පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිතයට සහ භාෂණයේ නිදහසට බරපතළ හානියක් සිදු කරමින් ඉන්දුනීසියා රජය නව නීති මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නව නීති මාලාවට අනුව විවාහයෙන් පිටත ලිංගික ක්‍රියාවල නිරතවීම, ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ රාජ්‍ය මතවාදයට පටහැනි ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීම, දඬුවම් ලැබිය හැකි වැරදි වනු ඇති. මින් වඩාත් ප්‍රචලිත වූයේ “විවාහයෙන් පිටත ලිංගිකත්වය තහනම් කිරීම” යන නීතිය වුවත්, පොදුවේ මානව අයිතීන් හි පදනම් කරුණු පවා බරපතල උල්ලංඝණය කිරීමක් ඉන්දුනීසියා පරිපාලකයන් සිදු කර තිබෙනවා.
නීති මාලාවට අනුව විවාහයෙන් පිටත ලිංගික ව හැසිරීම ඉන්දුනීසියාව තුළ අපරාධමය වරදක් ලෙස සලකනු ඇති. වසරක සිර දඬුවමක් ද අපරාධමය වරදට ඇතුළත්. එනිසා අවිවාහක යුවළකට සහජීවනයෙන් ජීවත් වීමේ අවස්ථාවත් මින් අහෝසි වී යනවා.
නව අපරාධ නීතිය සම්මත කිරීමට පෙර පවා විවාහයට මත්තෙන් ලිංගික ව හැසිරීම ඉන්දුනීසියාවේ තහනම් ක්‍රියාවක් ලෙස සැලකුණා. ඒ තහනම බොහෝවිට ක්‍රියාත්මක වූයේ නැහැ. පැරණි නීතියට අනුව “අනාචාරය” අර්ථ දක්වා තිබුණේ විවාහක පුරුෂයෙක් සහ ඔහු ගේ භාර්යාව නොවන පුද්ගලයෙක් සමඟ සිදුවන ලිංගික සබඳතා පමණ යි. නව නීතිය එම සීමා අසාමාන්‍ය ලෙස අතික්‍රමණය කරමින් විවාහයෙන් පිටත සියලු ලිංගික සබඳතා තහනම් කොට තිබෙනවා. ඒ අනුව විවාහයක් සිදුකර ගැනීමේ අදහසක් නොමැති පුද්ගලයන්ට සහ විවාහක යුවළකට සිය ලිංගික ජීවිතය තුළ ඕනෑම පෞද්ගලික තීරණයක් ගැනීමේ නිදහස මින් අහිමි වෙනවා.
හේතුව කුමක් ද?
මානව හිමිකම් වැඩි වශයෙන් කතාබහට ලක් වන යුගයක අරුම පුදුම නීති මාලාවක් එළි දැක්වීමට ඉන්දුනීසියා රජය ක්‍රියා කළේ ඇයි?
විජාතිකයන් ගෙන් නිදහස ලබා ගත්, 1945 වර්ෂයේ පටන් ම සිය අපරාධ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් ඉන්දුනීසියා දේශපාලනඥයන්ට තිබුණා. යටත් විජිත නීතිවලින් ඔබ්බට ගොස් ඉන්දුනීසියා වටිනාකම්වලට අනුකූල අපරාධ නීති සංග්‍රහයක් නිර්මාණට කිරීමට ඔවුන් උත්සහ ගත් අතර, නවත ම නීති මාලාව එහි එක් පියවරක් ලෙස හැඳින්විය හැකි යි. ගැටලුව වන්නේ යටත් විජිත සමයටත් වඩා සාම්ප්‍රදායික, මූලික අයිතීන් පවා නොසලකා හැරෙන නීති සම්මත කිරීමට ඔවුන් උත්සාහ ගැනීම යි.
