පරම්පරා 5ක් පුරා තවමත් ඉදිවෙන දෙව්මැදුර

ලෝකය මේ වන විට තාක්ෂණය අතින් ඉතාමත් දියුණු තැනක තිබෙනවා. නමුත් පරම්පරා පහක් පුරා ඉදිවෙමින් පවතින, තවමත් ඉදිකිරීම් සම්පූර්ණ නොවුණ දේව මන්දිරයක් ගැන ඔබ සමහරක් විට අසා නැති වෙන්න පුළුවන්. ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ඉදිවෙමින් පවතින සාග්‍රාඩා ෆමීලියා හෙවත් ශුද්ධ වූ පවුලේ දෙව් මැදුර යි. මේ එහි කතාව යි.

දෙවියන්ගේ ගෘහ නිර්මාණ ශිල්පියා

මෙම දෙව්මැදුර නිර්මාණය කරනු ලබන්නේ අන්තෝනි ගවුඩී නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසිනුයි.

අන්තෝනි ගවුඩීව දෙවියන්ගේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙසයි හඳුන්වන්නේ. ඔහු උපත ලබන්නේ 1852 ජූනි 25 වෙනි දා යි. ස්පාඤ්ඤ ජාතිකයෙකු වූ ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර උපත ලැබුවා. ඔහුගේ නිර්මාණ පරිසරය හා ආගම සම්බන්ධ වී ගොඩනැගී තිබෙනවා.

එමෙන්ම තමන් නිර්මාණය කළ බොහොමයක් ගොඩනැගිලි වලට ඔහු සැලසුම් අතින් ඇදීමට ප්‍රියකළේ නෑ. ඒ වෙනුවට ඔහු බොහෝ විට ත්‍රිමානව ඒවායේ අනුරූ නිර්මාණය කරනු ලැබුවා.

අන්තෝනි ගවුඩී – ( www.biography.com )

අන්තෝනි ගවුඩී දෙවියන්ගේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස හැඳින්වීමට හේතූ වුණේ, ඔහුගේ නිර්මාණ බොහොමයක් ආගමික මුහුණුවරකින් ඉදිරිපත් කළ නිසයි.

1984 – 2005 අතර කාලයේ, යුනෙස්කෝව විසින් ඔහුගේ නිර්මාණ වලින් හතක් ලෝක උරුමයන් ලෙස නම් කරනු ලැබුවා.

ඔහුගේ මුල්ම රැකියාව වී තිබුණේ බාසිලෝනා නුවර විදී ලාම්පු නිර්මාණය කිරීම යි. අදටත් ඔහු නිර්මාණය කළ වීදි ලාම්පු එහි ඉතිරිව තිබෙනවා.

ගවුඩී,1926 ජූනි 10 වෙනි දා, ඔහුට වයස අවුරුදු 73ක් වන විට මිය යනවා. එයට හේතුව වී තිබුණේ ඔහුව  කේබල් කාරයක ගැටීමෙන් අනතුරට පත්වීම යි. ඔහුගේ අල්පේච්ඡ ඇදුම් ආයිතම් නිසා ඔහු යාචකයෙකු ලෙස වරදවා වටහාගෙන, ඔහුට ඉක්මනින් ප්‍රතිකාර ලබා නොදීම මෙයට තවත් හේතුවක් වී තිබුණා. ඔහුගේ අවමඟුල් උළෙලට බොහෝ දෙනෙක් සහභාගී වී තිබුණා.

ඔහු විසින් නිර්මිත විදි ලාම්පු – (www.barcelonaconnect.com)

එතෙක් මෙතෙක් ලොව වැඩිම කාලයක් ගත් ගොඩනැගිල්ල

එදා මෙදාතුර ගොඩනැගීම සඳහා ලොව වැඩිම කලක් ගත් ගොඩනැගිල්ල ගවුඩීගේ නිර්මාණයක් බව ඔබ දන්නවා ද? ගීසා පිරමීඩ, හෝ ටාජ් මහල ඒවායේ විශාලත්වයට සාපේක්ෂව ඉදිකිරීමට ගත වූ කාලය ගවුඩීගේ ගොඩනැගිල්ල හා සසඳා බැලුවහොත්, එය තැනීමට ගීසා පිරමීඩ තැනීමට ගිය කාලයට වඩා 10 ගුණයක කාලයක්, හා ටජ් මහල තැනීමට ගිය කාලයට වඩා අවුරුදු 123ක පමණ කාලයක් ගත වෙනු ඇති. කෙසේ නමුත්, මෙම ගොඩනැගිල්ල නිමවා අවසන් වන අයුරු නැරඹීමට තමාට අවශ්‍ය නොවන බව ද ගවුඩී වරක් පවසා තිබුණා.

