ඩේවිඩ් ලයල් කියන්නේ වෘත්තියෙන් සහකාර ප්‍රදීපාගාර භාරකරුවෙකු ලෙස සේවය කළ තැනැත්තෙක්. ඔහුට පක්ෂි විද්‍යාව ගැනත් යම් දැනුමක් තිබුණා. අතීතයේ දවසක ඔහු කුඩා මූසිකයෙකු වැනි ඔලිව්-දුඹුරු පැහැ කුරුල්ලෙකු නිදර්ශකයක් ලෙස කල්තබා ගැනීමේ ක්‍රියාවලියක යෙදුණා. ඩේවිඩ් ලයල් මීට පෙර එම පක්ෂියා දැක තිබුණේ නැහැ. ඉහඳ පණුවන්ගෙන් සිරුර විනාශ වීමට පෙර පක්ෂි නිදර්ශකය වියළිය යුතු බව ඔහු දැන සිටියා. ඊළඟ පැය කිහිපය තුළ, පක්ෂියාගේ ඉවත් කළ යුතු ශරීර පටක ඉවත් කර, හිස් සිරුර බැටළු ලොම්වලින් පුරවා, කැපීම් සිදු කළ තැන් මසා දැම්මා. අනතුරුව ඔහු පක්ෂි ශරීරය හොඳින් වියළී යාම පිණිස හිරු එළිය වැටෙන ජනේලයක් අසල තැබුවා.
ඊළඟ මාස කිහිපය තුළ, ලයල් මෙම ක්‍රියාවලිය කිහිප වතාවක්ම නැවත නැවත සිදු කළේ අවම වශයෙන් නිදර්ශක 15ක් වත් නිර්මාණය කර ගැනීම සඳහා යි. එදා ඩේවිඩ් ලයල් බොහොම උනන්දුවෙන් සංරක්ෂණය කළ එම ශරීර අයත් කුරුල්ලන් අද හඳුන්වන්නේ “ලයල්ස් ව්‍රෙන්”, එහෙමත් නැත්නම් “ස්ටීවන්ස් දූපතේ ව්‍රෙන්” යන නාමයෙන්. විද්‍යාත්මකව මොවුන් Traversia lyalli ලෙස නම් කර තිබෙනවා. අද මෙම සතුන් ඉතිරිව සිටින්නේ ලොව පුරා විහිදුණු කෞතුකාගාර නවයක සංරක්ෂණය කළ නිදර්ශක ලෙස පමණ යි. වසර සිය ගණනකට කලින් ඔවුන් මිහිමතින් සදහටම සමු ගත්තා. එදා ඩේවිඩ් ලයල් කුරුළු නිදර්ශක කිහිපයක් සංරක්ෂණය නොකරන්නට, මේ කුඩා, හුරුබුහුටි කුරුල්ලන් කෞතුකාගාරයකවත් දැක ගැනීමට හැකි වෙන්නේ නැහැ. දෛවයේ සරදමකට මෙන් ඒ කුරුළු විශේෂයට විනාශය පැමිණුනෙත් ඩේව්ඩ් ලයල්ගේ සම්ප්‍රාප්තියත් සමඟ යි.
