Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගස් වැලඳගන්නෝ: ආදරයෙන් ගස් රැක ගත් අපූරු මිනිස්සු

ලොව පුරා උද්ගත වී ඇති බරපතල ගැටලුවක් වන පරිසර විනාශය සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇති වී තිබේ. පරිසරවේදීන්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් ඒ ඒ රටවල සිදුවන පරිසර විනාශයන් වැලැක්වීම සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහි ව නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරති. 

පරිසර විනාශයට එරෙහි ව සිදු කරන සටන් පිළිබඳ ව මෑතකාලීන ව බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇති බව විශේෂයෙන් කිව යුතු නොවේ. වර්තමානයේ මෙන් ම අතීතයේ ද පරිසර විනාශයට එරෙහි ව නැඟී සිටි විවිධ පාර්ශව පිළිබඳ ව අපි අසා ඇත්තෙමු. අමෙරිකා එක්සත් ජනපදයේ සිය නිජබිම් ආරක්ෂා කර ගැනීමට සුවිශාල කාර්යභාරයක් ඉටු කළ රතු ඉන්දියානු නායක සියැටල් වැනි අය ද ඒ අතර වෙති.

උත්තරාකාන්ද් ප්‍රදේශය – www.thelogicalindian.com

මීට දශක කිහිපයකට පෙර ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක පිහිටි වනාන්තර ආශ්‍රිත ව ක්‍රියාත්මක වූ ගස් අලෙවි කිරීමේ සහ ඉඩම් එළිපෙහෙළි කිරීමේ කටයුතු හේතුවෙන් විශාල පරිසර විනාශයක් සිදු වීමේ අවදානමක් මතු විය. ඒ අවස්ථාවේ එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව, කපා දැමීමට සූදානම් කර තිබූ දැවැන්ත ගස් වැලඳ ගනිමින් ඊට එරෙහි ව ගෙන ගිය අතිශය සාමකාමී විරෝධතාව පසුකාලීන ව “චිප්කෝ ව්‍යාපාරය” ලෙසත්, ඊට සහභාගී වූ පුද්ගලයන් “ගස් වැලඳගන්නන්” ලෙසත් ප්‍රසිද්ධ විය.

පසුබිම

1960 දශකය වන විට ඉන්දියාවේ වර්තමාන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් “උත්තරාකාන්ද්” ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් “Dasholi Gram Swarajya Sangh” නම් ව්‍යාපෘතියක් ආරම්භ විය. එම ප්‍රදේශයේ වනාන්තර සතු සම්පත් උපයෝගී කර ගනිමින් කුඩා පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම එහි මූලික අරමුණ විය. ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී මහත්මා ගාන්ධිගේ අනුගාමිකයෙකු මෙන්ම පරිසරවෙදියෙක් ද වූ “චණ්ඩි ප්‍රසාද්” එහි ආරම්භකයා විය.

මෙම වැඩසටහන යටතේ ආරම්භ වූ පළමු කර්මාන්තශාලාව දේශීය ගොවිපොළ සඳහා අවශ්‍ය උපකරණ නිෂ්පාදනය කළ එකක් විය. එහි නිෂ්පාදන කටයුතු සඳහා වනාන්තරය සතු සම්පත් යොදා ගත් අතර එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවට එහි රැකියා අවස්ථා හිමි විය.

චණ්ඩි ප්‍රසාද් – www.wikipedia.org

පරිසරයට හානිදායක නොවන අයුරින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවත්, මේ කාලය වන විට එම ප්‍රදේශය ආශ්‍රිත පරිසරය විනාශ වන ආකාරයේ ව්‍යාපෘති ගණනාවක් ද ක්‍රියාත්මක විය. ඒ වන විට වනාන්තරවලට අයත් බිම්කොටස් සහ ගස්, කොන්ත්‍රාත් ක්‍රමවේදයක් හරහා වෙන්දේසි කරමින් තිබිණි. එම ඉඩම්වල සේවය කිරීම සඳහා වෙනත් ප්‍රදේශවලින් කම්කරුවන් රැගෙන ඒමට අදාළ කොන්ත්‍රාත්කරුවන් කටයුතු කිරීම නිසා ප්‍රදේශයේ පාරම්පරික පදිංචිකරුවන්ගේ ජීවනෝපායන් අහිමි විය. ඔවුන්ට ලැබුණේ එම ඉඩම්වල ගල් කඩා ඉවත් කිරීම වැනි අතිශය වෙහෙසකර රැකියා සහ ඉතා සුළු වේතනයක් පමණි.

පරිසර විනාශය

විවිධ ව්‍යාපෘති සඳහා ඉඩම් එළිපෙහෙළි කිරීම සහ එම ව්‍යාපෘතිවල අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ වනාන්තර පද්ධතිය විනාශ වෙමින් පැවතිණි. වෙනත් ප්‍රදේශවලින් පැමිණ, මෙම ප්‍රදේශයේ පදිංචි වූ පුද්ගලයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ඔවුන් පරිසරය පිළිබඳ ව කිසිදු තැකීමක් නොකර කටයුතු කිරීම ද පරිසර විනාශයට හේතු විය. දිනෙන් දින ඉහළ ගිය පරිසර විනාශය 1970 ජූලි මාසයේ දී හට ගත් විශාල ගංවතුර සහ නායයාම් ව්‍යසනයකට ද හේතු විය.

එම ප්‍රදේශය හරහා ගලා යන ගංගාවක් විශාල නායයාමක් නිසා අවහිර වීම එම ගංවතුර තත්ත්වයට හේතු විය. ඒ හේතුවෙන් කිලෝමීටර් 320ක් වැනි දුරකින් පිහිටි ගම් කිහිපයක් සම්පූර්ණයෙන් ම විනාශ විය. විවිධ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රතිපලයක් වශයෙන් 1970 දශකය වන විට මෙම ප්‍රදේශය ආශ්‍රිත ව නිරන්තරයෙන් ගංවතුර සහ නායයාම් තත්ත්ව ඇති විය.

චිප්කෝ ව්‍යාපාරයේ ආරම්භය සිදු වූ ගමේ වර්තමාන තත්ත්වය – www.indiaeducationdiary.in

පරිසර විනාශයට එරෙහි වූ ගැමියෝ

පරිසරය විනාශ කරමින් සහ සිය සාම්ප්‍රදායික ජීවනෝපායන් අහිමි කරමින් ක්‍රියාත්මක වූ කොන්ත්‍රාත් ක්‍රමයට විරුද්ධ ව මෙම ප්‍රදේශයේ ජීවත් වූ ගැමියෝ, විශේෂයෙන්ම කාන්තාවෝ සංවිධානය වූහ. ගොවිපොළ උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව (සංග්) ගස් දහයක් කපා ගැනීම සඳහා 1973 අප්‍රේල් මස අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සිදු කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර, වෙනත් ප්‍රදේශයක පිහිටි සමාගමකට ගස් 300ක් පමණ කපා ගැනීමට අවසර දීමත් සමඟ කර්මාන්තශාලාවේ සේවකයෝ ද එම විරෝධතාවලට එක් වූහ.

අදාළ කර්මාන්තශාලාව මෙම ප්‍රදේශයට එවූ ගස් කපන්නන් කණ්ඩායමට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදු විය. ගම්වැසියන් 100කට ආසන්න පිරිසක් සහ සංග් කර්මාන්තශාලාවේ සේවකයෝ, බෙර වාදනය කරමින් සහ සටන් පාඨ කියමින් ගස් කපන්නන් පිරිසට ආපසු යන ලෙස බල කළහ. එම විරෝධතාවෙන් පසු පිටස්තර සමාගමකට ගස් කපා ගැනීම සඳහා දුන් අවසරය අවලංගු කර එය සංග් සමාගමට ලබා දීමට අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය. මෙම විරෝධතාව චිප්කෝ ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කළ අවස්ථාව බව සැලැකේ.

