කෘමියෙකු දුටු පමණින්ම බිය හෝ අකමැත්ත නිසා පාගා පොඩිකර දැමීම හෝ කරපොතු නාශකයක් ඉසීම සුලබ පුරුද්දකි. නමුත් මෙසේ විනාශ කෙරෙන කෘමින් බොහොමයක් මිනිසුන්ට අහිතකර නොවේ. කෘමීන්ට පවතින තමාගේ අකමැත්ත හා බිය හේතුවෙන් ඔවුන් මෙලොවින් වඳවී යනවා යම් කොතරම් දෙයක්දැයි සිතුනු අවස්ථා වන්නට ද ඇත. මදුරුවන් විනාශ වී යන්නේ නම් ඩෙංගු, බරවා වැනි රෝග සදහා බියවීමට හෝ එම රෝගවලින් පීඩාවට පත්වීමට සිදුවන්නේ ද නැත. ආහාර මත වසන, රෝග බෝකරන මැස්සන් වැනි කරදරකාර කෘමින් ලොවෙන් වඳවී යන්නේ නම් යහපත් නොවේ ද?
එමෙන්ම වගාවන්ට හානිකරනු ලබන පිටි මකුණන්, පොල් කුරුමිණියන්, ගොයම් මැස්සන් විනාශ වන්නේ නම් ගොවීන්ට කෘමින් මර්ධනය සඳහා අමතර වෙහෙසක් දැරීමට සිදු නොවන අතර, ඒ සඳහා වියදම් වන මුදල් හා ශ්‍රමය වෙනත් කටයුත්තක් සදහා යොදාගැනීමට හැකිය.
මේ, ඔබ දැනටත් ඇතැම්විට සිතා ඇති කරුණු නොවේ ද?
නමුත් ලොව සිටින අවසන් කෘමියාත් මිහිමතින් වඳවී ගිය පසු පෘථිවියේ පැවැත්ම පවතින්නේ දින හයක් වැනි සුළු කාල සීමාවක් පමණක් බව ඔබ දැන සිටියා ද? කෘමින් එතරම්ම වැදගත් ජීවි කොට්ඨාශයක් වන අතර, ඔවුන් මිනිසුන්ට කරදර කිරීමටම පමණක් සොබාදහම විසින් නිර්මාණය කළ පිරිසක් නොවේ. අප නොදැනුවත්වම කෘමින් අපගේ ජීවිත පවත්වාගෙන යාමට, පරිසර පද්ධති ආරක්ෂා කිරීමට සෘජු දායකත්වය දෙන ජීවි කොට්ඨාශයකි.
පෘථිවියේ පවතින ශාකවලින් 80%කම ශාක පුෂ්පයන් හටගන්නා ශාක වේ. එම ශාකයන්හි අනාගත පැවැත්ම උදෙසා පරාගනය අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වන අතර, එයට වැඩි දායකත්වයක් දක්වන්නේ කෘමින් ය. වාතය, ජලය, හෝ පක්ෂීන් වැනි සතුන් මගින් ශාක වල පරාගනය සිදුවන අවස්ථා දුලබ ය. කෘමින් වඳවී ගියහොත් සපුෂ්ක ශාකයන්ගේ ප්‍රජනන කාර්යය ඇණහිටින අතර, ඉදිරි පරම්පරාවක් බිහිකිරීම අඩාල වේ. ශාක නොමැතිව මිනිසුන්ට පැවැත්මක් නොමැති බව සියළු දෙනාම දන්නා කරුණකි.
අප ආහාරයට ගන්නා දෙයින් 50% – 90% අතර ප්‍රමාණයක් ශාක මගින් ලබාගන්නා ආහාර වන අතර, ආහාර ලෙස ලබාගන්නා ඵලයන් බොහොමයක් ඇතිවන්නේ සම්පූර්ණයෙන්ම වාගේ කෘමින් මත යැපෙන පරගනයෙනි. එපමණක් නොව මාංශමය ආහාර ලෙස ලබා ගන්නා කුකුළන්, කළුකුමන්, ඌරන් වැනි සතුන් ද බහුලවම ධාන්‍යමය ශාක ආහාර හා කුඩා කෘමි ආදී සතුන්ගෙන් සමන්විත වේ. ආහාර දාමයක් පරීක්ෂා කළහොත් එහි පළවෙනි අදියරේ බොහෝ විට කෘමියෙක් හෝ ශාකයක් සිටින අතර, ශාක සහ කෘමීන් අන්‍යෝන්‍ය ලෙස යැපේ. පරිසරයේ තුල්‍යතාවය ආරක්ෂා වීමට නම් කෘමින් විශාල ප්‍රමාණයක් සිටීම අත්‍යවශ්‍ය වන අතර සොබාදහම මගින් එම අවශ්‍යතාවය සදහා කෘමින් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.
නමුත් වර්තමානය වන විට මහ පරිමාණ වගාවන් සදහා යොදන කෘමි හා පලිබෝධනාශක හේතුවෙන් පස මත, ශාක මත, හා ඒ ආශ්‍රිතව ජිවත්වන කෘමින් විනාශවීම සිදුවේ. එමෙන්ම ගෘහස්ථව භාවිතවන මදුරු නාශක, කැරපොත්තන් නාශක ඇතුළු කෘමි නාශක හේතුවෙන් ද,ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් ද කෘමින් දැඩි ලෙස විනාශ වෙමින් පවතී. මේ වන විට ඇතැම් කෘමි වර්ග වඳ වී ගොස් ඇති අතර, අනෙකුත් කෘමින් කෝටි ගණනින් දෛනිකව විනාශ වේ. මේ හරහා ක්‍රමයෙන් විනාශ වන්නේ පෘථිවිය මත පවතින ජීවයයි. එයට මිනිසුන් සහ මිනිසුන්ගේ පැවැත්මට උපකාරී වන ශාකයන් ද ඇතුළත් වේ.
වර්තමානයේ දී කෘමීන්ගේ ප්‍රමාණය අවමවීම හේතුවෙන් පුෂ්පයන් නියමිත කාලය තුළ පරාගනය නොවන අතර ඇතැම් විට බොහෝ ප්‍රමාද වී හෝ නියමිත කාලයට පෙර හෝ පරාගනය සිදුවන බැවින් ශාකයන්හි ඵල හටගැනීම යම් තරමකට සිමා වී ඇත. ලංකාව තුළ වුවත් කෘෂිකර්මාන්තයේ දී අධික ලෙස රසායන භාවිතය නිසා කෘමීන් අධික ලෙස විනාශ වේ.
එනිසා, පාලනයකින් තොරව සිදුකරන මෙම විනාශයන් මගින් මිනිසා සිදුකරගන්නේ තමාගේම විනාශය බව සිහි තබාගැනීම මනා ය.
Cover Image: ted.com
මුලාශ්‍ර
1.indianpulicmedia.org
2.google.com
3.livescience.com