සුරතල් කුරුළු ඝාතකයා
නවසීලන්තයේ දකුණු දූපතේ “මාල්බොරෝ සවුන්ඩ්ස්” නමැති ප්‍රදේශයක් පිහිටා තිබෙනවා. එම ප්‍රදේශයේ උතුරු කෙළවරේ වර්ග සැතපුම් භාගයකට වඩා නොවැඩි කුඩා දූපතක 1894 දී ප්‍රදීපාගාරයක් පිහිටුවූවා. මේ දූපත හඳුන්වන්නේ “ස්ටීවන්ස් දූපත” නමින්. එම ප්‍රදීපාගාරයේ සහකාර භාරකරු ලෙස පැමිණි ඩේවිඩ් ලයල් සමඟ තවත් පුද්ගලයන් 16 දෙනෙකු දූපතේ වාසයට පැමිණියා. සොබාදහමට ළැදි තැනැත්තෙකු වශයෙන් තමාගේ අලුත් රාජකාරී ස්ථානයට ඩේවිඩ් ලයල් බොහෝ සේ ප්‍රිය කළා. මීට පෙර ගවේෂණයට හා ජනාවාසීකරණයට ලක් නොවූ ස්ථානයක් ලෙස ස්ටීවන්ස් දූපතේ බොහෝ දේවල් කිරීමට තිබෙන බව ඔහුට තේරුම් ගියා. ප්‍රදීපාගාර පාලකයකු ලෙස ජීවිතයේ බොහෝ කාලයක් හුදෙකලාව ගත කිරීමට සිදුවෙන නිසා ඔහු තමාගේ සුරතලාත් එහි රැගෙන ආවා. ගැබිනි බැළලියක වූ ඇය, ටිබල්ස් නමින් හැඳින්වූවා. ටිබල්ස් බළල් පැටවුන් බිහි කරන අන්දම ගැන පවා ඩේවිඩ් සැලකිල්ලෙන් සිටියා. ඉදිරියේදී ටිබල්ස් කරන්නට යන විනාශය ගැන ඩේවිඩ්ට ඒ මොහොත වනවිට අවබෝධයක් තිබුණේ නැහැ.
ඩේවිඩ් ලයල් තම රාජකාරිය අරඹා ටික දවසකට පසු ටිබල්ස්, තමා ඝාතනය කරන කුරුළු මළ සිරුරු ඔහුට තෑගි ලෙස රැගෙන ඒමට පටන් ගත්තා. එලෙස ගෙන එන බොහෝමයක් මළ සිරුරු අයත් වන කුරුළු විශේෂය ඩේවිඩ්ට හඳුනා ගැනීමට හැකි වුණත්, එක් කුරුළු විශේෂයක් ඔහුට මුළුමනින්ම ආගන්තුක වුණා. මෙම කුරුළු විශේෂය ශරීර ප්‍රමාණයෙන් කුඩා වූ අතර, පිටුපස ප්‍රදේශය ඔලිව් පැහැයක් ගත්තා. පපු ප්‍රදේශය තරමක් සුදුමැලි පැහැයක් ගෙන තිබුණත්, ඇසට ඉහළින් සිහින්, සුදට හුරු කහ පැහැයෙන් යුතු ඉරි දක්නට ලැබුණා. පියාපත් කෙටි වූ නමුත්, සාපේක්ෂව දිගු හොටයක් එම කුරුළු විශේෂය සතුව තිබුණා. ඩේවිඩ් මීට කලින් කිසිදු ස්ථානයක මේ පක්ෂියා දැක නැති බව තහවුරු කරගත්තා. කිසිදු ජීව විද්‍යාඥයෙක් මෙම කුරුළු විශේෂය ගවේෂණය කර නොමැති බවත් ඔහු විශ්වාස කළා. තමා නව සොයාගැනීමක අද්දර සිටින බව තේරුම් ගත් ඩේවිඩ්, වහාම කුරුළු නිදර්ශක කිහිපයක් පිළියෙල කළා. පසුව එම නිදර්ශක, වෝල්ටර් රොත්ස්චයිල්ඩ්, වෝල්ටර් බුලර් සහ එච්. එච්. ට්‍රැවර්ස් ඇතුළු එවකට පක්ෂි විද්‍යාඥයන් ලෙස ප්‍රකටව සිටි පුද්ගලයන් කිහිප දෙනකුට යැවීමට උත්සුක වුණා.
ටිබල්ස්ගේ සංහාරය
වෝල්ටර් බුලර් වහාම එය අලුත් කුරුළු විශේෂයක් බව හඳුනා ගත් අතර, ඉදිරියේදී ප්‍රකාශයට පත් වීමට නියමිත සඟරාවක් සඳහා එම කුරුල්ලාගේ විද්‍යාත්මක විස්තරයක් සකස් කිරීමට සූදානම් වුණා. වෝල්ටර් රොත්ස්චයිල්ඩ්, ඩේවිඩ් වෙතින් කුරුළු නිදර්ශක කිහිපයක් මිලදී ගත්තා. අලුත් පක්ෂි විශේෂය ලොවට අනාවරණය කරගත් ඩේවිඩ් ලයල් සහ ස්වභාවික විද්‍යාඥ එච්.එච්. ට්‍රැවර්ස්ට ගෞරව පිණිස මෙම කුරුළු විශේෂයට “ට්‍රැවර්සියා ලයලි” යන විද්‍යාත්මක නාමය රොත්ස්චයිල්ඩ් යෝජනා කළා.
