උදෑසනින් ම අවදි වන ගෝඩන්සියා මැන්ඩියෝපෙරා, සිය වෘත්තීය උදෙසා වෙන් වූ කාලය හමාර කළ වහා ම ඇයගේ අමතර අදායම් මාර්ගය වෙනුවෙන් වෙහෙසෙනවා. ගෝඩන්සියා, බලපත්‍ර රහිත තැබෑරුමක් පවත්වා ගෙන යන අතර, ඇයගේ ගනුදෙනුකරුවන් බොහෝමයක් මොසැම්බික් සහ සිම්බාබ්වේ දේශ සීමාව ආසන්නයේ පිහිටි “මුටරේ” ප්‍රදේශයේ ගමන් කරන ට්‍රක් රථ රියදුරන්.
ගෝඩන්සියා වැන්නවුන් මත්පැන් ගෙන්වන්නේ දේශසීමා හරහා යි. එය නීති විරෝධි ක්‍රියාවක් මෙන් ම, බලපත්‍රයක් නොමැති තැබෑරුම් පවත්වා ගෙන යාමත් නීතියට පටහැනි හෙයින්, ගෝඩන්සියාගේ අමතර ආදායම් මාර්ගය අවදානම් ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ගෝඩන්සියා මෙවැනි වෙළෙඳාමකට යොමු වුණත්, ඇය සිම්බාබ්වේ රාජ්‍යයට අයත් “මුටාසා” දිස්ත්‍රික්කයේ රජයේ පාසලක සේවය කරන ප්‍රාථමික ගුරුවරියක්. ශෝචනීය ම කාරණය වන්නේ එය යි!
රට හැර යන ගුරුවරු
අවදානම නොතකා හරිමින් ගෝඩන්සියාට තැබෑරුම පවත්වා ගෙන යාමට සිදු වෙනවා. ඇයට දරුවන් තිදෙනෙක් සිටින අතර, ප්‍රාථමික ගුරුවරියක් ලෙස මාසිකව ලැබෙන සිම්බාබ්වේ ඩොලර් 11,000 ක වැටුප ජීවන වියදම සඳහා කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම වැටුප කළු කඩ ජාවාරම තුළ පවතින අනුපාතයට අනුව සමාන වන්නේ අමෙරිකානු ඩොලර් 45කට පමණ යි.
“මා නිතරම අත්අඩංගුවට ගැනෙනවා. ලාභය තවත් වැඩි කර ගැනීම වෙනුවෙන් මං තවත් අමතර පැය ගණනක් වැඩ කරනවා. ලිංගික අපයෝජනයට ලක් වීමේ ඉහළ හැකියාවක් පවතින පරිසරයක ජීවත් වුණත්, මට වෙනත් විකල්පයක් නැහැ.”
ජීවන අරගලයේ වේදනාව ගෝඩන්සියා වචනවලට පෙරළුවේ ඒ අයුරින්.
විකල්ප ආදායම් මාර්ගවලට යොමු වූ ගෝඩන්සියා වැනි ගුරුවරුන් සිම්බාබ්වේ රාජ්‍යයේ සුලබ යි. සෑම ගුරුවරයකු ම නීති විරෝධි ආදායම් මාර්ග වෙත යොමු වී ඇතැයි එයින් අදහස් වෙන්නේ නැහැ. දිනෙන් දින ආර්ථික ආගාධයකට ඇද වැටෙමින් සිටින මේ අප්‍රිකානු රාජ්‍යයේ සිසුන් මිලියන 4.2 ක් සිටින අතර, ඔවුන් වෙනුවෙන් සේවය සැපයීමට ගුරුවරුන් 150,000 ක් පමණ සිටිනවා.
සමස්තයක් ලෙස ගත් කල සිම්බාබ්වේ රජය ගුරුවරයකුට ගෙවන වැටුපේ සාමාන්‍ය අගය සිම්බාබ්වේ ඩොලර් 28,800 (අමෙරිකානු ඩොලර් 120) ක් පමණ යි. වසර ගණනාවක් තිස්සේ වඩා හොඳ වැටුප් සහිත රැකියා සඳහා දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා වැනි රාජ්‍යයන් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් සිම්බාබ්වේ ගුරු වෘත්තිකයන් අතර දක්නට ලැබෙන්නේ මේ නිසා යි.
