කිසියම් රටක සංවර්ධනය එහි භෞතික සම්පත් වැඩි වීම නිසා පමණක් ම දැකගත නොහැකි ය. ආර්ථික හෝ යුදමය අතින් බලවත්වීම ද, දැවැන්ත ඉදිකිරීම් සහ අසීමාන්තික පරිභෝජන හැකියාව තිබීම ද සංවර්ධනයේ යථාර්ථය නොවේ. භූතානය ලෝකයේ සෙසු රාජ්‍යයන්ට සාපේක්ෂ ව ඔවුන්ගේ සියලු සංවර්ධන මූලෝපාය, ආර්ථික හා සමාජීය ආකල්ප වෙනස් මිනුම් දඬු මත සකස් කරගෙන ස්වකීය ඉහළ අපේක්ෂා කරා ඇදෙන රටකි.
පිහිටීම සහ ජන ආකෘතිය
මුළුමනින් ම ගොඩබිමින් වට වූ, දකුණු දෙසින් චීනයට ද, නැගෙනහිර දිසාවෙන් දැවැන්ත හිමාල කඳු ශිඛරයන්ට සහ ටිබැට් දේශයට ද, අනෙක් දිසාවලින් සීකිම්, බටහිර බෙංගාලය, ඇසෑම් සහ අරුනාචල් ප්‍රදේශ ඇතුළු ඉන්දියාවට ද, බංගලා දේශයට සහ නේපාලයට ද භූතානය මායිම් වේ. එය භූමි ප්‍රමාණයෙන් සාපේක්ෂව ස්විට්සර්ලන්තයට වඩා කුඩා වන අතර වර්ග කිලෝමීටර් තිස්අටදහස් එකසිය දහහතක (38,117 වර්ග කිලෝ මීටර්) පමණ භූමියක් ඇතුළත් වේ.
සාරවත් නිම්න සහ තෙත් බිම්වලින් පිරි භූතානය මනරම් සුන්දර ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත ය. එක්සත් ජාතීන්ගේ ලෝකමාපක විස්තාරණ දත්තවලට අනුව භූතානයේ ජනගහනය 2021 දෙසැම්බර් වන විට 784,137 (හත් ලක්ෂ අසූ හතර දහස් එකසිය තිස්හතකි). භූතානයේ ජනගහනය මුළු ලෝක ජනගහනයෙන් 0.01% ට සමාන වන බව එක්සත් ජාතීන්ගේ එම දත්ත විස්තරවල සඳහන් වේ. රටේ අගනගරය තිම්පු වන අතර නිල භාෂාව ඩ්සොංකා වේ. ටිබැට් භාෂාවට සමාන වූ භාෂාවක් ලිඛිත භාෂාමය අක්ෂර කටයුතු සඳහා යොදා ගනියි.
භූතානයේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම්
භූටියා (Ngalop ලෙසද හඳුන්වන) ටිබැට් සම්භවයක් සහිත ජන කණ්ඩායම භූතානයේ සමස්ථ ජනගහනයෙන් හරි අඩක් නියෝජනය කෙරෙන අතර එය විශාල ම ජන කොටස යි. ඊට අමතර ව නේපාල සම්භවය සහිත ජන කණ්ඩායමක් ද, ෂාචොප් නමින් හැඳින්වෙන ජන කණ්ඩායමක් ද සමස්ත භූතාන ජන සමාජය නියෝජනය කරයි.
දළ දේශීය නිෂ්පාදනය වෙනුවට දළ ජාතික සතුට
දළ ජාතික සතුට (Gross National Happiness) යනු භූතානය ම පනවා ගත්,තිරසාර සංවර්ධනය සහ දේශීය වර්ධනය පිළිබඳ ව වූ සුවිශේෂී මිනුම් ඒකකයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධනය සඳහා වූ සන්නිවේදන ප්‍රකාශනයෙහි සඳහන් වන්නේ දළ ජාතික සතුට නම් වූ මිනුම් සංකල්පය 70 දශකයේදී භූතානයේ ජිග්මේ සිංගේ වංචුක් හතරවැනි රජු විසින් ඉදිරිපත් කරන ලද්දක් බව යි. එම මිනුම් ඒකකයට අනුව භූතානය රටක සංවර්ධනයේ දර්ශකය ලෙස හෙවත් මිනුම ලෙස දළ දේශීය නිෂ්පාදනය නොපිළිගනි යි.
ඒ වෙනුවට මෙම දළ ජාතික සතුට නම් ශක්තිමත් මිනුම් ඒකකය යොදා ගනි යි. එම ඒකකය තුළ ආර්ථිකය පමණක් සැලකිල්ලට නො ගන්නා අතර යහපාලනය, තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය, සංස්කෘතික සංරක්ෂණය සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳව ද තිරසාර වටිනාකම් සහ සංවර්ධනය පිලිබඳව ද සලකා බැලේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල ප්‍රකාශනයෙහි සඳහන් කරන පරිදි, ඉහත සඳහන් යහපාලනය, තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය, සංස්කෘතික සංරක්ෂණය සහ පාරිසරික සංරක්ෂණය නම් සාධක හතර ද තවත් උපකුලක නවයකට බෙදා ඇත.
