Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යූටාවේ “පිශාචයන්ගේ නිම්නය”

හුදෙකලා ආකෘති ත්‍රිත්වය (YouTube)

සැන් රෆායල් පරය ආශ්‍රිතව පිහිටා තිබෙන ගොබ්ලින් වැලී ජාතික උද්‍යානය සංචාරකයන්ගේ නෙත් සිත් ආකර්ෂණය කරගන්නේ එහි පවත්නා අසාමාන්‍ය පෙනුමෙනි. එහි භූගෝලීය ආකෘතිය මවාලන්නේ මෙලොවින් එපිට පවත්නා යම් ස්ථානයක ස්වභාවයකි. කාලාන්තරයක් පුරා සිදු වූ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙකී නිම්නයෙහි නිර්මාණය වුණු වැලිගල් ආකෘතීන්හි පවත්නා අද්භූත ස්වභාවය සැබවින්ම පුදුමාකාර ය. මෙකී භූගෝලීය පිහිටීම තරමක් අඟහරු ග්‍රහයා මත පවත්නා භූගෝලීය ස්වභාවයට පෙනුමින් සමාන වේ. ගවේශනයට, කඳවුරු බැඳීමට, කඳු තරණය කිරීමට, කඳු ආශ්‍රිතව සිදු කරන බයිසිකල් පැදීමේ ක්‍රීඩා කටයුතුවල නිරත වීමට, ගොල්ෆ් ක්‍රීඩා කිරීමට, රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම ආදී ක්‍රියාකාරකම් කිරීමට, අවට පවත්නා ගැඹුරු දොරු දිගේ ගමන් කරමින් ඒවා නැරඹීමට මේ කරා පැමිණෙන සංචාරකයන්ට ඉඩ ප්‍රස්තාව පවතී.

විවිධ හැඩයේ ආකෘති (youtube.com)

1920 ගණන්වල දී ෂැ‍ෆින් නමැති පුද්ගලයා ග්‍රීන් රිවර් සහ කේන්විල් අතර විකල්ප මාර්ගයක් සෙවීමෙහි දී මෙකී ඉසව්ව අනාවරණය කරගැනිණි. ඉන් පෙර මෙය රහසිගත ස්ථානයක්ව පැවති අතර ඒ පිළිබඳ දැන සිටියේ ප්‍රදේශයේ එ‍ඬේරුන් කිහිපදෙනෙකු පමණි.  මෙකී විචිත්‍රවත් කාන්තාර කඳු පන්ති සුමට වැලිගල් කුට්ටිවලින් සැකසී තිබෙන අතර ඒවායෙහි ශීර්ෂයන් වියළි මඩ තට්ටු තැන්පත් වී උස් වී ඇත. 1950 දශකය වන විට මෙම නිම්නය බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ අතර එය ආරක්ෂා කරගැනීම සඳහා විධිවිධාන සලස්වාලීම පිළිබඳ විශාල කතිකාවතක් ද ඉස්මතු විය.  මෙම භූමිය ආරක්ෂා කරගැනීමේ අදහස පෙරදැරි කරගනිමින් යූටා ජනපදය 1964 දී මෙම භූමිය අත්පත් කරගන්නා ලද අතර, පසුව එය ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලදී.

ගොබ්ලින් නිම්නය රාත්‍රියට දිස්වන ආකාරය (Flickr)
පාෂාණමය ආරුක්කු  (Utah Luxury Tours)

මෙම උද්‍යානය තුළ සංචාරකයන්ගේ අවධානයට බොහෝ සෙයින් යොමු වන්නේ උද්‍යානයේ මධ්‍ය ප්‍රදේශයයි. හෑන්ක්ස්විල් නමැති කුඩා නගරයට කි. මී. 19ක් ඔබ්බෙන් සැන් රෆායල් කාන්තාරයෙහි කෙලවර පිහිටා තිබෙන මෙම උද්‍යානය කරා ළඟා වීමට අද වන විට නව මාර්ගයක් පවා සකසා ඇත. බැලූ බැල්මට බිම්මලක ස්වභාවය පෙන්නුම් කරන, බහිරව ආකෘතියක් සහිත, ජුගුප්සාජනක හැඟීමක් මතු කරවන, කොත් ආකාර මුදුනක් සහිතව සැකසී තිබෙන වැලිගල් ආකෘති දහස් ගණනක් මෙම නිම්නය පුරා පැතිරී පවතිමින් සංචාරක දෑස්වලට නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරයි. වසර මිලියන ගණනාවක් පුරා වර්ෂාවට සහ සුළඟට මුහුණදුන් කාන්තාරයේ සොඳුරුතම නිමැවුමක් ලෙස ගොබ්ලින් නිම්නයේ වාමන රූප හඳුනාගත හැකිය. මෙම නිම්නය පුරා ඇවිද යාම පහසු ය. ඒ පුරා පැතිර පවත්නා මාර්ග ත්‍රිත්වය හරහා ගමන් කරන සංචාරකයන්ට ස්වභාව ධර්මයේ සොඳුරුතම නිර්මාණයන් ගණනාවක් මුණගැසීමට නියමිතය.