කටයුතු මෙලෙස සැලසුම් වෙද්දී ඩේවිඩ් විසූ දූපත තුළ යම් ඛේදවාචකයක් සිදු වෙමින් තිබුණා. ටිබල්ස් නිසා ස්ටීවන්ස් දූපතේ බළලුන්ගේ ගහණය වැඩි වූ අතර, ඔවුන් කුරුල්ලන් බියකරු ලෙස මරා දැමීමට පටන් ගත්තා. මේ සංහාරය ඩේවිඩ් අනාවරණය කරගත් “ලයල්ස් ව්‍රෙන්” නම් කුරුළු විශේෂයට තදින්ම බලපෑවා. පියෑඹිය නොහැකි පක්ෂියෙකු ලෙස ලයල්ස් ව්‍රෙන්, බළලුන්ට පහසු ගොදුරක් වුණා.
මෙම කුරුල්ලන් කලකට ඉහත මුළු නවසීලන්තය පුරාම විසිරී සිටි බවට සාක්ෂි තිබෙනවා. පොලිනීසියානු මීයන් වැනි විලෝපිකයන් නිසා ලයල්ස් ව්‍රෙන් කුරුළු ගහනය වේගයෙන් විනාශ වීම ඇරඹුණා. අවසාන ග්ලැසියර සමයේදී එකල ප්‍රධාන ගොඩබිමට සම්බන්ධව තිබුණායැ යි සැක කරන ස්ටීවන්ස් දූපතට ඔවුන් සංක්‍රමණය වුණා. මුහුදු මට්ටම ඉහළ යාමත් සමඟ විලෝපිකයන් රහිත ඔවුන්ගේ අලුත් වාසස්ථානය සදහටම ප්‍රධාන ගොඩබිමෙන් වෙන්වූ අතර, ඩේවිඩ් ලයල් සිය බැළලිය සමඟ පැමිණෙන තෙක් ස්ටීවන්ස් දූපත මේ අහිංසක කුරුළු විශේෂයට ආරක්ෂිත ස්වර්ගයක් බඳු තැනක් වුණා.
1895 පෙබරවාරි වන විට, එනම්, ටිබල්ස් පළමු කුරුළු මළ සිරුර ගෙනැවිත් වසරකටත් අඩු කාලයකදී, මේ දුර්ලභ කුරුළු විශේෂය දූපතෙන් සොයා ගැනීමට නොහැකි වුණා. එම මාසයේම ලයල්, වෝල්ටර් බුලර් වෙත කනගාටුවෙන් යුතුව ලිපියක් ලියමින් කැළෑ වැදුණු තම බළලුන් කුරුළු ගහණය වෙත මහත් වූ විනාශයක් සිදු කර ඇති බව දැන්වූවා. එයින් පසු ලයල්ස් ව්‍රෙන් කුරුල්ලන් ජීවතුන් අතර සිටිනවා දුටුවේ දෙවතාවක් පමණක් බව සඳහන්. 1895 මාර්තු 16 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරය මූලික කරගත් “ද ප්‍රෙස්” පුවත්පතේ ලයල්ස් ව්‍රෙන් පක්ෂීන් ගැන සංවේදී සටහනක් පහත පරිදි තබා තිබුණා.
“කුරුළු විශේෂය තවදුරටත් දූපතෙන් සොයාගත නොහැකි බව විශ්වාස කිරීමට හොඳ හේතු තිබේ. දූපත හැර ජීවතුන් අතර සිටින වෙනත් වාසස්ථානයක් නොදන්නා බැවින් ඔවුන් සම්පූර්ණයෙන්ම වඳව ගොස් ඇති බව පෙනී යයි. මෙය සමූල ඝාතනයක වාර්තාගත සිදුවීමක් විය හැකි යි.”
