ඔසාමා බින් ලාදින් කියූ පමණින් කාගේත් සිහියට නැඟෙන්නේ අමෙරිකාව ඉලක්ක කර ගත් ත්‍රස්තවාදයේ උච්චස්ථානය සනිටුහන් කළ 2001 සැප්තැම්බර් 11 වැනි දා සිදුවු නිව්යෝක් ප්‍රහාරයයි. ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ් (කණිෂ්ඨ)අමෙරිකානු හිටපු ජනපතිවරයාගේ නම ද ඒත් සමඟ ම සිහිපත් වන්නේ එම බිහිසුණු ප්‍රහාරය සිදුවුයේ ඔහුගේ ධුර කාලයේදි නිසා ය. නමුත් බුෂ්- ලාදින් යා කරන එකම සම්බන්ධකම එය වන්නේ නැත. එය නිව්යෝක් ප්‍රහාරය සිදුවන්නට දශක ගණනාවකට පෙර සිට බුෂ් හා ලාදින් පවුල් අතර පැවති ව්‍යාපාරික සබඳකම්වල සිට ඔසාමා බින් ලාදින් සී. අයි. ඒ. ඔත්තු සේවය සමඟ එක් ව කටයුතු කිරිම දක්වා වූ පරාසයකට විහිදෙන්නකි. මේ ඇතැම් සබඳකම් එකිනෙකා අතර සෘජුව ම පැවැති ඒවා ය. තවත් ඇතැම් ඒවා පවුල් දෙකේ ම පොදු මිතුරන් හරහා වක්‍රාකාරයෙන් පැවති සබඳතා ය. එසේ වුවත්, ඒ සබඳකම් සියල්ල ම පාහේ එක සේ පුදුමය හා කුතුහලය දනවනසුලු ඒවා ය.
බුෂ් හා ලාදින්ගේ බලශක්ති හවුල
බින් ලාදින් හා බුෂ් පවුල් දෙකේ දෛවය එකිනෙක හා බැඳුණක් බවට අපට මුල් ම සාක්ෂිය ලැබෙන්නේ 1978 වසරෙනි. ඒ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (කණිෂ්ඨ) හා ඔසාමා බින් ලාදින්ගේ සොයුරු සලීම් බින් ලාදින් එක් ව ටෙක්සාස් නුවර ‘ආර්බස්ටෝ‘ නමින් බලශක්ති සමාගමක් ඇරඹිමත් සමඟ ය. සිතූ තරම් සාර්ථකත්වයට පත් නුවූ ආර්බස්ටෝ බලශක්ති සමාගම 1980 මැද භාගය වන විට ‘හාර්කන්‘ නමැති වෙනත් බලශක්ති සමාගමක් භාරයට පවරා ගැනිණි. හාර්කන්, ආර්බස්ටෝ බලශක්ති සමාගම පවරාගන්නා විට එහි ඩොලර් මිලියන විසිපහක වත්කම් ප්‍රමාණයක් ලියැවී තිබුණේ බෑන්ක් ඔෆ් ක්‍රෙඩිට් ඇන්ඩ් කොමර්ස් ඉන්ටර්නැෂනල් (BCCI) බැංකුවේ නමට ය.
මුල්‍ය ආයතන ඉතිහාසයේ වාර්තාවන වඩාත් ම දූෂිත මුල්‍ය ආයතනය ලෙස සැලකෙන බී.සී.සී.අයි. බැංකුව 1991 දී වසා දැමිණි. ඒ ඔසාමා බින් ලාදින් එකල සෝවියට් සමූහාණ්ඩුවට එරෙහිව අරඹා තිබු සටනට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීමට වංචා සහගත ලෙස ඉන් මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති බව හෙළිවීමත් සමඟ ය. එහි මුදල් පරිපාලන කටයුතුවලට සෘජුව ම සම්බන්ධ වූ කාලීඩ් බින් මහාෆුයිස්, බුෂ් පවුල මෙන් ම ලාදින් පවුල සමඟ ද සමීප ව කටයුතු කළ අයෙකි.
