එන්වර් හෝජා (Enver Hoxha) 1944 සිට 1985 දී සිදු වූ ඔහුගේ මරණය තෙක්ම ඇල්බේනියාව පාලනය කළා. දෙවන ලෝක යුධ සමයේ දී ඉතාලි පාලනයට එරෙහිව නැගී සිටි ඇල්බේනියානු කොමියුනිස්ට් පක්ෂයේ සහ ජාතික විමුක්ති හමුදාවේ නායකයා ලෙස ගරිල්ලා සටනක් මෙහෙයවූ හෝජා 1944 දී ෆැසිස්ට් ඇල්බේනියාවේ තාවකාලික අගමැති බවට පත් වුණා. පසු කලෙක ඔහු සිය බලය ස්ථාවර කරගත්තා.
විදේශික ආක්‍රමණයක් පිළිබඳ බොහෝකොටම අනියත බියකින් පසු වූ හෝජා ඊට එරෙහිව රට පුරා බංකර ඉදි කළා. වෙරළ දිගේ මෙන්ම කඳුකර ප්‍රදේශවල ද, විල් තෙරවල ද ආදී වශයෙන් රටේ දේශසීමාවම වට කර බංකර ඉදිකළ ඔහු රට තුළත් එවන් බංකර ඉදි කරන්නට කටයුතු කළා. මෙයින් ඇතැම් බංකර, ඉතා විශාල ප්‍රමාණයේ ඒවා වූ අතර සමහරක් ඒවායේ එක් සොල්දාදුවකුට පමණක් රැඳී සිටිය හැකි වුණා. ඉතාම දුප්පත් රාජ්‍යයක් වූ ඇල්බේනියාව මෙම බංකර සඳහා අති විශාල ධනස්කන්ධයක් වැය කළා. හෝජා විසින් 1967 පමණ සිට ඉදි කරවන ලද සමස්ථ බංකර සංඛ්‍යාව 175,000 ක් පමණ වනවා. ඇතැම් ඇස්තමේන්තු අනුව මෙම සංඛ්‍යාව ඊටත් වඩා බෙහෙවින් විශාල වන අතර එම සංඛ්‍යාව 750,000 ක් පමණ විය හැකි යයි ද කියනු ලබනවා.
කවුද මේ එන්වර් හෝජා?
1908 ඔක්තෝබර් 16 වනදා උපන් එන්වර් හෝජා වෘත්තියෙන් ගුරුවරයකු වුණා. ඉතාලිය විසින් 1939 දී ඇල්බේනියාව ආක්‍රමණය කොට අල්ලාගන්නා ලද අතර පසුව හෝජා ඇල්බේනියානු ෆැසිස්ට් පක්ෂයට බැඳීම ප්‍රතික්ෂේප කළ හෙයින් ඔහුව රැකියාවෙන් ඉවත් කරනු ලැබුණා. 1941 දී ඇල්බේනියාවේ කොමියුනිස්ට් පක්ෂයට බැඳෙන ඔහු ඉතාලි පාලනයට එරෙහි අරගලය පටන් ගත්තා.
ඇල්බේනියාවේ ෆැසිස්ට් පාලනය බිඳ වැටුණ පසු 1944 නොවැම්බර් 29 වනදා එරට අගමැති ධුරයට පත් වූ හෝජා පසුව තම පක්ෂය තුළ බලය ස්ථාවර කර ගත්තා. 1948 දී ඇල්බේනියාවේ කම්කරු පක්ෂය ලෙස එහි නම වෙනස් කරනු ලැබුණා.
හෝජා උග්‍ර ස්ටාලින්වාදියකු වුණ අතර මුල් කාලයේදීම යාබද යුගෝස්ලාවියාව ස්ටාලින් සමඟ ප්‍රශ්න ඇතිකරගත් විට යුගෝස්ලාවියානු නායක මාර්ෂල් ටිටෝව නිර්දය ලෙස විවේචනය කළා. 1953 ස්ටාලින්ගේ මරණින් පසු සෝවියට් දේශයේ ගමන් මගට ඔහු විරුද්ධ වුණා. 1956 වන විට ඔහු සෝවියට් පාලනය විවේචනය කරමින් මාඕ සේතුංගේ චීනයට වඩා සමීප වුණා. කෙසේ වෙතත් 1976 දී මාඕ මියගිය පසු චීනය එරට තුළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් විට හෝජා එරට ද විවේචනය කරමින් තනි ගමනක් ඇරඹුවා.
විදේශික බලපෑම් පිළිබඳ භීතිය හෝජා තුළ මුල පටන්ම තිබුණ නමුත් එය උග්‍ර වූයේ සෝවියට් දේශය සමඟ වූ මිත්‍රත්වය කඩා වැටීමෙන් පසුවයි. විශේෂයෙන්ම ඔවුනට වූ ප්‍රධානම මිත්‍රයා වූ චීනය බොහෝ ඈතින් පිහිටි රටක් වූ හෙයින් එම භීතිය වැඩි වූ බව සිතන්නට පිළිවන්. 1976 න් පසු ජාත්‍යන්තරව හුදෙකලා වූ හෝජාගේ භීතිය තවත් වැඩි වූ බව පැහැදිලිව දිස් වුණා.
ඔහුගේ බංකර වැඩපිළිවෙලට හේතු වූයේ විදෙස් ආක්‍රමණයක් සම්බන්ධයෙන් වූ මෙම භීතියයි.
වර්ග කිලෝමීටර 28,000 කට වඩා මඳක් විශාල 1980 දී පමණ මිලියන 2.5 ක ජනගහනයක් වූ රටක බංකර් 175,000 ක් ඉදි කිරීම කෙතරම් විකාර සහගත ක්‍රියාවක්දැයි හෝජාගේ මනසට වැටහුණ බවක් පෙනෙන්නට නැහැ.
