Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පිහිටි සුවිශේෂී ගොඩනැගිලි කිහිපයක්

ලෝකයේ ජීවත් වීමට වඩාත් ම සුදුසු රටවල්වලින් එකක් ලෙස සැලකෙන ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් නගරයේ ඉතා සුවිශේෂී ගොඩනැඟිලි ගණනාවක් දැකිය හැකි ය. ඓතිහාසික වටිනාකම, ඒවා භාවිත වන අරමුණු සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි කරුණු නිසා සුවිශේෂී වටිනාකම් සහිත එවැනි ගොඩනැඟිලි අතරින් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

ජනතා අරමුදලින් ඉදි කළ තෝර්වල්ඩ්සන් කෞතුකාගාරය

1770 දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර උපත ලැබූ සම්භාව්‍ය මූර්ති ශිල්පී බර්ටෙල් තෝර්වල්ඩ්සන් අධ්‍යාපන කටයුතු සඳහා ජීවිතයෙන් වැඩි කාලයක් රෝමයේ ගත කළේ ය. 1796 සිට වසර ගණනාවක් රෝමයේ ජීවත් වූ ඔහු මහලු වියේ දී කෝපන්හේගන් නගරයට නැවත පැමිණීමට තීරණය කළේ ය.

කෝපන්හේගන් නගරයට නැවත පැමිණි ඔහුට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ මූර්ති සහ චිත්‍ර ඇතුළු සිය කලාකෘති සුරක්ෂිතව තැබීමට කෞතුකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය විය. 1830 දශකයේ මැදභාගයේ දී මහජනයාගෙන් රැස් කළ අරමුදල් යොදා ගෙන තෝර්වල්ඩ්සන් කෞතුකාගාරයේ ඉදිකිරීම් ඇරඹිණි. ග්‍රීක සහ ඊජිප්තු ගෘහ නිර්මාණ ශිල්ප අනුව ඉදි කළ කෞතුකාගාරය 1844 දී මහජනයාට විවෘත විය.

තෝර්වල්ඩ්සන් කෞතුකාගාරය – www.visitcopenhagen.com

මෙම කෞතුකාගාරය විශාල මැද මිදුලක් වටා ඉදිකර ඇති අතර එම මැද මිදුල පිහිටි ස්ථානයේ තෝර්වල්ඩ්සන්ගේ දේහය මිහිදන් කර තිබේ. ගොඩනැඟිල්ලේ බිත්ති මත රට ඉඳි ගස්, සිංහයන්, කිඹුලන් සහ විවිධ වර්ගයන්ට අයත් පක්ෂීන්ගේ සිතුවම් දක්නට ලැබේ. මෙම ගොඩනැඟිල්ලේ සෑම කාමරයක ම එකිනෙකට වෙනස් ආකාරයකට ඉදි කළ සිවිලිම් දක්නට ලැබීම තවත් විශේෂත්වයකි.

එහි මැද මිදුල වටා සම්භාව්‍ය ලක්ෂණ සහිත ප්‍රතිමා ගණනාවක් තබා ඇත. කෞතුකාගාරය තුළ තෝර්වල්ඩ්සන් පරිහරණය කළ භාණ්ඩ, ඔහු නිර්මාණය කළ මූර්ති සහ චිත්‍ර, ඔහුගේ සමහර මූර්තිවල අනුරූ, ග්‍රීක, රෝම සහ ඊජිප්තු පුරාවස්තු, සහ තවත් බොහෝ දෑ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

ගෞරවයක් ලෙස ඉදි කළ ග්‍රැන්ඩ්විග් දේවස්ථානය

කෝපන්හේගන් නගරයේ නොර්ඩ්වෙස්ට් ප්‍රදේශයේ පිහිටා ඇති ග්‍රැන්ඩ්විග් දේවස්ථානය සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ දැකිය හැකි එකක් වන නමුත් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන එකක් නොවේ. ඩෙන්මාර්ක ජාතික දාර්ශනිකයෙක්, ලේඛකයෙක් සහ පූජකවරයෙක් වන එන්.එෆ්.එස්. ග්‍රැන්ඩ්විග්ට ගෞරවයක් ලෙස මෙම දේවස්ථානය ඉදිකිරීමට මුල්වරට සැලසුම් කළේ 1913 දී ය.

ඒ සඳහා මුල්ගල් තබා ඇත්තේ ඊට වසර අටකට පසු, එනම් 1921 දී ය. එහි මුල් අදියරේ ඉදිකිරීම් වසර පහක් ඇතුළත අවසන් වූ බැවින් දේවස්ථානයේ කොටසක් 1926 දී විවෘත විය. දේවස්ථානයේ ඉදිකිරීම් භාරව සිටි විල්හෙල්ම් ජෙන්සෙන් 1930 දී මිය ගිය බැවින් ඔහුගේ පුත්‍රයා එහි ඉතිරි ඉදිකිරීම් භාර ව සිටියේ ය. දේවස්ථානයේ සියලු ඉදිකිරීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව එය 1940 දී  මහජනතාවට විවෘත විය.