මෙම පවුල් දෙක සමඟ ම එකවර දැනඇඳුනුම්කම් පැවැත්වු තවත් පුද්ගලයකු වන්නේ ජිම් බාත් ය. ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ බුෂ් හා ලාදින් පවුල් දෙකේ ම ව්‍යාපාරික කටයුතුවල නියෝජිතයකු වු කාලීඩ් මහාෆුයිස් හරහා ය. කාලීඩ් දැන හඳුනා ගැනිමට පෙර සිට ම බාත්, බුෂ් පවුල සමඟ ඇඟෑලුම්කම් දැක්වූවෙකි. සී. අයි.ඒ. සංවිධානය ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගේ (ජ්‍යෙෂ්ඨ) පාලනය යටතේ පැවති අවධියේ දි ජිම් බාත්, සි.අයි. ඒ. සංවිධානය සතු වූ වටිනා තොරතුරු මුලාශ්‍රයක් වීම ඊට එක් හේතුවකි. බුෂ් පියා මෙන් ම පුතු ද, බාත්ගේ කුලුපග මිතුරකු වුයේ ටෙක්සාස් ජාතික ගුවන් ආරක්ෂක සේවයේ දී කණිෂ්ඨ බුෂ් හා බාත් සේවයේ යෙදුණේ එකට ම වූ නිසා ය.
සී. අයි. ඒ.සංවිධානයට අනුබද්ධ ව සේවය කළ බාත් සතු ව පැවති සබඳතා ජාලය අමෙරිකානු දේශ සීමාවෙන් ඔබ්බට වූ සෑම අස්සක් මුල්ලක් නෑර ම ව්‍යාප්ත ව තිබිණි. එහි එක් කොනක් වූයේ අමෙරිකාවේ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරිමේ බලාපොරොත්තුවෙන් පසු වූ මැදපෙරදිග, විශේෂයෙන් ම සෞදි රජ පවුල ඇතුළු සුපිරි පෙළැන්තියේ පවුල් ය. බින්ලාදින් පවුලත් ඒ අතර ඉහළින් ම සිටියේ ය. බින් ලාදින් පවුල හා බාත් අතර වූ අන්‍යෙන්‍ය විශ්වාසය කෙතරම් ප්‍රබලවූයේ ද යත් ඔවුන් අමෙරිකාවේ ආයෝජනය කිරිමට බලාපොරොත්තු වන ව්‍යාපාර සඳහා නියෝජිතයකු ලෙස වගකීමට බැඳීමේ එකඟතාවකට පවා බාත් ඇතුළු ව සිටියේ ය. බී.සී.සී.අයි. බැංකුවට සම්බන්ධ කාලීඩ් මහාෆුයිස් හා බාත්ට සම්බන්ධ වීමට හැකි වන්නේ මෙම එකඟතාවේ ප්‍රතිඵලයක් ලෙස ය. කාලීඩ් හා බාත් හරහා ලාදින් පවුලත් බූෂ් පවුලත් අතර සම්බන්ධය තවදුරටත් ශක්තිමත් වූයේ වේගයෙනි.
බුෂ් හා ලාදින් නෑයෝ එක ම රහසිගත සංවිධානයක
බුෂ් හා බින් ලාදින් පවුල යා කළ තවත් සම්බන්ධකයක් වූයේ ‘කාලයිල් සංගමය‘ ලෙස හැඳින්වුණු බි.සී.සී. අයි. බැංකුව සමඟ ද සබඳකම් පැවත් වූ රහසිගත සංවිධානයකි. ප්‍රකට ගවේෂණාත්මක ලේඛකයකු වන ‘ක්‍රේග් අන්ගර්‘ ලියා පළ කළ ‘හවුස් ඔෆ් බුෂ්, හවුස් ඔෆ් සවුඩ්‘ නමැති කෘතිය නිකුත් වූ සැණින් එය ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ ඉන් බුෂ් පවුලත්, ලාදින් පවුලත් අතර පැවති රහසිගත දේශපාලනික සැලසුම් රාශියක් ඉන් කරළියට ගෙන ඒම නිසා ය.
කාලයිල් සංවිධානයේ සාමාජිකත්වය දැරුවන් අතර බුෂ් (ජ්‍යෙෂ්ඨ), ඔහුගේ සහායකයන් මෙන් ම ලාදින් පවුලේ සාමාජිකයන් ද සිටි බව ද ක්‍රේග් සාක්ෂි සහිත ව ඔප්පු කර තිබිණි. ඉන් හට ගත් ආන්දෝලනය කෙතරම් ප්‍රබල ව නැඟී ආවා ද කියතොත්, ක්‍රේග්ගේ පොත අලෙවි කිරිම ප්‍රතික්ෂේප කරන ලෙස පොත් ප්‍රකාශකයන්ට බලපෑම් එල්ල වන්නට විය. කාලයිල් සංවිධානයත්, බුෂ් හා ලාදිනුත් යා කරන හුයවල් පිළිබඳ ව ක්‍රේග් ගෙනා තර්ක ඔප්පු කරන්නට 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සමත් විය.
