සුප්‍රසිද්ධ “Resident Evil” චිත්‍රපට මාලාව ඔබ නරඹා තිබෙනවා ද?
ක්‍රියාදාමවලින් හා ත්‍රාසජනක බවින් පිරි මෙම චිත්‍රපට මාලාව හොඳ විද්‍යා ප්‍රබන්ධයක් ද වෙනවා. එක්තරා විද්‍යාගාරයක පරීක්ෂණ පවත්වන අති භයානක වෛරසයක් කේන්ද්‍ර කරගෙන මෙහි කතාව දිගහැරෙනවා. එම වෛරසය ආසාදනය වීමෙන් පසු මිනිස් ශරීරයේ පූර්ණ ක්‍රියාකාරීත්වය වෛරසයට නතුවන අතර, පසුව එම මිනිස් ශරීරය ක්‍රියා කරන්නේ වෛරසයට අවැසි ලෙසට යි. Resident Evil තුළින් මතු කරන මෙම “සොම්බීකරණය” සිනමාව තුළ බොහෝ වතාවක් භාවිත වී තිබෙනවා.
සැබෑ ලෝකය තුළත් සොම්බීකරණය යම් කිසි දුරකට පවතින බව ඔබ දැන සිටියා ද? කලබල වෙන්න එපා, චිත්‍රපටවලින් පෙන්වන තරම් සැබෑ ලෝකයේ සොම්බීකරණය එතරම් දරුණු නැහැ. එහෙත්, කෘමී සතුන්ට ආසාදනය වෙන එක්තරා දිලීරයකයට, ආසාදිත කෘමියාගේ මනස පාලනය කරන්නට හැකියාව තිබෙනවා. තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීම සඳහා මෙම දිලීරය ආසාදිත කෘමීන් හසුරුවන ආකාරය අපූරු යි.
ඔෆියොකෝඩිසෙප්ස්
දිලීර සාමාන්‍යයෙන් මළ සත්ත්ව හෝ ශාක කොටස් මත යැපෙමින් වර්ධනය වෙනවා. එම මළ ද්‍රව්‍යවල ඇති කාබනික ද්‍රව්‍යයි දිලීර තම ආහාරය ලෙස ලබා ගන්නේ. ඇතැම් දිලීර පරපෝෂී ජීවන රටාවක් පෙන්වන අතර, ඒවා ආසාදිත සිරුරු තුළ හෝ ඒ මතුපිට වැඩෙනවා.
‘ඔෆියොකෝඩිසෙප්ස්’ කියන්නේ මෙලෙස පරපෝෂී ජීවන රටාවක් පෙන්වන දිලීර ගණයක්. එම දිලීර ගණයට අදාළ දිලීර විශේෂ ලොව පුරා පවතින අතර, දිලීර ගණයට අයත් විශේෂ විවිධ කෘමීන්ට ආසාදනය වෙනවා. එක් එක් දිලීර විශේෂ යම්කිසි කෘමී විශේෂයක් හෝ කෘමී ගණයක් ආසාදනය කිරීම සඳහා පරිණාමිකව හැඩගැසී තිබෙනවා. ඔවුන්ට තමාට අදාළ ධාරකයා හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. අදාළ කෘමියා ආසාදනය කළ පසු කෘමියාගේ හැසිරීම් රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ අද්විතීය හැකියාවක් මේ දිලීර සතු යි. බොහෝ දුරට මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වන කෘමීන් අතර විවිධ කුහුඹු විශේෂ ප්‍රමුඛ වෙනවා.
තමාට තමා ම අහිමි වීම
ඉහත සඳහන් පරපෝෂී දිලීර ගණය තුළ තිබෙන විවිධත්වය නිසාම දිලීරයක් ආසාදනය වූ පසු ආසාදිත ජීවියා දක්වන චර්යා රටාව විස්තර කිරීම තරමක් සංකීර්ණ යි. ඒ නිසා කුහුඹුවන්ට ආසාදනය වන ‘ඔෆියොකෝඩිසෙප්ස්’ දිලීර ගණයන් සැලකිල්ලට ගනිමින් ආසාදිත කුහුඹුවන්ගේ චර්යා රටාව විස්තර කිරීමයි දැන් සිදු කරන්නේ.
