කංසාවලින් විමුක්තිය සොයන උතුරු ඉන්දියාවේ කඳුකර ගම

ඉන්දියාවේ පුදුම උපදවන ජන වර්ග සහ පුදුම සිරිත් සහිත ජන කොටස් තවමත් ජීවත් වන බව අපට ඉඳහිට අසන්නට ලැබෙනවා. උතුරු ඉන්දියාවේ පාර්වතී නිම්නයේ පිහිටි එවැනි අපූරු සිරිත්විරිත් රකින සැඟවුණු ගමක් තමයි මලානා කියන්නේ.

එය සංචාරකයන් අතර ප්‍රකටව ඇත්තේ ලොව හොඳ ම හෂීස් නිපදවන පෙදෙසක් විදිහට යි. ගමට ආවේණික අරුමපුදුම නීති පද්ධතියක් ද එහි දැකගත හැකි යි. මේ මලානා ගම ගැන කළ විපරමක්.

ගමේ නිවාස –  india.com

පිහිටීම

උතුරු ඉන්දීයාවේ  හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික හුදෙකලා කඳුකර ගමක් තමයි  මලානා කියන්නේ.  එය පාර්වතී නිම්නයටත් කුලු නිම්නයටත් මැදි ව පිහිටා තිබෙන්නක්.  ගම කඳුකරයේ අඩි 8701ක් ඉහළින් නිම්නයක පිහිටා තිබෙනවා. ගම දෙපසින් දර්කානි සහ ඩියෝ තිබ්බා නම් කඳුවැටි දකින්න පුළුවන්. මේ ගමේ කතා කරන්නේ ඉතා සුළු පිරිසක් වහරන කනාශි භාෂාව යි. ජනගහණය හය දහසක් පමණ වෙනවා. ගම වටා පිහිටි වනාන්තර ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත යි. ගමේ ඉතිහාසය ගැන සඳහන් ජනප්‍රවාද මෙන් ම පුදුම සහගත පැරණි සිරිත් නිසා කා තුළත් මැවෙන්නේ කුතුහලයක්.

වැඩිහිටි ගම්වැසියන් – hillpost.in

වැඩි ම ආදායම කංසාවලින්

ගමේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් කලකට පෙර දැක්වූවේ  බාස්කට් නිපදවීමෙන්. එහි කලක පටන් කංසා  ගස් වගා කරන්නේ නීතිගත වූ වගාවක් ලෙසින්. 1980න් පසු මේ ගස සංචාරක කර්මාන්තයටත් විවර වුණා. දැන් ගමේ වැඩි ම ආදායමක් ලැබෙන්නේ සංචාරකයන්ගෙන් සහ කංසා වගාවෙන්. අර්තාපල් සහ ඉරිඟුත් මේ ගමේ කඳු බෑවුම්වල වැවෙනවා.  මලානාහි නිපදවෙන කංසාවල ම තවත් නිෂ්පාදනක් වන ‘හෂීෂ්’ තොග  සහ මත්ද්‍රව්‍යයෙන් පිරි සාද නිසා සංචාරකයන් ගම ගැන විශේෂ කුතුහලයක් දක්වනවා.

කංසා භාවිත සංචාරකයන් පිරිසක් – www.nzherald.co.nz

 සංචාරක ආකර්ශනය

මෙම ගමට සංචාරකයන් විශාල වශයෙන් පැමිණීම ආරම්භ වුණේ 1980 දශකයෙන් පසුව යි. මෙහි පැමිණෙන සංචාරකයන්ට අධික සීතල මෙන් ම දැඩි සුළඟටත් මුහුණ දෙන්නට වෙනවා. ඔවුන්ට ගම තුළ නවාතැන් ගැනීම තහනම්. එය සංචාරකයන්ට විවෘත දිවා කාලයට පමණ යි. ගමෙන් පිටත පිහිටි නවාතැන් පොළවල සංචාරකයන් නවාතැන් ගත යුතු යි.