අමෙරිකානු ඉතිහාසයෙන් වාර්තාවන බිහිසුණු ම ත්‍රස්ත ප්‍රහාරය ලෙස අවිවාදයෙන් සැලකෙන නිව්යෝක් ප්‍රහාරය සිදුවන විට ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් (ජ්‍යෙෂ්ඨ) සිටියේ වොෂින්ටනයේ පැවති සාකච්ඡාමය හමුවක කාලයිල් සංවිධානය නියෝජනය කරමිනි. අහඹුවක් ද නැතිනම් සැලසුමකට අනුව සිදුවී දැයි ස්ථීරව ම කිව නොහැකි නමුත් එම හමුවට, අමෙරිකානු නීතියට වඩාත් ම ඕනෑකරන අපරාධකරු වන ඔසාමාගේ සොයුරකු ද එක්ව සිට ඇත. ලාදින් හා බුෂ් අතර වූ සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ ‘මයිකල් මුවර්‘ සිය ‘ ෆැරන්හයිට් 9/11‘ චිත්‍රපටය ඔස්සේ ද සාකච්ඡාවට ලක් කෙරෙද්දි සැප්තැම්බර් 11 වැනි දා පැවති මෙම අසාමාන්‍ය හමුව ද රීදී තිරය ඔස්සේ දිග හැරිණි.
ආන්දෝලනාත්මක හෙළිදරව් කිරිම්
මෙබඳු ආන්දෝලනාත්මක හෙළිදරව් කිරිම් හමුවේ තම පවුල් දෙක අතර වන සම්බන්ධය හුදෙක් ව්‍යාපාරික ගනුදෙනු ම පමණක් අරමුණු කරගත්තක් බව ලාදින් හා බුෂ් පවුල් දෙක ම අවධාරණය කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෙම සබඳතා ව්‍යාපාරික ගනුදෙනුවලට මුවා වූ කුමන්ත්‍රණකාරි දේශපාලනික සැලසුම් නියෝජනය කරන්නක් බවට වන තර්ක බිඳ හෙළිමට එවැනි ශපථ කිරිම් සමත් ව නැත. අනෙක් අතට නිව්යෝක් ප්‍රහාරයෙන් පසු ව ලාදින් පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් බුෂ් පාලනාධිකාරිය අනුගමනය කළ අනුකම්පා සහගත පිළිවෙත ද ඉහත තර්ක ඔප්පු කරනවා හැරෙන්නට වැඩි යමක් කර නැත.
ලාදින්ගේ පවුලේ අයට විශේෂ අනුකම්පාවක්
නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයෙන් පසු අමෙරිකාවේ සිටි ලාදින් පවුලේ සාමාජිකයන් කඩිනමින් රටින් පිට කිරීමට බුෂ් රජය පියවර ගත් බව රහසක් නොවේ. ඇමරිකානු ගුවන් කලාපය හරහා එකදු ගුවන් යානයක් හෝ පියාසර කිරිම තහනම් ව තිබු අවධියක දී රජයේ අනුග්‍රහයෙන් ම ලාදින් සාමාජිකයින් ආරක්ෂිත ව රටින් පිටකර තිබුණේ ගුවනිනි. කතාව එතැනින් අවසන් වන්නේ නැත.
ඉන්පසු විවිධ අවස්ථාවල දී අමෙරිකා රජයේ හා හමුදා නිලධාරින් සිදු කළ ප්‍රකාශවලින් කියැවුණේ ප්‍රහාරය සිදු ව කෙටිකලක් තුළ ම ඔසාමා අත්අඩංගුවට ගැනීමට අමෙරිකා රජයට ඕනෑතරම් ඉඩ ප්‍රස්තා තිබු බව ය. එසේ තිබියදීත් ඔවුන් ඕනෑකමින් ම එය මඟහැරි බව ය. කරුණු කාරණා දත් අයකු ලෙස බුෂ් රජයට ඒ සම්බන්ධයෙන් සෘජුව ම ඇඟිල්ල දිගු කළේ සී.අයි.ඒ. සංවිධානයේ හිටපු ක්ෂේත්‍ර අණදෙන නිලධාරියකු වූ ගැරී බර්න්ස්ටයින් ය. ඔහු සිය ‘ජෝබ්‍රේකර්‘ කෘතියෙන් එකහෙළා ම කියා තිබුනේ බින් ලාදින්ට යන්නට ඉඩ හැරියේ බුෂ් රජය බව ය.
