මිනිසාගේ පරිණාමය හා ශිෂ්ටාචාරවල දියුණුව උදෙසා ‘භාෂාව’ ඉතා වැදගත් මෙහෙයක් අතීතයේ සිට ඉටු කළා. භාෂාව ඔස්සේ විවිධ අදහස් හුවමාරු කරගැනීම නිසා සාමූහිකව කර්තව්‍යයන් සිදුකිරීමේ දී ඒවා වඩා කාර්යක්ෂම අයුරින් සිදුකර ගැනීමට මිනිසාට හැකි වුණා. නූතන මිනිසාගේ මුල්ම අවධියේ දී සිය අදහස් හුවමාරු කර ගැනීමට භාෂාවේ වචන මදි වූ විට රූපාක්ෂර යොදාගෙන අනිකාට තම අදහස සංජානනය කිරීම සිදු වුණා. පසුකාලීනව තව තවත් වචන එකතු වී භාෂාවන් පොහොසත් වීම සිදු වූ අතර රූපාක්ෂර වෙනුවට විවිධ අක්ෂර මාලාවන් භාවිතයට පැමිණියා. මේ නිසා ලේඛන කලාව ඇරඹුණා.
සිය දිව සුහුරු ලෙස හැසිරවීමෙහි මිනිසාට ඇති ව්‍යක්තභාවය නිසා ලොව බොහෝ භාෂාවල ස්වර රාශියක් තිබෙනවා. එහෙත් මෙලෙස ස්වර හැසිරවීමට වඩා බොහෝ සෙයින් සතුන්ගේ හඬට සමාන ලෙස ස්වර හසුරවමින් පණිවුඩ සංජානනය කරන භාෂාවන් ලොව කලාතුරකින් හමුවෙනවා. යුධ සමයන්හි රහස් පණිවුඩ යැවීම සඳහා මෙවැනි භාෂා භාවිතා වුවත් ඒවායින් බොහෝ විට සංජානනය කළ හැකි වූයේ කේත කිහිපයක් පමණ යි. කෙසේ නමුත් තුර්කියේ උතුරුදිග ග්‍රාමයක අදටත් භාවිතා වන ‘කුරුළු’ භාෂාව නම් ඊට වඩා පොහොසත් හා ව්‍යක්ත යි.
කුස්කොයිහි භාෂා විලාසය
තුර්කියේ උතුරුදිගට වන්නට පිහිටි කුඩා නගරයක් වන කුස්කොයිහි වැසියන්ට ප්‍රදේශය තදාසන්නයේ ජීවත් වන අනෙකුත් ග්‍රාමීය ජනතාවට මෙන්ම හොඳින් තුර්කි බස හැසිරවීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් තුර්කියේ ග්‍රාමීය පෙදෙස්වල දැකිය හැකි ආකාරයට මෙහි ද කුඩා නිවාස තැනින් තැන පිහිටා තිබෙනු දැකිය හැකි යි. කඳුකර ලක්ෂණ සහිත කස්කොයිහි තේ හා හේසල්නට් වගා කරන ලද කඳු බෑවුම්වල තැනින් තැන පිහිටන නිවාසවල වැසියන් අනෙක් නිවාසවල වෙසෙන තම ‘අසල්වාසීන්’ මඟ තොටේ හමු වූ විට එකිනෙකා ආමන්ත්‍රණය කිරීමට තුර්කි බස යොදාගත්ත ද, නිවසේ සිටම යාබද නිවාසවලට පණිවුඩ සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය වූ විට අපූරු වාග් විලාසයක් යොදාගන්නවා. එනම් කුරුල්ලන් මෙන් ‘උරුවම් බෑම යි’ ඔවුන් විසින් මෙය ‘කුරුළු බස’ ලෙස හඳුන්වන අතර, ඔහේ කෙරෙනා නාද කිහිපයකට වඩා ගැඹුරක් මෙහි අන්තර්ගත වෙනවා. කුස්කොයි වැසියන්ට අනුව මේ ආකාරයට වචන ගණනාවක් එකිනෙකා අතර හුවමාරු කරගන්නට හැකියාව තිබෙනවා.
අතීතයේ දුරකථන හා අන්තර්ජාල කෙටි පණිවුඩ සේවා නොමැති කාලයේ දී දුරස්ථව සිටිමින් එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කරගැනීම සඳහා ඔවුන් මේ ‘කුරුළු භාෂාව’ භාවිතා කර තිබෙනවා. මෙහි දී ඇත්තෙන්ම සිදුවන්නේ තුර්කි භාෂාවේ පවතින වචන හා වාක්‍යය නිවැරදි තානය, තාලය හා රිද්මයකට අනුකූලව ‘උරුවම් බෑම යි’. මේ බස කෙල පැමිණි අයෙකුට එම පණිවුඩය වහාම වටහාගත හැකි යි.
