බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ අපූරු මංගල සාම්ප්‍රදායන්

ගෙවී ගිය මැයි 19 වැනි දා බ්‍රිතාන්‍යයේ සය වැනියට කිරුළ හිමි හැරී කුමරු සහ ඇමෙරිකානු නිළි මේගන් මාකල් (විවාහයෙන් පසු ව සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය) අතර සිදු වූ විවාහ මංගල්‍යය, මෑත ඉතිහාසයේ වඩාත් ම කතාබහට ලක් වූ විවාහ මංගල්‍යය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ලන්ඩන් නගරයට බටහිර දෙසින් පිහිටි වින්ඩ්සර් බලකොටුවේ දී පවත්වන ලද විවාහ මංගල්‍යයේ දී බ්‍රිතාන්‍ය සාම්ප්‍රදායන්ට මෙන් ම ඇමෙරිකානු විවාහ චාරිත්‍රයන්ට ද ප්‍රමුඛත්වයක් ලබා දුන් බව යි මාධ්‍යය වාර්තාවන් හි සඳහන් වුණේ.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ විවාහ මංගල්‍යය නැරඹූ බොහෝ දෙනෙක් ඔවුන් විසින් අනුගමනය කළ මංගල සාම්ප්‍රදායන් පිළිබඳ ව සොයා බැලීමට නැඹුරුතාවක් දක්වන බව පැවසීම වැරදි නැහැ. වර්තමානයේ දී බ්‍රිතාන්‍ය රාජකීයයන් විසින් අනුගමනය කරනු ලබන මංගල සාම්ප්‍රදායන් දශක කිහිපයක් තිස්සේ දෙවැනි එළිසබෙත් රැජින අයත් වන වින්ඩ්සර් පෙළපත තුළ වර්ධනය වූ ඒවා යි. බ්‍රිතාන්‍ය රාජකීය මංගල්‍යයක දී  මග නොහැරෙන එවැනි අපූරු මංගල සාම්ප්‍රදායන් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

විවාහයට රැජිනගේ අවසර

© EPA

සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් තමන්ගේ මනාපයට විවාහ විය නොහැකි බ්‍රිතාන්‍ය රාජකීයයන්ට ඒ සඳහා සිහසුන දරණ රජුගේ හෝ රැජිනගේ අවසර අවැසි වෙනවා. 2013 වර්ෂයේ දී සම්මත කරන ලද බ්‍රිතාන්‍ය සිහසුන සඳහා අනුප්‍රාප්තිය සිදු විය යුතු ආකාරය දැක්වෙන පනත අනුව රජ කිරුළට උරුමකම් කියන ප්‍රථම අනුප්‍රාප්තිකයින් සය දෙනා විවාහය සඳහා සිහසුන දරණ රජුගේ හෝ රැජිනගේ අවසර ගත යුතු යි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ පස් වැනියට කිරුළ හිමි හැරී කුමරු සහ ඇමෙරිකානු නිළි මේගන් මාකල්ගේ විවාහයට අවසර ලබා දෙමින් දෙවැනි එළිසබෙත් රැජින මාර්තු 11 වැනි දා අවසර ප්‍රකාශයකට අත්සන් කළා (ලුවී කුමරුගේ උපතින් පසු හැරී කුමරු සය වැනි තැනට කිරුළ හිමි කුමරු බවට පත් වුණා).