1898 දී ස්ටීවන්ස් දූපතට අලුත් ප්‍රදීපාගාර පාලකයෙකු පත්වූ අතර, ඔහු සමුද්‍ර දෙපාර්තමේන්තුවෙන් තුවක්කු, වෙඩි බෙහෙත් සහ පතරොම් ඉල්ලා සිටියේ, ඒ වනවිටත් ස්ටීවන්ස් දූපතේ අධික ලෙස වර්ධනය වී තිබුණු බළලුන් ගහනය පාලනය කිරීම සඳහා යි. මාස නවයක් ඇතුළත ඔහු බළලුන් 100 කට වඩා වෙඩි තබා තිබුණා. දිවයින බළලුන්ගෙන් සම්පූර්ණයෙන්ම තොර බිමක් බවට පත් වෙන්න වසර 26ක් පමණ ගත වුණා.
මිනිසාගේ ආදරයට පාත්‍ර වූ ආක්‍රමණිකයා
ටිබල්ස් සහ ඇයගෙන් බිහිවුණ පරපුර නිසා ඉතාමත් දුර්ලභ සහ සංවේදී ජීවි විශේෂයක් මිහිමතින් සමුගත්තා. ඒ සඳහා ගත වුණේ ඉතා සුළු කාලයක් පමණ යි. ආක්‍රමණික සතුන් නිසා නවසීලන්තයේ පරිසර පද්ධතිය අනතුරේ වැටුණු එකම අවස්ථාව මෙය නොවෙයි. වර්ග සැතපුම් භාගයකට නොවැඩි කුඩා බිම් කැබැල්ලක පවා ආවේණික ජීවින් සිටීම තුළ නවසීලන්තයේ පාරිසරික පද්ධතිය කොතරම් සංවේදී ද යන්න වග සිතාගත හැකි යි. නවසීලන්ත පුරවැසියන් එය රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දරනවා. මෙම සිදුවීමෙන් අපට උගත හැකි වටිනා දෙයක් තිබෙනවා. ගෘහස්ථකරණයට ලක්වූ සතුන්ගෙන් ඇති විය හැකි පාරිසරික අසමතුලිතතාව ගැන හොඳ පාඩමක් අපිට ටිබල්ස් හරහා ඉගෙන ගන්නට පුළුවන්.
ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ක්ෂීරපායීන් හා කුරුල්ලන් බිලියන ගණනක් බළලුන් අතින් ඝාතනයට ලක් වෙනවා. ස්වභාවික පරිසරයේ සිටින විලෝපිකයන් හෙක්ටයාරයක් තුළ සිටින වන ජීවින් ගොදුරු කර ගන්නා යම් ප්‍රමාණයක් තිබේද, ඒ ප්‍රමාණය මෙන් 4-10 අතර ගුණයක් බළලුන් නිසා හෙක්ටයාරයක් තුළ සිටින වන ජීවින් ඝාතනයට ලක් වෙනවා. 2020 මාර්තු මාසයේදී නිකුත් කළ ගෝලීය අධ්‍යයනයකින් මෙම කරුණ අනාවරණය වූ බව සඳහන්.
“Cat Wars” නම් ග්‍රන්ථයේ කතුවරුන් වන පීටර් මාරා සහ ක්‍රිස් සැන්ටෙලා ගණන් බලා තිබෙන අන්දමට, එක්සත් ජනපදයේ පමණක් කුරුල්ලන් බිලියන 2.4 ක් පමණ එළිමහනේ ගත කරන බළලුන් අතින් මරා දැමෙනවා. එලෙස ගොදුරු වූවන් ගෙන් විශාල සංඛ්‍යාවක් මරා දමා ඇත්තේ කුසගින්න සඳහා නොව විනෝදය සඳහා යි. බළලුන් සතුන් පසුපස හඹායෑම මඟින් යම් උත්තේජනයක් ලබා ගන්නා අතර, එම උත්තේජනය නිසාම ආහාර අවශ්‍යතාවක් නොමැති වුණත් සතුන් මරා දමන්නට බළලුන් පෙලඹෙනවා. ගෘහාශ්‍රිත බළලුන් නිවස තුළ මෙන්ම අවට පරිසරයෙත් නිදැල්ලේ හැසිරෙන නිසා, ඇතැම් බළල් හාම්පුතුන් සිතන්නේ තමාට ආදරය දැක්වීමක් ලෙස ඔවුන් ගොදුරු නිවසට ගෙන එන බව යි. නමුත්, මේ හැසිරීම බළලුන්ට සහජයෙන්ම ලැබී තිබෙන දෙයක් වන අතර, එමඟින් විශාල පාරිසරික අසමතුලිතතාවක් ඇති වෙනවා. ඒ අසමතුලිත බවට ඔවුන්ගේ භාරකරුවන් ලෙස අපත් වක්‍රව දායක වෙනවා.
