ලෝකයේ වායු දූෂණය ඉහළම නගරය පිහිටා ඇත්තේ ඉන්දියාවේ යි. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර යි. මීට අමතරව ලෝකයේ වායු දූෂණය ඉහළම නගර 10 අතරින් 9ක්ම පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසා තිබෙනවා.
ඉන්දියාව පුරා පවතින අධික වායු දූෂණය හේතුවෙන් 2017 වසරේ දී පමණක් මිය ගිය ප්‍රමාණය මිලියන 1.24ක්. එය එම වසරේ ඉන්දියාවේ සිදු වූ මරණ අතරින් 12.5%ක ප්‍රතිශතයක් ගන්නවා.
වායු දූෂණය අවම කිරීම සඳහා ඉන්දියාව විසින් මේ වන විට පස් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසටහන ඔස්සේ 2024 වන විට වායු දූෂණය 2017 වසරට සාපේක්ෂව 20-30 % අතර අගයකින් අඩු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
ඉන්දියාවේ සෑම අතකිනින්ම දූෂණය ඉහළම නගර
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ලොව, වායු දූෂිතම නගර 10න් නගර 9ක්ම අයත් වන්නේ ඉන්දියාවට යි. ඒ අනුව ලෝකයේ වායු දුෂණය, ශබ්ද දූෂණය අතින් ඉහළම නගරය වන්නේත් දිල්ලිය යි.
උතුරු ඉන්දියාවේ කාන්පූර් නගරය, හර්යානා ප්‍රාන්තයේ ෆරීදාබාද්, වරණාසි නගරය, ගයා, පැට්නා, ලක්නව් හා අග්‍රා වැනි නගර දූෂිතම නගර කිහිපයට අයත් වෙන අනෙකුත් නගර යි.
පාර්ශව කිහිපයක එකතුවක් ලෙස
“පිරිසිදු වායු ජාතික වැඩසටහන” (National Clean Air Program (NCAP)) නමින් මෙම පස් අවුරුදු වැඩසටහන නම් කර තිබෙනවා. එය 2019 වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ වූ අතර 2024 වසරේ මුල් මාසයේ දී අවසන් වීමට නියමිත යි. මෙම වැඩසටහන සඳහා මූලික වී කටයුතු කරන්නේ මධ්‍යම රජයේ පරිසර, වන රක්ෂණ හා දේශගුණික වෙනස්වීම් පිළිබඳ අමාත්‍යංශය යි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ අමාත්‍යවරයෙකු වන ආචාර්ය හර්ෂ් වර්ධන්.
“අප වායු දූෂණය නිසා ඇති වී තිබෙන අහිතකර ප්‍රතිඵලවලින් උපරිම විපාක විදිනවා. නමුත් අපේ ළමුන් හා අනාගත පරපුර එම අහිතකර විපාකවලින් බේරා ගැනීම අපේ යුතුකම”යි, මෙම වැඩසටහනේ සමාරම්භක උළෙලේ දී අමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම අමාත්‍යංශයට අමතරව වැඩසටහන සඳහා ඉන්දියානු ප්‍රාන්ත රජයයන්, ඒවායේ පරිසර අමාත්‍යංශයන්, විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනයන් ද එකතු වී තිබෙනවා. “පිරිසිදු වායු ජාතික වැඩසටහන” සඳහා ඉදිරිපත් කර ඇති සැලසුම් මීට පෙර ඉදිරිපත් කර තිබූ පරිසර නීති රීතින් හා සමපාත වෙන අයුරෙන් නිර්මාණය වී තිබෙනවා. දේශගුණික වෙනස් වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති, විදුලි බලයෙන් ධාවනය වන වාහන පිළිබඳ ප්‍රතිපත්ති හා “ස්මාර්ට් සිටි” සංකල්පය, ඉදිරිපත් කර ඇති මෙම වැඩසටහනේ අන්තර්ගත වෙනවා.
ගොඩබිම් ප්‍රවාහන හා අධිවේගී මාර්ග පිළිබඳ අමාත්‍යංශය, ඛණිජ තෙල් හා ස්වභාවික වායූන් පිළිබඳ අමාත්‍යංශය, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, මහා පරිමාණ කර්මාන්ත පිළිබඳ අමාත්‍යංශය, නිවාස හා නාගරික කටයුතු අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය හා දූෂණය පාලනය කිරීමේ මධ්‍යම කමිටුව වැනි තවත් ආයතන බොහොමයක් මෙම වැඩසටහන සමග සම්බන්ධව සිටිනවා.
ව්‍යාපෘතිය සඳහා නගර තෝරා ගැනීම
ඉන්දියාව පුරා ඇති වායු දූෂණය අතින් ඉහළම නගර 102ක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. ඒවා ඉන්දියාව පුරා පැතිරී ඇති විවිධ ප්‍රාන්තවලට අයත් වෙනවා. ඊට අමතරව ස්මාර්ට් සිටි සංකල්පය යටතේ තවත් නගර 43ක් ද මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා.
නගරයේ වායු දූෂණයට බලපාන ප්‍රධාන අංශ ඔස්සේ මෙම නගර වර්ග කර තිබෙනවා. මාර්ගවල ඇති දුබලතාවය නිසා දූවිල්ලෙන් පිරී ගිය නගර, නගරය පුරා කෙරෙන ඉදිකිරීම් නිසා වායු දූෂණයෙන් පිරී ගිය නගර, බලශක්ති හා කර්මාන්ත කේෂ්ත්‍රය නිසා දූෂණයෙන් පිරී ගිය නගර, ප්‍රවාහනය ආශ්‍රිත වායු දූෂණයෙන් පිරුණු නගර, කෘෂිකර්මාන්තය ආශ්‍රිත වායු දූෂණයෙන් පිරුණු නගර හා අපද්‍රවය කළමනාකරණය කිරීමට නොහැකි නිසා වායු දූෂණයට ලක් වූ නගර ලෙස මෙම නගර බෙදා වෙන් කර තිබෙනවා.
තෝරාගෙන ඇති නගරයන්හි භූමි ප්‍රදේශය මුළු ඉන්දියානු භූමියෙන් 2%ක ප්‍රතිශතයක් නියෝජනය කරනවා. නමුත් ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 82%ක ප්‍රතිශතයක් සපයනු ලබන්නේ මෙම ප්‍රදේශයෙන් වීම විශේෂත්වයක්. ඊට අමතරව ඉන්දියාව විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 78%ක ප්‍රතිශතයක් මුදා හරින්නේත් තෝරා ගත් මෙම නගරවලින්.
පස් අවුරුදු ජාතික වැඩසටහන
වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වන්නේ ඉන්දියාව තුළ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම යි. ප්‍රවාහනය හා කර්මාන්ත සඳහා ඛනිජ තෙල් වෙනුවට විකල්ප බල ශක්ති මාධ්‍යන් අත්හදා බැලීම ද වැඩසටහන ඔස්සේ සිදු වෙනවා.
කර්මාන්ත හා ප්‍රවාහනය සඳහා හිතකර හා තිරසාර විසදුම් සෙවීම, දිරිමත් කිරීම සිදුවෙන අතර මේ සඳහා විදුලි බලය ප්‍රයෝජනයට ගැනීමේ ඇති වාසිය ද සලකා බලනවා. වායු දූෂණය සඳහා බලපාන විවිධ ක්‍රියාකාරකම් තහනම් කිරීම ද වැඩසටහන ඔස්සේ සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් නවදිල්ලි නගරය තුළ නව ගොඩනැගිලි ඉදිකිරිම හා අපද්‍රව්‍ය දහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
පස් අවුරුදු වැඩසටහන සඳහා දීර්ඝ වාර්තාවක් ද ඉදිරිපත් කර තිබෙන නමුත් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉන්දියානු මධ්‍යම රජයට හැකියාවක් ලැබේවි ද යන සැකය පවතින බව පරිසරවේදීන් විසින් පෙන්වා දෙනවා. ඒ මෙම වැඩසටහන සඳහා යොදා ඇති මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හා එල්ල වෙන දේශපාලන මැදිහත්වීම් ජාතික ප්‍රතිපත්තිය කඩා දමනු ඇතැයි යන සැකය යි.