එක්තරා දේවස්ථානයක් නිර්මාණය කිරීමට අදාලව මුල්ගල තබනු ලබන්නේ වර්ෂ 1882 මාර්තු මස 19 වෙනි දා යි. බාසිලෝනා නුවර එවක බිෂොප්වරයෙකු වූ ජෝසෙප් අක්නැඕනා විසින් එය ආරම්භ කළේ ඒ වෙනුවෙන් තෝරාගෙන තිබුණු වර්ග මීටර් 12,800ක භූමියක යි. පළමුව, ෆ්‍රැන්සිස්කෝ ඩි පාවුලා නම් ගෘහ නිර්මාණ ශිල්පියා එහි මූලිකත්වය ගෙන කටයුතු කළා. ඔහුගේ සැලසුම වී තිබුණේ නව ගොතික් සම්ප්‍රදායට එම ගොඩනැගිල්ල තැනීම යි. කෙසේ නමුත් එහි සංවිධායකවරුන් හා ඇති වූ ගැටලුවක ප්‍රතිඵලයක් ලෙස ඔහු කෙටි කාලයකින්ම එම තනතුරෙන් ඉවත් වෙනවා. ඉන්පසුව එම කාර්යය පැවරෙන්නේ ගවුඩීට යි.

නිර්මාණය ගොඩනැගෙන අතරතුර – (wp.com)

ඉන් අනතුරුව ගවුඩී විසින් දේවස්ථානයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන ගිය අතර දේවස්ථාන ගෘහයේ වැඩ 1889 පමණ වන විට නිමා කළා. පසුව මෙම නිර්මාණය වෙනුවෙන් ලැබුණු ආධාර ප්‍රමාණය ඉහළ යාම මත, මෙහි මුල් සැලසුම ඔහු විසින් වෙනස් කරනු ලැබුවා. නව ගොතික් ශෛලියෙන් මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීම අත්හරිනු ලැබුවේ ඒ අනුව යි.

එහි ප්‍රතිඵලයක් ලෙස දෙව්මැදුරේ පොළව ලතින් කුරුසයක් හැඩය නිර්මාණය වූ අතර, අහස උසට විහිදෙන කුළුණු ඉන්පසුව එයට එකතු කෙරුණා. එමෙන්ම ශුභාරංචියත්, හා පල්ලියේ ඉගැන්වීම් දෙව්මැදුරෙන් ඉස්මතු වෙන ආකාරයේ නිර්මාණයන් ද එයට එක් කරනු ලැබුවා.

1892 දී මෙම දෙව් මැදුරේ ඉදිරිපස නිර්මාණය කිරීම ආරම්භ වුණු අතර 1894 දී එහි ඉදිකිරීම් නිමා වුණා.

දේව මන්දිරයේ ඉදිරිපස -(wordpress.com)

ඉන්පසුව නිර්මාණය ඇරඹුණු ජපමාල මෑණියන්ගේ පිළිමය සහිත විශාල ආරුක්කුව වර්ෂ 1899 දී නිමා කෙරුණා.

1909 ගවුඩී විසින් එම වැඩ බිමෙහි සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් පාසලක් ද නිර්මාණය කරනු ලැබූ බව කියවෙනවා.

1923 වසරේ දී ඔහු විසින් දේවස්ථානයේ මැද කොටස හා වහලයේ සැළසුම් නිර්මාණය ආරම්භ කරනු ලැබුවා. තව ද උසින් මීටර් 100ක් දේවස්ථානයේ පළමු ඝාන්ටාර කුළුණ සාන්ත බාර්නබස්තුමන්ට කැප කරමින් නිර්මාණය කළා. එහි වැඩ 1925 නොවැම්බර් 30 නිමා වුණා. කෙසේ නමුත් මේ කාලයේ දෙව්මැදුරේ වැඩ සිදුවුනේ ඉතාම සෙමින්. එනිසා ඔහුගේ මහා නිර්මාණයේ ඔහු දුටු වැඩ නිමවූ අවසන් කුළුණ එය වුණා. මන්ද යත් 1926 ජූනි 10 ඔහු ජීවිතයෙන් සමුගත් නිසා යි. ඔහුව මෙම දේවස්ථානයේම භූමිදාන කළ අතර අදටත් ඔහුගේ මෘතදේහය එහි තැම්පත් කර තිබෙනවා.