ග්‍රැන්ඩ්විග් දේවස්ථානය – www.divisare.com

ගෘහ නිර්මාණ ශිල්ප ගණනාවක් අනුසාරයෙන් ඉදි කර ඇති මෙම දේවස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර ජෙන්සෙන් ඩෙන්මාර්කයේ ගම් ගණනාවක පිහිටි දේවස්ථානවල ගෘහ නිර්මාණ ශිල්ප පිළිබඳ ව අධ්‍යයනය කළේ ය. ඒවායේ දක්නට ලැබුණු සම්ප්‍රදායික ලක්ෂණ ගණනාවක් මෙම දේවස්ථානයේ දක්නට ලැබේ.

දේවස්ථානයේ ඉදිරිපස පිහිටි කුළුණ එහි සුවිශේෂී ම ඉදිකිරිම ලෙස සැලකෙන අතර එහි මීටර් 49ක උසින් යුතු ඔරලෝසු කණුවක් ද පිහිටා ඇත. එම කුළුණේ පහළ කොටස ගඩොල්වලින් සහ ඉහළ කොටස වෙනත් යම්කිසි බදාම විශේෂයකින් ඉදිකර ඇත. දේවස්ථානයේ ඉදිකිරීම් සඳහා ගඩොල් මිලියන පහක් පමණ යොදාගෙන තිබේ. කොටස් කිහිපයකින් යුතු දේවස්ථානයේ දිග මීටර් 76ක් වන අතර පළල මීටර් 35කි.

මහල් හයක කොටස් හයක් ඇති නෝර්ඩියා මූලස්ථානය

ඓතිහාසික සහ සම්භාව්‍ය ගණයේ ගොඩනැඟිලි අතර නූතන ශිල්පක්‍රම භාවිතයෙන් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන්ට අතීතය සහ වර්තමානය මිශ්‍ර කළ හැකි ආකාරයේ දැනුමක් තිබීම අවශ්‍ය වේ.

ෆින්ලන්තය මූලික කරගෙන, යුරෝපා රටවල් ගණනාවක ක්‍රියාත්මක වන මූල්‍ය ආයතනයක් වන නෝර්ඩියා බැංකුවේ ඩෙන්මාර්ක මූලස්ථානය එවැනි අපූරු ඉදිකිරීමකි. වීදුරු විශාල ප්‍රමාණයක් භාවිත කර ඉදිකර ඇති, මෙම ගොඩනැඟිලි සංකීර්ණය 1999 දී විවෘත විය. එය කොටස් හයකින් සමන්විත වේ. සෑම කොටසක ම මහල් හය බැගින් පිහිටා ඇත.

නෝර්ඩියා මූලස්ථානය – www.wikipedia.org

කෝපන්හේගන් නගරයට යාබද ව පිහිටි වරායක් දෙසට මුහුණ ලා පිහිටි මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම “යූ” හැඩයට ඉදිකර ඇත. ගොඩනැඟිලි සියල්ල වීදුරුවලින් ආවරණය කර ඇති අතර එම වීදුරු වටා තඹ ලෝහයෙන් සකස් කළ රාමු සවි කර ඇත.

ජලාශයක් මධ්‍යයේ පිහිටා ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය රාත්‍රී කාලයේ විදුලි පහන් ආලෝකයට බෝට්ටු කිහිපයක් ලෙස දිස්වන බව කියැවේ. මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඇතුළත ඉතා විශාල ඉඩකඩ සහිත කොටස් ගණනාවක් දක්නට ලැබේ. එහි නෝඩියා බැංකු මූලස්ථානයට අමතර ව අවන්හල් සහ වෙළෙඳ සංකීර්ණ කිහිපයක් ද පිහිටා ඇත.

තෙල් ගබඩා කිරීමට ඉදි කළ ක්වාටර් හවුස්

කෝපන්හේගන් නගරයේ පිහිටි සුවිශේෂී ගොඩනැඟිලි අතරින් එකක් වන “ක්වාටර් හවුස්” 1880 දී ඉදි කර ඇතැයි සැලැකේ. කෝපන්හේගන් නගරයේ ජීවත් වූ තෙල් මෝලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් තෙල් ගබඩා කිරීම සඳහා එය ඉදි කර තිබේ. ක්‍රිස්ටියන් පීටර් වීන්බර්ග් නම් ශිල්පියෙක් එහි ඉදිකිරීම් භාරව සිටි අතර ගොඩනැඟිල්ල 1880 නොවැම්බර් 24 දින විවෘත විය.

