ඇන්ට්වර්ප් යනු ලෝකයේ ප්‍රධාන දියමන්ති මධ්‍යස්ථානය යි. දියමන්ති මුල් කරගත් කෞතුකාගාරයක් එහි තිබීම ඇත්තෙන්ම පුදුමයට කරුණක් නෙවෙයි. මෙය හැඳින්වෙන්නේ “ඩීවා, ඇන්ට්වර්ප් දියමන්ති නිවහන” ලෙසින්. මැණික් පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්නට මෙහි දී හැමෝටම පුළුවන්. මෙය දියමන්තිවල ඉතිහාසය, හැඩයන්, සහ වර්ණ පිළිබඳව විස්තර දැනගන්න වගේම, තවත් ආකර්ෂණීය සංචාරක ස්ථානවලින් සපිරුණු අරුම නගරයක්.
ඇන්ට්වර්ප් නගරය
ඩීවා නිවහන ඉදිව ඇත්තේ දියමන්ති හා මැණික් වෙළඳාම සඳහා සුප්‍රසිද්ධ, ලොව ප්‍රධාන පෙළේ ඇන්ට්වර්ප් නගරයේ යි. බෙල්ජියමේ පිහිටා ඇති මෙය ලොව බලවත් වාණිජ හා සංස්කෘතික නගරවලින් එකකි. තව ද එය බෙල්ජියමේ නෙදර්ලන්ත භාෂාව කතා කරන උතුරු කොටසට අයත් ඇන්ට්වර්ප් නම් ප්‍රාන්තයේ අගනගරය ද වනවා. බ්‍රසල්ස් නගරයේ සිට දුම්රියෙන් ගමන් ගතහොත් ඒ වෙත යාමට ගත වන්නේ පැයකටත් අඩු කාලයක්.
Diamond Quarter යනුවෙන් ප්‍රසිද්ධ මෙය ඇන්ට්වර්ප් නගරය තුළ වර්ග සැතපුමක පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා. 2012 වසර වන විට අසල්වැසි ප්‍රදේශවල තිබුණු මැණික් කපන සහ ඔප දමන ස්ථාන බොහොමයක් ඇන්ට්වර්ප් නගරය සංක්‍රමණය වී තිබෙනවා.
රළු දියමන්තිවලින් 84%ක් සහ ඔප දැමූ දියමන්තිවලින් 50%ක් ඇන්ට්වර්ප් නගරය හරහා ගමන් ගැනෙන අතර, එය ඩොලර් බිලියන 54ක ශුද්ධ ආදායමක් සහිත ලෝකයේ විශාලතම දියමන්ති දිස්ත්‍රික්කය බවට පත්ව තිබෙනවා. මෙහි සමාගම් 1,500ක් ද, වැඩබිම් 380ක් ද, තැරැව්කරුවන් 3,500ක් ද, වන අතර වෙළඳුන් සහ දියමන්ති කපන්නන් ද එහි සුලබව දක්නට ලැබෙනවා. මොවුන් අතර සෑම වසරකම ඩොලර් බිලියන 16ක් පමණ වටිනා දියමන්ති හුවමාරු වෙනවා.
15 වන සියවසේ සිට ඇන්ට්වර්ප් නගරය දියමන්ති වෙළඳාමෙහි කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. ලෝඩෙව්ක් වෑන් බර්කන් විසින් ඩයමන්ඩ් ඔප දැමීමේ නව මෙවලමක් නිර්මාණය කිරීමත් සමග වඩා පහසුවෙන් සමාන මුහුණත් සහිතව දියමන්ති ඔප දැමීමට හැකි වුණා. යුරෝපියානු වංශවතුන් මේ නව තාක්ෂණයෙන් ඔප දැමුණු දියමන්ති වැඩි වශයෙන් මිළට ගත් අතර, ආභරණ ශිල්පීන් ඇන්ට්වර්ප් වෙත ආකර්ෂණය වන්නටත් එය හේතු වුණා. 17 වැනි සියවසේ මැද භාගය වනතෙක් මෙම නගරය කලා හා සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණා. රිදී භාණ්ඩ, ස්වර්ණාභරණ, වටිනා ගල් වර්ග, සහ විදේශිකයන්ගේ ආකර්ෂණයක් සහිත පොල් මුතු බෙල්ලන්, කොරල්පර වැනි වටිනා දෑ එහි තිබී ඇත.
වර්ෂ 1890 දී දියමන්ති කර්මාන්තය ඇන්ට්වර්ප්හි පිහිටුවනු ලැබුවේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට පැමිණි දියමන්ති වෙළඳුන් සහ නිෂ්පාදකයින්ගේ පවුල් විසින්. 20 වන සියවසේ අග භාගයේ දී ඉන්දියානු සහ ආමේනියානු දියමන්ති වෙළඳුන් මෙම නගරයේ දියමන්ති වෙළඳාමේ විශේෂ ස්ථානයක් හිමි කරගෙන තිබුණා.