1.මනෝවිද්‍යාත්මක යහපැවැත්ම 2.සෞඛ්‍යය 3.අධ්‍යාපනය 4.කාලය භාවිත කිරීම 5.සංස්කෘතික විවිධත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව 6.යහපාලනය 7.ප්‍රජා ජීව ශක්තිය 8.පාරිසරික විවිධත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව 9.ජීවන තත්ත්වය ඒවා ය.
භෞතික වටපිටාවේ පිරිසිදුකම
රටක පාලන තන්ත්‍රයේ වේවා, ආකල්පමය වශයෙන් ජන සමාජයේ වේවා මහා පරිමාණ දූෂණය, වංචාව, සොරකම, භීෂණය, ආරවුල් ගැටුම්වලින් පිරී ඇත්නම් එය පාරිසරික ගැටලු කෙරෙහි ද, භෞතික පරිසරයේ යහපැවැත්ම කෙරෙහි ද දැඩිව බලපායි. පාලන බලය අනිසි ලෙස ඒක පුද්ගල කේන්ද්‍රීය ව පවතින ඕනෑම සමාජයක් ඕනෑම අවස්ථාවක ජනසමාජය වියවුලට පත්වන බව නොකිව මනා ය. එය මනාව තේරුම් ගත් ජිග්මේ සිංගේ වැන්ග්චුක් භූතාන රජතුමා දුරදක්නා නුවනින් යුක්තව වර්ෂ 2005දී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයකට භූතානය විවෘත කොට මැතිවරණයක් පවත්වා භූතානය සහ රාජාණ්ඩුව අතර රාජ්‍ය ව්‍යවස්ථාවක් ස්ථාපිත කළේ ය.
අගුපිල් වල ජීවත්වන නිවාස අහිමි කිසිවෙක් භූතානයේ නැති තරම් ය. සෞඛ්‍ය සම්පන්න ජනතාවකට ඉඩ සලසමින් සෑම පුරවැසියකුටම නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට භූතාන රජය ඉඩ සලසා ඇත. භෞතික සංවර්ධනයට සහ මානව සම්පත සුරක්ෂිත කිරීමට රජය මූලික පියවර රාශියක් ස්ථාපිත කර ඇත. පුද්ගල අධ්‍යාත්මික සංවර්ධනය සඳහා බුදුසමයට සහ එකී ආයතනවලට රජය සමාජය තුළ ඉහළ වටිනාකමක් දී ඇත. ජනසමාජයේ එකිනෙකාට දක්වන ආදරය දයාව සහ උපේක්ෂාව වැනි සාධනීය ආකල්ප නිසා භූතානයේ අපරාධ අනුපාතය ඉතාම පහළ අගයක් ගන්නා අතර ප්‍රචණ්ඩ අපරාධ වාර්තා වන්නේ කලාතුරකිනි.
බුදුසමය, පරිසරය සහ ජනතාව
භූතානයේ ජනගහනයෙන් 75% ක් පමණ බෞද්ධ ජනතාව වන අතර ඉතිරිය 25% හින්දූ සහ සෙසු ආගම් අදහන ජනතාව ය. මහායාන බුදුසමය භූතානයේ රාජ්‍ය ආගම වශයෙන් පිළිගැනෙන අතර ඔවුන්ගේ භෞතික ආර්ථික සංවර්ධන මූලෝපායයන් සඳහා ද, සාමකාමී සහජීවන රටාව සඳහා ද එරට ජනතාව අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා බුදුසමය තුළින් විශාල හික්මීමක් ලබති. එයට හොඳම උදාහරණය වන්නේ භූතානය තුළ සත්ත්ව ඝාතනයට අවසර නැති වීම ය. එය ඔවුන් පිළිගන්නා බුදුසමයේ අහිංසා සංකල්පය නිසා ලද පරිචයකි.
ඔවුන් නිර්මාංශ ජනතාවක්ද නොවේ. පරිභෝජනය සඳහා අවශ්‍ය මස් මාංශ විදෙස් රටවලින් ආනයනය කොට මිනිස් අවශ්‍යතාවනට ඉඩ සලසයි. පරිසර පද්ධතියේ වටිනාකම එය සංරක්ෂණය කරමින් එලෙස ම පවත්වා ගැනීම කෙරෙහි භූතානය නිරන්තර අවධානයෙන් පසුවේ. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, කසළ කළමණාකරණය, පුළුල් ජනතා සහභාගිත්වයෙන් සිදු කෙරේ. භූතානය ස්වභාවික පරිසරය තුළ කාබන් විමෝචනය අඩු ම රට වශයෙන් සැලකේ. ස්වභාවික වන සම්පත දැඩි සේ ආරක්ෂා කෙරෙන ප්‍රතිපත්තිය නිසා පරිභෝජනයේ දී පිටකෙරෙන කාබන් ප්‍රමාණයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් ස්වභාවික පරිසර පද්ධතිය අවශෝෂණය කරගනියි.
