මෑත කාලයේ දී ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස බංග්ලාදේශය සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත් වුණා. සුවිශාල ශ්‍රම බළකාය සහ එම ශ්‍රම බළකායෙන් සැලකිය යුතු කොටසක් තරුණ තරුණියන් නියෝජනය කිරීම හරහා බංග්ලාදේශ ආර්ථිකයේ කැපී පෙනෙන අවදි වීමක් දකින්නට ලැබුණා.
ලෝකයේ විශාලත ම ඇඟලුම් කර්මාන්තයක් සතු රාජ්‍යයක් වීම, විශාල වශයෙන් විදෙස් ප්‍රේෂණ ලැබීම, තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, අධ්‍යාපනයේ බාධක ජය ගනිමින් දැනුම මූලික වූ සමාජයක් කරා ගමන් කිරීමේ උත්සාහය, වැනි සාධක නිසා බංග්ලාදේශය පසුගිය දශකය තුළ ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ලෙස හඳුනා ගැනුණා. COVID-19 වසංගත තත්ත්වය මධ්‍යයේ පවා ඔවුන් තම ආර්ථිකය ස්ථාවර ව පවත්වා ගෙන යෑමට දැරූ උත්සාහය ප්‍රශංසනීය යි.
බංග්ලාදේශය දරිද්‍රතාව අවම කිරීම සහ සංවර්ධනය පිළිබඳ විශිෂ්ට කතාවක් ලෝකයට කියා පානවා. 1971 දී බංග්ලාදේශය වෙන ම රාජ්‍යයක් ලෙස ස්ථාපනය වනවිට ලෝකයේ දිළිඳු ම ජාතියක් ලෙස සැලකුණු අතර, 2015 දී පහළ මධ්‍යම ආදායම් ලබන තත්ත්වයට එරට ළඟා වුණා. 1991 දී 43.5% ක් ලෙස දැක්වුණු දරිද්‍රතා අනුපාතය, 2016 දී දැක්වුණේ 14.3 ක් ලෙසට යි. ඒ අතරතුර මානව සංවර්ධනය බොහෝ පැතිකඩ ඔස්සේ වැඩි දියුණු කිරීමට බංග්ලාදේශ රජය උත්සහ කරමින් සිටිනවා.
අභියෝගාත්මක කාලයක්
2031 වනවිට ඉහළ මැදි ආදායම් තත්ත්වයට ළඟා වීම සඳහා බංග්ලාදේශයට වඩාත් තරගකාරී ව්‍යාපාරික පරිසරයක්, මානව ප්‍රාග්ධනය සහ පුහුණු ශ්‍රම බළකාය වැඩි දියුණු කිරීමේ වැදගත්කම පෙරටත් වඩා දැනෙනු ඇති. පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රතිපත්තිමය පසුබිමක් බංග්ලාදේශය තුළ නිර්මාණය කිරීමට රජය උත්සුක වන්නේ ඒ නිසා යි.
බංග්ලාදේශය වර්තමානයේ දී අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටිනවා. COVID-19 වසංගතයෙන් ඇති වූ ගෝලීය මට්ටමේ අර්බුද බංග්ලාදේශයේ ආර්ථික ක්‍රියාකාරම්වලටත් බලපෑම් එල්ල කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තම ඉලක්ක වෙත යන ශීඝ්‍රගාමී ගමන තාවකාලික ව අඩාල වීමේ තත්ත්වයකට ඔවුන් මුහුණ දුන් අතර, පවත්නා අර්බුදය තුළ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම අන් සියල්ලට ම වඩා වැදගත් බව පෙනී ගියා. ඇතැම් ජයග්‍රහණ ආපසු හැරවීමකටත් ලක් වුණා.
වසංගතයේ භයානක අවධිය ගෙවා දැමීමෙන් පසු ලෝක ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් ප්‍රකෘති වූ ඇසිල්ලේ ම බංග්ලාදේශ ආර්ථිකයේ යළි පිබිදීමක් දක්නට ලැබුණා. එසේ වුව ද, යුක්‍රේන-රුසියානු යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ බලශක්ති අර්බුද සහ ගෝලීය පරිමාණයෙන් භාණ්ඩ මිල ඉහළ යෑමත් සමඟ ඔවුන් යළි ආර්ථික කුණාටුවකට මුහුණ දුන්නා. මේ තත්ත්වය තවමත් සමනය වී නැහැ.
බංග්ලාදේශ රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් සහාය අපේක්ෂා කරන පුවත ප්‍රචාරය වූයේ මෙවැනි වාතාවරණයක් මැද යි. “ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අනුගමනය කරමින් IMF සහාය පතන නවතම දකුණු ආසියාතික රට” වශයෙන් බංග්ලාදේශයේ මේ පියවර ප්‍රසිද්ධියට පත් වුණා. එහෙත්, සැබැවින්ම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය IMF වෙත යෑමට බලපෑ කරුණු සහ බංග්ලාදේශය IMF සහාය පැතීමට තීරණය කළ කරුණු අතර සමානකමක් තිබේ ද?
අපි තවදුරටත් සොයා බලමු.
අවදානම හඳුනා ගැනීම
බංග්ලාදේශය තුළ දැන් යම් තරමක මූල්‍ය අර්බුදයක් උද්ගත වී තිබෙනවා. රටේ පවත්නා විදේශ විනිමය සංචිතය යම් පසුබෑමකට ලක්වීම ඊට හේතුව යි. අර්බුදයෙන් ඔවුන් ගේ ආර්ථිකයට විශාල බලපෑමක් මේ අවස්ථාවේ එල්ල නොවුණත්, නුදුරු අනාගතයේ දී ඇති විය හැකි බරපතල අවදානමක පෙර නිමිති පහළ කර තිබෙනවා. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත කල් ඇතුව ම හැරෙන්නට තීරණය කළේ මේ නිසා යි. IMF වෙතින් බංග්ලාදේශය බලාපොරොත්තු වන ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් බව වාර්තා වෙනවා.
එරට මුදල් අමාත්‍ය මුස්තාෆා කාමල් මේ පිළිබඳ ව පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර, ණය මුදලක් ඉල්ලූ පමණින් බංග්ලාදේශයේ සාර්ව ආර්ථික තත්ත්වය ගැටලු සහගත වාතාවරණයකට ලක් වී නොමැති බව ඔහු පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇති අන්දමට, බංග්ලාදේශය අදාළ ණය මුදල ඉල්ලා ඇත්තේ පවත්නා තත්ත්වයට ඔරොත්තු දීම හෝ ප්‍රතිවිපාක හමුවේ ධනාත්මක ව අනුවර්තනය වීම සහ තිරසර භාරය යටතේ යි.
බංග්ලාදේශයේ සැබෑ අවශ්‍යතාව බිලියන 4.5 ක්
එවැනි පදනමක් මත ලබා දෙන අරමුදල් රටක කෝටාවෙන් 150% කට සීමා කර තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශයට ලබා දිය හැකි උපරිම ණය මුදල ලෙස දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන එකක් වශයෙන්. බංග්ලාදේශයේ සැබෑ අවශ්‍යතාව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් ලෙස වාර්තා වන බැවින්, ඔවුන්ට තම අවශ්‍යතාව තවදුරටත් තහවුරු කිරීමට සිදු වෙනවා.
මෙම අරමුදල් භාරයෙන් මුදල් නිදහස් කරන්නේ, බාහිර කම්පන ආකාරයෙන් එල්ල වන ගෝලීය ආර්ථික අර්බුදයට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීම, බලපෑමට ලක් වූ රාජ්‍යයේ තිරසාර වර්ධනය සහතික කිරීම සහ දිගුකාලීන ගෙවුම් ශේෂයේ ස්ථායිතාවයට දායක වීම, යන කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යි. කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ භූ දේශපාලනික ගැටලු තුළින් ලෝක ආර්ථිකයට එල්ල වූ බලපෑම් හමුවේ අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම් ලබන රටවල් අවදානමට ලක් වීමේ සම්භාවිතාව ඉතා වැඩි යි. ඉතින්, බංග්ලාදේශයටත් ඒ අවදානමෙන් ගැලවෙන්නට හැකි වුණේ නැහැ.
අවදානමේ තක්සේරුව
බංග්ලාදේශය යනු ලෝකයේ විශාලත ම විදෙස් ශ්‍රමික බළකායකට හිමිකම් කියන රටක්. ඔවුන් ගෙන් ගලා ගෙන එන විදෙස් ප්‍රේෂණ බංග්ලාදේශ ආර්ථිකයේ වර්ධනයට බෙහෙවින් බලපානවා. එසේ වුව ද, COVID-19 වසංගතය හේතුවෙන් බොහෝ සංක්‍රමණික සේවකයන්ට රැකියා අහිමි වී සංචාරක බාධා ද පැනවුණු බැවින්, විදෙස් ප්‍රේෂණ 5% න් පමණ පහත වැටුණා. බංග්ලාදේශයේ විදේශ මුදල් සංචිතය ද පසුගිය ජූලි 20 වැනිදා වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 39.67 දක්වා පහත වැටී තිබුණා. ඉන් වසරකට පෙර ඔවුන් ගේ විදෙස් සංචිතය දැක්වුණේ ඩොලර් බිලියන 45.5 ක් වශයෙන්.