වේල්ස් රනින් තැනූ මංගල මුදුවක්

© Getty Images

ලෝකඩ යුගයේ දී මුල් වරට භාවිතයට පැමිණි වේල්ස් රන් (Welsh gold) සැලකෙන්නේ අතිශය දුර්ලභ රන් විශේෂයක් ලෙස යි. බ්‍රිතාන්‍ය රාජකීය සාම්ප්‍රදායන් අනුව මංගල දිනයේ දී වේල්සයේ රන් ආකාරවලින් ගන්නා ලද වේල්ස් රනින් තනන ලද මුදුවක් මනාලියට වෙත ලබා දිය යුතු වෙනවා. වර්ෂ 1923 දී භාවිතයට පැමිණි මෙම සාම්ප්‍රදාය අනුව මුල් ම වරට වේල්ස් රනින් තනන ලද මංගල මුදුවක් පැලඳ ඇත්තේ දෙවැනි එළිසබෙත් රැජිනගේ මව යි. ඇය ව අනුගමනය කරමින් පසු කාලීන ව දෙවැනි එළිසබෙත් රැජින, ඩයනා කුමරිය, කෝන්වෝල් හි ආදිපාදවරිය කැමිලා සහ කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය කේට්, වේල්ස් රනින් තනන ලද මංගල මුදු පැලඳ තිබෙනවා.

නාඳුනන යුද භටයා වෙත පිදෙන මනාලියගේ මල් කලඹ

© AFP / East News

රාජකීය විවාහ මංගල්‍ය යෙන් අනතුරු ව අලුත් මනාලියගේ මල් කලඹ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ පිහිටා ඇති නාඳුනන යුද භටයාගේ සොහොන් කොත මත තැන්පත් කළ යුතු වෙනවා. සියවසක් පමණ පැරණි මෙම සාම්ප්‍රදාය ද ආරම්භ කර ඇත්තේ දෙවැනි එළිසබෙත් රැජිනගේ මව යි. විවාහ මංගල්‍යයෙන් පසු ව වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුර කරා පැමිණි ඇය, 1915 වර්ෂයේ දී ලූස් සටනේ දී මිය ගිය ඇගේ සහෝදරයා සහ අනෙකුත් යුද භටයන්ට උපහාර පිණිස ඇගේ මංගල මල් කලඹ එහි තැන්පත් කර තිබෙනවා.

හමුදා නිල ඇඳුමෙන් සැරසෙන මනාලයා

© Getty Images

බ්‍රිතාන්‍ය රජ පවුලේ සෑම පිරිමි සාමාජිකයෙක් ම බ්‍රිතාන්‍ය හමුදාව සඳහා සේවය කිරීම අනිවාර්ය වෙනවා. ඒ අනුව නිසි වයස එළැඹුණු විට ඔවුන් ව හමුදා රෙජිමේන්තු සඳහා අනියුක්ත කරන අතර තනතුරු ප්‍රදානය කිරීමක් ද සිදු වෙනවා. මෙසේ බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් සේවය කරන රාජකීයයන් ඔවුන්ගේ මංගල දිනයේ දී හමුදා නිල ඇඳුමෙන් සැරසී ඔවුන් විසින් දිනා ගන්නා ලද පදක්කම් පැලඳ සිටීම යි සාම්ප්‍රදාය වන්නේ.

ගැඹුරු අරුතක් සඟවා ගත් මංගල වේලය

© Kensington Palace

බටහිර මනාලියන් විසින් මංගල වේලය පැලඳීමේ සාම්ප්‍රදාය සියවස් ගණනාවක් ඈතට දිව යනවා. නමුත් සාමාන්‍ය මනාලියන්ගේ වේලය මෙන් නොව රාජකීය මනාලියන් විසින් පලඳින වේලය මගින් ගැඹුරු අරුතක් සන්නිවේදනය විය යුතු යි. උදාහරණයක් ලෙස 1947 වර්ෂයේ දී දෙවැනි එළිසබෙත් රැජිනගේ මංගල වේලය මල් සැරසිල්ලකින් සමන්විත වූ අතර එයින් සංකේතවත් වුණේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ව ඇති වූ සාමය යි. පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් තානාපතිවරයා ලෙස කටයුතු කරන හැරී කුමරුගේ මනාලිය වූ මේගන් මාකල් විසින් පලඳින ලද වේලය හැඩ කිරීමේ දී ඇගේ වේලය මත පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍යයන් 53 හි ජාතික පුෂ්පයන් සේද නූල් යොදා ගනිමින් අතින් වියමන් කර තිබෙනවා.