කුහුඹු ජනපදයක ඉන්න නිරෝගී, කඩිසර කුහුඹුවකු ගැන සිතන්න. ඔවුන් ජනපදයේ උන්නතිය වෙනුවෙන් නිතර ආහාර සෙවීම උදෙසා කාලය ගත කරනවා. එලෙස ජනපදයෙන් පිටතට පැමිණි අවස්ථාවක කොහේ හෝ තිබෙන ඔෆියොකෝඩිසෙප්ස් දිලීරයකින් මුදා හැරපු බීජාණු වෙත මොවුන් නිරාවරණය වීමේ හැකියාවක් තිබෙනවා. එම බීජාණු කුහුඹුවාගේ මුඛය වැනි බාහිරට විවෘත වූ ව්‍යුහයක් මඟින් සිරුරට ඇතුළු වීමෙන් පසු දිලීරය තම මාරාන්තික ආක්‍රමණය අරඹනවා. දිලීරය කුහුඹුවා ඇතුළතින් පෝෂණය වෙමින් නව සෛල ගුණනය කරන අතර, මේ කිසිවක් නොදන්නා කුහුඹුවා තම එදිනෙදා ජීවිතය සාමාන්‍ය පරිදි ගත කරනවා. සාමාන්‍යයෙන් කුහුඹුවාගේ ශරීර ස්කන්ධය මෙන් අඩකට ආසන්න ස්කන්ධයකින් යුතු දිලීර සෛල වර්ධනය වීමක් මෙහිදී සිදු වෙනවා.
කුහුඹුවාට තම ස්වයං පාලනය අහිමි වීම
දිලීර සෛල මඟින් කුහුඹුවාගේ මොළයට යම් යම් රසායනික සංයෝග නිකුත් කරන අතර, එමඟින් කුහුඹුවාට තම ස්වයං පාලනය අහිමි වී දිලීරයේ පාලනයට නතු වෙනවා. ඉන්පසු කුහුඹුවා දිලීරයේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා ඉතිරි වූ තම කෙටි ජීවිත කාලය ගත කරනවා. තම ජීවිතයේ අවසාන භාගය එළඹෙන විට ජනපදයෙන් වෙන්ව යන කුහුඹුවා, අසල තිබෙන ගසක හොඳින් හිරු එළිය සහ සුළඟ හමන උස් අත්තකට නැඟ, එහි පත්‍රයක් තම ඉදිරිපස හනු වලින් තදින් අල්ලා ගෙන එම ඉරියව්වෙන්ම අවසන් හුස්ම හෙළනවා.
කුහුඹුවා මළ පසු අදාළ පරපෝෂිත දිලීරය තම ජීවන චක්‍රයේ වැදගත්ම අවස්ථාවකට එළඹෙනවා. ඇලෙනසුලු ද්‍රව්‍යයක් නිපදවා කුහුඹු මළ සිරුර පත්‍රය මතම රඳවා තබා ගැනීමට දිලීරය වග බලා ගන්නවා. අවසානයේදී මළ සිරුරේ හිස හෝ උරස ප්‍රදේශයෙන් ශරීරයේ පිටත සැකිල්ල සිදුරු කරගෙන කුඩා දිලීර වෘන්තයක් වැනි ව්‍යුහයක් මතු වෙන අතර, එම දිලීර වෘන්තයේ බීජාණු නිපදවෙනවා. මෙම බීජාණු සුළඟ හමුවේ විශාල වපසරියක පැතිරෙන නිසා දිලීරය තම පැවැත්ම සාර්ථක ලෙස තහවුරු කර ගන්නවා.
කුහුඹුවාගේ චර්යා පාලනය දිලීරයට වැදගත් වන හැටි
ඔෆියොකෝඩිසෙප්ස් දිලීර ගණවල සිටින සාමාජිකයන් ආසාදනයට ලක් කරන කෘමි විශේෂ රාශියක් පවතිනවා. දළඹුවන්, රැහැයියන්, කුරුමිණියන් වැනි සතුන් පවා මේ දිලීර ආක්‍රමණයට ලක් වෙනවා. මෙලෙස ආසාදනය වන කෘමීන් සියල්ලන්ම දිලීරයේ පාලනයට නතුවී සොම්බීන් මෙන් හැසිරෙන බව කිව නොහැකි යි. නිදසුනක් ලෙස කුරුමිණියන්ට ආසාදනය වන දිලීර හමුවේ ආසාදිත කුරුමිණියන් කිසිදු සොම්බී ලක්ෂණයක් නොපෙන්වන බව පර්යේෂකයන් නිරීක්ෂණය කොට තිබෙනවා. ආසාදිත කුරුමිණියන් දිරා ගිය වෘක්ෂ කඳන් මත සුපුරුදු ජීවන රටාව ගෙන යන අතරේ ඔවුන්ගේ බිත්තරවලින් කීටයන් පවා බිහි වෙනවා. පසුව කීටයන්ටත් මේ දිලීර ආසාදනය සිදු වෙනවා. දිලීරය කුරුමිණි ශරීරය ආක්‍රමණය කොට ඔවුන්ගේ මාංශ මත පෝෂණය වන අතර, ඉන්පසු දිලීරය මිය ගිය ආසාදිත සිරුර මත බීජාණු පිරුණු වෘන්තය වර්ධනය කරගෙන ඊළඟ පරපුර බිහි කිරීමට සූදානම් වෙනවා.
