පසුගිය මැයි 10 වැනිදා ඉන්දියාවේ පැවැත්වුණු කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ඉන්දීය ජාතික කොන්ග්‍රසය (INR) සමත් වුණා. ආසන 224කින් යුතු කර්ණාටක මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් ආසන 135 ක් දිනා ගැනීමට කොන්ග්‍රස් පක්ෂය සමත් වූ අතර, නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට (BJP) දිනා ගැනීමට හැකි වූයේ ආසන 66 ක් පමණ යි. ඉතිරි ආසන වෙනත් සුළු පක්ෂ වෙත බෙදී ගියා.
2018 දී පැවැත්වුණු මැතිවරණයේ දී කර්ණාටක ප්‍රාන්තය ජයග්‍රහණය කළේ භාරතීය ජනතා පක්ෂය යි. එම ඡන්ද විමසුමේ දී ප්‍රාන්තය තුළ සැලකිය යුතු බලයක් හිමි ප්‍රාදේශීය පක්ෂයක් වන “ජනතා දාල්” හටත් සතුටු විය හැකි ආසන ගණනක් දිනා ගැනීමට හැකි වුණා. එහෙත්, මෙවර භාරතීය ජනතා පක්ෂය සහ “ජනතා දාල්” පක්ෂය කර්ණාටක ජනයා වෙතින් ප්‍රතික්ෂේප වූයේ පැහැදිලි ආසන පරතරයකින් වීම විශේෂත්වයක්.
මෝදිට රතු එළියක් ද?
මෙම ගැටලුවට පිළිතුරු සොයාගෙන යාමේ දී වැදගත් කරුණු දෙකක් වෙත අවධානය යොමු කරන්නට සිදු වෙනවා.
1). BJP යනු හින්දු ජාතිකවාදය මුල් කරගත් දේශපාලන පක්ෂයක්. ඔවුන් සිය ජාතිකවාදී දේශපාලන දෘෂ්ටිය පැතිරවිය හැකි ඕනෑ ම ප්‍රභවයක් භාවිතයට ගන්නවා. සිනමාවට පවා ඉන් ගැලවීමක් නැහැ. කර්ණාටක ප්‍රාන්තය යනු ඔවුන් ගේ දෘෂ්ටිවාදය සාර්ථක ව ස්ථාපනය කිරීමට හැකි වූ එකම දකුණු ඉන්දීය ප්‍රාන්තය යි. පහසුවෙන් බලය ලබාගත නොහැකි, ප්‍රාදේශීය දේශපාලන පක්ෂ රජ කරන දකුණු ඉන්දීය ප්‍රාන්ත අතරෙන් වැදගත් ම ප්‍රාන්තයක බලය තහවුරු කර ගැනීම පහසු ක්‍රියාවක් නොවෙ යි. ඒ අනුව දකුණු ඉන්දියාවේ සිය දෘෂ්ටිවාදය ස්ථාපනය කිරීම සඳහා “පර්යේෂණාගාරයක්” සේ ක්‍රියා කළ කර්ණාටක ප්‍රාන්තය මෙවර මෝදිට අහිමි වුණා.
2). 2014 සිට ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ ඡන්ද පදනම දැවැන්ත හායනයකට ලක් වුණා. භාරතීය ජනතා පක්ෂයේ ස්ථාවරත්වය වසරෙන් වසර ශක්තිමත් වන ප්‍රවණතාවක් තමයි දකින්නට ලැබුණේ. දැන් කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රාහී මාවතට අවතීර්ණ වී ඇති බව පැහැදිලි සංඥාවක් ලබා දී තිබෙනවා. 2024 දී ඉන්දියාව මහ මැතිවරණයට නැවතත් සූදානම් විය යුතු බැවින්, කර්ණාටක ජන මතය මෝදි ආණ්ඩුවට කිසිසේත් ම සුබ ලකුණක් නොවෙ යි.
වැරදුණේ කොතැන ද?