ඉන්දුනීසියාවේ ජනගහනය ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනතාව ගෙන් නිර්මිත වන නමුත්, හින්දු, ක්‍රිස්තියානි සහ වෙනත් ඇදහිලි රාශියක් වටා කේන්ද්‍රගත වූ ජන කොටස් ද ඉන්දුනීසියාවේ සිටිනවා. බොහෝ ඉන්දුනීසියානුවන් ඉතා මධ්‍යස්ථ අදහස් දරන මිනිසුන් වුවත්, එරට දේශපාලනයට ආගමික ගතානුගතිකවාදය රිංගා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මිනිසුන් ගේ මතය කුමක් වුවත්, එය දේශපාලකයන්ට අදාළ වන්නේ නැහැ. ඔවුන්ට වැදගත් වන්නේ ආගමෙන් වසා ගත් ඔවුන් ගේ දේශපාලන න්‍යාය පත්‍රය පමණ යි.
විදේශිකයන්ටත් රතු එළි!
විවාහයෙන් පිටත ලිංගික ව හැසිරීමේ තහනම විදේශිකයන්ටත් අදාළ වෙනවා. ඒ අනුව සිය පෙම්වතා හෝ පෙම්වතිය සමඟ පැමිණෙන විදේශිකයකුට සිය පෞද්ගලික ජීවිතය නිසියාකාරයෙන් විඳීමට ඉන්දුනීසියාවේ දී ඉඩ ලැබෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය වැදගත් භූමිකාවක් වී ඇති රටක සිදුවිය හැකි නරක ම දෙයක් ලෙස මෙම නීතිය හැඳින්විය හැකි යි. නීති මාලාව ක්‍රියාත්මක වීම සඳහා තවත් වසර තුනක් ගත වන බව වාර්තා වුව ද එරට මානව අයිතීන් දැනටමත් කෙලෙසී අවසන්.
මෙවර G20 සමුළුව සඳහා සත්කාරකත්වය දැරුවේ ඉන්දුනීසියාව යි. සමුළුව හරහා ගෝලීය වේදිකාවේ ඔවුන්ට හිමි තැන සම්බන්ධයෙන් යම් තක්සේරුවක් ලැබුණු අතර, ඉන් සති කිහිපයක් ගත වූ තැන මෙම නීතිය ඉස්මතු වීම විශේෂත්වයක්. ව්‍යාපාරික කණ්ඩායම් පෙන්වා දෙන ආකාරයට සංචාරක සහ ආයෝජන ගමනාන්තයක් ලෙස ඉන්දුනීසියාව ගොඩ නඟා ගනිමින් ආ ප්‍රතිරූපය මේ හේතුවෙන් බරපතල ලෙස බිඳ වැටිය හැකි යි.
උදාහරණයක් වශයෙන් ඉන්දුනීසියාවට අයත් බාලි දූපත සැලකෙන්නේ ලෝකයේ ජනප්‍රියත ම සංචාරක ගමනාන්තයක් ලෙසට යි. සංචාරක ආදායම මත දැඩි සේ රඳා පවතින එවැනි ප්‍රදේශ ගැටලුකාරී නීති හරහා අර්බුදයට පත් වීම වැලැක්විය නොහැකි යි. බාලි හි ඉන්දුනීසියානු සංචාර සහ සංචාරක නියෝජිතායතන සංගමයේ සභාපතිවරයා පවසන අන්දමට නව නීති හමුවේ සංචාරකයන් දුර්මුඛ වීමේ ඉහළ හැකියාවක් තිබෙන බැවින්, ඉදිරි කාලයේ දී විදේශිකයන් ඉන්දුනීසියාවට සංචාරය කිරීමට පෙර දෙවරක් සිතනු ඇති.
අසල්වැසියාටත් ප්‍රශ්නයක්!
ඉන්දුනීසියානු රජයේ අරුම පුදුම ක්‍රියාකලාපයට ලෝකය ඉක්මන් ප්‍රතික්‍රියා දැක්වූවා. ඕස්ට්‍රේලියාව ඉන් ප්‍රධාන යි. වසරකට මිලියනයකට වඩා වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ඉන්දුනීසියාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන බැවින්, නව නීති මාලාව හරහා තම පුරවැසියන්ට සිදුවන බලපෑම විමසිල්ලෙන් සලකා බැලීමට ඕස්ට්‍රේලියා රජය ක්‍රියා කරනු ඇති. ඇතැම් විට ඉන්දුනීසියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කිරීමටත් ඕස්ට්‍රේලියානු රජය උනන්දු වේවි. ඉන්දුනීසියාවේ එක්සත් ජනපද තානාපති පවා නව නීති මාලාව පිටුපස ඇති අවදානම පැහැදිලි කර තිබුණා.
