Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිරන්තරයෙන් ගම් වදින මාරූම් හි ප්‍රචණ්ඩකාරී කොල්ල කල්ලිය

ඔස්ට්‍රේලියාවේ පිහිටි කුඩා, පිටිසර ගම්මානයක් වන මාරූම් හි වැසියන්ට නිතර ම අවදියෙන් සහ අවධානයෙන් සිටින්නට සිදු වී තිබෙන්නේ, ඕනෑම මොහොතක සිය ගමට එල්ල විය හැකි සතුරු ආක්‍රමණයක් නිසා යි. 80 ක පමණ වූ පිරිසකෙගෙන් සුසැදි මේ සතුරු කණ්ඩායම, නිරතුරුව ගම් වැදී, වගා පාළු කොට, වෙනත් දේපළ හානි ද සිදුකොට යනවා. මොවුන්ගෙන් සිදුවන ප්‍රහාර හේතුවෙන්, මිනිසුන්ට ද හානියක් විය හැකි බැවින්, ගම් වැසියන් කාණ්ඩ වශයෙන් මේ පිරිස ගැන නිරතුරු සෝදිසියෙන් සිටිනවා.

නිරන්තරයෙන් ගම් වදින මේ ප්‍රචණ්ඩකාරී කැන්ගරු ‘කල්ලියේ’ ප්‍රහාරයට ලක් වී වියපත් කාන්තාවක ඇතුළු අවම වශයෙන් දෙදෙනෙක් මේ වන විට තුවාල ලබා තිබෙනවා. මේ කාරණා හේතුවෙන් මෙම කැන්ගරුවන් භයානක කොල්ල කල්ලියක් සේ සලකන්නට මාරූම් ගම් වැසියන් තීරණය කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් හි කැන්ගරුවන්- Reinhard Dirscherlullstein bild via Getty Images

නිවසෙන් එළි බසින්නට පවා ඉඩක් නැති කළ කැන්ගරුවෝ

පසුගිය මාස කිහිපය මුළුල්ලේ ම, ඔස්ට්‍රේලියාවේ වෙරළබඩ ග්‍රාමයක් වූ මාරූම් හි ගම් වැසියන්ට,  එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට දිවා කාලයේ පවා සිය නිවසෙන් ඉවතට යාමට සිදු වී ඇත්තේ යම් පමණක චකිතයකිනු යි. ඊට හේතුව කොයි මොහොතේ හෝ, එම ග්‍රාමයට කඩා වදින, ප්‍රචණ්ඩ කැන්ගරු රැළෙන් ඔවුනට හානියක් සිදු වේ යැයි ඇති භීතිය යි. මේ නිසා ඔවුන් අවි ආයුධ අත දරමින් ගමන් කරන්නට පුරුදු වී ඇති අතර, එකිනෙකා කතිකා වී ගමෙහි සීමා මුර කරන්නට මෙන් ම, පණිවිඩ හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයකුත් තනාගෙන තිබෙනවා.

” ඔවුන්(කැන්ගරුවන්) ගේ සංඛ්‍යාව ඇත්තෙන් ම සිතාගත නොහැකි යි.” මාරූම් හි ‘කැරවෑන් පාර්ක්’ හි කළමනාකරු කේරන් සුට්ක්ලිෆ් ඒ.බී.සී ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණා.

 ” මෙහි මිනිසුන් ගමන් කරන්නේ අවම වශයෙන් පොළු කැබැල්ලක් හෝ අත දරාගෙන යි. සවස් යාමයෙහි මං මාළු බෑම සඳහා යන්නට කැමති යි. එහෙත් එසේ යන්නට බැහැ. ඒ හදිසියේවත් කැන්ගරු කණ්ඩායමට මා තනිවම මුණගැසුණහොත්, භයානක තත්ත්වයක් ඇති විය හැකි නිසා යි. ඔවුන් ඉතාමත් වේගවත්, ඔවුන් සිටින තැනක් හිතාගන්න්ට බැහැ.”

තැන තැන හැසිරෙන කැන්ගරුවන් දුසිම් ගණන්

220 ක පමණ ජනගහනයක් සහිත මෙම කුඩා ග්‍රාමය පිහිටා ඇත්තේ බ්‍රිස්බේන් නුවර සිට සැතපුම් 150 ක් පමණ උතුරට වන්නට යි. පසුගිය මාස කිහිපය තුළ ගම් වැසියන් නිතර ම ගමෙහි තැන තැන හැසිරෙන කැන්ගරුවන් දුසිම් ගණන් දැක තිබෙනවා. සාමාන්‍යයෙන් එක් ගෙවත්තකට කැන්ගරුවන් 15ක් පමණ පැන, ඒවා විනාශ කළ අවස්ථා කිහිපයක් ම වාර්තා වී තිබෙනවා.

” මං ඕනෑම දිනයක, මාරූම් ග්‍රාමය තුළ හා ඒ අවට කැලෑබද පෙදෙස්වල කැන්ගරුවන් 60 ක් 80කට වැඩි ප්‍රමාණයක් ඔබට පෙන්වන්නම්, මෙම ගහනය මේ පෙදෙසට කිසිසේත් ම දරාගත නොහැකි යි” ඔස්ට්‍රේලියා දකුණුදිග වනජීවී දෙපාර්තමේන්තුවේ, ප්‍රදේශය භාර, පරිසර නිලධාරී ෆ්‍රෑන්ක් මිල්ස් පවසනවා.

මෙම තත්ත්වය තවත් දරුණු වී ඇත්තේ ආහාර හිඟකම වැනි සාධක නිසා මෙම කැන්ගරුවන් වඩාත් ප්‍රචණ්ඩකාරී හා ආක්‍රමණශීලී තත්ත්වයකට පත් ව තිබීම යි. ප්‍රදේශයේ ජීවත් වන 67 වියැති වියපත් කාන්තාවක් මෙම කැන්ගරුවන්  පෙරළාගෙන, ඇයට පා පහර එල්ල කොට, සපා කෑම් ද පසුගිය දා  සිදු කර තිබෙනවා. මේ නිසා ඇගේ පාදයේ අස්ථියක් ද බිඳී, තුවාල රාශියක් ද සිදු වී තිබෙනවා. මේ ආකාරයෙන් ම වූ තවත් කැන්ගරු පහරදීමක් නිසා, තවත් අයකුගේ කොන්දටත් හානි සිදුව තිබෙනවා.

හුරුබුහුටි ලෙස පෙණුනද කැන්ගරුවන් ආක්‍රමණශීලී සතුන් කොට්ඨාසයක් වෙනවා- istockphoto.com

කැන්ගරුවන් මෙලෙස ආක්‍රමණශීලී වී ඇත්තේ ඇයි?

විද්වතුන්ට අනුව කැන්ගරුවන්ගේ මේ හදිසි ‘පෙනී සිටීම’ සහ ඔවුන් ප්‍රචණ්ඩකාරී වීම අසාමාන්‍ය සංසිද්ධියක් වෙනවා. නිව්ස්වීක් වාර්තාවලට අනුව, පසුගිය සැප්තැම්බර් මස 1 වන දින වන තුරු, එදා මෙද තුර කැන්ගරු පහරදීමකින් මිනිස් ජීවිත හානියක් වාර්තා වී ඇත්තේ එක් වතාවකදී පමණ යි. ඒ 1936 වසරේදී යි. එමෙන් ම මෙලෙස ප්‍රචණ්ඩ වී සාමන්‍යයෙන් පහරදීම් සිදුකරන්නේ පිරිමි කැන්ගරුවන් වන අතර, මාරූම් හි පහරදීම් සිදුකළ බහුතරය ගැහැනු කැන්ගරුවන් වීම ද සුවිශේෂී යි.

” වසරකට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ කැන්ගරු පහරදීම් කිහිපයක් වාර්තා වෙනවා. කෙසේ නමුත් ඒ සියල්ල ම පාහේ පිරිමි කැන්ගරුවන් සිදු කළ පහරදීම් වන අතර, සිය ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා එලෙස පහරදීම් සිදුකෙරෙනවා.” මිල්ස් තව දුරටත් පවසනවා.

” මාරූම් හි පහරදීම් සියල්ල ම පාහේ සිදුකර ඇත්තේ, කුඩා කැන්ගරුවන් පැස තුළ දරාගත් ගැහැනු සත්තු – oshua Prieto/SOPA Images/LightRocket via Getty Images

පහරදීම් පාහේ සිදු කර ඇත්තේ ගැහැනු සත්තු

 ” මාරූම් හි පහරදීම් සියල්ල ම පාහේ සිදුකර ඇත්තේ, කුඩා කැන්ගරුවන් පැස තුළ දරාගත් ගැහැනු සතුන්. මෙවැනි දේ මීට පෙර අපට වාර්තා වී නැහැ” යි ඔහු කියයි.

මාරූම් හි තවත් ගම් වැසියකුට අනුව මෙලෙස කැන්ගරුවන් සිය ග්‍රාමයෙහි ගෙවතුවලට එකතු වන්නේ, ඒවායේ සරුසාර වගා, ඔවුන්ගේ ආහාරයට ඉතා සුදුසු නිසා යි. පසුගිය වසර දෙක තුළ ඕස්ට්‍රේලියාවේ මෙම පෙදෙසට ‘ලා නිනා’ තත්වයක් බලපා තිබෙන අතර, මේ නිසා සාමන්‍යයෙන් එහි පතිත වන වර්ෂාවට වඩා වැඩි වර්ෂාවක් පතිත වී, ගෙවතු වල තණකොළ ඇතුළු වගා, වෙනදාට වඩා සරුසාර ව වැඩී තිබෙනවා. කැන්ගරුවන් ඒවා ආහාරයට ගන්නට ගම් වදින අතර, හොඳින් තණකොළ කපා ගෙවතු තබා ගන්නේ නම් මෙලෙස කැන්ගරුවන් ගම් වැදීම අවම වන බැව් ඔහුගේ අදහස යි.

ක්වීන්ස්ලන්තයට බලපෑ ‘ලා නිනා’ තත්ත්වය හේතුවෙන් හොඳින් වැඩුණු තණ හා වෙනත් පැලෑටි, මාරූම් වෙත කැන්ගරුවන් ආකර්ෂණය කොට තිබෙනවා- Joshua Prieto/SOPA Images/LightRocket via Getty Images

මිල්ස් ඇතුළු පිරිස කළ සොයාබැලීමකට අනුව, මාරූම් වැසියන් මෙම කැන්ගරුවන් එළවා දැමීම හා ඔවුනට ආහාර දීම යන දෙක ම සිදුකරනවා. මේ නිසා කලබලයට පත් වන, පැටවුන් දරන කැන්ගරුවන් පෙරළා ප්‍රතිචාර දැක්වීම සිදුකරනවා.

කැන්ගරු ගැටලුවෙන් ඔබ්බට

මාරූම් ගම්වැසියන් කැන්ගරුවන්ට ආහාර සැපයීම නිසා, ඔවුන් වැඩි විශ්වාසයෙන් මිනිසුන් වෙත ළං වන අතර, අනතුරු ව ඔවුන් පහර දුන් විට කිපෙනවා. මේ සිදුවීම් මේ ආකාරයට ම පැවතියහොත්, කැන්ගරුවන් තවත් ආක්‍රමණශීලී විය හැකි බැව් මිල්ස් ගේ මතය යි. විශේෂයෙන් ඔවුන් එළවීම සඳහා සමහරක් දෙනා රතිඤ්ඤා වැනි පුපුරන ද්‍රව්‍ය යොදාගැනීමත් සමඟ තත්ත්වය තවත් නරක අතට හැරී තිබෙනවා.

යම් යම් දූෂමාන ආරංචි වර්ධනය වී තිබුණ ද, වර්තමානය වන විටත් ඔවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා, සමහරක් කැන්ගරුවන් ඝාතනය කරන්නට කිසිදු සැලසුමක් සකස් වී නැහැ. කෙසේ නමුත්, මේ සඳහා ඉක්මනින්ම යම් සාර්ථක ක්‍රමවේදයක් සැකසිය යුතු බැව් පරිසරවේදීන් ඇතුළු විද්වතුන් බහුතරයකගේ මතය යි.

කවරයේ ඡායාරූපය - නිරන්තරයෙන් ගම් වදින ප්‍රචණ්ඩකාරී කැන්ගරු කල්ලිය - Wendy Sheehan
මූලාශ්‍ර:
Flipboard.com
Allthatsinteresting.com
newsbreak.com

Related Articles