ගොඩබිම පහතින්ම පිහිටි ස්ථාන 5

පෘථිවි පෘෂ්ඨයෙන් 79%ක් පමණ සාගරයෙන් වැසී තිබෙන අතර, ගොඩබිම ඇත්තේ 21%ක ප්‍රමාණයක් පමණයි. මෙම 21%න් සමහරක් ස්ථාන මධ්‍ය මුහුදු මට්ටමෙන් ඉතා පහළින් පිහිටා තිබෙනවා. ඒවායින් සමහරෙක නගර, කාන්තාර වැනි දේ පවතින අතර තවත් සමහරෙක කරදිය හා මිරිදිය ජලාශ පිහිටනවා. මහා සාගරයෙන් පිටත ගොඩබිම පවතින, ලොව පහතින්ම පිහිටි ස්ථාන 5 පිළිබඳව යි මේ.

කැප්සියන් අවපාතනය- කසකස්ථානය

videoblocks.com

කැප්සියන් මුහුද සැලකෙන්නේ ලොව විශාලතම සංවෘත ජල ප්‍රභවය ලෙස යි. මෙහි වෙරළ, මධ්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 28ක් පමණ පහතින් පිහිටා තිබෙනවා.

කැප්සියන් මුහුද ඉන් පිටතට ජලය නොගලන කරදිය විලක් වන අතර, එහි වෙරළතීරයන් අසර්බයිජානය, ඉරානය, කසකස්ථානය, රුසියාව හා ටර්ක්මෙනිස්ථානය යන රටවල් හරහා වැටී තිබෙනවා. මේ වෙරළතීරයන්ගේ පහතින්ම පිහිටි ස්ථානය කසකස්ථානයේ කාස්ට් ආගාධය අසළ පිහිටා ඇති අතර කරිගියේ නම් එම ස්ථානය, මධ්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 132ක් පහතින් පිහිටා තිබෙනවා.

ක්වටාරා අවපාතනය- ඊජිප්තුව

etltravel.com

ලොව වැඩිම, මධ්‍ය මුහුදු මට්ටමෙන් පහතින් පිහිටි ස්ථාන සහිත මහද්වීපය වන්නේ අප්‍රිකාව යි. ලිබියානු කාන්තාරයේ, ඊජිප්තුවට අයත් පෙදෙසෙහි පිහිටා ඇති ක්වටාරා අවපාතනය අප්‍රිකාවේ දෙවනුවට පහතින්ම පිහිටි ගොඩබිම් පෙදෙස ලෙස සැලකෙනවා. මෙය වර්ග සැතපුම් 7,000ක පමණ පෙදෙසක පැතිරී ඇති අතර සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 70ක් පමණ පහතින් පිහිටා තිබෙනවා. මෙහි පහතින්ම පිහිටි ස්ථානය මුහුදු මට්ටමෙන් මීටර 133ක් පහතිනුයි පිහිටා තිබෙන්නේ. මෙකී ක්වටාරා අවපාතනය ආශ්‍රිතව ක්ෂේමභූමි, වැලි කඳු වැනි දේ ද පිහිටා තිබෙනවා.

ටුර්ෆාන් අවපාතනය- චීනය

visibleearth.nasa.gov

මොංගෝලියාවට දකුණින්, චීනයට අයත්ව, එහි බටහිරා කාන්තාර පෙදෙසේ පිහිටා ඇති ටුර්ෆාන් අවපාතනයේ ඇති පහළම ස්ථානය ගොඩබිම මත පිහිටි ලොව තෙවනුවට පහත්ම ස්ථානය ලෙස සැලකෙනවා. එය මධ්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 154ක් පහතින් පිහිටා තිබෙනවා. ටුර්ෆාන් අවපාතනය චීනයේ උණුසුම්ම හා වියළිම පෙදෙස ලෙස සැලකෙනවා. මෙය උස් කඳුවලින් වට වී තිබීම මෙම උණුසුම හා වියළිභාවයට හේතු වී තිබෙනවා. මෙය දීර්ඝ ඉතිහාසයක් සහිත පෙදෙසක් වන අතර, මීට වසර 2,000කට පමණ පෙර සේද මාවත වැටී තිබුණේ මේ හරහා යි.

ලේක් අසාල්- ජිබුටි

Zineb Boujrada / The Culture Trip

ලේක් අසාල් හෙවත් අසාල් විල පිහිටා ඇත්තේ අප්‍රිකා මහාද්වීපයේ ජිබුටි හී යි. මෙය ලොව දෙවනුවට පහතින්ම පිහිටි ගොඩබිම් පෙදෙස වෙනවා. අෆාර් අවපාතනය නම් විශාල පෙදෙසේ කොටසක පිහිටා ඇති මේ විලෙහි පහත්ම වෙරළතීරය, මධ්‍ය මුහුදු මට්ටමෙන් මීටර 155ක් පමණ පහතින් පිහිටා තිබෙනවා. අසාල් විල අවට පෙදෙසේ නිතිපතා පවතින්නේ ඉතා දැඩි උෂ්ණත්වයක්. එමෙන්ම මෙහි යමහල් නිසා තැනුණු භූ ලක්ෂණ ද දැකගත හැකියි. මෙය අවට පෙදෙසේ කාන්තාරික ලක්ෂණ ද ඉතා දැඩිව පවතිනවා.

මළ මුහුද

deadsea.com

ලොව පහතින්ම පිහිටි ගොඩබිම වන්නේ මළමුහුදේ වෙරළතීරය යි. එය සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 423ක් පහතින් පිහිටා තිබෙනවා. මෙය පිහිටා ඇත්තේ ඊශ්‍රායලය හා ජෝර්දානය අතර යි. මළ මුහුද ලොව වැඩිම ලවණතාවය සහිත කරදිය විල වෙනවා. එහි ලවණතාව 33.7%ක්. මේ ආසන්නව පිහිටි ‘ගලීල මුහුද‘ මුහුදු මට්ටමේ සිට මීටර 214ක් පහතින් පිහිටා තිබෙනවා. මෙය ලොව පහතින්ම පිහිටි මිරිදිය විල යි.

කවරයේ පින්තූරය- livingstone.cz

Related Articles

Exit mobile version