අප්‍රිකාවේ ජීවත් වන​ කඳුකර ගෝරිල්ලන්

යෝධ කඳුකර ගොරිල්ලන් වාසය කරන ප්‍රධානම ස්ථානය වන්නේ අප්‍රිකාවේ විරුන්ගා ජාතික වනෝද්‍යානයයි. මෙම ලිපිය තුළින් යෝධ කඳුකර ගොරිල්ලන්ගේ විද්‍යාත්මක නාමයන්, ශරීර හැසිරීම් හා සුවිශේෂී හැකියාවන්, වාස භුමියේ ස්වභාවය, ආහාර රටා හා තර්ජන ආදිය ගැන අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

කඳුකර ගොරිල්ලන් හා බැඳී විද්‍යාත්මක නාමය

එවකට කොන්ගෝ ජනරජය (ලියෝපෝල්ඩ්විල්) හෙවත් වර්තමාන කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජය විසින් 1969 අගෝස්තු 22 දින අංක 69-041 දරන නියෝගයෙනුයි විරුන්ගා ජාතික වනෝද්‍යානය ලෙසට මෙම වනෝද්‍යානය​ නම් කර තිබෙන්නේ. ඊට ප්‍රථම, 1920 දශකයේදී, එවකට මෙම ප්‍රදේශය පාලනය කළ බෙල්ජියම විසින් මෙහි වනෝද්‍යානයක් පිහිටවූ නමුත් 1960 පටන් කොන්ගෝවේ ඇතිවූ දේශපාලන හැලහැප්පීම් මැද එම වනෝද්‍යානය අභාවයට ගිය බව සඳහන්. කඳුකර ගෝරිල්ලන් දැක බලා ගැනීමට හැකි වන ප්‍රධාන​ ස්ථානය වන්නේ මෙම සත්ව උද්‍යානයයි. (මීට අමතරව උගන්ඩාවේ අධි ආරක්ෂිත වනෝද්‍යානයකත් ඔවුන් දැකිය හැකියි.) එමෙන්ම මෙම ගෝරිල්ලන් ප්‍රයිමේටා නමැති කුලයට අයත් වන්නා වූ වලිගයක් නැති වානරයන් අතරින් පරිණාමයට පත් දියුණුම සත්ව කොට්ඨාශයක් ද වනවා. විශේෂ කිහිපයකින් යුක්ත වන මොවුන් Gorilla beringei beringei යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා.

ශරීර හැසිරීම් හා සුවිශේෂී හැකියාවන්

visitvirunga.org

කඳුකර ගොරිල්ලන් හට දිගු ලොම් සහිත සිරුරක් හිමි වෙනවා. තැනිතලා භුමි ප්‍රදේශයක වාසය කරනු ලබන මොවුන් ඔවුන්ගේ ඥාතීන්ට ද වඩා විශාලත්වයෙන් යුක්ත වන පිරිසක් ලෙස නම් කෙරෙනවා. මෙම සතුන් මේ ආකාරයේ ප්‍රදේශයකට සංක්‍රමණය වීම ගැන මතවාද කිහිපයක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ අතර ප්‍රධාන වන්නේ මුල් කාලයේ රුක්වැසිව ඉඳ අනතුරුව ඔවුන්ගේ ශරීරය ඉතා විශාල වීම හේතු කොට ගෙන ශරීරයේ බර අධික නිසා මෙම භුමියට වාසස්ථානය සඳහා පැමිණ ඇති බවයි. එමෙන්ම කඳුකර ගොරිල්ලන්ගේ ගමන සම්බධයෙන් අවධානය යොමු කිරීමේදී පාද පොළොවට සමතලා ආකාරයෙන් තබමින් ඇවිදිනු ලබන බව සඳහන් වනවා. මේ ආකාරයට ඇවිදින ගමන Knucki – Walking යනුවෙන් හඳුන්වනු ලබනවා.

