දේශසීමාව තරණය කළ පසු ඇලිසන් ගේ හුස්ම ගැනීමේ දුෂ්කරතාවත් වර්ධනය වී තිබුණා. ඇලිසන් සහ ඇය ගේ පවුලේ සාමාජිකයන් චිලී රාජ්‍යය වෙත ඇතුළු වීම සඳහා මුහුදු මට්ටමෙන් ඉතා උස් වූ ස්ථානයක් හරහා ගමන් කිරීම ඊට හේතුව යි. චිලී දේශයට ඇතුළු වීම සඳහා ඔවුන් බොලීවියානු දේශසීමාව තරණය කර තිබුණා. එය අනවසරයෙන් සිදුකරන ක්‍රියාවක් බව ඇලිසන් ගේ පවුලේ සාමාජිකයන් නොදන්නවා නොවෙ යි.
මේ අවදානම් චාරිකාව සම්බන්ධයෙන් ඇලිසන්ට එතරම් තේරුමක් නැති වෙන්නට පුළුවන්. ඇය තවමත් පස් හැවිරිදි වියේ පසුවන කුඩා දරුවෙක් පමණ යි. ඇලිසන් ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නැහැ. ඇය පෙනහළු රෝගයකින් පීඩා විඳින අතර, රෝගී තත්ත්වය නිසා ම ඇලිසන්ට ඇත්තේ පහත් සහ රළු කටහඬක්.
“අපි චිලී වෙත ආවේ මගේ ශල්‍යකර්මය වෙනුවෙන්. ඒ වගේ ම රැකියාවක් වෙනුවෙන්.”
වැඩිහිටියකු ගේ හඬට සමාන කටහඬක් ඇති ඇලිසන් පැවසුවා.
අවදානම තරණය කිරීම
ඇලිසන් සහ ඇය ගේ පවුලේ සාමාජිකයන් ගමන ආරම්භ කළ ස්ථානය පාඨක ඔබට රහසක් නොවෙ යි. ඒ තමයි වෙනිසුවෙලාව. ඔබට භූගෝලය පිළිබඳ යම් දැනුමක් ඇත්නම්, චිලී සහ වෙනිසුවෙලාව එකම මහද්වීපයේ ඉතා ඈතින් පිහිටි රාජ්‍ය දෙකක් බව වැටහෙනවා ඇති. චිලී දේශයට ප්‍රධාන භූමිය හරහා ළඟා වීමට නම් අවම වශයෙන් තුන්වතාවක් දේශසීමාව තරණය කළ යුතු යි. ඒ තරණය කිරීම් අනවසරයෙන් සිදු කිරීමේ දී දැරිය යුතු අවදානම අපට සිතා ගන්නටවත් බැහැ!
ඇලිසන් ගේ පවුලේ උදවිය තුන්වතාවකට වඩා අනවසරයෙන් දේශසීමා තරණය කර තිබුණා. ඔවුන් තෝරාගත් මාර්ගය අනවසර සංක්‍රමණිකයන් අතර ප්‍රචලිත ව තිබීම ඊට හේතුව යි.
වෙනිසුවෙලා ජාතිකයන් ඒ අවදානම දරන්නට පසුබට වන්නේ නැහැ. වෙනිසුවෙලාවේ ජීවත් වීම අනවසර සංක්‍රමණයටත් වඩා අවදානම් ක්‍රියාවක්. අප බොහෝ දෙනෙක් දන්නා පරිදි වෙනිසුවෙලාව යනු ආර්ථිකයෙන් අන්තයට ම බිඳ වැටුණු රාජ්‍යයක්. එහි ජීවිතය එකම ශෝකාන්තයක් පමණ යි.
සරල සෞඛ්‍ය ගැටලුවකටවත් නිසි පිළියම් නැති තම මව් රටේ “laryngomalacia” වැනි උපතින් ම ලද විකෘතිභාවයක් වෙනුවෙන් ඇලිසන්ට කිසිදු පිළිසරණක් ලැබෙන්නේ නැහැ. වයස අවුරුදු දෙකේ දී හදිසි ශල්‍යකර්මයකින් ඇගේ දකුණු පෙනහළුවල කොටසක් ඉවත් කිරීමටත් සිදු වුණා. ඇලිසන් සිය ජීවිතය සමඟ සටන් කරන විට මිලියන ගණනක වෙනිසුවෙලානුවන් ද ජීවිතය සමඟ පොරබදමින් සිටියා. ඒ වනවිට රටේ උද්ධමනය 234% දක්වා ඉහළ ගොස් තිබූ අතර, ආර්ථික, දේශපාලනික සහ සමාජීය වශයෙන් සියලු අංශවල පැවතුණේ දැවැන්ත අස්ථාවරත්වයක්.
