ගැම්බියාව ලෙස හඳුන්වන බටහිර අප්‍රිකානු රාජ්‍යයේ සිදු වූ ළමා මරණ 66 ක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි විමසිල්ලකින් පසු වෙනවා. කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ග හතරක් මරණ සඳහා හේතු විය හැකි බව සැක කරන අතර, ඊට සමගාමී ව ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා. මෙම සිරප් වර්ග නිෂ්පාදනය කළ රට වන්නේ ඉන්දියාව යි. සැක කටයුතු සිරප් වර්ග නිපද වූ ඉන්දීය ඖෂධ සමාගම ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතියක් ලබා දීමට පවා අපොහොසත් වී ඇති බව වාර්තා වෙනවා.
ඉන්දියාව ලෝකයේ විශාලත ම ඖෂධ නිෂ්පාදකයෙක් වන අතර, එරට ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය යම් පරිශ්‍රමයක් ද දරා තිබුණා. වරෙක නරේන්ද්‍ර මෝදි ඉන්දියාව හඳුන්වා දුන්නේ “ලෝකයේ ඔසුසල” වශයෙන්. කෙසේ නමුත්, ගැම්බියාවෙන් පැන නැඟුණු අර්බුදයත් සමඟ ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයේ ඇති විශ්වාසනීයත්වය සහ ගුණාත්මකභාවය යම් තරමකින් පළුදු වී තිබෙනවා.
ළමයින් අතර වකුගඩු ආබාධ
ගැම්බියාවේ වෛද්‍ය බලධාරීන් පසුගිය ජූලි මාසයේ සිට වයස අවුරුදු පහට වඩා අඩු ළමයින් අතර උග්‍ර වකුගඩු ආබාධයක් පැතිර යන බව අනාවරණය කර ගත්තා. එම අනාවරණයෙන් පසු ගැම්බියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම ඇරඹුණු අතර, ඉන්පසු රට තුළ පැරසිටමෝල් සිරප් භාවිතය සම්පූර්ණයෙන් අත් හිටුවීමට ගැම්බියා රජය ක්‍රියා කළා. ඒ වෙනුවට පැරසිටමෝල් පෙති භාවිත කරන මෙන් ජනතාවට උපදෙස් ලබා දුන්නා. එම තහනමෙන් පසු මරණ සංඛ්‍යාව අඩු වී ඇතැයි වාර්තා වන නමුත්, පසුගිය සති දෙක තුළ තවත් ළමා මරණ දෙකක් සිදු වී ඇති බව ද සඳහන්.
විශ්ලේෂණයක් හරහා ඖෂධවල ආරක්ෂිත බව පරීක්ෂා කළ හැකි රසායනාගාර පහසුකම් ගැම්බියාවේ නොමැති බව එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මුස්තාෆා බිටේ පවසා සිටිනවා. එබැවින්, අදාළ පරීක්ෂණ සිදු කිරීම සඳහා වෙනත් බාහිර පාර්ශවයක සහයෝගය ඔවුන්ට අවශ්‍ය වෙනවා. තත්ත්ව පාලන රසායනාගාරයක් සඳහා අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීම ඔවුන් අරඹා ඇත්තේ මෙවැනි ඛේදනීය ඉරණමකට පසුව වීමත් විශේෂත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් ගැම්බියාවෙන් මතු වූ සෞඛ්‍ය අවදානම ගෝලීය මට්ටමෙන් දැනුම්වත් කිරීම අරඹා ඇති අතර, ඔවුන් එය ප්‍රකාශ කරන්නේ අනතුරු ඇඟවීමක් ආකාරයෙන්!
දූෂිත ද්‍රව්‍ය ඇති සිරප්!
අනතුරු ඇඟවීමට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ගැම්බියා රාජ්‍යයෙන් වාර්තා වූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන හතරක් (සිරප්) ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටිනවා. ඒවා ගුණාත්මක ප්‍රමිතීන් හෝ පිරිවිතර සපුරාලීමට අපොහොසත් නිෂ්පාදන ලෙස හඳුනා ගෙන ඇති බැවින්, ළමා මරණ සමඟ අදාළ සිරප් වර්ග සම්බන්ධ විය හැකි බව යි සැක කෙරෙන්නේ. Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යනුවෙන් එම නිෂ්පාදන හතර ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී තිබෙන අතර, ඒවායේ දූෂිත ද්‍රව්‍ය ලෙස ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් පිළිගත නොහැකි මට්ටමකින් අන්තර්ගත වී තිබෙන බව රසායනාගාර විශ්ලේෂණ ඔස්සේ තහවුරු වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සිරප් වර්ග හතර “පිරිවිතරවලින් පිටත” වූ ඖෂධ ලෙස හඳුන්වන සන්දර්භයක පවා අදාළ ඉන්දීය සමාගම (Maiden Pharmaceuticals) සිය නිෂ්පාදන වල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සහතිකයක් ලබා දී නැහැ. ගැම්බියාවෙන් හමු වූ සැක සහිත ඉන්දීය ඖෂධ අවිධිමත් වෙළෙඳපොළ හරහා වෙනත් රටවලට හෝ කලාපවලට ඇතුළු වීමේ ඉඩකඩක් තිබෙනවා. එබැවින්, ගෝලීය අනතුරු ඇඟවීමක අවශ්‍යතාව මතු වන්නේ නිරායාසයෙන්ම යි.
