ලොව විශාලතම සාගරය වන පැසිෆික් සාගරයේ දූපත් රැසක් පිහිටා තිබෙනවා. එම දූපත් අතරින් එකක් වන පාස්කු දූපත චිලී රටට අයත්. සියවස් කිහිපයක ඉතිහාසයක් තිබෙන පාස්කු දිවයින ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එහි දක්නට ලැබෙන මෝයි පිළිම නිසා යි. ගලෙන් නෙලා තිබෙන එම පිළිම කුමන කාලයක කවුරුන් විසින් ඉදිකරන ලද ඒවාදැ යි තවමත් අනාවරණය කරගෙන නැහැ. එසේම මෝයි පිළිම නෙලන ලද්දේ කුමන අරමුණකින් ද යන්න අදටත් අභිරහසක්. පසුගිය කාලයේ දී පුරාවිද්‍යාඥයන් මෙම අභිරහස් පිළිම පිළිබඳව පර්යේෂණ සිදුකළත් එමඟින් බලාපොරොත්තු වුණු තරම් ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. එනිසා අදටත් පාස්කු දුපතේ මෝයි පිළිම පිළිබඳව අභිරහස් රැසක් ඉතිරිව පවතිනවා.
පාස්කු දිවයිනේ පිහිටීම
වර්ග සැතපුම් 64ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන පාස්කු දිවයින, චිලී දේශයේ බටහිර වෙරළේ සිට සැතපුම් 2300ක් පමණ බටහිරට සහ ටහිටියට සැතපුම් 2500ක් පමණ නැගෙනහිරට වන්නට ස්ථානගත වී තිබෙනවා. කිලෝමීටර් 22.5ක දිගකින් හා 11ක පළලකින් යුතු ත්‍රිකෝණාකාර දූපතක් වන මෙය ඈත අතීතයේ සිදුවුණු භූගත යමහල් විදාරණ රාශියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුණු බවට භූ විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා. කඳු සහිත භූ විෂමතාවයකට හිමිකම් කියන මෙම දූපතේ ඉහළම ස්ථානය වන්නේ රානො කාඋ නම් යමහල යි. දැනට අක්‍රීය තත්ත්වයේ පවතින යමහලක් වන එය අඩි 1969ක පමණ උසකින් යුක්ත යි.
පාස්කු දිවයිනේ ඉතිහාසය
ඈත අතීතයේ දී මෙම දූපත රපා නූයි යනුවෙන් හඳුන්වනු ලැබුවා. රපා නූයි යන වචනයේ තේරුම මහා දූපත යන්න යි. මීට සියවස් ගණනාවකට පෙර මෙම දූපත ආශ්‍රිතව ජීවත් වුණු මිනිසුන්ව හඳුන්වනු ලැබුවේ රපා නූයි ගෝත්‍රිකයන් ලෙස යි. පාස්කු දිවයින ක්‍රි. ව. 300-400 අතර කාලයේ දී මුල්ම වරට ජනාවාසකරණය වුණු බවට සාක්ෂ්‍ය හමුව තිබෙනවා. මෙම දූපතේ මුල් පදිංචිකරුවන් පොලිනීසියාවෙන් පැමිණි අය බවට මතයක් පවතිනවා. නමුත් සුප්‍රකට නෝවිජියානු මානව විද්‍යාඥයෙකු වන තෝර් හියඩාල් අනුමාන කරන්නේ මෙම දූපතේ මුල් පදිංචිකරුවන් දකුණු ඇමරිකානු මහද්වීපයේ වෙනත් ප්‍රදේශයකින් පැමිණි උදවිය බවයි. එකල කිසිදු රටකට අයිතිව නොතිබුණු පාස්කු දූපත 1888 වසරේ දී නිල වශයෙන් චිලී දේශයට අයිති වුණා.
පාස්කු දූපතට දේශ ගවේශකයින් පැමිණීම
1722 වසරේ පාස්කු ඉරිදා දිනයේ දී ලන්දේසි දේශ ගවේශක යාකොබ් රොගෙවීන් අහම්බයකින් මෙම දූපතට ගොඩබැස්සා. එදා රොගෙවීන් ඇතුළු පිරිස දූපතේ නැවතී මඳක් විවේක ගෙන පැය කිහිපයකින් පසුව දූපතේ ඇවිදින්නට ගියා. මෙසේ ගිය සංචාරක පිරිස පුදුමයට පත්කරවන දෙයක් ඔවුන්ට එකවරම දකින්නට ලැබුණා. ඒ, ගලින් නෙළූ අපූරු පිළිම විශාල ප්‍රමාණයක්. එම ගවේශක පිරිස මීට පෙර දූපත් සහ රටවල් ගණනාවකට ගොස් තිබුණත් එවැනි පිළිම ඊට පෙර දැක තිබුණේ නැහැ. එදා පාස්කු දූපත සොයාගැනීමෙන් පසුව රොගෙවීන් ලියා තිබුණු වාර්තාවක පහත දැක්වෙන කරුණු ලියා තිබුණා.
“ඒ යෝධ ගල් පිළිම දැකීමෙන් අප පුදුමයෙන් පුදුමයට පත් වුණා. එම දූපතේ ජීවත් වුණු ජනයා විශේෂ තාක්ෂණික ක්‍රමයක් අනුගමනය නොකරමින් අඩි 30 ක් තරම් උසට විහිදුණු අධික බරකින් යුත් මෙම යෝධ පිළිම කෙළින් කළේ කෙසේදැ යි යන ගැටළුව අදටත් මගේ සිතේ පවතිනවා.”