පටු දොරු මාර්ග (The American Southwest)
දොරුවක් (flickr.com)

මෙම උද්‍යානයට ඇතුළු වූ පසුව ප්‍රථමයෙන්ම ගමන් කිරීමට නියමිතව තිබෙන්නේ කෙටි විවරයක් සහිත දොරු ද්විත්වයක් පරිශ්‍රයෙහි පවත්නා මාර්ගයක් හරහා ය. ඉන්පසු නැගෙනහිර දෙසට විහිදී යන තෘණ තලාවක් හමුවනු ඇත. මෙකී තණ තලාව වට කරගනිමින් ඒ මධ්‍යයේ හුදෙකලා රූප ත්‍රිත්වයක් උසට නැගී ඇත. නොගැඹුරු දොරු පටු වුව ද අඩි සිය ගණනක් දුරට විහිදෙන අතර, ඒ තුළ ඇති ගල් මතට වැටෙන හිරු එළිය විසින් විවිධ විචිත්‍රවත් ආලෝක රටා මවාලනු එහි සංචාරයෙහි යෙදෙන ඔබට දැකගත හැකි වනු ඇත. මෙම නිම්නයෙහි ඇතැම් ඉසව් ඔස්සේ ඇවිද යාමට සංචාරකයන් එතරම් ප්‍රියතාවක් නොදක්වන්නේ එම ස්ථානයන්හි පවත්නා භූමි ලක්ෂණ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් සමාන වන බැවිනි. ගිනිකොණ දෙසට වන්නට පිහිටා තිබෙන ආකෘතීන්ගේ විවිධත්වය වඩාත් වැඩි අතර එනයින්ම සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වේ.

ගොබ්ලින් නිම්නය (MowryJournal.com)
ඈතින් සිට බලන විට (gjhikes.com)
පැතිරුණු තණ තලාව (The Local Tourist)

පාෂාණ ස්ථරයන් එක්රැස් වී විශාලනයට ලක් වූ සුදු, අළු, රත් පැහැයෙන් යුක්ත ගල් මෙම නිම්නය පුරා පැතිර පවතිනු දැකගත හැක. නැගෙනහිර දෙසින් මෙම නිම්නයට ගිරි කඳුරක් සම්බන්ධ වන අතර එහි බෑවුම් කලාපයෙහි මුදුනත වඩාත් සංකීර්ණ, වඩාත් උසින් යුත්, සහ එකිනෙකට වඩාත් ළඟින් පිහිටා තිබෙන ආකෘතීන් පිහිටා තිබේ. මෙහි බෑවුමට වන්නට විකෘති හිස් කබල් ආකාරයෙන් සැකසුණු වැලිගල් ආකෘති දහස් ගණනක් දැකගත හැක. මේවා දුටුවන් තුළ බිය උපදවන ආකාරයේ ස්වභාවික නිර්මාණයන්ය. මෙහි පවත්නා ඇතැම් ව්‍යුහයන් සිහින් ඇටසැකිලි, අස්ථි කැබලි මෙන් ඇතැම් තැන්හි දර්ශනය වේ. මෙකී ගිරි කඳුරෙහි මුදුනත මතට නගින්නෙකුට සැන් රෆායල් කාන්තාරයෙන් ඔබ්බට පවත්නා දර්ශන පථය පවා දෑසට හසු කර ගත හැකි වන්නේ ය. සාමාන්‍ය රවුම් හැඩයෙන් යුත් ආකෘතීන්ට, සහ සිරස් අතට නැගුණු ආකෘතීන්ට අමතරව තිරස් ආකෘතීන් ද, කුඩා ගුහාවන් ද, කුඩා ආරුක්කු ද පැති ගිරි කඳුර ආශ්‍රිතව දර්ශනය වේ.

මනරම් රාත්‍රී අහස (David Mayhew Photography)
ගොබ්ලින් නිම්නය (Roads Less Traveled)
ගොබ්ලින් නිම්නය සීත සෘතුවේදී (thewallpapers.org)

මෙකී ගිරි කඳුර ආශ්‍රිත කලාපයෙහි බැලූ බැලූ අත දක්නට ලැබෙන්නේ රත් දුඹුරු පැහැයකි. අතරින් පතර දිසෙන දීප්තිමත් කොළ පැහැති පඳුරු කිහිපයක් හැරුණු කොට මෙකී සමස්ත කලාපයෙහිම පවතින්නේ වියළි පෙනුමකි. නව මෙක්සිකෝවෙහි පවත්නා මීට තරමක් දුරට සමානකමක් දක්වන ආ-ශි-ස්ලෙ-පා භූමියෙහි මෙන් වර්ණ විවිධත්වයක් මෙහි නැත. ගොබ්ලින් නිම්නයේ බටහිර දෙසට වන්නට වැලි කඳු, මඩ කඳු, ඇඹරුණු හැඩයෙන් යුත් විවිධ ප්‍රමාණයේ කුඩා ගිරි කඳුරු, සහ සී සී කඩව විසිරී පැතිරී පවත්නා පාෂාණමය ආකෘති දැක ගත හැක. මෙකී ගොබ්ලින් ආකෘති සැකසී තිබෙන්නේ Entrada නමින් හැඳින්වෙන වැලිගල්වලිනි. ඊට අමතරව ක්‍රීම් පැහැයෙන් දිස්වන පාෂාණ වර්ගයක් ද මෙම භූමිය ආශ්‍රිතව දැකගත හැක. ගොබ්ලින් නිම්නයේ කඳු මුදුන් මත බොහෝ තැන්හි අළු සුදු පාෂාණ ස්ථරයක් ද දැකගත හැක.

ඒකරූපී ඉසව්වක් (Your Hike Guide)
සොබාදහමේ මනරම් නිමැවුම් (KSL.com)

ඉතා ඈත අතීතයේ දී මෙම භූමිය ආශ්‍රිතව මුහුදක් ද පැවතී ඇත. මෙකී පාෂාණ ආකෘතීන්හි නිර්මාණකරණය ඒ අනුව වසර මිලියන 170ක් පමණ ඈත අතීතය දක්වා දිව යයි.

කවරයේ පින්තූරය (Moritz Altenbach)

Related Articles