නව නීති මාලාවට එරෙහි ප්‍රතික්‍රියාව පැමිණියේ බාහිරින් පමණක් ම නොවෙ යි. එයට එරෙහි ව රට අභ්‍යන්තරයේත් යම් බලවේගයක් ගොඩනැඟෙමින් තිබෙනවා.
ඉන්දුනීසියාව යනු සාපේක්ෂව මධ්‍යස්ථ අදහස් දරන මිනිසුන් සිටින රටක්. එබැවින්, නව නීති මාලාවට එරෙහි විවේචනත් ගොඩනැඟෙමින් පවතිනවා. නව නීති සම්පාදනයට සහාය දක්වන්නන් පවසන ආකාරයට විවේචකයන් ගේ ගැටලු සඳහා ඉඩ සැලසීමේ ක්‍රියා පටිපාටියක් මීට සමගාමී ව ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙනවා. එය පැමිණිල්ලකින් ආරම්භ කළ හැකි අතර, නඩු පැවරීම සඳහා චූදිත යුවළ ගේ දරුවන්, මාපියන් හෝ අගතියට පත් පාර්ශවය ඉදිරිපත් විය යුතු යි. කෙසේ නමුත්, කිසිවකුටත් හානි නොවන පරිදි ගත හැකි පුද්ගලික තීරණ සම්බන්ධයෙන් එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් දක්වා ගමන් කිරීමට සිදුවීම කොතරම් අභාග්‍ය සම්පන්න ද?
සමාජයේ බහුතරයක් අවදානමක
නව නීති සම්පාදනයේ බලපෑම් එක් එක් පුද්ගලයා මුහුණ දෙන ප්‍රශ්න සහ පසුබිම අනුව වෙනස් විය හැකි යි. ඒ සඳහා හුදෙකලා සිදුවීම් දෙස අවධානය යොමු කිරීම වැදගත්.
ජාවා දූපතට අයත් ඩෙපොක් ප්‍රදේශයේ ජීවත් වන අජෙන්ග්, 28 හැවිරිදි කාන්තාවක්. ඇය පසුගිය වසර පහ මුළුල්ලේ සිය සහකරු සමඟ සහයෝගී ව ජීවත් වෙනවා. නව නීතියට අනුව එය අපරාධමය වරදක්. ඔවුන් නිර්දෝෂී වීමට නම් ඉදිරි අවුරුදු තුන ඇතුළත විවාහ විය යුතු යි.
“අලුත් නීතියත් එක්ක අපි දෙන්නව ම හිරේ යවන්න පුළුවන් විදිහේ පැමිණිල්ලක් අපේ පවුලේ කෙනෙක් ගොනු කරන්න තීරණය කළොත්? මාත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්ත පවුලේ සාමාජිකයෙක් ඒ වගේ ක්‍රියාවකට පෙලඹුණොත්?” අජෙන්ග් ප්‍රශ්න කරනවා.
විවාහයෙන් පිටත (අවිවාහකයෙක් ලෙස හෝ විවාහ යුවළ සිය ලිංගික ජීවිතය සම්බන්ධයෙන් සාමූහික ව ගත් තීරණයක දී) එකට ජීවත් වීම හෝ ලිංගික ව හැසිරීම ඇය වරදක් ලෙස දකින්නේ නැහැ. එය ඇය ගේ ආගමික විශ්වාසයට අනුව පාපයක් වුවත්, රටක අපරාධ නීති සංග්‍රහය ආගමක් මත පදනම් විය යුතුයැ යි අජෙන්ග් විශ්වාස කරන්නේ නැහැ.
මින් වඩාත් අවදානමට ලක් වන තවත් පාර්ශවයක් වන්නේ LGBT ප්‍රජාව යි. පවත්නා නීති තත්ත්වය හමුවේ පවා දැඩි ලෙස පීඩාවට පත්වන සමාජ කොටසක් වශයෙන් නව නීති හමුවේ ඔවුන් ගේ අනාගතය දැඩි අවදානමකට ලක් වීම වැලැක්විය නොහැකි යි. නෛතික පිළිගැනීමක් සහිත ව විවාහ වීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බැවින්, සාමුහික ව එකට ජීවත් වීමේ වැඩි ප්‍රවණතාවක් LGBT ප්‍රජාව අතර දක්නට ලැබෙනවා.