චිප්කෝ ව්‍යාපාරය දැක්වෙන සිතුවමක් – www.fairgaze.com

උග්‍ර වූ විරෝධතා

එම විරෝධතාව හේතුවෙන් ගැටලුව යම්තාක් දුරකට විසඳුන ද, මේ වන විට මෙම ප්‍රදේශයේ වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වූ ඉඩම් වෙන්දේසි කිරීම සහ රජය වනාන්තර සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය පිළිබඳව විශාල කතාබහක් ඇති විය. ගම්වැසියන් සහ පරිසරයට හානියක් නොවන ආකාරයෙන් ක්‍රියාත්මක වූ කර්මාන්තශාලා සම්බන්ධයෙන් තරමක දැඩි පිළිවෙතක් අනුගමනය කළ රජය, විශාල වශයෙන් වනාන්තර එළිපෙහෙළි කරමින්, පරිසරය විනාශ වන ආකාරයෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීම ඊට හේතුව යි.

තවත් අවස්ථාවක වෙනත් ප්‍රදේශයක පිහිටි සමාගමකට විශාල ගස් සංඛ්‍යාවක් කපා ගැනීමට අවසර ලබා දීමත් සමඟ ඊට ගම්වැසියන්ගේ විරෝධය එල්ල විය. දින ගණනාවක් තිස්සේ පැවැති එම විරෝධය හේතුවෙන් එම සමාගමේ නියෝජිත පිරිස ආපසු පිටව ගියහ. 1974 ජූනි මාසයේ සිදු වූ මෙම විරෝධතාවෙන් පසු, එම වසරේ දෙසැම්බර් මාසය දක්වා ප්‍රදේශවාසීහු එක්ව ගස් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළහ. ඔවුහු කණ්ඩායම් වශයෙන් දිවා සහ රාත්‍රී කාලවල ගස් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ අතර, ගස් කැපීමට පැමිණි පුද්ගලයේ කැපූ ගස් එම ස්ථානවල ම දමා ආපසු පිට ව ගියහ.

ගස් වැලඳගෙන සිටින කාන්තාවෝ -www.bbc.com

ගස් වැලඳගත් කාන්තාවෝ

1974 ජනවාරි මාසයේ “රේණි” නම් ගම්මානයට අයත් ගස් 2,500ක් අලෙවි කිරීම සඳහා වෙන්දේසියක් පැවැත්වීමට රජය තීරණය කිරීමත් සමඟ චිප්කෝ ව්‍යාපාරය එහි උච්චත ම අවස්ථාවට එළැඹිණි. 1974 මාර්තු 25 වැනි දා ගස් කපන්නෝ එම ගමට පැමිණියහ. ගස් කපන්නන් පැමිණෙන විට එම ගමේ පිරිමි පුද්ගලයන් සහ සංග් සමාගමේ සේවකයන් වන්දි ලබාදීමේ වැඩසටහනකට යැයි පවසමින් උපක්‍රමශීලි ව වෙනත් ස්ථානයකට පිටත් කර යැවීමට රජයේ නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් කටයුතු කර තිබිණි.

ගස් කපන්නන් පැමිණි බව දැන ගත් තරුණියක් දිව ගොස් ගමේ ප්‍රධානියාගේ බිරිය වූ ගෞරා දේවිට ඒ බව දැනුම් දුන්නා ය. තොරතුර ලද සැණින් ගෞරා දේවි ඇතුළු කාන්තාවෝ 27ක් ගස් කපන්නන් සහ කොන්ත්‍රාත්කරුවන් රැඳී සිටි ස්ථානයට දිව ගියහ. කාන්තාවන් පිරිස දිගින් දිගට ම විරෝධය දැක්වූ බැවින්, ගස් කපන්නන් සහ කොන්ත්‍රාත්කරුවන් කෝපයට පත් ව කාන්තාවන් දෙසට තුවක්කු එල්ල කරමින් ඔවුන් බිය ගැන්වීමට උත්සහ කළහ. කෙසේ වෙතත් කාන්තාවෝ, කපා දැමීමට සූදානම් කර තිබූ ගස් වැලඳගෙන ගස් කපන්නන්ගෙන් ඒවා ආරක්ෂා කරගැනීමට කටයුතු කළහ.