සංකූලතා රැසක්..
ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් මිනිසුන්ට විස සහිත වන අතර, ඇතැම් විට මාරාන්තික විය හැකි යි. එවැනි විසවීමක් ඇති වුවහොත්, උදර වේදනාව, වමනය, පාචනය, මුත්‍රා පිට කිරීමේ අපහසුතාව, හිසරදය සහ මානසික තත්ත්වයේ වෙනස් වීම් වැනි සංකූලතා හට ගැනීමේ ඉඩකඩක් තිබෙනවා. උග්‍ර වකුගඩු ආබාධ පවා ඇති විය හැකි යි. ඉහත නම් කළ නිෂ්පාදනවල සියලු කාණ්ඩ වගකිව යුතු ජාතික නියාමන බලධාරීන් විශ්ලේෂණය කරන තුරු භාවිතය සඳහා අනාරක්ෂිතයැ යි සැකීම වඩාත් සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. විශේෂයෙන් ම ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් වලින් දූෂිත වූ ඖෂධ ළමයින්ට බරපතල ආබාධ හෝ මරණය ගෙන දිය හැකි යි.
අවිධිමත් වෙළෙඳපොළ හරහා මෙම සිරප් වර්ග ගැම්බියාවෙන් පිටතට සංසරණය වීමේ හැකියාවක් පවතින බැවින්, එම සංසරණ පථ හඳුනාගෙන සැක සහිත නිෂ්පාදන වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු වෙනවා. එලෙස බලපෑමට ලක් විය හැකි අනෙකුත් රටවල් සහ කලාපවල සැපයුම් දාම ඉතා හොඳින් සහ කඩිසරව සෝදිසි කරන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. අවිධිමත් හෝ නියාමනයට හසු නොවන වෙළෙඳපොළ තවදුරටත් නිරීක්ෂණය කිරීමත් වැදගත්.
ඉන්දියාවේ ප්‍රතිචාරය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කරුණු දැක්වීමත් සමඟ ම ඉන්දියාවේ ඖෂධ නියාමනය සම්බන්ධයෙන් සිටින බලධාරීන් පරීක්ෂණ අරඹා තිබෙනවා. හර්යානා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය අනිල් විජ් පවසන පරිදි සැක කටයුතු සිරප් සාම්පල කොල්කටා හි මධ්‍යම ඖෂධ රසායනාගාරයට දැනටමත් යවා අවසන්. ඒවායේ ප්‍රතිපල අනුව ඕනෑම ක්‍රියා මාර්ගයක් ගන්නා බව ඔහු සඳහන් කර සිටිනවා.
අර්බුදයට තුඩු දුන් සිරප් වර්ග අපනයනය සඳහා Maiden Pharmaceuticals සමාගම අනුමැතිය ලබා තිබෙන අතර, ඒවා ඉන්දියාව තුළ ප්‍රවර්ධනය කිරීම හෝ විකිණීම සිදු කරන්නේ නැහැ. එබැවින්, සැක කටයුතු සිරප් වර්ග මත පැන නැඟුණු අවදානමට ඉන්දියාව ගොදුරු වන්නේ නැහැ. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටින්නේ ගැම්බියාවේ සිදු වූ ළමා මරණ එක් එක් වශයෙන් ගනිමින් හේතු සම්බන්ධයක් සැපයීමට එක්සත් ජාතීන් ගේ සෞඛ්‍ය ඒජන්සිය ක්‍රියා කර නොමැති බව යි. ගැම්බියා රාජ්‍යයේ බෙදා හැරි සිරප්වල ලේබල් සහ නිෂ්පාදන තොරතුරු ඉන්දියාවේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානයට ලබා දී නොමැති බවත් ඔවුන් සඳහන් කර සිටිනවා. කෙසේ නමුත්, විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපකාරය ලබා ගැනීමට ඉන්දීය බලධාරීන් බලාපොරොත්තු වෙනවා.
