රයිනෝ වර්ග අතර සිටි ලොව අවසාන පිරිමි ‘උතුරු සුදු’ රයිනෝ සතා මෙලොවින් සමු ගත්තේ පසුගිය 2018 දි යි. ඒ සමඟ එම සත්ව විශේෂය මිහිමතින් තුරන් ව යාමේ අවදියට ළංවී සිටිනවා. අප්‍රිකාවෙන් සුදු රයිනෝලා වඳ වී යන අතර ආසියාවේ සුමාත්‍රා රයිනෝ ද, ලංකාවේ කොටියා ද සිටින්නේ වඳ වී යන අවදානම් ලැයිස්තුවේ.
ලෝකය අලංකාර කළ මේ සතුන් ලෝකයෙන් පලවා හරින්නට මිනිසාගේ කටයුතු තමයි හේතු වී ඇත්තේ. අපි එවන් වඳවී යාමේ එළිපත්තට පැමිණ සිටින සතුන් කිහිප දෙනෙක් ගැන සොයා බලමු.
වඳ වී යන සත්තු
ශාක, ක්ෂීරපායින්, පක්ෂීන්, උභය ජීවීන් සහ මුහුදු ජීවීන් වර්ග හතකට ඇතුළත් කර සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) “රතු ලැයිස්තුවක්” හඳුන්වා දී තිබෙනවා. එය වරින් වර යාවත්කාලීන කරනවා.
“අඩුවෙන්ම අවධානයට ලක් වන” විශේෂවල සිට “අවදානමට ලක්විය හැකි”, ” දැඩි ලෙස තර්ජිත” ආදී වශයෙන් සත්ව හා ශාක වර්ග එහි කොටස් තුනකට බෙදා තිබෙනවා. සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමයට අනුව සත්ව සහ ශාක විශේෂ 5,583ක් සිටින්නේ දැඩි අනතුරුදායක තත්ත්වයක යි. දැඩි සේ තර්ජිත විශේෂ විසිහයක්වත් 2017 වසරේ දී අලුතින් එහි නම් කර තිබෙනවා. සෑම වසරකදී ම අලුතින් විශේෂ සොයා ගැනීම ද සිදුවෙනවා.
සුදු රයිනෝසිරස්ගේ අවසානය
උතුරු සුදු රයිනෝ සතුන් වඳ වීමේ දැඩි තර්ජනයට මුහුණ පා ඇති සත්ව විශේෂයක් ලෙස 2008 වර්ෂයේ දී ලෝක වන සත්ව සංවිධානය නම් කර තිබුණා. ඉන් අනතුරුව කෙන්යාවේ ඔල් පෙජේටා වන රක්ෂිතයේ ජීවත් වූ ‘සුඩාන්’ නම් අවසන් සුදු රයිනෝ පිරිමි සතා මිය යන විට වයස අවුරුදු හතළිස් පහක් වුණා. රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එම රයිනෝට එන්නත් ලබා දී ක්ෂණයෙන් මරණයට පත් කළ බවයි වාර්තා වුණේ.
‘සුඩාන්’ගේ මරණයෙන් පසු ලෝකයේ දැනට ඉතිරි ව සිටින ඉතිරි උතුරු සුදු රයිනෝ දෙදෙනා ම ගැහැනු සතුන්. උන්ට නම් තබා ඇත්තේ නජින් සහ පාටු ලෙස යි. ඉන් එකෙක් සුඩාන්ගේ දියණිය වන අතර අනෙකා මිණිබිරිය යි. උන් දැඩි ආරක්ෂාව මැද ඔල් පෙජෙටා වනයේ ම ජීවත් වෙනවා. මේ නිසා සුදු රයිනෝ සතුන්ට ස්වභාවික ව ආයෙත් ඉපදෙන්නට විදිහක් නැහැ.