කඳුකර ගොරිල්ලන්ගේ ශරීර භාෂාව බෙහෙවින්ම වැඩි දියුණු වූවක් බව සඳහන් වනවා. මෙම සත්ව විශේෂය කෝපයට පත්වූ විට​ දෙතොල පිටුපසට රැලි කරමින් දත් විලිස්සනු ලබනවා. එමෙන්ම සිනාසෙන කඳුකර ගොරිල්ලන් කට ඇර කෙළවර දක්වා පිටුපසට අඹරන බවද දැක්වෙනවා.

ඇතැම් අවස්ථා වලදී මෙම සතුන් ආවේගශීලි ස්වභාවයක් ගනු ලබනවා. එමෙන්ම කඳුකර ගොරිල්ලන් තියුණු පෙනුමකින් ද යුක්ත වනවා. මෙම සත්ව කොට්ඨාශයට තිබෙන තවත් සුවිශේෂී හැකියාවක් වන්නේ අනතුරු හඳුනා ගැනීමේ තියුණු ඉවයි.

ප්‍රබල සංවේදනයකින්ද යුක්ත වන මෙම කඳුකර ගොරිල්ලන් හට වර්ණ හඳුනා ගැනීමේ හැකියාවද නොමදව හිමි වනවා. එමෙන්ම ගඳ සුවඳ පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වන මෙම සතුන් අලුත් පැළෑටියක් දුටු විට​ එය හඳුනා ගනු ලබන්නේ කඩා සුවඳ බැලීමෙනි.

වාස භුමියේ ස්වභාවය

උද්‍යානය දිස් වන අයුරු (exploringtourism.com)

සැතපුම් 25ක් පමණ දුරට තීරුවක් ආකාරයෙන් මෙම සත්ව විශේෂයේ ප්‍රධාන වාසභූමිය වන විරුන්ගා ජාතික වනෝද්‍යානය දැකිය හැකි වනවා. කඳුකර ගෝරිල්ලන්ගේ වාස භුමිය බවට පත්ව තිබෙන මෙම සුවිශේෂී භුමි ප්‍රදේශය ගිනිකඳු පන්තියක් ලෙසිනුයි පවතින්නේ. එමෙන්ම ඒවායින් බොහොමයක් තවමත් ක්‍රියාකාරී තත්වයේ පසුවෙනවා. ඒ අතරින් අඩි 14,760 කින් යුත් කාරිෂිම්බි ගිනි කන්ද උසම ගිනි කන්ද වනවා. රුවන්ඩාව, කොංගෝ ප‍්‍රජාතාන්ති‍්‍රක ජනරජය සහ උගන්ඩාවෙහි ස්වභාවික දේශ සිමා එමඟින් නිර්මාණය කරනු ලබනවා.

මෙම ප්‍රදේශයේ දිවා කාලයේ ස්වභාවය වන්නේ ග්‍රීෂ්ම සෘතුවේ අන්තර්ගත වන ලක්ෂණයි. එමෙන්ම රාත්‍රී කාලය සිසිර සෘතුවේ ලක්‍ෂණ වලින් යුක්ත වන බවද සඳහන් වනවා. එමෙන්ම ඒ හැරුණු කොට දවසේ 24 පැයම එහි උෂ්ණත්වය වෙනස් වෙනු ලබනවා.

කඳුකර ගෝරිල්ලන්ගේ ආහාර රටා

youtube.com උණ ශාකය ආහාරයට ගන්නා කඳුකර ගෝරිල්ලෙක්

විශාල උණ ගස් වලින් යුක්ත වන්නා වූ වනාන්තරයද මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වනවා. එමෙන්ම මෙහි ඉහළ භූමියට වන්නට දෙණි සහිත බිම් වලින් යුක්ත වනවා. ඒ අනුව හෙදර් , පාසි , ලයිකන වැනි ශාක මෙන්ම අපූරු හැඩයකින් යුත් සෙනෙකා ශාක ද, ලොබිලියා ශාකය ද මෙම ප්‍රදේශයෙන් දැක ගැනීමට හැකි වනවා.