1913 දී ජොහැන්නස් විලියම් නම් ව්‍යාපාරිකයෙක් එය මිල දී ගත් අතර, ඔහු 1918 දී එය වෙනත් පුද්ගලයකුට අලෙවි කළේ ය. එම පුද්ගලයා එහි පැරැණි කලාකෘති ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ආයතනයක් පවත්වාගෙන ගියේ ය. 1920 දශකයේ දී එහි සේවකයන් 300කට ආසන්න ප්‍රමාණයක් සේවය කළ බව පැවැසේ.

ක්වාටර් හවුස් – www.wikimedia.org

පසුකාලීනව මෙම ගොඩනැඟිල්ලේ කාර්යාල ගණනාවක් පවත්වාගෙන ගොස් තිබේ. කෝපන්හේගන් නගර සභාව එය 1997 දී මිල දී ගත්තේ ය. මහල් හතරකින් සමන්විත එහි වර්තමානය වන විට මහජන පුස්තකාලයක්, අවන්හලක්, කුඩා පාසලක් සහ රැස්වීම් ශාලා කිහිපයක් ස්ථාපිත කර ඇත.

එකිනෙකට සමාන්තර නොවන ආකාරයෙන් සිටුවා ඇති කුළුණු ගණනාවක් මත පිහිටි වීදුරුවලින් ආවරණය කළ කුඩා ප්‍රමාණයේ ඉදිකිරීමක් ගොඩනැඟිල්ල ඉදිරිපිට දැකිය හැක. මෙම ගොඩනැඟිල්ල මේ වන විට කෝපන්හේගන් නගරයේ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනේ.

ශිෂ්‍ය නේවාසිකාගාරයක් වූ ටියට්ගෙන්කොලගේට්

1829-1901 කාලයේ ජීවත් වූ ඩෙන්මාර්කයේ මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් වන සී.එෆ්. ටියට්ගෙන් වෙනුවෙන් නම් කර ඇති මෙම ගොඩනැඟිල්ල ශිෂ්‍ය නේවාසිකාගාරයකි. ජලාශයකට යාබද ව පිහිටි වෘත්තාකාර හැඩයක් ගන්නා මෙහි ඉදිකිරීම් 2006 දී අවසන් විය. ඩෙන්මාර්ක ජාතික ගෘහ නිර්මාණ ශිල්පින් දෙදෙනෙක් එහි ඉදිකිරීම් කටයුතු භාර ව සිටියහ.

මෙම ගොඩනැඟිල්ල චීන ගෘහ නිර්මාණ ශිල්පය අනුසාරයෙන් ඉදිකර ඇති අතර, එහි ඇති සුවිශේෂී බව නිසා ම සම්මානයට පවා පාත්‍ර වී තිබේ. මහල් හතකින් සමන්විත මෙම ගොඩනැඟිල්ලේ ඉදිරියට නෙරා එන ආකාරයෙන් සකස් කළ කොටස් කිහිපයක් දැකිය හැකි ය. සෑම මහලක ම පිහිටි කොරිඩෝ ගණනාවක් ඒවායේ කොටස් එකිනෙකට සම්බන්ධ කරන අතර එම කොරිඩෝ හරහා ගමන් කර ගොඩනැඟිල්ලේ ඒ ඒ මහලේ පිහිටි මැද මිදුල්වලට පිවිසිය හැකි ය.

ටියට්ගෙන්කොලගේට් – www.visitcopenhagen.com

ගොඩනැඟිල්ලේ බිම්මහලේ අවන්හලක්, ශ්‍රවණාගාරයක්, ඉගෙනුම් සහ පරිගණක කාමර, වැඩමුළු පැවැත්විය හැකි ස්ථාන, රෙදි සෝදන ස්ථානයක්, සංගීත සහ රැස්වීම් කාමර සහ රථගාලක් පිහිටා ඇත. ගොඩනැඟිල්ල තුළ පොදුවේ භාවිත කළ හැකි මුළුතැන්ගෙවල් සහ ආලින්ද කිහිපයක් පිහිටා ඇත.

එවැනි පොදු ස්ථාන සකස් කිරීමේ අරමුණ එහි ජීවත් වන සිසුන් අතර අන්‍යොන්‍ය සුහදත්වය ඇති කිරීම බව කියැවේ. ප්‍රමාණ හතරකින් යුතු කාමර 360ක් ගොඩනැඟිල්ලේ පිහිටා ඇති අතර ඒවායෙන් කාමර 30කට වැඩි ප්‍රමාණයක් වෙනත් රටවල සිසුන් සඳහා වෙන් කර ඇත. සෑම මහලක ම පිහිටි විසිත්ත කාමරවල එකිනෙකට වෙනස් ගෘහ භාණ්ඩ දැකිය හැක.

කවරයේ ඡායාරූපය - ග්‍රැන්ඩ්විග් දේවස්ථානය සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ දැකිය හැකි එකක් වන නමුත් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන එකක් නොවේ - www.archdaily.com

මූලාශ්‍ර - www.britanica.com
www.visitcorpenhagen.com
www.archdaily.com

Related Articles