“එබැවින් ස්වභාවික, ස්වදේශික, විලෝපිකයන් සිදු කරන කාර්යභාරයට සමාන වූ කාර්යයක් සුරතල් බළලුන් අතින් සිදු වෙනවායැ යි ඔබට නිතර අසන්නට ලැබෙන වැකිය අමතක කරන්න.”
නෙදර්ලන්තයේ ටිල්බර්ග් විශ්වවිද්‍යාලයේ පාරිසරික නීතිය පිළිබඳ සහකාර මහාචාර්ය ඇරී ටෲව්බර්ස්ට් පවසනවා.
බලපෑම් සහ විසඳුම්
ගෘහස්ථ බළලුන්ගේ නොනවතින දඩයමෙන් වන බලපෑම අප නොසිතන දුරකට යන්න පුළුවන්. නිදසුනක් ලෙස, කුරුළු කූඩුවක් අසල බළලකු ගැවසීමෙන් පසු මව් පාර්ශවය පැටවුන් පෝෂණය කිරීම 1/3 කින් පමණ අඩුවන බව අධ්‍යයනය කොට තිබෙනවා. බළලුන්ගෙන් ජලභීතිකාව, ෆීලයින් ලියුකේමියාව, වැනි රෝග දේශීය වන ජීවින්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා. බළලුන් ඇතැම් විට දේශීය, එහෙත් වනගතව ජීවත් වෙන බළලුන් සමඟ සංසර්ගයේ යෙදෙන්න පුළුවන්. එවිට දේශීය වනගත බළලුන්ගේ ජාන සංචිතයට බලපෑම් එල්ල වෙනවා. බකමූණන් වැනි එකම විලෝපික ඉලක්ක තිබෙන සතුන් සමඟ බළලුන් තරග කරන නිසා ස්වභාවික විලෝපිකයන්ට අසාධාරණයකුත් සිදු වෙනවා.
මෙයට එක විසඳුමක් වශයෙන් බළලුන් වන්ධ්‍යකරණය කිරීම දැක්විය හැකි යි. එවිට බළලුන් ප්‍රජනනයෙන් වැළකෙන නිසා හානිකර මට්ටමෙන් ඔවුන් බෝ වෙන්නේ නැහැ. බළලුන්ගේ ගෙල වටා කුඩා සීනුවක් එල්ලීමත් එක්තරා මට්ටමකින් විසඳුම් ගෙන එනවා. එවිට වැඩිහිටි පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඔවුන් ගැන දැනුම්වත් වුණත්, පැටවුන් සමහරවිට අඩු අවධානයක් දක්වන්න පුළුවන්. ඔබ අවදානමට ලක් වූ දේශීය වන සතුන් බහුලව වාසය කරන ස්වභාවික පරිසර පද්ධතියක් ආශ්‍රිතව ජීවත් වෙන කෙනෙක් නම්, තම සුරතල් බළලාගේ සංචරණය වෙනුවෙන් යම් යම් ක්‍රියා මාර්ග ගැනීමත් උචිත වෙනවා.
ඔබේ සුරතල් සත්ත්වයා තවදුරටත් ස්වභාවික පරිසරයේ කොටසක් නොවන බව තේරුම් ගැනීම වැදගත්. එම සත්ත්වයා අයත් වෙන්නේ ඔබ ම සාදාගත් පද්ධතියට යි. ඒ නිසා ස්වභාවික පරිසරයට තම සුරතලා ගෙන් වන බලපෑම ගැන ඔබටත් යම් වගකීමක් තිබෙනවා.