ලෝක බලවතා ලෙස සැලකෙන අමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩු ක්‍රමය, සම්භාව්‍ය ජනාධිපති- ආණ්ඩු ක්‍රමයකට ලබා දිය හැකි අගනා නිදර්ශනයක් ලෙස විද්වත්තු හඳුන්වා දෙති.
අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හොබවන තැනැත්තා ලෝක දේශපාලනයේ ගමන් මඟ තීරණය කරන්නෙක් වෙයි. ඇතැම් අවස්ථාවල අමෙරිකානු ජනාධිපතිවරුන් ක්‍රියාකළ ආකාරය නිසා ම ඔවුන්ට එරෙහි ව දෝෂාභියෝග පවා ගෙන ආ අවස්ථා තිබේ.
මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එසේ දෝෂාභියෝගයන්ට ලක් වූ නූතන අමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙක් පිළිබඳ යි.
1. බිල් ක්ලින්ටන්
බිල් ක්ලින්ටන් අමෙරිකාවේ 42 වැනි ජනාධිපතිවරයා යි. 1993 සිට 2001 දක්වා අමෙරිකා ජනාධිපති ධුරය හෙබ වූ ඔහුට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙනෙන්නේ 1998 දී යි. ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට බලපෑ හේතු වන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සහ ඔහුට එරෙහි ව එල්ල වූ අපචාර චෝදනා යි.
‘ආකන්සාස්’ හි සිවිල් සේවිකාවක වූ පෝලා ජෝන්ස්, බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාට එරෙහි ව නඩුවක් පවරන්නේ, ඔහු තමා ලිංගික ව අපයෝජනය කළා යැයි චෝදනා කරමිනි. මෙම සිද්ධියටත් වඩා දෝෂාභියෝගය සඳහා පදනම සකස් කළේ එවකට ධවල මන්දිරයේ සේවය කළ මොනිකා ලෙවින්ස්කි හා ජනාධිපතිවරයා අතර පැවැතියේ යැයි කියන අයථා ලිංගික සම්බන්ධයයි (Monica Lewinsky Scandal). එවකට ලොව පුරා මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූ මෙය ටැබ්ලොයිඩ් පුවත්පත්කරුවන්ට ඉතා හොඳින් අලෙවි කළ හැකි මාතෘකාවක් විය.
බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා දිගින් දිගට ම මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළත්, කෙනත් ස්ටාර් මෙහෙය වූ ස්වාධීන පරීක්ෂණ වාර්තාව මඟින් ක්ලින්ටන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සහ නීතියට බාධා කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙක් බව පැවසී ය. ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය ගෙන ආවේ එය පදනම් කර ගනිමිනි.
දෝෂාභියෝගය ගෙන එන අවස්ථාව වන විට ජනාධිපතිවරයාගේ ඩිමොක්‍රටික් පක්ෂයට කොංග්‍රසයේ මණ්ඩල ද්විත්වයෙහි ම බහුතර බලය හිමි ව නොතිබිණි. එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුට එරෙහි ව දෝෂාභියෝගයක් ද්වි මණ්ඩලයෙහි ම බහුතර ඡන්දයෙන් සම්මත කරගත යුතු ය. එහෙයින් බැලූ බැල්මට බිල් ක්ලින්ටන්ට එරෙහි දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමේ අවකාශය රිපබ්ලිකන් පක්ෂයට හිමි වී තිබිණි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමෙන් දෝෂාභියෝගය සම්මත වූ අතර පසු ව එය සෙනෙට් මණ්ඩලයට යොමු කළත් සම්මත වීමට අවශ්‍ය කළ ඡන්ද 67 ක බහුතරය ලබා ගැනීමට එහිදී අපහසු විය. එබැවින් දෝෂාභියෝගයට පදනම් වූ චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස් කිරීමට සෙනෙට් සභාව කටයුතු කළේ ය.
කෙසේවෙතත් බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා, ධුරයෙන් නික්ම යන විට ජනාධිපතිවරයකු ලබා සිටි ඉහළ ම ජනමතයක් (Approval Rate) සහිත ජනාධිපතිවරයෙක් ලෙස හැඳින්වේ.