කුරුළු භාෂාවල ඉතිහාසය
එක්වරම අසාමාන්‍ය ලෙස හැඟුණත් කුරුල්ලන් අනුකරණය කරමින් නිපදවන ලද භාෂා කිහිපයක්ම අතීතය පුරා ලොව කිහිප තැනකින්ම හමුවෙනවා. ඉතියෝපියාවේ වවුලන් මෙන් කෑ ගසමින් පණිවුඩ හුවමාරු කෙරෙන ‘භාෂාවක්’ වාර්තා වී ඇති අතර කැනරි දූපත් වල ද කුරුල්ලන් මෙන් උරුවම් බාමින් පණිවුඩ හුවමාරු කෙරෙන භාෂාවක් තිබූ බවට සාධක හමු වී තිබෙනවා. මීට අමතරව වයඹදිග අප්‍රිකාවේ, උතුරු ලාඕසයේ, ඇමසෝන් වනාන්තරය අශ්‍රිතව ද මෙවැනි භාෂාවන් භාවිත කොට තිබෙනවා. විශේෂයෙන් මෙවැනි භාෂා ඇති වීමට හේතු ලෙස වැඩිදුරකට අදහසක් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වීම ගත හැකි යි. තුර්කියේ කුරුළු භාෂාව මඟින් අපහසුතාවයකින් තොරව සැතපුමකට වඩා දුරක සිටින අයෙකුට පණිවුඩයක් සංජානනය කළ හැකි අතර මෙය එක අතෙකින් ශ්‍රී ලාංකීය පැරැන්නන් ඉසව්ව හඳුනාගැනීමට ‘හූ මිටි’ තැබීමේම වඩා ව්‍යක්ත ක්‍රමයක් ලෙස සඳුනාගත හැකි යි.
භාෂාව හඳුනාගැනීමේ විද්‍යාත්මක පදනම
මිනිස් මොළය විවිධ කාර්යයන් සඳහා විභේදනය වී තිබෙනවා. එනයින් භාෂිත, සංඥා කරන ලද හෝ ලිඛිත භාෂාව හඳුනාගැනීම සඳහා වම් මස්තිෂ්ක අර්ධගෝලය වඩා ක්‍රියාකාරීව දායක වන අතර හඬක තානය, තාලය හා රිද්මය හඳුනාගැනීමට වඩාත් දායක වන්නේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලය යි.
තුර්කියේ ‘කුරුළු බස’ හා සාමාන්‍ය තුර්කි බස යන දෙකම හොඳින්ම ව්‍යවහාර කළ හැකි තිස් දෙනෙකු යොදාගෙන කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ සාමාන්‍ය තුර්කි බසෙහි වචන දකුණු කණෙන් ඇසෙන විට ඔවුනට වඩා පහසුවෙන් වටහාගැනීමට හැකි වන අතර ‘කුරුළු බස’ සමාන ලෙසින් කන් ද්විත්වයෙන්ම ග්‍රහණය කොට ගෙන වටහාගත හැකි බව යි. මෙයින් තහවුරු වන්නේ මේ ආකාරයේ ‘තානය, තාලය හා රිද්මය’ මත රඳා පවතින බසක් පරිග්‍රහණය කරගැනීමට යමෙකුගේ මස්තිෂ්ක අර්ධගෝල දෙකම සමාන ලෙස උපකාරී විය යුතු බව යි.
තුර්කි කුරුළු බසේ අනාගතය
කුස්කොයි කුරුළු බස සෑහෙන කාලයක සිටම ඒ වෙත ලොව නන් දෙසින් සංචාරකයින් ඇදගන්නට සමත්ව තිබෙනවා. එමෙන්ම එය වර්තමානය වන විටත් එහි වැසියන් අතර අන්තර් සබඳතාව හා සුහදත්වය වර්ධනය කරගැනීමෙහිලා වැදගත් කාර්යයභාරයක් ඉටුකරනවා. උදෑසන අවදි වූ විගස තම අසල්වැසියාගෙන් තම සුවදුක් විමසා එන පණිවුඩය කෙතරම් ප්‍රියජනක ද?
තුර්කියේ මෙම කුරුළු බසෙහි අගය වටහාගත් යුනෙස්කෝ සංවිධානය පසුගිය දා එය ලෝක සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කළා. කෙසේ නමුත් වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමග මෙම භාෂාවට එල්ල වී ඇත්තේ සුළු පටු තර්ජනයක් නම් නොවේ.
තුර්කියේ කාර්මික හා තාක්ෂණික දියුණුවත් සමග සමස්තයක් වශයෙන් එහි පරිසරයේ ඝෝෂාකාරී බව වැඩි වී තිබෙනවා. මේ නිසා ‘උරුවම් බාමින්’ පණිවුඩයක් පැහැදිලිව යැවීමේ යම් යම් අපහසුතා ඇති වී තිබෙනවා. මීට අමතරව වත්මන් පරපුරේ අති බහුතරයක් දෙනා අත ජංගම දුරකථනයක් ගැවසෙන නිසා මෙහි නවීන පරපුර මෙම බස ඉගෙනීමහිලා දක්වන්නේ අලස බවක්. එකිනෙකා හා මුමුණමින් පහසුවෙන් බස් තෙපළිය හැකි මාර්ගයක් ඇති විට ගිරිය පුප්පමින් කෑගැසීම හා උරුවම් බෑම ඔවුන් දකින්නේ අනවශ්‍ය කරදරයක් ලෙස යි. මේ හේතු නිසා මෙම හුරුබුහුටි හා සුන්දර භාෂාව මෙලොවින් සම්පූර්ණයෙන් වියැකී යන දිනය වැඩි ඈතක නොවෙනු ඇත.
කවරයේ පින්තූරය- dailysabah.com