ඩීවා දියමන්ති නිවහන
ඩීවා යනු දියමන්ති හා රිදීවලින් පිරී ගිය ආභරණ ලෝකයක්. එය ඉකුත් මැයි මස 4 වැනි දා මහජනතාවට විවෘත කෙරුණු අතර, සමාරම්භක සතියේ නරඹන්නන් 5000කට අධික පිරිසක් පැමිණ තිබෙනවා. ඔපෙරාවන්හි ප්‍රසිද්ධ ගායිකාවන් හැඳින්වෙන නාමයකුයි ඩීවා. ඩීවාහි දී ජාත්‍යන්තර දියමන්ති කතාවේ අතීතය, වර්තමානය වගේම අනාගතය විඳගැනීමට නරඹන්නන්ට අවස්ථාව හිමිවෙනවා. මෙය අධි තාක්ෂණික දැනුම සහ නව කලාපීය කුසලතාවයන් එක්තැන් වූ විශිෂ්ට කෞතුකාගාරයක්.
ඇන්ට්වර්ප්වල දියමන්ති කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට මුලින්ම තීරණය කෙරුණේ 1968 දී. ප්‍රථම දියමන්ති කෞතුකාගාරය 1972 දී ජේසුුස්ට්රාට් පළාත් ආරක්ෂක ආයතනයේ පළමු මහලේ දී විවෘත කෙරුණා. 1988 දී එය දියමන්ති නගරයට යාබදව පිහිටි ලාන් හෙරෙන්ටල්ස්ට්රාට් ගොඩනැගිල්ලට මාරු වුණා. එහි තට්ටු තුනක් පුරා දියමන්තිවල කතාව වඩා පරිපූර්ණ සහ සිත්ගන්නාසුළු අයුරින් ඉදිරිපත් කර තිබුණු අතර දියමන්ති ආභරණවල පරිණාමය පිළිබඳව මෙහි ප්‍රදර්ශනය කෙරුණා. 2002 වසරේ දී ඩීවා කෞතුකාගාරය නැවතත් දියමන්ති දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික ගොඩනැගිල්ලට ගෙන යනු ලැබුවා. 2012 වසරේ දී එම ගොඩනැගිල්ල වසා දැමුනේ එළිසබෙත් ශාලාවෙහි ඉදිකිරීම් කටයුතුවලට ඉඩ සැලසීම සඳහා යි. එය යළි විවෘත කෙරෙන්නේ මෙම වසරේ දී යි.
ඇන්ට්වර්ප්හි දියමන්ති සහ රිදීවල නිර්මාණශීලීත්වය ඔවුනටම ආවේණික යි. අධි තාක්ෂණික දැනුම සහ නව්‍ය කලාපීය කුසලතාවයන් රැසක් ඩිවා විශිෂ්ටත්වයට පත් රන්නට සමත් වී තිබෙනවා. දියමන්ති ආභරණ පමණක් නොව රිදී ආභරණවලින් ද සමන්විත වන මෙය ලෝකයේ නිර්මාණාත්මක දියමන්ති කර්මාන්තයේ සිය ආධිපත්‍යය රකින සජීවී ස්ථානයක් ලෙස විග්‍රහ කළ හැකි යි.
හිවනියර්ස්ට්රාට් යනු ඇන්ට්වර්ප් නගරයේ ඉතාම ආකර්ෂණීය වීථිවලින් එකක්. පොලිස් ස්ථානයකින් හා සීසීටීවී කැමරා දුසිම් ගණනකින් ද, සන්නද්ධ සොල්දාදුවන් ද විසින් මෙය ආරක්ෂා කරනවා. එවැනි ආරක්ෂාවක් සැපයීමට හේතු වන්නේ එය ලෝක දියමන්ති කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වීම යි. මෙහි ඇති ප්‍රදර්ශන භාණ්ඩ 600ක එකතුව අතර මෑතක වසා දැමුණු ස්ටර්ක්ශෝෆ්හි රිදී කෞතුකාගාරයේ භාණ්ඩයන් ද අැතුළත්. මෙම එකතුවේ ජැක් ඊ ලන්ඩන්ගේ රිදී එකතුවක භාණ්ඩ 96ක් දක්නට ලැබෙන අතර, ඔහුගේ මරණයෙන් වසරකට පසුව 1976 දී එම භාණ්ඩ කෞතුකාගාරය වෙත ලබා ගැනුණා.
ඩීවා කෞතුකාගාරය ඇතුළත
ඩීවා කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ෆ්රෑන්ක් වෑන් ලකේ විසින් කෞතුකාගාරයට එන නරඹන්නන්ට මඟ පෙන්වන ජෙරොම් බට්ලර් නම් අතාත්වික චරිතයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි දියමන්ති ආභරණ පිළිබඳ ඓතිහාසික වැදගත්කමකින් යුත් කතා බොහොමයක් කලාත්මක අයුරින් ඉදිරිපත් කර තිබෙනවා. සෑම දියමන්ති ආභරණයකටම ඊට හිමි අතීත කතාවක් තියෙනවා.
ඩීවා කෞතුකාගාරයේ ගෘහ නිර්මාණ ශිල්පියා ගර්ට් වොර්ජන්ස් වන අතර, සැරසිලි නිර්මාණකරු වන්නේ කාර්ලා ජෙන්සන් හෝෆෙල්ට්. මේ සඳහා වැයවන යුරෝ මිලියන 20ට විවිධ නළුවන් මෙන්ම සංචාරකයින් ද මුදලින් දායක වී තිබෙනවා. මෙම මුදල්වලින් විශාලම කොටස වෙන්වන්නේ ආරක්ෂාව සඳහා යි. වාර්ෂිකව නරඹන්නන් 200,000ක් ඩීවා නිවහන වෙත පැමිණෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.
කවරය: Hotsta – Instagram Viewer