2. ඩොනල්ඩ් ට්‍රම්ප්
එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා හිතුවක්කාර සහ අමෙරිකානු දේශපාලන සංස්කෘතියට පිටින් කටයුතු කළ පුද්ගලයෙක් ලෙස ප්‍රකට ය. ඔහුගේ දැඩි ප්‍රතිපත්ති සහ ඇතැම් ක්‍රියා ඔහු දැඩි මහජන අප්‍රසාදයට පත් කළේ ය. අමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝග දෙකකට මුහුණ දුන් එක ම ජනාධිපතිවරයා ද ඔහු ය.
ඔහුට එරෙහි ව පළමුවරට දෝෂාභියෝගයක් ගෙන එන්නේ 2019 දී ය. ඒ බලය අවභාවිත කිරීම සහ කොංග්‍රසයට බලපෑම් කිරීම යන කරුණු පදනම් කර ගනිමිනි. 2020 ජනාධිපතිවරණයේ දී ඔහුගේ ප්‍රධානත ම ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සහ ඔහුගේ (බයිඩන්) පුත්‍රයාගේ වත්කම් සම්බන්ධයෙන්, යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මීර් සෙලෙන්ස්කි සමඟ සිදු කළ දුරකථන සංවාදයක් ද එම දෝෂාභියෝගයට හේතු වූ බව කියැවේ.
සෙලෙන්ස්කි ධවල මන්දිරයට කැඳවා ඒ පිළිබඳ ව සාකච්ඡා කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරණයට විදේශ මැදිහත්වීමක් සිදු කිරීමට ඉඩ සැලසූ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල විය.
ට්‍රම්ප්ගේ ප්‍රබල විවේචකයෙක් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි දෝෂාභියෝග ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා ය. චෝදනා ද්විත්වය ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ඡන්දයෙන් සම්මත වූ අතර පසු ව සෙනෙට් මණ්ඩලයේ දී එය පරාජය වීමත් සමඟ ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉවත් කර ගැනීමට සිදු විය.
ට්‍රම්ප්ට එරෙහි දෙවැනි දෝෂාභියෝගය
දෙවෙනි වරට ට්‍රම්ප්ට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙනෙන්නේ ඔහු 2020 ජනාධිපතිවරණය පරාජයට පත් වූ පසුව යි. ජනාධිපතිවරණය සහ නව ජනාධිපති දිවුරුම් දීමත් අතර වූ සංක්‍රාන්ති සමයේ දී සිදු වූ සිද්ධි දාමය මෙම දෝෂාභියෝගය කෙරෙහි බලපෑවේ ය. ට්‍රම්ප් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණ ප්‍රතිපල පිළි නොගැනීමත් සමඟ ඇති වූ උද්වේගකාරී තත්ත්වය සහ ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් කැපිටෝල් හිල් හෙවත් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ව්‍යවස්ථාදායක ගොඩනැඟිල්ලට පහර දීමත් සමඟ ඇති වූ අපකීර්තියත් නිසා ජනාධිපතිවරයාට එරෙහි ව ගෙන ආ දෝෂාභියෝගය ඉතා වැදගත් එකක් විය.
දෝෂාභියෝගය ගෙන ඒමට පෙර කථානායිකා පෙලෝසි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව උප ජනාධිපතිවරයාට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලෙස කළ දැනුම් දීම, උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෝෂාභියෝගය මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු සිදු විය. එහිදී එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රථම වරට දෝෂාභියෝගය එල්ල වූ ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ ම මන්ත්‍රීවරු දස දෙනෙක් ද එයට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කළ හ.
මෙවර ද්වි මණ්ඩලයේ ම වැඩි ඡන්දය දෝෂාභියෝගයට පක්ෂ ව ලැබුණ ද, ව්‍යවස්ථාවට අනුව අවශ්‍ය වූ සෙනෙට් මණ්ඩලයේ ඡන්ද 67 නොලැබුණු නිසා දෝෂාභියෝගය බල රහිත විය.
ඕනෑම රටක කෙතරම් බලවත් නායකයෙක් වුව ද එරට ව්‍යවස්ථාපිත නීතියට ඉහළින් සිටින්නකු නොවන බව මෙම දෝෂාභියෝගයන්ගෙන් අපට තේරුම් ගත හැක.