බංකර් කලාගාර
ඇල්බේනියාවේ පිටිසරබද වෙරළබඩ හෝ කඳුකර ප්‍රදේශවල සුන්දරත්වය විනාශ කරන මෙම බංකර ඉවත් කිරීම ඒවා ඉදි කිරීම මෙන්ම අතිශයින්ම වියදම් අධික කටයුත්තක්. එමෙන්ම ඒ සඳහා විශාල කාලයක් ගතවනවා. 2009 දී එක් වෙරළ තීරයක බංකර් මෙසේ ඉවත් කිරීමට පටන් ගත් අතර මුල් සති දෙක තුළ, යුධ ටැංකි ද ආධාර කරගෙන, ඉවත් කළ හැකි වූයේ බංකර් 7 ක් පමණයි. ඒ හේතුව නිසා ඇල්බේනියානු රජය මෙම බංකර් බොහොමයක් ඒ ලෙසම තිබෙන්නට හැර තිබෙනවා. මෙයින් ඇතැම් බංකර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කර තිබෙනු දකින්නට ද පිළිවන්.
ඇල්බේනියාවේ ටිරානා අගනුවර සහ ඒ ආසන්න ප්‍රදේශවල පිහිටි බංකර අතර මහා පරිමාණ බංකර ද වුණා. මේ අතර යුද්ධ අවස්ථාවක හෝජා සහ ඔහුගේ අනුගාමිකයන්ට සැඟවී සිටීම සඳහා ද නිමවූ බංකරයක් වනවා. මෙයට ඇතුලු විය යුත්තේ මීටර 200 ක උමගක් තුළින්. ඒ තුළ විවිධ කුටි තිබෙන අතර විශාල ශාලාවක් ද වනවා. 2014 දී මෙය බන්ක’ආර්ට් (Bunk’Art) නම් කලාගාරයක් ලෙස පරිවර්තනය කෙරුණා. දැන් මෙහි ප්‍රදර්ශන මෙන්ම නාට්‍ය දර්ශන සහ සංගීත සන්ධ්‍යාවල් ආදිය ද පවත්වනු ලබනවා. මෙය මේ වනවිට ටිරානා අගනුවර වැඩිම සංචාරක ආකර්ශනයක් දිනාගත් ස්ථානය බවට පත්ව ඇතැයි සඳහන් වනවා. 2014 දී, මෙය විවෘත කෙරුණ අලුත, පළමු මාස දෙක තුළ 70,000 ක ජනකායක් මෙම ස්ථානය නැරඹීමට පැමිණ තිබෙනවා.
මෙහි සාර්ථකත්වයත් සමඟ 2016 දී බන්ක’ආර්ට් 2 නම් තවත් කලාගාරයක් විවෘත කරනු ලැබුණා. ඒ කොමියුනිස්ට් පාලන සමයේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අයත්ව තිබූ, න්‍යෂ්ඨික ප්‍රහාරයකින් ආරක්ෂා වීම සඳහා ඉදි කළ බංකරය තුළයි.
මේ අතර ජර්මන් සිසුන් පිරිසක් විසින්, ඇල්බේනියානු චිත්‍ර ශිල්පීන් පිරිසක් ද සමඟ එක්ව අරඹා ඇති ට්‍රෙෆ්පුන්ක්ට් බන්කර් ව්‍යාපෘතිය (Treffpunkt Bunker Project) මගින් කුඩා ප්‍රමාණයේ බංකරවල චිත්‍ර ඇඳීමට කටයුතු කරනු ලබනවා.
ප්‍රයෝජනයට ගත හැකි ආකාර
මෙම බංකර් යොදාගත හැකි වෙනත් ආකාර පිළිබඳව ද විවිධ අය විමසීම් කරනවා. ඇතැම් තනි පුද්ගලයන් ද මෙම බංකර් විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට පටන් ගෙන තිබෙනවා. ගොලෙම් ප්‍රදේශයේ වෙරළබඩ බංකරයක තැබෑරුමක් ඇරඹූ කුටිම් රොචි එවැන්නෙක්. ඔහුගේ මිතුරන් මුලින් ඔහුගේ අදහස සමච්චලයට ලක් කළද ඔහුගේ ව්‍යාපාරය දියුණුවට පත් වීමෙන් ඔහු අද සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්ව තිබෙනවා.
මේ අතර ගෘහනිර්මාණ ශිල්පී ආර්නෙන් සුලා සඳහන් කරන්නේ මෙම බංකර අභ්‍යන්තර ගොවිපලවල්, ශීතාගාර, සිනමාහල්, නේවාසිකාගාර, වැඩපළවල් ආදිය ලෙස භාවිතා කළ හැකිවනු ඇති බවයි.
මේ අතර විනාශ කෙරෙන ඇතැම් බංකරවලින් ආදායමක් ද උපයා ගත හැකිව තිබෙනවා. මෑතකදී එක් ස්ථානයක වූ බංකර කිහිපයක් විනාශ කෙරුණ පසු යකඩ කම්බි වෙන් කරගෙන ලබාගත් යකඩ නැවත විකුණා ඇමරිකන් ඩොලර් 2500 ක් උපයාගත් බව නැෂනල් ජියෝග්‍රැෆික් හි ලිපියක සඳහන් වුණා.
මෙම කරුණ මගින් පෙන්නුම් කෙරෙන අනෙක් කරුණ නම් හෝජාගේ පාලන සමය තුළ කෙතරම් ධනයක් මෙම විකාර සහගත වැඩ පිළිවෙල සඳහා කාබාසිනියා කරන්නට ඇතිද යන්නයි.
Cover Image: හෝජාගේ අණින් තැනූ එක් බංකරයක් (Getty Images)