නිව්යෝක් ප්‍රහාරයත් සමඟ අමෙරිකාවේ පරම සතුරා බවට පත් වූ ඔසාමා 1970ත් 1980ත් අතර කාලයේ දී එරට සමීප මිතුරකු පමණක් නොව සී.අයි.ඒ. සංවිධානය සතු ව සිටි වටිනා තොරතුරු මුලාශ්‍රයක් ද විය. පිළිගැනීමට අසීරුවුවත් එය සත්‍යයකි. ලාදින් පවුල සාර්ථකත්වයට පත්වූයේ ව්‍යාපාර සම්බන්ධයෙන් වුවත්, ඔසාමාගේ දක්ෂතාව මැනවින් ප්‍රකට වන්නේ යුද ක්ෂේත්‍රයේ දී බව අමෙරිකා වටහා ගෙන සිටියේ ය.
සෝවියට් සමුහාණ්ඩුවට එරෙහි ඇෆ්නිස්ථානයේ සන්නද්ධ කණ්ඩායම් මෙහෙයවිමට අමෙරිකානු පාලනාධිකාරිය ඔසාමා පත්කළේ එබැවිනි. තත්ත්වය කණපිට හැරුණේ ඇෆ්ගනිස්ථාන මෙහෙයුම් අවසන්වීමත් සමඟ ය. මැදපෙරදිග ව්‍යාප්ත ව තිබෙන අමෙරිකානු බලාධිකාරිය සීමාව ඉක්මවාලූවක් බව වටහාගත් ඔසාමා අමෙරිකාවට පිටුපෑවේ ය. නමුත් ඔහු සී. අයි.ඒ. සංවිධානය සමඟ සබඳතා අඛණ්ඩව හොර රහසේ පවත්වාගෙන ගිය බව කියතත් එය සැක සහිත ය.
නිව්යෝක් ප්‍රහාරය හා බැඳුණු අවිනිශ්චිත බවේ කඩතුරාවෙන් මුවා වූ තවමත් අපැහැදිලි මෙවන් සිදුවීම් බොහෝමයකි. එවැනි තවත් සිදුවිමක් වන්නේ නිව්යෝක් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමේදි බුෂ්ගේ රජය සෞදි අරාබිය මඟ හැර ඇෆ්ගනිස්ථානය ඉලක්ක කිරීම යි. ඔසාමාගේ මව්බිම සෞදි අරාබිය වූවා සේ ම ප්‍රහාරයට එක්වූ ත්‍රස්තයන් දහ නව දෙනාගෙන් පහළොස් දෙනෙක් ම සෞදි අරාබි ජාතිකයන් වූහ. පුදුමය වන්නේ ප්‍රහාරය සිදුකිරිමට ඔන්න මෙන්න තිබියදී අමෙරිකානු බුද්ධි අංශ, ඔසාමා හා සෞදි ජාතිකයන් විසින් සිදු කරන්නට නියමිත ත්‍රස්ත පුහාරයක් පිළිබඳ අනතුරු අඟවා තිබියදීත් බුෂ් පාලනාධිකාරිය වගේ වගක් නැති ව සිටිම ය.
ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය
ප්‍රහාරයෙන් පසු වුව ද සෞදි අරාබිය වෙත අවධානය යොමු කරනු වෙනුවට අමෙරිකානු බලධාරින් කළේ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරිම ය. මීට හේතුව ලෙස ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්ථානය ඔසාමා පදිංචි ව සිටින රට බැවින් එසේ කළ බව ය. මෙම මෙහෙයුම් සාර්ථක වූයේ නැත. බර්න්ස්ටයින් පවසන ආකාරයට නම් එකල ඹසාමා සැඟ වී සිටින ස්ථානය නිශ්චිතව දැන ගෙන සිටිය ද ගැටලුව වී ඇත්තේ ප්‍රහාරයක් සිදු කිරිමට ප්‍රමාණවත් සෙබළුන් නොමැතිකම ය.
එයට ද වගකිව යුත්තේ බුෂ්ගේ පාලනාධිකාරිය ය. අවසානයේ දී පාකිස්තානයේ අබෝටාබාද් නුවර සැඟ වී සිටි ඔසාමාගේ අවසානය සිදුවූයේ ජනපති බරක් ඔබාමාගේ හමුදා සිදු කළ වැටලීම්වලදී ය. බුෂ් හා ලාදින් සම්බන්ධය අහඹුවක් හෝ අභූත චෝදනා මත පදනම්වුවක් පමණක් නොවන්නේ මේ සියලු කරුණු කාරණා නිසා ය.