එරට මහ බැංකු දත්තවලට අනුව පෙර වර්ෂයේ එරට ජංගම ගිණුමේ හිඟයට සාපේක්ෂ ව වර්තමාන හිඟය කැපී පෙනෙන අයුරින් වර්ධනය වීමත් ඊට සමගාමී ව සිදුවුණා. පසුගිය ජුනි 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේ මුල් මාස 11 තුළ ආනයන 39% කින් ඉහළ ගොස් ඇති අතර, අපනයන වර්ධනය වූයේ 34% ක් දක්වා පමණ යි. මේ සියලු කාරණාවල බලපෑම නිසා පසුගිය මාස තුන ඇතුළත අමෙරිකානු ඩොලරයට සාපේක්ෂවබංග්ලාදේශයේ මුදල් ඒකකය (ටකා) 20%කින් අවප්‍රමාණය වුණා.
ඉතා කැපී පෙනෙන පසුබෑමක් වුණත්, බංග්ලාදේශයට මෙම ඉරණම අත්වුණේ ආර්ථික අවපාලනය නිසා නම් නොවෙයි. එරට රජය නිසි කළමනාකාරීත්වයකින් තොරව ආර්ථිකය පාලනය කළා නම්, බංග්ලාදේශය ලෝකයේ ම අවධානයට පාත්‍ර වූ ආර්ථික වර්ධන වේගයක් කරා ළඟා වෙන්නේ නැහැ. අප තේරුම් ගත යුතු කරුණ වන්නේ බංග්ලාදේශය යනු තවමත් අවදි වෙමින් පවතින රාජ්‍යයක් බව යි. ඔවුන් ආර්ථික සහ සමාජීය වශයෙන් බොහෝ දුරක් යා යුතු ව තිබෙනවා. මෙසේ ගමන් කරන අතරතුර ගෝලීය මට්ටමෙන් එල්ල වන බලපෑම් කළමනාකරණය කිරීමේ දී සංවර්ධිත රාජ්‍යයකට වඩා දියුණුව කරා සැලැස්මකින් යුතු ව ගමන් කරන රාජ්‍ය ඉහළ අවදානමකට මුහුණ දෙන්නට පුළුවන්. දැන් බංග්ලාදේශය ඒ අවදානමට මුහුණ දෙමින් සිටිනවා. තම කලාපයේ මූල්‍ය අස්ථාවරභාවයට පත් වූ රටවල් වල උද්ගත ව ඇති තත්ත්වයත් ඔවුන් සැලකිල්ලට ගෙන තිබෙනවා. බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත කල් තියා ම හැරුණේ තමා මුහුණ දෙන අවදානම තක්සේරු කළ නිසා යි.
ක්‍රියාත්මක වීම
රට තුළ ගොඩනැඟෙමින් පවතින අර්බුදය සමනය කිරීම සඳහා බංග්ලාදේශ රජය අපේක්ෂා කරන අමෙරිකානු ඩොලර් බිලියන 4.5 න් බිලියන 1.5 ක් පොලී රහිත පදනමෙන් ලබා දෙනු ඇති බව වාර්තා වෙනවා. ඉතිරි මුදල සඳහා 2% ත් අඩු පොලියකට ලැබෙනු ඇති. ණය සඳහා නියම සහ කොන්දේසි සාකච්ඡා කිරීම වෙනුවෙන් IMF කණ්ඩායමක්බංග්ලාදේශයට එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. දෙසැම්බර් මාසය වනවිට ණය මුදල ලබාදීමේ ක්‍රියාපටිපාටිය අවසාන කිරීමට සැලසුම් කර ඇති අතර, 2023 ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ගෝලීය ණය දෙන්නෙන් ගේ මණ්ඩල රැස්වීමට පෙර බංග්ලාදේශයේ අවශ්‍යතාව ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවට වඩා වැඩි උනන්දුවකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බංග්ලාදේශයත් සමඟ කටයුතු කරන බව මින් පෙනී යනවා. ගොඩනැඟෙමින් පවතින අර්බුදය ස්වෝත්සාහයෙන් ආපසු හැරවිය නොහැකි බව තේරුම් ගත් බංග්ලාදේශ රජය, අවදානම පිළිබඳ මනා අවබෝධයකින් යුතු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හැරී තිබෙනවා. සැලසුම් සහගත ව පැමිණෙනවා නම් IMF සමඟ එකඟතාවකට පැමිණීම එතරම් ම දුෂ්කර කාර්යයක් නොවන බව යි මින් පෙනෙන්නේ.
කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන දෙබප්‍රිය භට්ටාචාර්යා පවසන්නේ ණය ලබා ගැනීමේ දී බංග්ලාදේශයට කොන්දේසි කිහිපයක් හරහා යාමට සිදුවනු ඇති බව යි. ඒ අනුව තාවකාලික දුෂ්කර කාල පරිච්ඡේදයක් ඉදිරියේ දී බංග්ලාදේශ ජනයාට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. ශ්‍රී ලංකාව IMF ක්‍රියාවලියේ දී සිදුකර ගත් ප්‍රමාදයෙන් හට ගත් විශාල පාඩුව භට්ටාචාර්යා මෙහිදී සිහිපත් කර තිබෙනවා. බංග්ලාදේශ ආර්ථිකය තවමත් එවැනි අති දුෂ්කර අවස්ථාවකට පත් වී නැහැ.
මුදල් යෙදවෙන හැටි
IMF හරහා ලැබෙන මුදල් යෙදවෙන ආකාරය ගැනත් භට්ටාචාර්යා අදහස් පළ කර තිබුණා. මේ මොහොතේ පවත්නා විදේශ ගනුදෙනුවල සැලකිය යුතු හිඟය පියවා ගැනීමටත්, බංග්ලාදේශ මුදල් ඒකකය වන “ටකා” හි විනිමය අනුපාතිකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව ස්ථාවර කර ගැනීමටත්, එම මුදල් යොදා ගැනීම වඩාත් සුදුසු බව ඔහුගේ අදහස යි. මේ සෑම පියවරක දී ම රජය විශාල වගකීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දැරිය යුතු වෙනවා.
සෑම වාරිකයක් අබිමුව බංග්ලාදේශ රජය යම් ප්‍රගතියක් දැක්විය යුතු යි. වෙනත් රටක ණය පහසුකමක් වෙත යොමු නොවී බංග්ලාදේශය IMF වෙත හැරීමෙන් පිළිඹිබු වන්නේ ගැටලුවෙන් ගොඩ ඒමට ඔවුන්ට අවංක උත්සාහයක් සහ අවශ්‍යතාවක් ඇති බව යි. IMF හරහා ලැබෙන්නේ මුදල් පමණක් ම නොවෙයි. ඒවා නිසි පරිදි දිශාභිමුඛ කළ යුතු ආකාරය මෙන් ම, අර්බුදය සමනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ද ඔවුන් ගෙන් ලැබෙනවා.
“ටකා හි විනිමය අනුපාතිකය පාවෙන් අගයක් සහ වෙළඳපොළ මත පදනම් විය යුතු යි. විදේශ මුදල් ආකර්ෂණය කිරීම සඳහා රජය දිරිගැන්වීම් සකස් කළ යුතු කාලයක් තමයි දැන් පැමිණ තිබෙන්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහි දී සමපාත විය යුතු යි.”
ණය මුදලින් පවත්නා අර්බුද සමනය කරන අතරතුර පසුබිමින් රැගෙන යා යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් භට්ටාචාර්යා දරන්නේ එවැනි අදහසක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් සහාය පැතීමට ගත් තීරණය, යම් ප්‍රමාදයකින් පසු එළඹුණු පියවරක් යන චෝදනාව බංග්ලාදේශයටත් එල්ල වෙනවා. නමුත්, විදේශ මුදල් සංචිතය අසාමාන්‍ය ලෙස හිඟ වී යනතුරු ඔවුන් බලා සිටියේ නැහැ. විදෙස් මුදල් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 39 ට පමණ පහත වැටුණු මොහොතේ දී තමයි ඔවුන් ක්‍රියාත්මක වුණේ. මෙය එක්තරා අන්දමක හානිදායක තත්ත්වයක් උද්ගත වීමේ අවදානම වලක්වා ගැනීමේ පියවරක් (Preventive Action) විනා “අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම” අන්දමේ ක්‍රියාවක් නම් නොවෙ යි.