කංසා සහ මලානා ක්‍රීම්

මේ අධික සීතල දේශගුණයේ ඉතා සාරවත් ව වැවෙන කංසා පැළෑටිවලින් ඉන්දියාවේ හොඳ ම කංසා නිපදවෙනවා. ඇම්ස්ටර්ඩෑම් නගරයේ වැඩි ම මිලක් ලැබෙන නිෂ්පාදනයක් ලෙස මලානා ක්‍රීම් සැලකෙනවා.

 ගමේ  ජනයා ශුද්ධ වූ ඔසුවක් ලෙස සලකන මලානා ක්‍රීම් නිෂ්පාදනය මත්ද්‍රව්‍යයක් වන කංසාවලින් ( හෂීස්) ලබා ගන්නා රෙසීනයක්. එය විශිෂ්ට මත්කාරක හැකියාව සඳහා ප්‍රසිද්ධ යි. කංසා පත්‍ර දෑතින් දිගු කාලයක් අතුල්ලමින් මෙම ක්‍රීම් නිපදවන බවයි පැවසෙන්නේ. ගමේ බොහෝ දෙනාගේ අත්වල කළු පැහැයෙන් යුත් දැඩි කහට ගතියක් මේ නිසා ඇති වී තිබෙනවා.

පෞරාණික නිවාස අසල සිටින ළමයින් – yatrablog.com

ගමේ ඉතිහාසය

ක්‍රිස්තු පූර්ව 326 දී  ග්‍රීක අධිරාජයෙක් වූ මහා ඇලෙක්සැන්ඩර් රජු   ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ පාලකයා වූ පෝරස් රජුට එරෙහි යුද්ධ කර තිබෙනවා. මේ සටනේදී තුවාල ලැබූ ඔහුගේ සමහර සෙබළුන් කඳු අතර සැඟවුණු  මලානා හුදෙකලා ගමට පැමිණ රහසේ ජීවත් වූ බව ජනප්‍රවාදවල පැවසෙනවා.

ඒ අනුව මලානි ජනතාවගේ අතීත මුතුන්මිත්තන් ලෙස සැලකෙන්නේ ඇලෙක්සැන්ඩර්  සෙබළු යි.  ඒ කාලයට අයත් පුරාවස්තු ද මෙම ගමෙන් හමු ව තිබෙනවා. ඒ අතරින් එක් අසිපතක් ගමේ පිහිටි දේවාලයේ තැන්පත්කර ඇතැයි ද කියවෙනවා. ඉතිහාසඥයන් නම් පවසන්නේ මේ කතාව පැහැදිලිව ඔප්පු කළ හැකි සාධක නැති බව යි.

කනාශි ශුද්ධ භාෂාවක්

  මලානි ජනතාවගේ ශරීර ස්වභාවය සහ  භාෂාව වෙනත් ප්‍රාදේශීය ඉන්දීය ගෝත්‍රවලින් බොහෝ දුරට වෙනස්.  එයත් මෙම පුරාවෘත්තය විශ්වාස කිරීමට හේතුවක් ලෙස ඇතැමුන් පවසනවා.  ඔවුන්ගේ භාෂාව වන කනාශි ශුද්ධ භාෂාවක් ලෙස සැලකෙනවා. එම බස  පිටස්තර පුද්ගලයන්ට ඔවුන් උගන්වන්නේ නැහැ. එය ලෝකයේ වෙනත් කිසිදු තැනක භාවිත කෙරෙන භාෂාවක් ද නොවේ.

භාෂා විශේෂඥයන් පවසන්නේ කනාෂි නැතිවී යන භාෂාවක් බව යි. එය අක්ෂර මාලාවක් නැති අලිඛිත භාෂාවක්. එය ටිබෙට් ඉන්දු භාෂා පවුලට අයිති බසක් වුණත් අසල්වැසි ගම්වල භාවිත වන්නේ කනාෂිවලට කොහෙත්ම සම්බන්ධ නැති ඉන්දු-ආර්ය පවුලේ භාෂා යි. අවට කිසිම බසකට සම්බන්ධයක් නැති භාෂාවක් මේ ජනකොටස අතරට පැමිණියේ කෙසේද යි යන්නත් ගැටලු මතු කරන්නක්.