කුරුමිණියන් හෝ අනෙකුත් කෘමීන් මෙන් කුහුඹුවන්ගෙන් තම අභිලාෂය ඉටු කර ගැනීම දිලීරයට පහසු වුණේ නැහැ. කුහුඹුවා යනු සමාජීය සත්ත්වයෙක්. ඔවුන් විශාල ජනපද වශයෙන් ජීවත් වෙන නිසා යම් දිලීර ආසාදනයක් ඇති වුවහොත්, එයින් මුළු ජනපදයම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා යම් රෝග ලක්ෂණ පෙන්වන කුහුඹුවන් ගැන අනෙකුත් කුහුඹුවන් පරික්ෂාවෙන් පසුවන අතර, ලෙඩ රෝග පෙන්නුම් කරන කුහුඹුවන් ජනපදයෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනවා.
ආසාදිතයා මරා නොදමා ආරක්ෂිතව ජනපදයෙන් ඉවත් කර ගැනීම
විශේෂයෙන්ම ඔෆියොකෝඩිසෙප්ස් දිලීර ගණයට තම වර්ගයා බෝ කිරීම හමුවේ මෙය ගැටලුවක් වුණා. ස්වාභාවික වරණය මේ අපූරු දිලීර ගණයේ පිහිටට පැමිණියා. එමඟින් දිලීරය ආසාදනය වුණත්, ආසාදිත කුහුඹුවා නිරෝගීව තබා ගැනීමේ හැකියාව මේ දිලීර ගණයට ලැබුණා. එයින් ජනපදයේ අනෙකුත් සාමාජිකයන්ට ආසාදිත කුහුඹුවන් හඳුනා ගැනීමේ දුෂ්කරතා මතු වුණා. දිලීරයට ශරීරයෙන් පිටවීමට අවශ්‍ය වූ විට, කුරුමිණියන් මෙන් ආසාදිතයා මරා නොදමා ආරක්ෂිතව කුහුඹුවාව ජනපදයෙන් ඉවත් කර ගැනීමට තරම් මේ දිලීරය පරිණාමිකව දියුණු වූ බවයි විද්‍යාඥයින් සැක කරන්නේ. ඒ සඳහා කුහුඹුවාගේ මනස පාලනය කිරීමේ හැකියාව දිලීරයට අනිවාර්යයෙන්ම තිබිය යුතු යි.
ජනපදයෙන් ඉවත් වූ පසු මේ කුහුඹුවා ජනපදය අසල පවතින ගසක ඉහළ ස්ථානයට ළඟා වෙනවා. සාපේක්ෂව බිම් මට්ටමට වඩා උස් ස්ථානයක සුළං ප්‍රවාහය වැඩි නිසා පුළුල් කලාපයක් තුළ බීජාණු විසුරවන්න එයින් දිලීරයට හැකි වෙනවා. සුළං ප්‍රවාහය හමුවේ කුහුඹු මළ සිරුර ගසා ගෙන යන්න පුළුවන්. මේ හේතුව නිසා තමයි කුහුඹුවා තම ඉදිරි හනුවලින් ශාක පත්‍රයක් තදින් අල්ලාගෙන සිටින ඉරියව්වෙන්ම මිය යන්නේ. පසුව දිලීරය නිපදවන මැලියම් වලින් මළ සිරුරේ ස්ථාවර බව තවත් තහවුරු කර ගන්නවා. කුහුඹු ජනපදය අසලම ගසක් මත මේ ක්‍රියාවලිය සිදු වෙන නිසා අලුත් ධාරකයෙක් සොයා ගැනීමටත් දිලීරයට අපහසු නැහැ.
