ෂැංහයි වරාය පිහිටා තිබෙන්නේ, චිනයේ යැන්සි ගංගාවේ මෝය ආශ්‍රිතවයි. ලොව වේගවත්ම වැඩෙමින් තිබෙන ආර්ථිකය හිමි ස්ථානය ලෙස මෙම වරාය සලකනු ලැබීම අතිශයෝක්තියක් නෙවෙයි. ෂැංහයි යනු 19 වන සියවසේ සිට ප්‍රධාන වරායක් ලෙස වඩාත් වැදගත් වූ ස්ථානයක් වුණා.
වරායක් ලෙස ස්ථාපිත වීමට පෙරාතුව සහ පසුව
ෂැංහයි යන්නෙන් අර්ථවත් වන්නේ, මුහුදේ පිහිටි නගරය යන්නයි. වර්තමානයේ ෂැංහයි වරාය යනුවෙන් හඳුන්වනු ලබන මෙම භූමි ප්‍රදේශය ක්‍රි.ව. 5 ත් 7ත් අතර වකවානුවේ ෂෙන් හෙවත් හුඩු යනුවෙන් හඳුන්වා තිබෙනවා.එමෙන්ම ඉතාමත් සුළු පිරිසක් මෙහි පදිංචිව සිටි අතර, සංවර්ධනය වී තිබුණේද නැත. 1074 සොංග් රාජවංශ සමයේ ගම්මානයක් ලෙස තිබූ ෂැංහයි වෙළඳපල සුළු නගර තත්ත්වයට ඉහළ දැමීමක් සිදු කරනු ලැබුවා. 1172 දි වෙරළ තීරය තහවුරු කිරීම සඳහා දෙවන මුහුදු ප්‍රකාරය එකතු කරනු ලැබුවා. යුවාන් රාජවංශය මඟින් ෂැංහයි වෙත නිළ නගරයක තත්ත්වය ලබා දෙනු ලැබුවා. මෙම වරාය මිංග් රාජවංශ සමයේ සංවර්ධනය වීමට පටන් ගනු ලැබුවා. එමෙන්ම ජපන් මුහුදු කොල්ලකරුවන්ගෙන් නගරය ආරක්ෂා කර ගැනීම සඳහා වර්ෂ 1554 දි පවුරක් ඉදිකිරිම සිදු කළා. වර්ෂ 1602 දි නගරය “දේවමාළිගාව” ඉදි කරනු ලැබුවා. මෙය එම නගරය වැදගත් ලෙස සළකනු ලැබූ බවට සාධකයක් සේ සැලකෙනවා. නගරයේ ආර්ථික වැදගත්කම හඳුනා ගනිමින් මෙම අංග දෙක නගරයේ සංවර්ධනය උසස් කිරීමට බොහෝ දේ සිදු කෙරුණා.
චිංග් (Qing) රාජවංශ සමයේ විශේෂ කරුණු දෙකක් හේතුවෙන් ෂැංහයි වරාය යැන්සි කලාපයේ ඉතාමත් වැදගත් වරාය බවට පත් වුණා. 1684 දි නැව් වලට මුහුදු යාත්‍රා භාර ගැනීමට අවසර ලැබුණා. එමෙන්ම ජියැන්ග්සු පළාතේ සියළුම විදේශ වෙළඳාම සඳහා රේගු එකතු කිරීමට තනි පාලනය වර්ෂ 1732 දි ෂැංහයි වෙතට භාර දෙනු ලැබුවා.
19 වන සියවසයේ ෂැංහයි වරාය අතිවිශාල ලෙස වර්ධනය වූ අතරම, බටහිර සමඟ වෙළඳාම් සිදු කිරීම සඳහා වටිනා මූලෝපායික ස්ථානයක් අත්පත් කර ගනු ලැබුවා.
වර්ෂ 1842 වන තුරුත් මෙම භූමි ප්‍රදේශය හුදෙක් මසුන් ඇල්ලීම සිදු කරන ගම්මානය පළමුවන අබිං යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍යන් ෂැංහයි ලෙස නම් කළ බව මූලාශ්‍ර වල දැක්වෙනවා. අබිං යුද්ධයෙන් පසුව ෂැංහයි විදේශ වෙළෙඳාමට විවර වුණා. ඒ 1842 අත්සන් කළ නෑංකිං ගිවිසුම අනුවයි. මේ අනුව ෂැංහයි යනු “ගිවිසුම් වරායක්” ලෙස හැඳින්වෙනවා. මෙහි බ්‍රිතාන්‍යය, ප්‍රංශය මෙන් ම ඇමරිකාව ද තම නීතිය යටතේ පාලනය වන ප්‍රදේශ චීනයෙන් අත්පත් කරගත්තා.
