස්ථාවල දී ඇළ මාර්ගය ආශ්‍රිතව නායයෑම් වාර්තාවීමෙන් වරින් වර එය වසාදැමීමට සිදුවුණා. මෙම ඇළ මාර්ගය නාවිකයන් අතර ජනප්‍රිය නොවීමට එය ද හේතුවක් වුණා.
දෙවන ලෝක යුද්ධය නිසා සිදුවුණු විනාශය
දෙවන ලෝක යුද්ධය පැවති කාල සමයේ දී යුරෝපය පුරාම දරුණු සටන් ඇවිලී ගියා. 1941 අප්‍රේල් 26 වැනිදා බ්‍රිතාන්‍ය හමුදා සහ නාසි හමුදා අතර ඇතිවුණු ග්‍රීක සටනේ දී කොරින්ත් ඇළ මාර්ගයට විශාල හානියක් සිදුවුණා. ජර්මානු හමුදාවන් පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් නායයෑම් ඇතිකර ඇළ අවහිර කළේ සතුරන්ට ඒ හරහා ගමන්කිරීම අවහිර කිරීමට යි. දෙවන ලෝක යුද්ධය අවසන්වීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ඉංජිනේරු බලකායේ මැදිහත්වීමෙන් කොරින්ත් ඇළ පිළිසකර කරනු ලැබුවා. 1948 ජූලි 7 වැනිදා සිට එය යළි නැව් ගමනාගමන කටයුතු සඳහා විවෘත වුණා.
කොරින්ත් ඇළේ වර්තමාන තත්ත්වය
වර්තමානය වන විට නාවික කටයුතු සඳහා යොදාගන්නා නවීන නැව්වලට කොරින්ත් ඇළ මාර්ගය හරහා ගමන්කිරීම අපහසු යි. එම නිසා වර්තමානයේ කුඩා බෝට්ටු පමණක් මෙහි ගමන්කරනවා. සංචාරක පිරිස් බෝට්ටු ඔස්සේ මෙම සුන්දර ඇළ මාර්ගය තරණය කරන ආකාරය සුලබව දක්නට ලැබෙනවා. කොරින්ත් ඇළ මාර්ගය සංචාරකයන් අතර ජනප්‍රිය යි.
එදා මෙම ඇළ මාර්ගය ඉදිකිරීමෙන් බලාපොරොත්තු වුණු ප්‍රයෝජන අද වන විට නොලැබී තිබුණත්, සංචාරක කර්මාන්තය සඳහා මෙය භාවිතාකිරීම මඟින් ඇළ ඉදිකිරීම සඳහා වැයවුණු මුදල් සහ මහන්සිය අපතේ නොගිය බව කිවහැකියි.