දෛවය උරගා බැලීම
විදේශගත වීම ඔවුන්ට ඇති එක ම විකල්පය වුවත්, යා යුතු රට සම්බන්ධයෙන් පැවතියේ ගැටලුකාරී ස්වභාවයක්. ජනප්‍රිය අනවසර සංක්‍රමණ ඉලක්කයක් වූ එක්සත් ජනපදය ඔවුන් ගේ පළමු තේරීම ලෙස තිබුණා. මධ්‍යම අමෙරිකාව හරහා වැටී ඇති මාර්ගය අනතුරු බහුල වනගත පෙදෙස් හරහා ගමන් කරනවා. අපරාධ කල්ලිවල බලපෑමත් අධික යි. ඔවුන් චිලී රාජ්‍යය වෙත හැරුණේ ඉන් පසුව යි.
හදිසි තත්ත්වය අනුව ඇලිසන්ට උපකාර කළ හැකි සෞඛ්‍ය සේවයක් සහ සාපේක්ෂ ව අඩු අවදානමක් ඇති අනවසර සංක්‍රමණ පථය චිලී රාජ්‍යය වෙත වැටී ඇති බව ඇය ගේ පවුලට වැටහුණා.
වෙනිසුවෙලාවේ අසල්වැසි රාජ්‍යවල සෞඛ්‍ය සේවයත් එතරම් සතුටුදායක මට්ටමකින් තිබුණේ නැහැ. ඇතැම් වෙනිසුවෙලානුවන් මෙන් සිය දෛවය උරගා බැලීමට ඔවුන් චීලි වෙත පිටත් වුණේ ඒ නිසා යි.
දැන් වෙනිසුවෙලාවේ අනවසර සංක්‍රමණය හුදෙක් ධනවත් රටවල් කරා ඉලක්කගත වී නැහැ. වෙනිසුවෙලාවට සාපේක්ෂ ව හොඳ මට්ටමක පවත්නා ඕනෑම තදාසන්න රාජ්‍යයක් ඔවුන් ගේ ගමනාන්තය වන්නට පුළුවන්. මිනිස් ජාවාරම පහසුවෙන් පවත්වා ගෙන යන කලාප වෙත ඔවුන් ආකර්ෂණය වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. එවැනි ජාවාරම්කරුවන්ට මුදල් ලබා දීමෙන් දේශසීමා තරණය පහසු වීම ඊට හේතුව යි.
රෝහලෙන් පිට වෙන්න!
ඇලිසන් ඇතුළු පවුල නව ජීවිතයක් සඳහා චිලී දේශය වෙත සංක්‍රමණය වූ දහස් ගණනක වෙනිසුවෙලානුවන් ගෙන් කිහිප දෙනෙක් පමණ යි. පසුගිය වසර කිහිපයේ දී එක්සත් ජනපදය තරමට ම චිලී දේශයත් අනවසර සංක්‍රමණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබෙනවා. දකුණු අමෙරිකා කලාපයේ සාපේක්ෂ ව යහපත් ජීවන මට්ටමක් ඇති රාජ්‍යයක් ලෙස චිලී දේශය සැලකුම් ලැබීම ඊට හේතුවක් වී තිබෙනවා.
මේ චාරිකාව ජීවිතයත් මරණයත් අතර දෝලනය වන අවදානමක් පමණ යි. ඒ අවදානම දරා ගනිමින් චිලී දේශය පේනමානයට පැමිණියත්, ඔවුන් ගේ ආරක්ෂක අංශවලට හසු නොවී දේශසීමාව තරණය කිරීම පහසු ක්‍රියාවක් නොවෙ යි. ඇලිසන් තරණය කළ දේශසීමා කපොල්ල පිහිටි ස්ථානයත් මුහුදු මට්ටමේ සිට මීටර් 4000 පමණ උසකිනුයි පිහිටා තිබෙන්නේ. ඇය ගේ සෞඛ්‍ය තත්ත්වයට එය කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නැහැ.
“රෝහලේ ඉන්නකොට අපිට පිට වෙන්න කියලා කිව්වා. මොකද මං ආපහු අසනීප වුණොත්, වෙනිසුවෙලාවේ ඊට අවශ්‍ය පහසුකම් නැති නිසා.”
ඉතින්, අනවසර සංක්‍රමණය හැරෙන්න ඔවුන්ට ඇති විකල්පය කුමක් ද?
චිලී දේශයත් අර්බුදයක
චිලී රාජ්‍යයේ දේශසීමා පොලිසිය වාර්තා කරන අන්දමට පසුගිය වසරේ දී 53,900 කට ආසන්න පිරිසක් අනවසරයෙන් චිලී දේශයට ඇතුළු වී තිබෙනවා. කොවිඩ්-19 සහ වෙනිසුවෙලාවේ ආහාර සැපයුම සහ සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීමෙන් හට ගත් මානුෂීය අර්බුදය හේතුවෙන් චිලී දේශය මෙවැනි අනවසර සංක්‍රමණ අවදානමකට මුහුණ දුන් අතර, 2022 මුල් භාගය දක්වා දිනකට අනවසර ඇතුළු වීම් 500 ක් වාර්තා වීම දක්වා එම තත්ත්වය බැරෑරුම් වුණා. එය දේශසීමා ආශ්‍රිත ව හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම දක්වා දුර දිග ගිය බැවින්, දේශසීමා පාලනය හමුදාව වෙත භාර කිරීමටත් සිදු වුණා.
කොවිඩ්-19 වසංගතයේ සීමා කිරීම් අවසාන වන තෙක් මෙම හදිසි තත්ත්වය පැවතුණා. පසුගිය වසරේ මාර්තු වන විට අනවසර සංක්‍රමණිකයන් සැලකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට චිලී බලධාරීන් සමත් වූ බැවින්, දේශසීමා දැඩි ව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවත් පහව ගියා. පෙර මෙන් අනවසර සංක්‍රමණයේ දැඩි අර්බුදයකට චිලී දේශය මුහුණ නොදුන්නත්, සැලකිය යුතු මට්ටමකින් අනවසර සංක්‍රමණයේ ගොදුරක් බවට පත් වූ රාජ්‍යයක් ලෙස චිලී දේශය හැඳින්විය හැකි යි. ඇලිසන් ඇතුළු පවුලත් චිලී වෙත ඇතුළු වූයේ පෙර කී දැඩි අධීක්ෂණය අවසාන වීමෙන් පසුව යි.
තවත් හුදෙකලා කතාවක්
26 හැවිරිදි ජොනී, ඔහු ගේ 19 හැවිරිදි ගැබිණි බිරිය සමඟ චිලී රාජ්‍යයේ සංක්‍රමණිකයන් පිළිගන්නා මධ්‍යස්ථානයක් වෙත පැමිණියේ මුහුදු මට්ටමේ සිට මීටර් 3700 ක උසකින් යුත් බිම් පෙදෙසක් තරණය කිරීමෙන් පසුව යි. ශීතල දේශගුණය ඔවුන් දරා ගත්තේ ඉතා අපහසුවෙන්. බොලීවියානු-චීලි දේශසීමාව පසු කිරීම සඳහා ජොනී සහ ඔහු ගේ බිරිය පැය පහක් පයින් ම ඇවිද ගොස් තිබුණා. එය මාස දෙකක් පුරා විහිදුණු ත්‍රාසජනක ගමනේ එක් කුඩා කොටසක් පමණ යි.
“අපි ශීතල කාලගුණයක් අත්විඳපු පළමු අවස්ථාව තමයි ඒ. ශීත සෘතුව සඳහා සුදුසු කබා, බ්ලැන්කට්වත් අපි සතුව තිබුණේ නැහැ.”
ජොනී, වෙනිසුවෙලාවේ ඉදිකිරීම් කම්කරුවෙක් ලෙස සේවය කළ තැනැත්තෙක්. රැකියාව අහිමි වූ පසු පවුලේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමටවත් ඔවුන්ට හැකි වුණේ නැහැ. තම උපන් ගමන් පියසෙන් පිටත් වන විට ජොනී ඇතුළු පවුල සතු ව තිබුණේ ඩොලර් 450 ක් වැනි වත්කමක් පමණ යි. අත්‍යවශ්‍ය බඩු මල්ලක් සමඟ ඉහත කී වත්කම රැගෙන පළමු ව කොළොම්බියාවටත්, පසුව ඉක්වදෝරය, පේරු සහ බොලිවියාව හරහා චිලී වෙතත් ඔවුන් සම්ප්‍රාප්ත වුණා. මේ ගමන් මාර්ගය වැටී ඇත්තේ ඇන්ඩීස් කඳුකරයේ දුෂ්කර ම පරිසරයක් හරහා යි.
ජොනී සහ ඇලිසන් වැනි චිලී වෙත ගමන් ගන්නා බොහෝ වෙනිසුවෙලා ජාතිකයන් මුහුණ දෙන අවසාන බාධකය වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 4000 කට ආසන්න උසකින් යුතු, උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10 දක්වා පහත බසින ඇටකාමා කාන්තාරය යි. එය ලෝකයේ වියළි ම ප්‍රදේශයක් ලෙසත් හඳුනා ගැනෙනවා. බොහෝ සංක්‍රමණිකයන් සහ සරණාගතයන් මෙම මාර්ග ඔස්සේ අවිධිමත් ලෙස ගමන් කරන අතර, දේශගුණික වෙනස්කම් නිසා ජීවිතයට පවා සමු දෙනවා. ඇතැමුන් අතරමඟ සිදු වන මංකොල්ලකෑම් සහ ලිංගික අපයෝජනවල වින්දිතයන් ලෙසයි ගමනාන්තයට පැමිණෙන්නේ.
අවධානයක් නොලැබෙන මානුෂීය අර්බුදය
2015 සිට මේ දක්වා වෙනිසුවෙලානු ජාතිකයන් මිලියන හතකට වඩා වැඩි පිරිසක් මව්බිම හැරගොස් තිබෙනවා. එලෙස හැර ගිය අයගෙන් 80% ත් වඩා ජීවත් වන්නේ අසල්වැසි දකුණු අමෙරිකානු සහ කැරීබියානු කලාපයේ රාජ්‍යයන් තුළ යි. මේ රටවල් දැනටමත් සිය සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන පහසුකම් සමඟ අරගල කරමින් සිටින අතර, එවැනි සන්දර්භයක පවා වෙනිසුවෙලාවෙන් සිදුවන අනවසර සංක්‍රමණය කළමනාකරණය කිරීමේ දී නිවැරදි පියවර අනුගමනය කිරීමට උත්සාහ කරනවා. වෙනිසුවෙලානු මානුෂීය අර්බුදයේ බර ඔවුන්ටත් දරාගත හැකි සීමාව දැන් පැමිණ අවසාන යි.
වර්තමානය වනවිට වෙනිසුවෙලාව සම්බන්ධයෙන් ලැබෙන්නේ අවම ගෝලීය අවධානයක්. ඒ අවධානය මූලිකව ම යුක්‍රේන-රුසියානු යුද්ධය වෙත සාන්ද්‍රණය වී තිබෙනවා. අද වෙනිසුවෙලාවේ අනවසර සංක්‍රමණය ක්‍රියාත්මක වන්නේ නිහඬ ව සිදුවන එහෙත්, දැවැන්ත මානුෂීය අර්බුදයක් ලෙසට යි. දකුණු අමෙරිකා සහ කැරීබියානු කලාපයට මෙම සංක්‍රමණය දරාගත නොහැකි වූ තැන අවිධිමත් ක්‍රම හරහා සංක්‍රමණය පාලනය කිරීමට වෙර දැරුවහොත්, සිදුවන්නේ විනාශයක්.
චිලී හෝ වෙනත් ගමනාන්තයක් වෙත පැමිණියත්, වෙනිසුවෙලා ජාතිකයන් ගේ ගැටලු නිරාකරණය වන්නේ නැහැ. සාමාන්‍යයෙන් චිලී වැනි රටක ජීවන වියදම පවතින්නේ ඉහළ මට්ටමක යි. ඔවුන්ට බොහෝවිට නිරත වන්න සිදුවෙන්නේ අවම වැටුප් සහිත අස්ථිර රැකියාවල පමණ යි. වෙනිසුවෙලාවේ ජීවත් වන ඔවුන් ගේ පවුල් වෙත ප්‍රේෂණ යැවීමටවත් ඒ මුදල ප්‍රමාණවත් වන්නේ නැහැ. නීති විරෝධී අන්දමින් අධි අවදානම් ගමනක යෙදී සාර්ථක ව වෙනත් රටකට ළඟා වුවත්, ඔවුන් ගේ ගැටලු නොවිසඳෙන්නේ ඒ නිසා යි.