බොඳ වී යන සිහින
දශක ගණනාවක් පුරා පරිපාලනය තුළ පවතින දුර්වල කළමනාකාරීත්වය සහ දූෂණය හේතුවෙන් පාලනය කළ නොහැකි උද්ධමනයක් පවතින රටක් ලෙස සිම්බාබ්වේ හැඳින්විය හැකි යි. එකතැන පල්වෙන වැටුප් පරිමාණ සහ පුළුල් දරිද්‍රතාව සමඟ ලෝකයේ දරුණුත ම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන රටක් ලෙස සිම්බාබ්වේ හි වෘත්තිකයන් ඉමහත් දුෂ්කරතාවනට පත් වී සිටිනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉන් අත්වන ඛේදජනක ඉරණම සුළුපටු නැහැ.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමූ පාසල් පසුගිය පෙබරවාරි 7 වැනිදා යළි විවෘත කිරීමට සිම්බාබ්වේ රජය තීරණය කළා. මාස තුනකින් පමණ පාසල් ජීවිතයෙන් ඈත් වූ සිසුන්ට සහ තම දරුවාගේ අධ්‍යාපනය ගැන වද වූ මාපියන්ට එම පුවත සහනයක් ගෙන දුන්නත්, ඔවුන්ගේ ප්‍රීතිය බොහොම කෙටි කලකට සීමා වුණා. ඇතැම් පළාත්වල ගුරුවරුන් බොහෝමයක් යළි සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කළ අතර, අඩු වැටුප් සහ අඩු පහසුකම් යටතේ තව දුරටත් කැප කිරීම් සිදු කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබුණේ නැහැ.
අවසාන ප්‍රතිඵලය ලෙස සිසුන් බොහෝමයකගේ අනාගත සිහින සුන් වී යෑමේ අවදානමක් උද්ගත වුණා. උදාහරණයක් ලෙස හරාරේ නුවර එළවළු වෙළෙන්දකුගේ පුතෙකු වන ක්විරිරායි, වර්ෂාවසාන විභාගය සමත් වී වෛද්‍යවරයකු වීමේ මාර්ගයට ප්‍රවිෂ්ට වීමට අපේක්ෂාවෙන් සිටියා. ගුරු හිඟය හේතුවෙන් ක්විරිරායිගේ අනාගතය දැන් ඇත්තේ අවිනිශ්චිත අඩියක යි.
සිම්බාබ්වේ හි ප්‍රගතිශීලි ගුරු සංගමයේ සභාපති ටකාවාෆිරා ජෝ පවසන පරිදි වත්මන් රජය ගුරු වැටුප් ඉහළ දැමීම කෙරෙහි අවධානයක් නොදක්වන අතර, පවත්නා දැඩි ආර්ථික අර්බුදය හමුවේ සිම්බාබ්වේ රජයට වෘත්තිකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමේ අවම හැකියාවක් හෝ නැහැ.
“දැනට ලැබෙන වැටුපෙන් සේවා ස්ථානයට දිනපතා යෑමටවත් අපට හැකියාවක් නැහැ. හොඳ ආහාර වේලක් සපයා ගන්නට බැහැ. අපට අපේ දරුවන්ගේ ගාස්තුවත් ගෙවා ගන්න බැරි නම් අනුන්ගේ දරුවන්ට ඉගැන්වීමේ හැකියාවක් ගැන බලාපොරොත්තු තබා ගැනීම දුෂ්කර යි.”
ජීවන වියදම් දැඩි සේ කළමනාකරණය කළ යුතු නිසා ටකාවාෆිරා ඇතුළු ගුරුවරුන් බොහෝමයක් සතියකට වරක් සේවයට වාර්තා කිරීමට තීරණය කළේ ඒ අනුව යි. ඔවුන්ට දිනපතා සේවය කිරීමට අවශ්‍ය වුණත්, උද්ධමනය හමුවේ ඔවුන්ගේ නොහැකියාව දිනෙන් දින දරුණු වෙමින් පවතිනවා. සමහර මාපියන් ඉගැන්වීම් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ගුරුවරුන්ට මුදල් දිරි ගැන්වීම් ලබා දීමට පවා කටයුතු කරනවා. එහෙත්, රජයට මේ කිසිවක් ගැන වගකීමක් නැහැ. ඒ වගකීම ඉටු කරන්නේත් සිවිල් පුරවැසියන්!
එමර්සන්ගේ අවපාලනය
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ම පාහේ කඩා වැටෙන තත්ත්වයට සිම්බාබ්වේ රාජ්‍යය දැන් ළඟා වෙමින් සිටිනවා. එය පවත්නා දැඩි ආර්ථික අර්බුදයේ එක් පැතිකඩක් පමණ යි. රොබට් මුගාබේගේ දූෂිත පාලනය හමුවේ බොහෝ කලක් දුක් විඳි සිම්බාබ්වේ රාජ්‍යය, දැන් එමර්සන් ම්නන්ගග්වාගේ දුර්වල පරිපාලනය ඉදිරියේ තව තවත් ආගාධයට යමින් සිටිනවා. කලක පටන් පවත්නා ආර්ථික අර්බුද කොවිඩ් වසංගතයෙන් පසු තව තවත් උග්‍ර වූ අතර, රුසියානු-යුක්‍රේන යුද්ධය ඇරඹීමෙන් පසු සිම්බාබ්වේ වැසියන්ට ලැබෙන සැපයුම් වලට අඛණ්ඩ බාධා එල්ල වුණා. උදාහරණයක් ලෙස ලෝක තිරිඟු අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් පමණ පැමිණෙන්නේ යුක්‍රේනය සහ රුසියාවෙන්. යුද්ධය ආරම්භයේ සිට ම ලෝක වෙළඳපොළේ තිරිඟු මිල ඉහළ යෑම ඇරඹුණු අතර, දරිද්‍රතාවයේ පතුලටම වැටී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට එය කොහෙත්ම දරා ගැනීමට හැකි වුණේ නැහැ.
සිම්බාබ්වේ හි වෙළෙඳාම ප්‍රධාන වශයෙන් රුසියාව, චීනය, බෙලරුස් සහ සිංගප්පූරුව වැනි නැගෙනහිර ජාතීන් මත රඳා පවතිනවා. පවත්නා අධික ණය බර සහ හීනවී යන විදේශ මුදල් සංචිත නිසා ඔවුන්ට ආනයන සිදු කිරීමේ දුෂ්කරතා පවතින හෙයින්, ඉන්ධන සහ මූලික භාණ්ඩවල මිල පාලනය කළ නොහැකි මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. වෙළෙඳ සබඳතා පවත්වන රටවල් අභ්‍යන්තර වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මුහුණ දෙන ගැටලුත් මෙම දුෂ්කරතාවලට හේතු වී තිබෙනවා. මේ සියලු අර්බුද මැද වත්මන් සිම්බාබ්වේ ජනපති එමර්සන්, රටේ ආර්ථිකය තවදුරටත් වැරදි ලෙස කළමනාකරණය කරමින් සිටින බව යි පැවසෙන්නේ.
තුනෙන් එකක් කුසගින්නේ!
ලෝක බැංකුවේ සමාජ සහ ආර්ථික යාවත්කාලීන කිරීම්වලට අනුව පසුගිය දශකය තුළ සිම්බාබ්වේ පුරවැසියන් මිලියන 7.9 ට ආසන්න ගණනක් අන්ත දරිද්‍රතාවට වැටී අවසන්. ඔවුන් සිටින්නේ ආහාර දරිද්‍රතා රේඛාවටත් පහළින්. 2022 ජනවාරි සහ මාර්තු අතර කාලයේ දී සිම්බාබ්වේ ජනගහනයෙන් තුනෙන් එකකට පමණ ප්‍රමාණවත් ආහාර සැපයුමක් ලැබී තිබුණේ නැහැ. ඉහළ යන තෙල් මිල සමඟ සිම්බාබ්වේ රාජ්‍යයට ඉන්ධන ආනයනය සඳහා වැඩිපුර අමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වී ඇත්තේ මෙවැනි ශෝචනීය පසුබිමක් මැද යි. මේ වනවිට ඔවුන්ගේ විශාලත ම ආනයන ද්‍රව්‍යය ඉන්ධන වන අතර, 2021 දෙසැම්බර් මාසය වනවිට එය සියලු ම ආනයනවලින් 21.5% ක් තරම් ඉහළ අගයක් ගෙන තිබුණා. අවසාන ප්‍රතිඵලය වන්නේ පවතින උද්ධමනය මත තව තවත් පීඩනය එල්ල වීම පමණ යි!
පසුගිය වසර තුන පුරා සිම්බාබ්වේ ගුරුවරුන් අත්විඳි ප්‍රමාණවත් නොවන වැටුප් සහ දුර්වල සේවා කොන්දේසි සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කළේ මෙවැනි පසුබිමක් මැද යි. මූලික අවශ්‍යතා පවා ඉටු කර ගැනීමට සිදු කරන බලවත් අරගලය හමුවේ ඔවුන්ට වෘත්තීය ක්‍රියා මාර්ග කෙරෙහි අවධානය යොමු කරනවා හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. කොවිඩ් වසංගතයේ පැතිරීම සීමා කිරීම සඳහා වසා දැමූ පාසල් පසුගිය පෙබරවාරි 7 වැනිදා විවෘත කිරීමත් සමඟ ම ඔවුන් තම වැඩ වර්ජනය ආරම්භ කළා. විසඳුම් ලබා දෙනවා වෙනුවට ගුරුවරුන්ගේ සේවය මාස තුනකට තහනම් කිරීමට රජය ක්‍රියා කළා. එතැනින් නොනැවතී පන්ති කාමරයට වාර්තා කිරීමේ කාල සීමාවක් පැනවීමටත් එරට ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගත්තා.
ගුරුවරුන් අධිකරණයට..
වර්ජනයට සහයෝගය ලබාදුන් ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් රජයේ තීරණය ව්‍යවස්ථා විරෝධී බව තර්ක කිරීමෙන් පසු ගුරුවරුන්ට පැන වූ වැඩ තහනම අහෝසි කිරීමට හරාරේ හි අධිකරණය නියෝග කළා. ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සහ සාධාරණ කම්කරු ප්‍රමිතීන්ට ඇති නිදහසට බලපෑම් එල්ල කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ හැසිරීම තමා කම්පනයට පත් කළ බව ඉන් එක් නීතිඥවරයෙක් පවසා තිබුණා.
අධිකරණය තීන්දුව ලබා දුන් දිනයේදී ම නැවත සේවයට වාර්තා කිරීම සඳහා සතියක කාලයක් ගුරුවරුන්ට ලබා දීමට රජය තීරණය කළා. සතියක කාල සීමාව ඉක්මවා ගියහොත්, රැකියාව අහිමි කොට ඇතිවන පුරප්පාඩු සඳහා රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගන්නා බව බලධාරීන්, වර්ජනයේ නියුතු වූ ගුරුවරුන්ට දැනුම් දුන්නා.
දැරිය නොහැකි ගාස්තු
පෙබරවාරි 8 වැනිදා රජයේ ගුරුවරුන්ගේ වැටුප් 20% කින් සහ කොවිඩ්-19 දීමනාව සිම්බාබ්වේ ඩොලර් 16,500 සිට 38,500 දක්වා (අමෙරිකානු ඩොලර් 75 සිට 175 දක්වා) වැඩි කිරීමට රජය තීරණය කළා. සිම්බාබ්වේ යනු අතිඋද්ධමනයක් පවතින රාජ්‍යයක්. සංඛ්‍යාත්මක ව මෙම වැටුප් වැඩි කිරීම ඉතා ඉහළ බව පෙනෙන්නට තිබුණත්, එම වැටුප් වර්ධකය ගුරුවරුන්ට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ.
ගුරු වෘත්තිය සංගම් පවසන ආකාරයට පවත්නා උද්ධමනයට මුහුණ දීම සඳහා අමෙරිකානු ඩොලර් 540කට සමාන වැටුපක් දේශීය මුදල්වලින් අවශ්‍ය වෙනවා. ඒ අනුව රජය තීරණය කළ වැටුප් වර්ධකය ගුරුවරුන් ප්‍රතික්ෂේප කොට තිබෙනවා. සිම්බාබ්වේ ජාතිකයන් මුහුණ දෙන ආර්ථික අර්බුදයේ තරම තේරුම් ගැනීම සඳහා එරට ගුරුවරුන් ඉල්ලන වැටුප සහ රජය තීරණය කළ වැටුප අතර පවතින දැවැන්ත වෙනස පවා ප්‍රමාණවත්!
යටිතල පහසුකම් සහ කාර්ය මණ්ඩල සංඛ්‍යාව ක්ෂය වීම නිසා සිම්බාබ්වේ හි අධ්‍යාපන ක්ෂේත්‍රය දැන් වැටී ඇත්තේ ඉතා දුර්වල මට්ටමකට යි. අඛණ්ඩ උද්ධමනය හේතුවෙන් රජයේ පාසල්වල ගාස්තු බොහෝ දෙනකුට දැරිය නොහැකි පරිදි තුන් ගුණයකින් ඉහළ දමා තිබෙන අතර, පෞද්ගලික පාසල්වල අය කරන ගාස්තු ද ඉහළ යමින් පවතිනවා. අවශ්‍ය උපකරණ නොමැති වීම හෝ දත්ත පැකේජ මිලට ගැනීමේ නොහැකියාව නිසා මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලියෙන් සිසුන් බොහෝමයක් ඉවත් වීමේ පසුබිමක් ද ඇතිවී තිබෙනවා.
ගෝඩන්සියා වැන්නවුන් අනවසර වෙළඳාම හෝ නීති විරෝධී ක්‍රියාවලට යොමු වන අතරේ ඇති හැකි ගුරුවරුන් අසල්වැසි රටවලට සංක්‍රමණය වන්නේ ආර්ථික පීඩනය දරාගත නොහැකි නිසා ම යි. අඳුරු අනාගතයේ රිදී රේඛාවක් කෙලෙස හෝ සොයා ගැනීමට උරදෙන “අධ්‍යාපනය” නම් මහාර්ඝ වස්තුව සිම්බාබ්වේ ළමයින්ගෙන් ඈත් වන්නේ ඉතා නිර්දය විදිහට!