කර්ණාටක ප්‍රාන්තයේ මිලියන 65 ක ජනගහනයෙන් 84% ක් පමණ හින්දු භක්තිකයන් වන අතර, ඔවුන් ඉලක්ක කර ගනිමින් හින්දුත්වය මුල්බැස ගත් නීති, ප්‍රාන්තය තුළ සම්මත කර ගැනීමට “BJP”ය ක්‍රියා කළා. හින්දු භක්තිකයන් පූජනීය සතකු වශයෙන් සලකන ගවයන් විකිණීම සහ ඝාතනය තහනම් කිරීම, වෙනත් ආගමකට හරවා ගැනීමට එරෙහි පනතක් සම්මත කිරීම, ඉන් කිහිපයක්. දෙවැනියට සඳහන් කළ මතභේදාත්මක පනත හේතුවෙන් වෙනස් ආගම් දෙකක යුවළක් විවාහ වීමේ දී ගැටලුකාරී වාතාවරණයක් ඉස්මතු වුණා. මේ සියල්ල “BJP” පාලනය සිදු කළේ හින්දු ජනයා අතර ජනප්‍රිය වෙමින් ඡන්ද පදනමක් සකස් කර ගැනීම සඳහා යි.
පසුගිය වසරේ දී කර්ණාටක ප්‍රාන්තයේ අධ්‍යාපන ආයතන තුළ මුස්ලිම් ගැහැනු ළමයින්ට හිජාබය පැළඳීමත් තහනම් වුණා. ඉස්ලාමීය වටිනාකම්වලට බාධා එල්ල කිරීමෙන් ප්‍රාන්තයේ විරෝධතා ඇරඹුණු අතර, ආගමික ආතතීන් ඉහළ යන ප්‍රවණතාවක් ද පෙන්නුම් කළා.
කුලවාදයටත් පොහොර දැම්මා!
මැතිවරණයට පෙර මුස්ලිම් ජනයා ගෙන් යම් යම් ප්‍රතිලාභ ඉවත් කරමින් ඒවා උසස් කුලයැ යි සම්මත හින්දු ප්‍රජාවන් දෙකකට වෙන් කිරීමට භාරතීය ජනතා පක්ෂයෙන් යෝජනා වුණා. වසර දහස් ගණනක් පැරණි ඉන්දියාවේ කුල වාදය තවමත් එරට මිනිසුන් පෙළන බව නොරහසක්. උපතේදී ම මිනිසුන් වර්ගීකරණය කරන අතර, සමාජයේ ඔවුන්ට හිමි ස්ථානයත් ඒ හරහා නිර්වචනය වෙනවා. පැහැදිලිව ම “BJP” න්‍යාය පත්‍රය තුළ ඇත්තේ බෙදා වෙන්කරන පාලනයක්. ඒ සඳහා ඔවුන් සමාජයේ සංවේදී ම ස්ථානවලට පහරදීමේ දක්ෂයන් බව ඉහත කරුණුවලින් පෙනී යනවා.
හින්දු බහුතරයක් සිටින බැවින්, කර්ණාටක ප්‍රාන්තයේ මෙවැනි ආතතීන් උත්සන්න වුවත් “BJP” ඡන්ද පදනමට බලපෑමක් ඇති වීමට ඉඩක් නැහැ. කර්ණාටක ජනයා දැන් මෝදි ගේ ජාතිකවාදී දේශපාලනය පැහැදිලිව ම ප්‍රශ්න කර තිබෙනවා. ඒ අතර හින්දු භක්තිකයන් අති බහුතරයක් සිටින බැවින්, “කර්ණාටක රැල්ල” වෙනත් ප්‍රාන්ත කරා ගමන් කළ හැකි යි. හින්දුත්වය උත්කර්ෂයට නැංවීම හින්දු ජනයාගෙන් ම ප්‍රතික්ෂේප වීමේ කාලයක් උදා විය හැකි බව “BJP” දේශපාලකයන් තේරුම් ගත්තේ නැහැ. ඔවුන්ට වැරදුණෙත් එතැන යි. කොන්ග්‍රස් පක්ෂය සිය ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ “කර්ණාටක රැල්ල” ඉතා හොඳින් ග්‍රහණය කරගනු ඇති.
ඉහත කරුණ හැරුණුකොට කර්ණාටක ප්‍රාන්තයෙන් භාරතීය ජනතා පක්ෂය ප්‍රතික්ෂේප වීමට බලපෑ තවත් අතුරු කාරණා කිහිපයක් තිබෙනවා.
ප්‍රකට නායකයන් කොන් කිරීම
කර්ණාටක ප්‍රාන්තය තුළ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රාහී මාවතට අවතීර්ණ කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ හිටපු මහ ඇමති යෙදියුරප්පා මෙවර මැතිවරණයේ දී පසෙකට කළ ස්වභාවයක් දක්නට ලැබුණා. හිටපු මහ ඇමති ජගදීෂ් ෂෙටාර් සහ හිටපු නියෝජ්‍ය මහ ඇමති ලක්ෂ්මන් සවාදි වැනි අනෙකුත් ප්‍රමුඛ BJP නායකයන් ද ප්‍රතික්ෂේප කිරීමට මෝදි නායකත්වය පියවර ගෙන තිබුණා.
ඉන්පසු ඔවුන් ගේ සහාය ඉන්දීය නිදහස් කොන්ග්‍රසය වෙත ලැබුණු අතර, ඔවුන් නියෝජනය කරන “ලිංගායත්” ප්‍රජාවේ සහායත් කොන්ග්‍රසය වෙත නැඹුරු වුණා. ඒ ඡන්ද පදනමට “BJP” හමුවේ ආන්තිකකරණයට ලක් වූ මුස්ලිම් ප්‍රජාව සහ වෙනත් සුළුතර ප්‍රජාවන් එක් වූ විට ජාතික කොන්ග්‍රසයේ ජනප්‍රියත්වය ඉහළ ගියේ නිරායාසයෙන්.
සියයට හතළිහේ ආණ්ඩුව
කොන්ග්‍රස් පක්ෂය භාරතීය ජනතා පක්ෂයට එරෙහි ව ආරම්භ කළ ” සියයට හතළිහේ ආණ්ඩුව” නම් මැතිවරණ පාඨයත් මහජන අවධානය දිනා ගැනීමට සමත් වුණා. මෙය භාරතීය ජනතා පක්ෂය සිදු කළායැ යි කොන්ග්‍රසය චෝදනා කරන දූෂණ වංචාවක් සරල ව හැඳින්වීමට භාවිත කළ යෙදුමක්.
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන කේ. එස්. ඊෂ්වරප්පා, රජයේ ව්‍යාපෘතියක් වෙනුවෙන් 40% ක කොමිස් මුදලක් ඉල්ලීමේ සිදුවීම මැතිවරණ පාඨයේ පසුබිම වුණා. දූෂණ චෝදනා හේතුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අමාත්‍ය ධූරයෙන් ඊෂ්වරප්පා ඉල්ලා අස් වූ අතර, භාරතීය ජනතා පක්ෂයේ දූෂිත ස්වභාවය සමස්තයක් වශයෙන් සරල ව හැඳින්වීම සඳහා “සියයට හතළිහේ” කතාව දක්ෂ ලෙස මැතිවරණ ව්‍යාපාරයට ඈදා ගැනීමට ජාතික කොන්ග්‍රසය සමත් වුණා.
ජනප්‍රියත්වය උපයා ගැනීමේ සටන
කර්ණාටක ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිපලයෙන් භාරතීය ජනතා පක්ෂයට පැහැදිලි අනතුරු ඇඟවීමක් ලැබුණු බව සත්‍යයක්. නමුත්, නරේන්ද්‍ර මෝදි වෙත ඇති ජනප්‍රියත්වය අඩු වී ඇති බව ඉන් අදහස් වන්නේ නැහැ. ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට ඇති දැවැන්ත ම අභියෝගය වන්නේත් 2014ට පෙර තිබූ ජනප්‍රියත්වය නැවත උපයා ගැනීම යි. නැතහොත්, ජාතික තලයේ මැතිවරණයක දී ප්‍රාදේශීය දේශපාලන පක්ෂවලටත් වඩා පිටුපසින් සිටීමට ඔවුන්ට සිදු වෙනවා.
මීට පිළියමක් ලෙස පසුගිය ජනවාරි මාසයේ දී ඉන්දීය ජාතික කොන්ග්‍රසය දැවැන්ත පාද යාත්‍රාවක් ඇරඹුවා. එහි නියමුවා වූයේ රාහුල් ගාන්ධි යි. ඔවුන් ඉන්දියාව හරහා කිලෝමීටර් 4000 කට ආසන්න දුරක් මාස පහක් මුළුල්ලේ ගෙවා දැමූ අතර, විශාල ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුණා. ඒ සියලු ප්‍රයත්නවල සාර්ථක අසාර්ථකභාවය මැනගත් ප්‍රායෝගික පරීක්ෂණය වන්නේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය යි.
තවත් පරීක්ෂණ පහක් ඉතිරි යි
2024 මහ මැතිවරණයට මත්තෙන් තවත් ප්‍රාන්ත මැතිවරණ පහකට ඉන්දියාව සූදානම් විය යුතු යි. මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර්, රාජස්ථාන්, තෙලන්ගනා, මිසෝරාම්, එම ප්‍රාන්ත වන අතර, “කර්ණාටක රැල්ල” එම ප්‍රාන්ත වෙතත් කඩා වැදුණහොත්, ළඟ එන මහ මැතිවරණයේ ජයග්‍රහණය මෝදි ප්‍රමුඛ ආණ්ඩුවට දුෂ්කර වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.
මධ්‍ය ප්‍රදේශ්
එළඹෙන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය සහ කොන්ග්‍රසය අතර දැඩි සටනක් තිබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ආසන 230 ක් ඇති ප්‍රාන්තයේ වැඩි බලය දැනට ඇත්තේ භාරතීය ජනතා පක්ෂයට යි. මැතිවරණ ව්‍යාපාරයේ ශක්තිමත් බව අනුව ජාතික මට්ටමේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ඕනෑම පක්ෂයකට වාසි ලබාගත හැකි ප්‍රාන්තයක් ලෙස මධ්‍ය ප්‍රදේශ් හැඳින්විය හැකි යි.
රාජස්ථාන්
ආසන 200 න් යුතු රාජස්ථාන් ප්‍රාන්තයේ වත්මන් බලය කොන්ග්‍රස් පක්ෂය සතු ව පවතිනවා. කර්ණාටක ජයග්‍රහණයත් සමඟ ඔවුන්ට වඩාත් වාසි සහගත රාජස්ථාන් ප්‍රාන්තයේ බලය යළි තහවුරු කර ගැනීමේ හැකියාව තිබුණත්, කොන්ග්‍රස් මහ ඇමති අශෝක් ගේලොට් සහ හිටපු නියෝජ්‍ය මහ ඇමති සචින් පයිලට් අතර ඇති මතභේදය කොන්ග්‍රස් ජයග්‍රහණයට බාධාවක් විය හැකි යි.
චතිස්ගාර්
චතිස්ගාර් ප්‍රාන්තයේ ආසන 90 ක් ඇති අතර පසුගිය ප්‍රාන්ත මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ලැබීමට ඉන්දීය ජාතික කොන්ග්‍රසය සමත් වුණා. ඒ අනුව මීළඟ ප්‍රාන්ත මැතිවරණයේ දී චතිස්ගාර් හි බලය කොන්ග්‍රසය නැවත තහවුරු කර ගැනීමේ ඉහළ හැකියාවක් පවතිනවා. රාජස්ථාන් මෙන් චතිස්ගාර් හි කොන්ග්‍රස් ප්‍රබලයන් අතරත් ගැටුම් පවතින අතර, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයන් අතරත් ගැටලු පවතිනවා. එබැවින්, දෙපක්ෂයට ම චතිස්ගාර් තුළ සිය මැතිවරණය ව්‍යාපාරය සම්බන්ධයෙන් වෙනදාට වඩා ප්‍රවේශසම් සහගත ව කටයුතු කරන්න සිදු වේවි.
තෙලන්ගනා සහ මිසෝරාම්
තෙලන්ගනා සහ මිසෝරාම් යනු ජාතික තලයේ ප්‍රධාන පක්ෂ දෙකට ම අවාසි සහගත ප්‍රාන්ත ද්විත්වයක්. ප්‍රාදේශීය පක්ෂයක් වන භාරත් රාෂ්ට්‍ර සමිති තෙලන්ගනා ප්‍රාන්තයේ ප්‍රබලත ම පක්ෂය වන අතර, මිසෝරාම් හි ප්‍රබලත ම පක්ෂය වන්නේ මිසෝ ජාතික පෙරමුණ යි. ප්‍රධාන පක්ෂ දෙක සැලකීමේ දී සාපේක්ෂ ව භාරතීය ජනතා පක්ෂයට වඩා කොන්ග්‍රස් පක්ෂයට වාසි සහගත ප්‍රාන්ත ද්විත්වයක් ලෙස තෙලන්ගනා සහ මිසෝරාම් හැඳින්විය හැකි යි.
2024 දී භාරත් රාෂ්ට්‍ර සමිති, ප්‍රාදේශීය මට්ටමෙන් ඉවත් වී ජාතික මට්ටමේ භූමිකාවක් ප්‍රදර්ශනය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර, භාරතීය ජනතා පක්ෂයේ බලය දුර්වල කිරීම සඳහා එහි පක්ෂ නායකයන් විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.