සෑම යටත් විජිත රාජ්‍යක්ම පැමිණීමත් සමඟ ඔවුන්ගේ ආවේණික සංස්කෘතිය, වාස්තු විද්‍යාව සහ සමාජ ක්‍රම රැගෙන ඒමත් නිරායාසයෙන් සිදු වුණා. ෂැංහයි විදේශ ව්‍යාපාර පුද්ගලයින් පමණක් නොව චීනයේ සෙසු ප්‍රදේශවල සංක්‍රමණිකයන් ද ආකර්ෂණය කරගත් ඉතාමත් වැදගත් කාර්මික මධ්‍යස්ථානයක් සහ වෙළඳ වරායක් ලෙස දියුණු වුණා .
වර්ෂ 1920 සහ 1930 යන වකවානු වල නව සෝවියට් සංගමයෙන් පලා ගිය ධවල රුසියානුවන් සහ රුසියානු යුදෙව්වන් දහස් ගණනක් වරායට පැමිණුනා. මේ සමගම ෂැංහයි හි රුසියානුවන් දෙවන විශාලතම විදේශීය කණ්ඩායම බවට පත් වුණා. එමෙන්ම වර්ෂ 1932 වන විට ෂැංහයි ලෝකයේ පස්වන විශාලතම නගරය වූ බව පැවසෙනවා.
ෂැංහයි ජාත්‍යන්තර වරාය සමූහය
ෂැංහයි ජාත්‍යන්තර වරාය සමූහය (SIPG) වරායේ පොදු පර්යන්තයන් පාලනය කරන එකම අධිකාරී ආයතනය වනවා. පොදු ලැයිස්තුගත සමාගමක් වන ෂැංහයි ජාත්‍යන්තර වරාය සමූහය වර්ෂ 2003 දී පිහිටුවනු ලැබුණා. මෙම සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේ, ෂැංහයි නාගරික ආණ්ඩුව (44.23%), චීනයේ මර්චන්ට්ස් ඉන්ටර්නැෂනල් ටර්මිනල්ස් (26.54%), ෂැංහයි ටොන්ෂෙන්ග් ආයෝජන සමූහ සංස්ථාව (16.81%) යි.
ෂැංහයි ජාත්‍යන්තර වරාය සමූහය ජාතික සහ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය පාලනය කරනු ලබනවා. එමෙන්ම මෙම සමාගම නඩත්තු, නිෂ්පාදනය සහ කන්ටේනර කල් බදු දීම සම්බන්ධයෙන්ද වගකිව යුතු වනවා. මීට අමතරව වරාය පහසුකම් ඉදිකිරිම, කළමනාකරණය සහ ක්‍රියා කිරීම සම්බන්ධයෙන්ද කටයුතු කරනු ලබනවා. මෙම සමාගම සතුව සුවිශේෂී උපකරණ රාශියක් තිබෙන අතර, භාණ්ඩ පාලනය කිරීමේ ඒකක 5143ට පමණ සමාගම හිමිකම් කියනු ලබනවා.
වරාය පර්යන්ත සහ මෙහි සුවිශේෂිතාවයන්
Wusongkou, Waigaoqiao සහ Yangshan යනුවෙන් හඳුන්වන්නේ, මෙම වරායේ ප්‍රධාන කන්ටේනර වරාය ප්‍රදේශයයි. 2006 වසරේදී මෙම වරාය ලොව තෙවන විශාලතම කන්ටේනර වරාය බවට පත් වුණා. 2010 දී එය හසුරවන කන්ටේනර් ධාරිතාව අනුව ලොව විශාලම කන්ටේනර් වරාය බවට පත් වූයේ සිංගප්පූරුව අභිබවා යමින්. එමෙන්ම මෙම වරාය මඟින් චීනයේ ආර්ථිකය සඳහා සපයන දායකත්වයද ඉතාමත් ඉහළයි.
කවරයේ පින්තූරය: videoblocks.com