මුරණ්ඩු ප්‍රතිපත්තියක්
ජකර්තා නුවර පදනම් කරගත් පර්යේෂණ කණ්ඩායමක සාමාජිකයෙක් වන ඇන්ඩ්‍රියාස් හර්සානෝ පවසන පරිදි විවාහ සහතික නොමැති යුවළ මිලියන ගණනක් ඉන්දුනීසියාවේ ජීවත් වෙනවා. ඉන් බොහෝමයක් දෙනා ගම්බද ව වෙසෙන අතර, රටේ නෛතික රාමුවට අනුකූල වන අන්දමින් විවාහ දිවියට ඇතුළත් නොවූ විශාල ආදිවාසී පිරිසක් ද ඒ අතර සිටිනවා. එම ආදිවාසීන් සිය සාම්ප්‍රදායික විශ්වාස මත පිහිටා විවාහ චාරිත්‍ර අනුගමනය කරන බැවින්, ඒවාට නෛතික පිළිගැනීමක් ලැබෙන වැඩපිළිවෙළක් තවමත් වාර්තා වන්නේ නැහැ. ඒ සියල්ල නොසලකා හැරි මුරණ්ඩු ප්‍රතිපත්තියක ඉන්දුනීසියා රජය ඇලී ගැලී සිටිනවා.
ලිංගිකත්වය සහ සබඳතා පාලනය කිරීමේ නීති ගල්ෆ් රාජ්‍යවලත් දක්නට ලැබෙනවා. එම නීති පද්ධති පුරුෂ පාර්ශවයට වඩාත් හිතකර වන අන්දමින් ගොඩනැඟී ඇති අතර, කාන්තාවන් වැඩි වශයෙන් එම සදාචාර නීතිවල ඉලක්ක බවට පත් වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය මිය යමින් තිබෙයි
පෞද්ගලික ජීවිතය සහ ලිංගිකත්වය රාජ්‍ය මට්ටමින් දැඩි සේ පාලනය කරන ඉරානයේ පවා අරගල හට ගන්නා අයුරු අප පසුගිය කාලයේ දුටුවා. දැඩි මර්නදකාරී පසුබිමක් තිබුණ ද සිය නිදහස වෙනුවෙන් සටන් වැදීමට ඉරාන ජාතිකයන් පසුබට වූයේ නැහැ. ඉන්දුනීසියාව යනු ඉරානයට සාපේක්ෂව වැඩි සමාජ නිදහසක් පවතින රාජ්‍යයක්. එසේ වුව ද ක්‍රම ක්‍රමයෙන් දැඩි අධිකාරීවාදි පාලනයක් කරා ගමන් කිරීමේ මූලික ලක්ෂණ දැන් ඉන්දුනීසියා දේශපාලකයන් තුළත් පහළ වෙමින් තිබෙනවා. ඊට එදිරි ව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් දැනටමත් විරෝධතා සංවිධානය කර ඇති අතර, ජනතා අවදිවීමක් දක්වා මෙම ගැටලුව එනිසා පරිවර්තනය විය හැකි යි.
“ඉන්දුනීසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය මිය යමින් තිබෙනවා. අපරාධ සංග්‍රහය හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධී හරය පිළිබිඹු වෙමින් තිබෙන අතර, එහි කිසිදු පාරදෘෂ්‍යභාවයක් නැහැ.”
ඉන්දුනීසියානු නීති ආධාර ආයතනයේ අධ්‍යක්ෂිකාව එසේ පවසා තිබූ අතර, ඇය ජකර්තා හි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අසල සංවිධානය කර තිබූ කුඩා විරෝධතා ව්‍යාපාරයකටත් සම්බන්ධ වුණා. පීඩනය තවදුරටත් වැඩි වුවහොත්, තවත් ඉරානයක් ඉන්දුනීසියාවේ ඇති වීම වැලැක්විය නොහැකි වේවි.