පරණ දෙයක්, අලුත් දෙයක්, නිල් පැහැ දෙයක් සහ ඉල්ලා ගත් දෙයක්

© Pinterest

බටහිර මංගල සාම්ප්‍රදායන්ට අනුව සෑම මනාලියක් ම ඇගේ මංගල ඇඳුමට පරණ දෙයක්, අලුත් දෙයක්, නිල් පැහැ දෙයක් සහ ඉල්ලා ගත් දෙයක් එක් කර ගත යුතු යි. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රාජකීය මනාලියන් විසින් මංගල දිනයේ දී ඔවුන් පලඳින ටියාරාව ඉල්ලා ගන්නේ සිහසුන දරණ රජුගෙන් හෝ රැජිනගෙන්. සාම්ප්‍රදාය අනුගමනය කරමින් සසෙක්ස් හි ආදිපාදවරිය ද ඇගේ මංගල දිනයේ දී පැලඳ සිටියේ දෙවැනි එළිසබෙත් රැජිනගෙන් ණයට ඉල්ලා ගන්නා ලද ඇගේ මිත්තණිය වූ මේරි රැජිනයට අයත් ව පැවති ටියාරාවක්.

හිස් වැසුමෙන් සැරසුණු ආරාධිත අමුත්තෝ

© Reuters

රාජකීය මංගල්‍යයකට සහභාගී වන කාන්තාවන් සියලු ම දෙනා හිස් වැසුමකින් හෝ විසිතුරු හිස් ආවරණයකින් (fascinator) සැරසිය යුතු වෙනවා. අතීතයේ දී රාජකීය සහ වංශවත් කාන්තාවන් ඔවුන්ගේ කෙස් කලඹ නිරාවරණය වන ලෙස සැරසී ඇත්තේ කලාතුරකින්. එසේ ආරම්භ වූ සාම්ප්‍රදාය වර්තමානයේ දී භාවිතා කරන්නේ මංගල උත්සව හෝ එවැනි විශේෂ අවස්ථාවක දී පමණ යි. එසේ ම රාජකීය මංගල උත්සවයකට සහභාගී වන කාන්තාවන්, ඔවුන්ගේ උරහිස් නිරාවරණය වන ලෙස සැරසීම ද නොකළ යුතු වෙනවා.

අමුත්තන් වෙනුවෙන් දැවැන්ත පලතුරු කේක් ගෙඩියක්

© Kensington Palace

ඕනෑ ම විවාහ උත්සවයක දී නොවරදින අංගයක් තමයි, අලංකාර ලෙස හැඩ ගන්වන ලද මංගල කේක් ගෙඩිය. රාජකීය විවාහ මංගල්‍යයක දී පවා මංගල කේක් ගෙඩියක් සැකසීම වරදින්නේ නැහැ. සාමාන්‍යයෙන් ආරාධිත අමුත්තන් සෑම දෙනාට ම සෑහෙන පරිදි දැවැන්ත පලතුරු කේක් ගෙඩියක් නිර්මාණය කිරීම යි රාජකීය සාම්ප්‍රදාය වන්නේ. විවාහ මංගල්‍යය අවසානයේ දී මෙසේ සකසන පලතුරු කේක් ගෙඩියෙන් කපන ලද කැබැල්ලක් අලංකාර ලෝහ පෙට්ටියක බහා අමුත්තන්ට ලබා දීම සිදු කරන අතර මංගල කේක් ගෙඩියේ මුදුනින් ලබා ගන්නා ලද කේක් කැබැල්ලක් ඔවුන්ගේ අනාගත දරුවන්ගේ බෞතීස්ම උළලේ දී පිළි ගැන්වීම සඳහා සුරක්ෂිත ව තබා ගන්නා බව සඳහන්.

කවරයේ පින්තූරය : © Ben Birchall / AFP / Getty Images

Related Articles

Exit mobile version