මෙම ක්‍රියාවලිය නිසා ඔෆියොකෝඩිසෙප්ස් දිලීර ගණයට නිවර්තන කලාපවල සිට ධ්‍රැවාසන්න කලාප දක්වා පැතිරීමේ අවස්ථාව හිමි වුණා. අලුත් නිවහන් සොයාගෙන යනවිට එම දිලීර අලුත් අලුත් අභියෝගවලටත් මුහුණ දුන්නා. විශේෂයෙන්ම සෘතු භේදය යටතේ ධ්‍රැවාසන්න කලාපවල ශාක පත්‍ර එක් කාල සීමාවකදී හැලී යන නිසා කුහුඹුවන් පත්‍ර වෙනුවට කුඩා අතු ඉති ග්‍රහණය කරගනිමින් මිය යන තැනට දිලීරය තම පාලන හැකියාව වෙනස් කරගත්තා. මෙම පරපෝෂිත දිලීර ගණ සහ කුහුඹුවන් අතර වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමික සබඳතාවක් පැවත ගෙන එන බව පෙනී යනවා. කුහුඹුවන් සහ දේශගුණයේ වෙනස්කම් අනුව තම පරපෝෂිත හැකියා යාවත්කාලීන කරගැනීමට ඔෆියොකෝඩිසෙප්ස් දිලීරවලට හැකියාව ලැබී තිබෙන බවකුයි පෙනෙන්නේ.
වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සොම්බි දිලීර
ඔෆියොකෝඩිසෙප්ස් දිලීරවලින් මිනිසාට කිසිදු හානියක් නැහැ. එහෙත් මොවුන් කුහුඹුවන් සහ අනෙකුත් කෘමීන් තුළ ඇතිකරන පෙරළිය මිනිසාට ආදේශ කළහොත් මැවෙන්නේ බියකරු චිත්‍රයක්. මෙලෙස කෘමීන්ගේ මනස වෙනස් කරමින් තම අභිලාෂය ඉටු කර ගන්නා ඇතැම් දිලීර වර්ග මිනිසා හමුවේ වෛද්‍ය විද්‍යාත්මකව බොහෝ සෙයින් වැදගත් වී තිබෙනවා.
දළඹුවන්ට ආසාදය වෙන මෙවැනිම දිලීර විශේෂයක් ඖෂධයක් ලෙස ටිබෙට් රටේ භාවිත වෙනවා. එම දිලීර විශේෂයේ දුර්ලභත්වය නිසා මෙම ආසාදිත දළඹුවන්ගේ වටිනාකමත් ඉතා ඉහළ යි.
පොදුවේ කෝඩිසෙප්ස් දිලීර තුළ “කෝඩිසෙපින්” නම් රසායනිකයක් අඩංගු වන අතර, මෑත අධ්‍යනයකට අනුව එම රසායනිකය AMPK නම් සෛලීය ප්‍රෝටීනය මත ක්‍රියා කරන බව සොයාගෙන තිබෙනවා. මානව සෞඛ්‍ය විෂය තුළ AMPK ප්‍රෝටීනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන හෙයින් මෙම සොයාගැනීම ඉතා වැදගත් බව විද්‍යාඥයින්ගේ අදහස යි. සතුන් යොදාගෙන කළ අධ්‍යයනයනවලට අනුව AMPK සක්‍රීය කරන ලද ඖෂධ ලබා දීමෙන් සමහර දියවැඩියා සහ පිළිකා ආකාරයන් ආපසු හැරවීමේ හැකියාවක් පවතින බවත්, ධමනි සහ හෘද රෝගවලින් ආරක්ෂාව ලබා දී ආයු කාලය පවා දිගු කළ හැකි බවත්, පෙන්වා දී තිබෙනවා. කෝඩිසෙපින්වලට AMPK සක්‍රීය කිරීමට හැකියාවක් පවතින නිසා කෘමීන්ට මාරකයක් වූ කෝඩිසෙප්ස් දිලීර අනාගතයේදී මිනිසාට ඉමහත් ප්‍රතිලාභ අත්කර දිය හැකි යි. නමුත්, මේ සොම්බි දිලීර වල තිබෙන රසායනික විද්‍යා පදනම ගැන තවමත් විද්‍යාවට තිබෙන්නේ අල්ප දැනුමක්.