මූසා ගේ කතාව
මාස විස්සක් පමණ වයසැති මූසා, පසුගිය සැප්තැම්බර් මාසයේ දී මිය ගිය අතර, ඔහුටත් සැක කටයුතු සිරප් වර්ගය ලබා දී තිබුණා. මූසා ගේ පවුලේ කිසිවෙක් ඔහුගේ සෙල්ලම් බඩුවක්වත් ස්පර්ශ කිරීමට උත්සහ ගන්නේ නැහැ. ඒ මූසා ගේ මතකය ඔවුන් ගේ හදවත් පාරවන නිසා යි. තවමත් තිස් හැවිරිදි වියේ පසුවන මූසා ගේ මව පවසන පරිදි ඇය සිය පුත්‍රයා ගේ උණ රෝගයක් වෙනුවෙන් අදාළ සිරප් වර්ගය මිලට ගෙන තිබුණා. ඒ වෛද්‍ය නිර්දේශය මත යි.
“අපි ඔහුට සිරප් ලබාදුන් විට උණ නතර වුණා. නමුත්, ඉන් තවත් ගැටලුවකට මඟ පෑදුණා. පුතා මුත්‍ර පිට කළේ නැහැ.”
මූසා ගේ මව මාධ්‍ය හමුවේ එලෙස පවසා තිබුණා.
මූසා නැවත රෝහලට ගෙන ගිය අතර, එහි දී සිදු කළ රුධිර පරීක්ෂණයට අනුව ගැම්බියාවේ සුලබ මැලේරියා රෝගයට ඔහු නතු වී නැති බව අනාවරණය වුණා. වෙනත් ප්‍රතිකාරයක් ලබා දුන්න ද එයත් සාර්ථක වුණේ නැහැ. අවසානයේ කුඩා දරුවාට සැත්කමක් සිදු කළ අතර, එයද අසාර්ථක වූවා. ගැම්බියාවේ වෛද්‍යවරුන්ට මූසා බේරා ගැනීමට හැකි වුණේ නැහැ.
යුක්තිය ඉල්ලන දෙමාපියෝ
ළමා මරණ සම්බන්ධයෙන් ගැම්බියා ජනයා දැඩි කෝපයකින් පසු වන අතර, රට තුළට ඖෂධ ආනයනය කරන්නන්ට නඩු පැවරිය යුතු බවත්, එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත්, ගැම්බියානු පුරවැසියන් අවධාරණය කර සිටිනවා.
“හැට හයක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඒ නිසා අපට යුක්තිය අවශ්‍ය යි. මොකද මේ වින්දිතයින් අහිංසක දරුවන් නිසා.”
මූසා ගේ මව පවසා සිටිනවා.
ඇය පමණක් නොව දරුවන් අහිමි වූ මාපියන් සියල්ල ම පාහේ යුක්තිය ඉල්ලා සිටිනවා. මූසා ගේ මවට මෙන් ම ඔවුන්ටත් පැවසීමට දුක්බර කතාවක් තිබෙනවා. සැක කටයුතු සිරප් වර්ග ලබා දුන් මව්වරුන් සියල්ල ම පාහේ සිය දරුවා රෝහල් ගත කොට ඇත්තේ ඔවුන් ගේ මුත්‍ර පිටවීම සම්බන්ධයෙන් පැන නැඟුණු ගැටලු නිසා යි. අවසානයේ දී ඒ දරුවන්ට අත්වුණේත් වේදනාකාරී මරණයක්.
“මේක මාපියන්ට හොඳ පාඩමක්. නමුත්, වැඩි වගකීම රජය සතු යි. ඕනෑම ඖෂධයක් මෙරටට පැමිණීමට මත්තෙන් ඒවා පරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න වග සොයා බැලිය යුතු යි.”
දරුවා අහිමි වීමෙන් වින්දිතභාවයට පත් තවත් මවක් වන මේරියම් සිසාවෝ, එලෙස පවසා සිටින්නේ ගැම්බියාව තුළට එන ඖෂධවල ආරක්ෂිත බව පරීක්ෂා කිරීමේ පහසුකම් සහිත රසායනාගාරයක් නොමැති පසුබිමක සිට යි.
නරේන්ද්‍ර මෝදි එක් අවස්ථාවක “ලෝකයේ ඔසුසල” වශයෙන් හැඳින්වූ ඉන්දියාවේ ඖෂධ කර්මාන්තය අද ජාත්‍යන්තර මාධ්‍ය තුළ ඉහළ අවධානයක් දිනා අවසන්. නමුත්, ඒ අවධානය ලැබී තිබෙන්නේ ධනාත්මක අන්දමින් නොවෙයි.
සැබැවින්ම ගැම්බියාවේ ළමා මරණවලට ඉන්දියාව වග කිව යුතු ද?
දුරු රටක අසරණ මාපියන් පිරිසක් එයට පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටිනවා.