විදී සිතුවමින් හැඩ වූ සොඳුරු නගර

ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ‘වීදි සිතුවම්’ මේ වන විට ලොව බොහෝ රාජ්‍යයන් විසින් තම සංස්කෘතියේම කොටසක් ලෙස හඳුනාගෙන ඇති බව පැවසීම බොරුවක් නොවෙයි. කිසියම් රාජ්‍යයක සාමාජයීය, සංස්කෘතික, සහ දේශපාලන මුහුණුවර විදහා දක්වන එළිමහන් කෞතුකාගාර බඳු වර්ණවත් විදී සිතුවම් ඇතැම් විටෙක සංචාරක ආකර්ෂණ ලෙස ද කටයුතු කරනවා. මේ ලිපිය එවැනි නෙත් වසඟ කරන විදී සිතුවමින් හැඩ වූ සොඳුරු නගර කිහිපයක් ගැන යි.

සැන් හුවාන් (පුවෙර්තෝ රීකෝ)

© Claudine Klodien / Alamy Stock Photo

දිගු කලක් තිස්සේ නොසලකා හැර තිබුණු සැන් හුවාන්හි සැන්ටර්ස් පෙදෙස කෙටි කලකින්ම වීදි සිතුවමින් හැඩ වුණේ 2010 වර්ෂයේ දී පවත්වන ලද ‘සැන්ටර්ස් එස් ලේ’ විදී සිතුවම් සැණකෙළිය හේතුවෙන් බව පැවසීම වැරදි නැහැ. සැන්ටර්ස්හි දී දැක ගැනීමට ලැබෙන බොහෝමයක් විදී සිතුවම් සඳහා පදනම සපයා ඇත්තේ පුවෙර්තෝ රීකෝහි සමකාලීන මෙන් ම ඓතිහාසක ගැටලු බව යි සඳහන් වන්නේ. සැන්ටර්ස් විදී සිතුවම් සතු ජනප්‍රිය නිර්මාණයක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1492 දී ගමන් ඇරඹූ කොළොම්බස්ගේ නෞකා ත්‍රිත්වය යි. එයට අමතර ව බොහෝමයක් විදී සිතුවම් මඟින් සියවස් ගණනාවක් තිස්සේ පුවෙර්තෝ රීකෝ රාජ්‍යය යුරෝපා ජාතීන්ගේ සූරා කෑමට ලක් වූ ආකාරය දැක්වෙනවා.

බොගොතා (කොළොම්බියාව)

© Karen Gardiner

2011 වර්ෂයේ දී පොලිසිය විසින් තරුණ වීදි සිතුවම් ශිල්පියෙකුට වෙඩි තැබීමෙන් පසුව ඇති වූ බලවත් විරෝධතා මත කොළොම්බියානු රජය විසින් විදී සිතුවම් තව දුරටත් සාපරාධී අපරාධයක් ලෙස සැලකීම නතර කරනු ලැබුවා. එයින් පසුව බොගොතාහි විදී බොහෝමයක් අලංකාර වුණේ කොළොම්බියානු දේශපාලන ඉතිහාසය විදහා දක්වන සිතුවමින්. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ දශක ගණනාවක යුද ගැටුම් පිළිබිඹු කරමින් නිර්මාණය කර ඇති අත් බෝම්බ විසිරුණු කොළොම්බියානු ගම්මාන දැක්වෙන සිතුවම්, සහ තණ්හාධික ධනේශ්වර සමාජ ක්‍රමය සහ කොළොම්බියාව සතු ස්වභාවික සම්පත් සූරා කන ආකාරය නිරූපණය කරන මුදල් නෝට්ටු මිටි සහ පතල්කරුවෙකුගේ ආරක්ෂක තොප්පිය සහිත සිතුවම් කෙරෙහි යි.

විලියම්ස්බර්ග් (නිව් යෝක්)

© Karen Gardiner

සෙල්ෆි ඡායාරූප ගැනීමට කැමති දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය, නිව් යෝක් නුවර විලියම්ස්බර්ග් පෙදෙස සතු විදී සිතුවම් බොහෝමයකට පදනම් වී ඇත්තේ මනුෂ්‍යත්වය හා බැඳුණු තේමාවන්. විලියම්ස්බර්ග්හි විදී සිතුවම් අතර ජොරිට් ඉගොක් නම් විදී සිතුවම් ශිල්පියාගේ ‘hUman Tribe’ නම් සිතුවම් මාලාවට අයත් සිතුවම් මෙන්ම, පිටුවහල් කරන ලද ඉරාන ජාතික විදී සිතුවම් ශිල්පීන් දෙදෙනෙකු වන අයිසි සහ සොට් විසින් සිතුවමට නගන ලද දේදුනු පැහැ වැස්සක තෙමෙන කළු-සුදු දරුවන් කණ්ඩායමකගේ සිතුවමක් ද දැක ගැනීමට ලැබෙනවා.