අනාගතයේ දී ජාන තාක්ෂණය උපයෝගී කර ගෙන සුදු රයිනෝ බිහි කිරීමට සැලසුම් කර තිබෙනවා. කලකට පෙර වයඹදිග උගන්ඩාව, දකුණු චැඩ්, සුඩානය, කොංගෝ ආදී රටවල විශාල වශයෙන් මේ සතුන් ජීවත් වුණා. රයිනෝ අං ලබා ගැනීම සඳහා උන් දඩයම් කිරීම සුදු රයිනෝලාගේ වඳවී යාම ඉක්මන් කළා.
1970 – 1980 අතර කාලය තුළ රයිනෝ අං ජාවාරම් කරුවන් මෙම සත්ත්ව විශේෂය විශාල වශයෙන් දඩයම් කර තිබෙනවා. රයිනෝ අඟ සාම්ප්‍රදායික චීන වාජීකරණ බෙහෙත්වලට යොදා ගන්නා අතර යේමනයේ කිනිසි රඳවන ලෙසත් එය භාවිත කරනවා. අවසාන සතුන් කීප දෙනා අතරින් වැඩි පිරිසක් 2000 වර්ෂයේ දී නොයෙකුත් හේතු නිසා මිය ගියා.
ලෝකෙට ම වැක්විටා තල්මසුන් 19යි
තල්මස් ලෝකයට වැක්විටා නම් අලංකාර පෙනුමකින් යුත් කුඩා නව තල්මස් විශේෂය සොයා ගත්තේ 1958 දි යි. සොයාගෙන ටික කලකින් මේ සතුන් වඳවී යාමේ දැඩි අනතුරකට මුහුණ දීලා. අද වනවිට වඳ වී යාමේ වැඩි ම අවදානමක සිටින මුහුදු ජීවියා වන්නේ මේ තල්මසා යි. 2008 දී මෙම සතුන් 200ක් පමණ සිටි බව වාර්තා වුණා. 2016 වසරේ දී නිවේදනයක් නිකුත් කරමින් IUCN ආයතනය කියා සිටියේ වැක්විටා තල්මස් විශේෂයෙන් මිහිපිට ඉතිරිව ඇත්තේ 30කට අඩු සංඛ්‍යාවක් බව යි.
දශකයක් තුළ එම විශේෂය වඳවී යාමට ඉඩ ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළා. වර්ෂ 2019 විට වැක්විටාලා ඉතිරිව සිටින්නේ 19කටත් අඩුවෙන් බවයි වාර්තා වන්නේ. උන් ජීවත් වන්නේ මෙක්සිකෝවේ කැලිෆෝනියා බොක්ක ආශ්‍රිත ව යි. මේ තල්මසාගේ ඇස වටා අඳුරු පැහැ රවුමක් දැකගත හැකි යි. උගේ සම අඳුරු අළු පැහැයෙන් යුක්ත යි. දිගින් අඩි හතරහමාරක් පමණ වන මේ තල්මසා මුහුදු තල්මස් පවුලේ කුඩා ම සතා යි. වර්ෂ 2005 දී මෙක්සිකන් රජය කැලිෆෝනියා මුහුදු බොක්ක ආශ්‍රිත ව වැක්විටා සංරක්ෂණ කලාපයක් නම්කර තිබෙනවා. එම කලාපයේ මාළු දැල් දැමීමත් තහනම්. පසුගියදා වාර්තා වුණේ මෙක්සිකන් රාජය අමෙරිකන් නාවික හමුදාව ලවා ඩොල්පින් සතුන් පුහුණු කර වැක්විටා සතුන් බේරා ගැනිමට යෙදවීමේ වැඩසටහනක් ඇරඹීමට යන බව යි.
ජාවා රයිනෝලා 60යි
රයිනෝ වර්ග අතුරින් වඩාත් ම තර්ජනයට ලක්වී සිටින රයිනෝ විශේෂය වන්නේ ජාවා රයිනෝ විශේෂය යි. අද ලොව ඉතිරි ව සිටින්නේ ජාවා රයිනෝලා 60ක් වැනි සුළු සංඛ්‍යාවක් පමණ යි. ඒ සියලු ම දෙනා ඉන්දුනීසියාවේ ජාවා දූපතේ එක් වන රක්ෂිතයක් වන උජුන්ග් කුලෝන් ජාතික වනෝද්‍යානයට සීමා වී ජීවත් වෙනවා. ජාවා රයිනෝසිරස් උසින් මීටර 1.80 දක්වා වැඩෙන අතර ඔවුන්ගේ බර කිලෝ 900 -2,000 දක්වා වෙනවා. සිරුරේ දිග මීටර් 2 සිට 4 දක්වා වෙනවා.
උන් ඉතාමත් රැලි වැටුණු ඝන සමක් සහිත යි. මොවුන් අං ලබාගැනීමට හා ඖෂධ සඳහා ශරීර කොටස් ලබාගැනීමට දඩයම් කිරීම වැනි හේතු වඳවී යාමට ප්‍රධාන හේතුව වී තිබෙනවා. කලකට පෙර මොවුන් කලාපයේ රටවල් කිහිපයක හොඳින් ව්‍යාප්ත වී ජීවත් ව සිටි සත්ත්ව විශේෂයක්.
වියට්නාමයේ විසූ අවසාන ජාවා රයිනෝ සත්ත්වයා දඩයක්කරුවන් ඝාතනය කර තිබෙන්නේ 2010 වර්ෂයේ දීයි. ශාක භක්ෂක සතෙක් වන ජාවා රයිනෝ අළු පැහැති ශරීරයක් හා අඟල් 10ක පමණ දිගින් යුතු අඟක් සහිත යි.
අමූර් දිවියා
මෙම අලංකාර දිවි විශේෂයද මෙලොවින් තුරන් වීමට ඉතා ආසන්න යි. විශාල ලෙසින් වාසස්ථාන අහිමි වීම හා දඩයම් කිරීම නිසා වර්තමානය වන විට අමූර් දිවියන් ඉතිරි වී සිටින්නේ සුළු පිරිසක් බවයි වාර්තා වන්නේ. අධික සීතලෙන් යුත් රුසියාවේ නැගෙනහිර කෙළවර හා චීනයේ ඊසානදිග සීමාවේ ව්‍යාප්ත වී සිටින අමූර් දිවියා සැඟවී සිටීමට ඉතා ප්‍රිය කරන සතෙක්. මේ නිසා උන් ඝන වනාන්තරවලට පමණක් සීමා වී ජීවත් වෙනවා. මුවන්, කුඩා වල් ඌරන්, හාවන් හා උරුලෑවන් වැනි සතුන් උගේ ගොදුරු වෙනවා.
2015 වර්ෂයේ දී කළ සමීක්ෂණයට අනුව රුසියාවේ සහ චීනයේ වෙසෙනා අමූර් දිවි ගහනය 50 පමණ වෙතැයි ගණන් බලා තිබුණා. අමූර් දිවියන් අනෙක් දිවියන්ට වඩා විශේෂ වන්නේ මොවුන්ගේ සම සිනිඳු වීම සහ සිනිදු ලෝමවලින් සමන්විත නිස යි. සම සුදුට හුරු වර්ණයකින් යුක්ත යි. එම වර්ණය මත කළු පුල්ලි පිහිටා තිබෙනවා.
අමූර් දිවියන්ගේ ගැහැනු සත්ත්වයාට වඩා පිරිමි සත්ත්වයා ප්‍රමාණයෙන් විශාල යි. සාමන්‍යයෙන් පිරිමි සත්ත්වයකුගේ දිග සෙන්ටිමීටර 107-136 දක්වාත්, වලිගයේ දිග සෙන්ටිමීටර 82-90 දක්වාත් වෙනවා. බර කිලෝ ග්‍රෑම් 32.2-48 ත් අතර වෙනවා. අමූර් දිවියකු ගේ ආයු කාලය කෙටි යි. එය වසර 10 ක් සහ 15 ක් අතර කාලයක් වන බව යි පැවසෙන්නේ.