ඔහුව භූමිදාන කළ තැන (cgrio.com)

සිවිල් යුද්ධයට අළු වූ අතීතය

ගවුඩීගේ මරණයෙන් පසුව 1938 වසර දක්වා ඔහුගේ සමීපතයෙකු වූ ඩොමිනික් මෙම නිර්මාණයේ කළමනාකරණය භාරගනු ලබනවා. 1930 වන විට දේවස්ථානයේ ඉදිරිපස කොටස හා ඝාන්ටාර කුළුණු සියල්ල නිමා කරනවා. 1933 විශ්වාසයේ ආරුක්කුව සහිත දොරටුව හා දෙව් මැදුරේ මධ්‍යයේ ඇති සයිප්‍රස් ගසේ මූර්තිය නිමා කරනවා.

1936 ජූලි මාසයේ ස්පාඤ්ඤයේ පැතිරුණු සිවිල් යුද්ධය අතරතුරේ මෙම දේවස්ථානයේ ගෘහය ගිනි තැබීම සිදුවෙනවා. ගවුඩී විසින් එහි කම්කරුවන්ගේ දරුවන් සඳහා ඉදි කළ පාසල ද ඒ සමඟම විනාශ වී යනවා. ගවුඩීගේ වැඩ බිම, මුල් සැලසුම්, සිතුවම්, ඡයාරූප, හා විශාල ප්‍රමාණයේ ප්ලාස්ටර් ආකෘති ද එහි ගොදුරක් වෙනවා. නමුත් ඒ කිසිවකට මෙහි මුල් සැලසුම වෙනස් කිරීමට නම් හැකි වෙන්නේ නෑ. අදටත් දෙව් මැදුර නිර්මාණය වෙමින් පවතින්නේ අන්තෝනි ගවුඩීගේ ඒ මුල් සැලසුම අනුව යි.

සිවිල් යුද්ධයට පසුව නැවතත් මෙහි ගොඩනැගීම ඉතා සෙමින් වර්ධනය වෙනවා. ගවුඩී සමඟ 1919 වැඩ කළ ෆ්‍රන්සිස් ඩි පෝලා නම් ගෘහ නිර්මාණ ශිල්පියා 1939/40 අතර කාලයේ නැවත විනාශ වූ දෑ මුල් ආකෘතිය ලෙසම ගොඩ නගනවා.

දේව මන්දරය ඉදිවෙමින් – (dezeen.com)

නමුත් ඉන්පසුව මෙහි වැඩ ඉතා සෙමින් සිදු වූ අතර ජෝසප් මරියා නම් මූර්ති නිර්මාණකරුවා විසින් 1986 මෙහි මූර්ති නිර්මාණය ආරම්භ කරනවා. ඔහු වසර 25ක් පුරාවට ඔහුගේම ශෛලියකට ඒවා නිර්මාණය කරනවා.

2000 වසරේ මෙහි දෙව්මැදුර තුල දිව්‍ය පූජාවක් පවත්වනු ලබනවා. ඉන්පසුව මෙහි කොටස් නැවතත් එකින් එක ගොඩනැගීම ආරම්භ වෙන අතර එකවර 7000කට පමණ සිටිය හැකි ලෙස නිමවෙමින් තිබූ මෙය, 2010 වසරේ දී 16 වන බෙනඩික් පාප්තුමා විසින් මෙම දේවස්ථානය වැඳුම් පිදුම් කිරීම වෙනුවෙන් ආශිර්වාද කරනු ලබනවා. එම අවස්ථාවට 800ක පිරිසකින් යුතු ගීතිකා කණ්ඩායමක් සහභාගි වෙනවා.

2017 වසර වන විට මෙහි නිර්මාණ වලින් 70%ක් පමණ නිමා වී තිබුණා.

කෙසේ නමුත් මේ වන විට නව තාක්ෂණික ක්‍රම සමඟ මෙහි නිර්මාණ කටයුතු වඩාත් කාර්යක්ෂම වී තිබෙනවා. බොහොමයක් කොටස් කොන්ක්‍රීට් යොදා වෙනත් ස්ථානයක සාදා පසුව මෙහි ගෙනවිත් සවි කරනු ලබනවා. මෙහි ගල් කපා ගොඩනගන නිර්මාණය මිනිස් ශ්‍රමයෙන් පමණක් කිරීමට විශාල කාලයක් වැයවන නිසා අද ඒ සියල්ල පරිගණකගත කර, යන්ත්‍රානුසාරයෙන් සිදු වෙනවා.

වසරකට මෙහි නිර්මාණ කටයුතු වෙනුවෙන් යුරෝ මිලියන 25ක් පමණ වැයවෙන බව සඳහන්. එමෙන්ම මෙහි වැඩ කටයුතු වර්ෂ 2026 වන විට අවසාන කිරීමට නිර්මාණකරුවන් බලාපොරොත්තු වෙනවා.

කවරය – dinheirovivo.pt

මුලාශ්‍ර –

autoeurope.com

sagradafamilia.org

www.youtube.com

Related Articles

Exit mobile version