ගෞරා දේවි – www.wikipedia.org

ලොව පුරා අවධානයට ලක් වීම

මෙම කාන්තාවන් පිරිස එදින රාත්‍රිය පුරාවට ගස් වැලඳගෙන සිටි බැවින් අවසානයේ ගස් කපන්නන් සහ කොන්ත්‍රාත්කරුවන් පිරිසට ගස් කපා දැමීමට ඉඩ නොලැබිණි. ඊට පසු දින ආපසු පැමිණි එම ගමේ පිරිමි පුද්ගලයන් සහ අවට ගම්මානවල ජනතාව ද විශාල වශයෙන් මෙම විරෝධතාවට එක් වූහ. ඔවුන් අඛණ්ඩව දින හතරක කාලයක් ගස් වැලඳගෙන ඒවා කපා දැමීමට ඉඩ නොදුන් බැවින් කොන්ත්‍රාත්කරුවන් සහ ගස් කපන්නන් පිරිස අවසානයේ එම ස්ථානයෙන් පිටව ගියහ.

මෙම සිදුවීමත් සමඟ චිප්කෝ (තදින් අල්ලා ගැනීම යන අර්ථය ඇති හින්දි වචනයක්) ව්‍යාපාරය පිළිබඳ පුවත ඉතා වේගයෙන් ඉන්දියාව පුරා පැතිර ගියේ ය. ඒ පිළිබඳව තොරතුරු විමසූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ එවකට මහ ඇමැති මෙම සිදුවීම සහ එහි පසුබිම පිළිබඳ ව සොයාබැලීමට සහ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කළේ ය. එම කමිටුව ගම්වැසියන්ට සාධාරණයක් ඉටු වන ආකාරයේ තීන්දුවක් ලබා දුන්නේ ය.

චිප්කෝ ව්‍යාපාරයේ සංවත්සර සැමරුම – www.wikipedia.org

සංවත්සර සමරුවක්

එතැන් පටන් මෙම විරෝධතාව පරිසර සංරක්ෂණය උදෙසා සිදු කළ වඩාත් සාමකාමී සහ සුවිශේෂී ව්‍යාපාරයක් ලෙස ලොව පුරා ප්‍රචලිත විය. එහි ආභාෂය ලබමින් 2017 වසරේ දී බටහිර බෙංගාලයේ ගස් 4,000ක් පමණ කපා දැමීමට විරෝධය පළ කරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය.

2004 මාර්තු 26 වැනි දා මෙම විරෝධතාවයට සහභාගී වූ, ඒ වන විට ජීවතුන් අතර සිටි පිරිසකගේ සහභාගිත්වයෙන් චිප්කෝ ව්‍යාපාරයේ 30 වැනි සංවත්සරය සැමරීමට වැඩසටහනක් සංවිධානය කර තිබිණි. ගෞරා දේවිගේ නිවස පිහිටි ස්ථානයෙන් ආරම්භ වූ එම වැඩසටහන අතරතුර මෙම  විරෝධතාවට සහභාගී වී – ඒ වන විට මියගොස් සිටි – සියලු ක්‍රියාකාරීන් සිහි කිරීමට කටයුතු යොදා තිබිණි.

උත්තරාකාන්ද් ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් කපා දැමීමට සූදානම් කර තිබූ ගස් වැලඳගනිමින් ඒවා ආරක්ෂා කරගැනීම පසුකාලීනව 'චිප්කෝ ව්‍යාපාරය' නමින් ලොව පුරා ප්‍රසිද්ධ විය - www.arunishapiro.wordpress.com
මූලාශ්‍ර:
www.britannica.com
www.timesofindia.indiatimes.com
www.earthreminder.com
www.rightlivelihood.org

Related Articles