පාරම්පරික උත්සව අවස්ථාවක්- yatrablog.com

 මලානි ජනතාව

 ගම වෙත වාහනවලට පැමිණිමට නොහැකි අතර පාර්වතී මිටියාවත පහළ පිහිටි ජාරි ගම්මානයේ සිට පා ගමනින් පැමිණිය යුතු වෙනවා. ඒ සඳහා පැය හතරක කාලයක් ගතවෙනවා. ගමට ළඟාවන වටපිටාවත් ඉතා සුන්දර දැකුම්වලින් යුක්ත යි. ගඩොල් සහ දැවයෙන් තැනූ නිවාස ගමේ බහුල යි.

ඔවුන් වෙනත් ඉන්දීය ජන කොටස්වලින් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි යි.  ළා දුඹුරු පැහැති කෙස්, ළා දුඹුරු පැහැ ඇස්, දිගු නාස්,  සුවිශේෂී ළා දුඹුරු හෝ රන්-දුඹුරු පැහැ සමකින් ඔවුන් යුක්ත යි.   වැඩිදෙනෙක් සිටින්නේ සම්ප්‍රදායික ළා දුඹුරු පැහැ ලෝගු ඇඳගෙන තොප්පි පැළඳගෙන යි.  ඔවුන් පාදවලට දමන්නේ කංසා ශාකයේ කෙඳිවලින් තැනූ පාවහන්.  ගමේ කුඩා දරුවන් ද කංසා වෙළෙඳාමේ යෙදීම සාමාන්‍ය දෙයක්. ගමේ අර්ථිකය මෙහෙයවන ප්‍රධාන බලවේගය බවට කංසා පත් ව තිබෙනවා.

මලානින් ශුද්ධත්වයෙන් සලකන කංසා දුම් පානය –  tripoto.com

 ජම්ලු දේවතාවා

ජම්ලු දේවතාවා මලානි ගමට අධිපති දෙවියන් ලෙස සැලකෙනවා. දේවතාවාට මේ ගම  ප්‍රදානය කර ඇත්තේ ශිව දෙවිඳුන් බව පැවසෙනවා.ජම්ලු දේවතාවටත්, උන්වහන්සේගේ බිරිය වන රේණුකා දේවීටත් කැප කළ දේවාල දෙකක් ගමේ පිහිටා තිබෙනවා.

ගමේ පාලනය සිදුවන්නේ ගම් සභාවක් මඟින්. බොහො විචාරකයන්ට මේ නොදියුණු ගමේ දියුණු පාලන ක්‍රමයක් පවතින්නේ කෙසේ ද යන්න ගැටලුවක් වෙලා.

ලොව පැරණිත ම දේශපාලන ක්‍රමයක්

මලානාහි ප්‍රජාතන්ත්‍රවාදී ගම් පාලනය ලොව පැරණිත ම දේශපාලන ක්‍රමයක් ලෙස සැලකෙන අතර, පුරාණ ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට සමාන එය ද පහළ මන්ත්‍රණ සභාවකින් සහ ඉහළ මන්ත්‍රණ සභාවකින් සමන්විත වෙනවා. මලානාවල යම් වෙනසක් ද තිබෙනවා. ඒ පාලනයට අදෘෂ්‍යමාන දේව බැල්මක් එක්කර ගැනීම යි.

 අවසන් තීරණය ඉහළ මන්ත්‍රණ සභාවට ලැබෙන අතර  එයට  පුද්ගලයන් තුන් දෙනෙක් ඇතුළත්. එක අයෙක්  ප්‍රාදේශීය දේවතාවා වන ජම්ලු දේවතාවගේ නියෝජිතයා ලෙස සැලකෙනවා. ඔහුට ජම්ලු දේවතාවා ආරූඪ වී ඇති බව සැලකෙන අතර ඔහුගෙන් පිටවන වචන දේවාතාවාගේ තීරණය ලෙස සැලකෙනවා. මන්ත්‍රණ සභාව රැස්වන්නේ ජම්ලු දේවාලයේදි යි.

පළල් දැව කණු, කැටයම් කළ ද්වාර සහ අස්ථින්, හිස්කබල් සහ බිළිඳුන් සතුන්ගේ අනෙකුත් විවිධාකාර සිරුරු කොටස් සවිකර තිබූ බිත්තියකින් සමන්විත වූ දේවස්ථානය කුතුහලය දනවන ස්වරූපයක් ගන්නවා.

මලානා ක්‍රීම් තැනීම නිසා කළුපැහැ වුණු දෑත් – cannabisnow.com

ස්පර්ශය තහනම්

‘ජම්දාග්නි සෘෂිගේ සිද්ධස්ථානය ස්පර්ශ කරන්නන්ට’ ඉන්දියානු රුපියල් 3500ක (ලංකාවේ මුදලින් රු. 9500ක් පමණ) දඩයක් ගසතැ යි අනතුරු හඟවන පුවරුවක් පිටත සවිකර තිබෙනවා.

ගම්වැසියන් ස්පර්ශය තහනම් බවට වන  දැන්වීම මලනාවේ දී ඉතා පැහැදිලි ව දැකගත හැකි තවත් අපූරු සම්ප්‍රදායක්. ඒ සිරිතේ අරමුණ ගම්මානයේ ‘පාරිශුද්ධත්වය’ රැක ගැනීම යි. මලානින් පිටස්තරයන් සමඟ සබඳතා පැවැත්වීමෙන් වැලකෙන බවට වන කතාව හිමචාල් ප්‍රාන්තය පුරා ප්‍රක ටයි.  ඔවුන් විශේෂයෙන් ම සෘජු ශාරීරික ස්පර්ශයෙන් වැලකෙන බව ඉතා ප්‍රසිද්ධ සිරිතක්.

ගම්වැසියන් හෝ ඔවුන්ට අයත් දේ ස්පර්ශ කිරීම පිටස්තර යමකුට අවස්ථාව ලැබෙන්නේ ඔවුන් අවසර දුන් විට පමණ යි. ගම්වැසියන් සුහද නමුත් නිතර ම ඔවුන් සමඟ දුරස්ථභාවය තබා ගෙන සිටීමටයි සංචාරකයන්ට සිදුව ඇත්තේ. සාප්පුවලින් යමක් මිලදී ගන්නා සංචාරකයන්  මුදල් ලබා දිය යුත්තේ කවුන්ටරය උඩ  නියමින ගණන තැබීමෙන්. ඉන්පසු වෙළෙන්දා භාණ්ඩය කවුන්ටරය මත තබනවා. යම් කෙනකු ස්පර්ශ වුණේ නම් ඔවුන් ඒ විගස ස්නානය කර කිලිටි බව මඟහැර ගන්නා බවයි පැවසෙන්නේ.

9 කඳුකරයේ නිවාස පෙළක් – Wikipedia.org

වීඩියෝ කැමරා තහනම්

ගැමියන් සංචාරක කැමරාවලට මුහුණදීමට අමනාපයක් නැති වුණත් විඩීයෝගත කිරීම නම් සම්පූර්ණයෙන් තහනම්. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ එවිට ගමේ සම්ප්‍රදායික සිරිත් පිටස්තර ලෝකයට විවර වීම යි.

මලනාවල ගස්වලට ඇණගැසීමත් තහනම් කරලායි තිබෙන්නේ. ඒ, ගස්වලට හානිවේ යන අදහසින්. ඒ වගේ ම වනාන්තරවල ගිනි දැල්වීමත් තහනම්. ගම් සභාවේ අවසරයක් නැති ව වන සතුන් දඩයමත් බැහැ. පොලිසියට මේ ගමේ නීතිවලට මැදිහත් වන්නේ නැහැ. වරදකරු පොලිසියේ සහාය පැතුවොත් ගම් සභාව  ඔහුට රුපියල් 1000ක දඩයක් පනවනවා.

කවරයේ ඡායාරූපය-කඳුකරයේ මලානා ගම - www.gettyimages.com
මූලාශ්‍ර:
Bbc.com
traveltriangle.com
india.com

Related Articles

Exit mobile version