පරිසර සහ වනජීවී සංරක්ෂණ ප්‍රතිපත්තිය
සංඛ්‍යාත්මක වශයෙන් ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ජලය සපයන භූගෝලීය කලාපයක භූතානය පිහිටා තිබේ. භූතාන ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙහිම සඳහන් පරිදි රටේ භූමි ප්‍රමාණයෙන් සියයට හැටක ප්‍රතිශතයක් ස්වභාවික වනන්තර සංරක්ෂණය සඳහා වෙන් කර ඇත. මෙය ඕනෑම ආසියාතික රටක ඒ පිලිබඳ ව ඇති ඉහළ ම ප්‍රතිශතය සහිත වටිනාකම යි. මෙම වනගහනය සහිත දැඩි ආරක්ෂණ ප්‍රතිපත්තිය නිසා වඳ වී යාමට මුහුණ දෙමින් සිටින දුර්ලභ කොටියන්, හිම දිවියන්, අලි ඇතුන් ඇතුළු ආවේණික වනජීවී සියල්ලෝ ම භූතානයේ දැඩි රක්ෂිත වන ගහනය තුළ ජීවත්වෙති. එම නිසා ම පාරිසරික වනජීවී සංචාරක ව්‍යාපාරය ඉතා ඉහළ මට්ටමේ කර්මාන්තයක් ලෙස එරට ක්‍රියාත්මක ය. භූතානය ලෝකයේ තිබෙන වඩාත් ම ජෛව විවිධත්වය සහිත වන කලාප දහයට ඇතුළත් ව සිටීමට ඒ හේතුව නිසා ම සමත් ව සිටියි.
තිරසාර ආර්ථික පිළිවෙත
භූතානය ස්වකීය ජාතික දැක්ම මත පිහිටා ආර්ථික සංවර්ධනය සඳහා කටයුතු කරන රටකි. බුදුසමයෙන් ලබා ගන්නා අධ්‍යාත්මික සංහිඳියාව සහ දළ ජාතික සතුට ඉහළ නංවන ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වීමට පලදායි ආර්ථික උපාය මාර්ග කෙරෙහි උනන්දුව දක්වයි. ධනයෙන් පොහොසත් රටක් නොවන නමුත් සතුට සැනසීම පිරි ජීවිතයෙන් පොහොසත් රටක් වන එය අසල්වැසි ඉන්දියාව සමඟ ආර්ථික සහ උපායමාර්ගික සබඳතා ශක්තිමත් ලෙස පවත්වයි. රටෙහි ස්වභාවික ජලසම්පත උපයෝගී කරගනිමින් ජල විදුලිය නිපදවන භූතානය එහි නිෂ්පාදන අතිරික්තය අවබෝධතා සහ වෙළඳ ගිවිසුම් අනුව ඉන්දියාවට අලෙවි කරමින් රටට ආදායමක් ද උපදවයි.
භූතානය ආර්ථික වශයෙන් වාර්ෂික සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 7.5 ක සාමාන්‍යය අගයක් 80 දශකයේ සිට ජලවිදුලි නිශ්පාදනයේ ව්‍යාප්තියෙන් සාක්ෂාත් කර ගන්නට සමත් වී තිබීම වැදගත් කරුණකි. භූතානය සතු ව පවතින කුඩා ආර්ථිකය නියෝජනය කිරීමේ සාධක සීමා සහිත ය. එය හුදෙක් ජල විදුලිය නිපදවීම, කෘෂිකර්මාන්තය සහ වන වගාව මත පවතින අතර ගෘහ කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ඒ අතර වැදගත් තැනක් ගනියි. ස්වකීය ජාතික සංස්කෘතික වටිනාකම් රැකගෙන ලෝකයට විවෘත වීමේ දැඩි ප්‍රතිපත්තියක පිහිටා භූතානය කටයුතු කරයි.
අල්පේච්ඡ බව බුදුසමය උගන්වයි. අධිපරිභෝජන රටාව හෙවත් බහුභාණ්ඩිකත්වයට නැඹුරු වූ සංකීර්ණ සමාජ රටාවක මිනිසා වෙතින් සතුට සහ සැනසීම පලා යයි. ඒ වෙනුවට අති සූක්ෂ්ම දියුණු තාක්ෂණික උපකරණ සහිත ලෝකයක මිනිසා අතරමං වෙයි. අඩු අදායාම්ලාභී රටකට භූතානය වෙතින් ලබාගත හැකි ආදර්ශ සහ පූර්වකථන බොහොමයකි. සෑම මිනිසකු ම සොයන්නේ සතුට, සාමය සහ සැනසීම යි. එය ලබාගත හැක්කේ කෙසේ ද යන්න තීරණය කිරීම මත ජනසමාජයේ මිනිසුන් අපේක්ෂිත සතුට සාමය සැනසිල්ල ලබා ගනියි. භූතානය එයට හොඳ ම උදාහරණය යි.