ඉස්තාන්බුල් (තුර්කිය)

© Pinterest

අතීතයේ පෙරදිග සහ අපරදිග යා කළ වෙළඳ මධ්‍යස්ථානයක් වූ ඉස්තාන්බුල් නගරය, සංස්කෘතීන්හි මුසුවක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ඉස්තාන්බුල්හි දී දැක ගැනීමට ලැබෙන විදී සිතුවම් සඳහා යම් තරමින් දේශපාලන දායකත්වයක් පැවතුණ ද බොහෝ විට එහි දී දැක ගැනීමට ලැබෙන්නේ සාමය සහ බහුවාර්ගික විවිධත්වය විදහා දක්වන විදී සිතුවම්. එසේම ඉස්තාන්බුල්හි විදී සිතුවම් සඳහා රෝම සහ ග්‍රීක බලපෑම නොඅඩුවම ලැබී ඇති අතර, බොහෝමයක් ලියවැල් සිතුවම් පදනම් වී ඇත්තේ පුරාණ ඔටෝමන් උළු සහ කලාත්මක ගෘහ නිර්මාණයන් මත යි.

කයිරෝ (ඊජිප්තුව)

© Corbis / Getty Images

2011 වර්ෂයේ දී ඇති වූ ඊජිප්තු විප්ලවයෙන් පසුව කයිරෝ නුවර ආශ්‍රිත ව දේශපාලන බලපෑමක් සහිත විදී සිතුවම් නිර්මාණය වීම ඉහළ ගොස් තිබෙන බව යි සඳහන් වන්නේ. කයිරෝහි විදී සිතුවම් අතර විප්ලවයේ දී මිය ගිය ක්‍රියාකාරීන්ගේ ප්‍රතිමූර්ති සහ ආඥාදායක දේශපාලකයින්ගේ විකට සිතුවම් බොහෝමයක් දැක ගැනීමට ලැබෙනවා. එසේම කයිරෝහි විදී සිතුවම් සතු සුවිශේෂි නිර්මාණයක් වන්නේ නගරයේ කසළ එකතු කරන්නන්ට උපහාර පිණිස ගොඩනැගිලි 50ක් ආවරණය වන ලෙස නිර්මාණය කර ඇති දැවැන්ත වීදි සිතුවම යි.

බැංකොක් (තායිලන්තය)

© Chanachai Panichpattanakij / Getty Images

බැංකොක්හි විදී සිතුවම් නැරඹීම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවෙයි. එයට හේතුව බැංකොක්හි විදී සිතුවම් වඩාත් හොඳින් දර්ශනය වන්නේ ටැක්සිං රජුගේ පාලම ආසන්නයෙන් ගමන් ගන්නා පාලම් පාරුවලට වීම යි. බැංකොක්හි විදී සිතුවම් මඟින් බොහෝ විට දර්ශනය වන්නේ එදිනෙදා ජන ජීවිතය වන අතර එම සිතුවම් වර්ණ ගැනීම සිදු කර ඇත්තේ ද ස්වභාවික පෙනුමක් ලැබෙන ආකාරයෙන්.

ස්ටවංයෙර් (නෝර්වේ)

© Karen Gardiner

ස්ටවංයෙර්හි නගර වැසියන් සෑම දෙනෙකුම පාහේ තමන්ගේ නිවෙස සහ ව්‍යාපාරික ස්ථානය විදී සිතුවමින් හැඩ ගැනීම සඳහා ‘NuArt’ විදී සිතුවම් සැණකෙළිය සඳහා සහභාගී වන සිතුවම් ශිල්පීන්ට අවස්ථාව ලබා දෙනවා. මෙහි විදී සිතුවම් මඟින් බොහෝ විට නිරූපණය වන්නේ නෝර්වේහි තෙල් අගනුවර ලෙස සැලකෙන ස්ටවංයෙර්හි ආර්ථික පසුබිම සහ ඒ හා සබැඳි සාමාජීය සහ දේශපාලන රටාවන්. එසේම ඇතැම් සිතුවම් මඟින් නෝර්වේහි සාම්ප්‍රදායික තල්මසුන් දඩයම් කිරීමේ චාරිත්‍ර ද පිළිබිඹු වෙනවා.

කවරයේ පින්තූරය : © Pinterest

Related Articles

Exit mobile version