ගොරිල්ලන්ගේ ආහාර රටාවල දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන් සම්පුර්ණයෙන්ම ශාක භක්ෂක සත්ව විශේෂයක් වීමයි. ඒ අනුව මෙම සතුන් වර්ග 50 කට අධික ශාක ප්‍රමාණයක් ආහාරයට ගනු ගනු ලබන බවද දැක්වෙනවා. ඔවුන්ගේ ආහාර අතර මූලිකම තැනක් හිමි වන්නේ උණ ශාකයටයි. මේ හේතුවද කඳුකර ගොරිල්ලන් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වීමට හේතුවක් විය හැකිය. මක්නිසාද යත් මීට ඉහතදී සඳහන් කලාක් මෙන් මෙම ප්‍රදේශය විශාල උණ ගස් වලින් පිරුණු වනාන්තරයකින් යුක්ත වනවා. ඒ අනුව මෙම කඳුකර ගොරිල්ලන් දිනකට උණ ශාකයෙන් අවුන්ස 44 – 66 තරම් වන ප්‍රමාණයක් ආහාරයට ගනු ලබන බව සඳහන් වනවා. එමෙන්ම මෙම ගෝරිල්ලන් විශේෂය රංචුවක් වශයෙන් එක්ව වාසය කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. ඒ අනුව ආහාර ගන්නා විටද මෙම සත්ව කොට්ඨාශය එකට සැරිසරණ අයුරු දැක බලා ගැනීමට හැකි වන බවද සඳහන් වනවා.

කඳුකර ගොරිල්ලන්ට මුහුණ පෑමට සිදු වන තර්ජන

china.org.cn උද්‍යානයේ ගස් කපමින් සිටින අවස්ථාවක්

විරුන්ගා ජාතික වනෝද්‍යානය තුළ තවත් සත්ව විශේෂ ජිවත් වෙනු ලබනවා. චිම්පන්සින් වැනි සතුන් මෙන්ම ඇන්ටිලොප් කාණ්‌ඩයේ සත්වයන්ද මෙම ප්‍රදේශය වාස භුමිය කොට ජිවත් වනවා. නමුත් මෙම භුමිය රංචු පිටින් සිටින කඳුකර ගොරිල්ලන්ට විශේෂ ස්ථානයක් වනවා.

එමෙන්ම 1979 වසරේ ලෝක උරුම ප්‍රදේශයක් බවට පත් කර තිබෙන මෙම ප්‍රදේශය කඳුකර ගොරිල්ලන්ට මතුපිටින් දිස් වන්නා වූ නිදහස එනම් ජීවත්වීමට තරම් නිදහස් සුදුසු පරිසරයක් නොමැති බවටද විවේචන ඉදිරිපත් වනවා. එනම් ස්වදේශීය මිනිසුන් දැව ලබා ගැනීමට, ගවයින්ට තණ කැවීමට ආදියට මෙම ප්‍රදේශය යොදා ගනු ලබනවා. එමෙන්ම ගිනිකඳු ආශ්‍රිත පස සාරවත් නිසාවෙන් කෘෂිකර්ම කටයුතු වලට යොදා ගැනීමක්ද සිදු කරනවා. එමෙන්ම බහු ජාතික සමාගම් මෙහි කපුරු වගාව සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කර තිබීමද තර්ජනයක් වී තිබෙනවා. මේ ආකාරයට කඳුකර ගොරිල්ලන් සජීවීව දැක ගත හැකි ප්‍රදේශයට තර්ජන විශාල වශයෙන් එල්ල වී තිබෙනවා.

Cover Picture – විමසිලිමත්ව බලන දසුනක් (worldwildlife.org)

Related Articles

Exit mobile version