එලෙස අහම්බයකින් ගොඩබැස්ස දූපත පැරණි ශිෂ්ඨාචාරයක් තිබුණු ස්ථානයක් බව රොගෙවීන් ඇතුළු පිරිස තේරුම් ගත්තා. පාස්කු ඉරිදාවක දූපතට ගොඩබට නිසා ඔවුන් එයට “පාස්කු දූපත” යන නම තැබුවා.
මෝයි පිළිම
වර්තමානය වන විට පාස්කු දූපතේ මෝයි පිළිම 600ක් පමණ ඉතිරිව තිබෙනවා. එහි ඇති කුඩාම පිළිමයේ උස අඩි 3ක් පමණ වන විට විශාලම පිළිමයේ උස අඩි 66ක් පමණ වනවා. එසේම විශාලත්වයෙන් වැඩිම පිළිමය ටොන් 80ක පමණ බර යි. මෙයින් සමහර පිළිමවල හිසේ රතු ගල් තොප්පියක් දක්නට ලැබීම සුවිශේෂී ලක්ෂණයක්.
පාස්කු දූපතේ පිළිම ගැන පුරාවිද්‍යාඥයන් පරීක්ෂා කළත් එම පිළිම නෙලූ තාක්ෂණය ගැන ඔවුන්ට වටහාගන්නට හැකිවුණේ නැහැ. සමහර මෝයි පිළිමවල පමණක් දක්නට ලැබෙන රතු ගල් තොප්පි ඒවාට පැළඳුවේ කෙසේ ද යන්න අදටත් නොවිසඳුණු අභිරහසක්.
පාස්කු දූපතේ මෝයි පිළිම කෙලින් සිටවූ ආකාරය ගැන පුරාවිද්‍යාඥයන් මතයක් පළ කරනවා. ඔවුන් පවසා සිටින්නේ ඈත අතීතයේ මෙම දූපත තුළ තල් ගස් විශාල ප්‍රමාණයක් වැවී තිබුණු බවට සාධක ඇති බව යි. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු තල් ගසක උස අඩි 60ක් පමණ ද, වට ප්‍රමාණය අඩි 7ක් පමණ ද වනවා. එවැනි තල් ගස්වල කඳන් සහ තල් කෙඳිවලින් අඹරාගන්නා ලද ලණුවලින් මෙම පිළිම කෙළින් කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අනුමානය යි. අද වන විට පාස්කු දූපතේ තල් ගස් සම්පූර්ණයෙන්ම වඳවී ගොස් තිබෙන්නේ මෝයි පිළිම මෙතරම් ප්‍රමාණයක් නෙළීමෙන් බව පුරාවිද්‍යාඥයන් වැඩිදුරටත් පවසා සිටිනවා.
මේ ප්‍රතිමාවල දක්නට ලැබෙන අනිකුත් විශේෂත්වය වන්නේ මේ පිළිම සියල්ලම ප්‍රමාණයෙන් විශාල හිස් සහිතව නිර්මාණය කර තිබීම යි. එසේම එවා සියල්ලම පාහේ සාගරයට පිටුපාමින් ගොඩබිම දෙස බලා සිටින අයුරින් නිර්මාණය කර තිබීම ද සුවිශේෂී කරුණක් ලෙසින් දක්වන්නට පුළුවන්.
ඊට අමතරව පාස්කු දූපතෙන් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ලෙන් හමුවුණා. එම ලෙන්වලින් හමුවුණු කෞතුක භාණ්ඩ අතුරින් රොන්ගෝ රොන්ගෝ නමින් හැඳින්වූ චිත්‍රාක්ෂර සහිත ලී පුවරු කාගේත් වැඩි අවධානයට යොමුවුණා. එම අක්ෂර පැරණි මිසර සහ ඉන්දියානු අක්ෂරවලට සමානකම් දක්වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතය යි. නමුත් ඒවායෙන් කියවෙන දේ පිළිබඳව සොයාගැනීමට අදටත් හැකියාව ලැබී නැහැ. එනිසා මෝයි පිළිමවලින් කියවෙන දේ මෙන්ම රොන්ගෝ රොන්ගෝ නමින් හැඳින්වෙන පුවරුවල සඳහන් දේත් අදටත් නොවිසඳුණු අභිරහසක්.
මෝයි පිළිම පිළිබඳව ඉදිරිපත් වී තිබෙන මතය
ඈත අතීතයේ මෙම දූපත තුළ ජීවත්ව සිටි ජනයා සිය මියගිය මුතුන් මිත්තන් සිහිකිරීම සඳහා පිළිම ඉදිකළ බවට මතයක් පවතිනවා. දූපතේ සිටි වැදගත් පුද්ගලයන්ගේ ස්මාරක වැඩි උසකින් සාදන්නට ඇති බව අනුමාන කරනවා. එසේම එහි ප්‍රභූවරුන් පිරිසකගේ ස්මාරකවලට රතු තොප්පි පළඳවන්නට ඇති බවට ද මතයක් පවතිනවා. පාස්කු දූපතේ ඇති මෝයි පිළිම අතරින් පිළිම 15ක් පමණ අහු නම් විශේෂ ශෛලමය ඵලක උඩ තැන්පත් කර තිබෙනවා. ඒවා රපා නූයි ගෝත්‍රයේ නායකයන් සිහිවීමට සාදන ලද බවට අනුමාන කරනවා.
යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීම
ලෝකයේ තිබෙන ස්වභාවික, ඓතිහාසික සහ සංස්කෘතික වශයෙන් වැදගත් වන ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කර ඒවා රැකබලා ගැනීමේ ක්‍රියාවලිය යුනෙස්කෝ සංවිධානයෙන් ආරම්භ කරන ලද්දේ 1978 වසරේ දී යි. තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිකර තිබෙන පාස්කු දූපතේ මෝයි පිළිම ද ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති නිර්මාණයක් වන නිසා 1995 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවා.